නාසයේ පිහිටීම තුළින් ස්‌ත්‍රිය හඳුනාගනිමු


කලියුගයේ වෙසෙන මිනිසුන් හොඳින් හැඳින ගෙන ආශ්‍රය කිරීම තුළින් තම ජීවිතයට එල්ල වන කරදර බාධක අවම කර ගත හැක. කේශාන්තයේ සිට පාදාන්තය දක්‌වා ඇති අග පසඟ වලින් කියෑවෙන ගතිගුණ බොහෝ වේ. ඒවා තුළින් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු හඳුනා ගැනීම දේහ ලක්‍ෂණ විද්‍යාව දත් අයකුට පහසු කාරණයකි. ශරීරයේ කැපී පෙනෙන අංග අතරින් නාසය හොඳින් කැපී පෙනේ. නාසයෙන් මුහුණට අලංකාරයක්‌ දෙනවා මෙන්ම එහි පිහිටීම හැඩය, ප්‍රමාණය, දිග හා පළල යන ස්‌වභාවයන් අනුව කියෑවෙන ගතිගුණ විවිධාකාර වේ. ස්‌ත්‍රියගේ නාසයෙන් කියෑවෙන ගතිගුණ මෙන්ම පුරුෂයන්ගේ නාසයෙන් කියවෙන ගති ගුණ ද බොහෝ ය. ගතිගුණ සම්බන්ධව සෙවීමේදී පුරුෂයන්ගේ ගතිගුණ වලට වඩා ස්‌ත්‍රීන්ගේ ගති ගුණ සමාජය විසින් වැඩිපුර සොයනු ලබයි. ලංකාව, ඉන්දියාව, වැනි සංස්‌කෘතීන් වලින් පිරි රටවල මෙය බහුලව දක්‌නට ලැබේ. එනිසාම පුරුෂ නාසයේ ගතිගුණ පැවැසීම පසකට තබා ස්‌ත්‍රී නාසයෙන් පිළිබිඹු වන ගති ලක්‍ෂණ සලකා බලමු.

සිහින් සිදුරු සහිත දිග් වූ නාසය පිහිටි ස්‌ත්‍රිය

තීක්‍ෂණ බුද්ධියෙන් උසස්‌, උපායශීලී, සමාජයේ ගෞරවයට පාත්‍ර වන, උසස්‌ තනතුරු ලැබීමේ භාග්‍ය ඇති අයෙකි.

පැතලි නාසයක්‌ පිහිටි ස්‌ත්‍රිය

ඉතා කපටිය. ස්‌ත්‍රී මායමින් අගතැන් පත් අයෙකි. මායම් උපයෝගී කර ගෙන තමන්ගේ දියුණුව සාදා ගනී. මොවුන් හොඳින් හෝ නරකින් ධනය උපයයි. ප්‍රබල ආත්මාර්ථකාමී චරිත වේ. ජීවිතයේ මුල් භාගය සැපවත් වුවද, අග භාගයේ දුක සේ කල් ගෙවන චරිත වේ.

සිහින් උල් වූ නාසය පිහිටි ස්‌ත්‍රිය

මොවුන් ඉගෙනීමට දක්‍ෂය. කලාවට ද දස්‌කම් දක්‌වයි. ඥනවන්ත චරිත වේ. සමාජයේ ජනප්‍රිය අයෙක්‌ වේ. නමුත් මොවුන් මුදලට වහල් වන, අනුන්ගේ සිත් රිදවන, ආත්මාර්ථකාමී අය වේ. අනුන්ට උදව් කිරීමට මැලි වීම ද මෙවන් නාසයන් හිමි ස්‌ත්‍රීන්ගෙන් කැපී පෙනේ.

මොලොක්‌ වූ නාසය හිමි ස්‌ත්‍රිය

නිතර සමාජ සේවා කටයුතු කරන, සමාජයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයන් බලාපොරොත්තු නොවන අයෙකි. චාම් ජීවිතයක්‌ ගත කරයි. විවාහය ඉතා සාර්ථකය. මැය වසන නිවස ඉතා වාසනාවන්තය.

