අවුරුදු 15 කට පසුව අඟහරු පෘථිවියට ලංවෙයි


වසර 15 කට පසුව අඟහරු පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මේ දිනවලහිරු බැස යාමත් සමග නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු අළුයම් කාලයේ බටහිර ක්ෂිතිජයෙන් බැස යන තෙක්ම රාත්‍රී අහසෙහි සඳුට පසුව දිස්වන දීප්තිමත්ම වස්තුව බවට මේ දිනවල දැකගත හැකි වන බවයි මහචාර්ය චන්දන ජයරත්න සදහන් කර සිටියේ.

අඟහරු ගේ ඇති යකඩ ඔක්සයිඩ හෙවත් මලකඩ මිශ්‍ර පස හේතුවෙන් රතු-තැඹිලි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හදුනාගැනීමට හැකියි.

මිට අමතරව මෙම මස 30 සහ 31 යන දිනවලදී අඟහරු ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන අතර, 31 වනදා රාත්‍රිය වන විට එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6 ක් ආසන්නයෙන් ගමන් කරන බවයි මහචාර්ය චන්දන ජයරත්න සදහන් කරන්නේ.

සෞරග්‍රහ මණ්ඩලයේ බුධ හැරුණු විට පෘථිවියේ සිට දුරේක්ෂයකින් බලන කළ පෘෂ්ඨය දැක ගත හැකි එකම ග්‍රහලෝකය අඟහරු වනවා.

මිට අමතරව මේ දිනවලදී සෙනසුරු, බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝකයන්ද මේ දිනවල රාත්‍රී අහසෙහි නැගෙනහිර සිට බටහිර දෙසට චාපයක් අයුරින් පිළිවලින් පිහිටන විරළ දසුනක් දැකගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.