නාසයේ අග පැතැලිව හෝ තැලී ඇති ස්‌ත්‍රිය

බුද්ධියෙන් ඉතා අඩුය. කුඩා කාලයේදීම අතවරවලට ලක්‌වීමට ද ඉඩකඩ ඇත. ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු නැති ස්‌ත්‍රීන්ය. විලිබිය අඩු, හැඟීම්වලට වහල් වන ස්‌ත්‍රියක්‌ වන මොවුන්ගේ විවාහ ජීවිතය අසාර්ථකය.

කෙටි සිදුරු සහිත මනාව මට්‌ටමට පිහිටි නාසය ඇති ස්‌ත්‍රිය

බුද්ධිමත් කාන්තාවකි. යුක්‌ති ගරුක චරිත වේ. මෙවන් ස්‌ත්‍රීන්ට දයාව, කරුණාව, උතුරායන හදවතක්‌ ඇත. විවාහ ජීවිතය අති සාර්ථකය. දරුවන්ගේ මෙන්ම මුනුබුරු මිනිබිරියන්ගේ ද ආදර ගෞරවයට පාත්‍ර වේ. දිළිඳු පවුලක ඉපදුනද, ඉක්‌මනින් පොහොසත් වේ. මෙවන් ස්‌ත්‍රීන් දුරදිග බලා කටයුතු කිරීම සිරිතයි.

සිහින් දිග අග රවුම් නාසය ඇති ස්‌ත්‍රිය.

විවිධ වැඩ වලට දක්‍ෂය. ආගම දහමට ලැදිය. ඉතා ඥානවන්තය. ඉක්‌මනින් කෝපාවිෂ්ඨ වේ. නීති ගරුකය. දරුවන්ට හා සැමියාට වැරදිවලට දඬුවම් පමුණුවන අය වේ.

සිහින් වූ නාසය අගින් බිඳී පැවතීම

මෙවන් ස්‌ත්‍රීන් ඉතා අවාසනාවන්තය. ජීවිතයේ සැමියාගෙන් හෝ දරුවන්ගෙන් ආදරය නොලබයි. සමාජශීලී නොවේ. අනුන්ගේ දොස්‌ පරොස්‌වලට මුහුණ දීමට සිදු වේ. මෙවන් ස්‌ත්‍රීන් නිතර කලකිරීමෙන් පසුවන අතර විවාහ ජීවිතය ද අසාර්ථක වේ.

නාසයේ මුල කොටස කවාකාරව, අග කොටස මහත්ව තැලී ඇති ස්‌ත්‍රිය

මෙවන් ස්‌ත්‍රීන් ඉතා රාගාධිකය. මොවුන්ගේ ජීවන වෘත්තිය ද බොහෝ විට අසම්මත එකකි. මෙවන් නාසයකට හිමිකම් කියන ස්‌ත්‍රීන් ගණිකා වෘත්තියට යොමු වීමට බොහෝ ඉඩකඩ ඇත.

නාසයේ අග මහත් වී මැදින් නැමුණු නාසය ඇති ස්‌ත්‍රිය

මොවුන් ඉතා ඊර්ෂ්‍යාකාරීය. පලිගන්නා සුළු අදහස්‌ ඇති, ඕපාදූප සොයන අයෙකි.

රතු පැහැති අග මහත් වූ නාසය ඇති ස්‌ත්‍රිය

මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහ ජීවිතය අසාර්ථකය. මොවුන්ව සැමියා විසින් අතහැර දමයි. ජීවිතය කරදරවලින් පිරි එකකි.

පහතට එල්ලෙන නාසය හිමි ස්‌ත්‍රිය

පර පුරුෂයන් ඇසුරු කරන, ගුප්ත ලෙස හැසිරෙන සැමියාගේ අඩුපාඩු කියා සැමියාට විරුද්ධව වැඩ කරන අයෙකි.

පානදුරේ පී. බී. මංජුලා පුෂ්පරාංගනී
උපුටා ගැනීම : දිවයින පුවත්පත