අහස පොළොව වෙන්කළ විශ්ම කර්ම

අහස පොළොව වෙන්කළ විශ්ම කර්ම



"විශ්ව කර්මයා ආවත් මේ වැඩේ කරන්න බෑ" යෑයි කෙනෙකු පවසන්නේ ඉතා විශාල බාරධූර කාර්යයක්‌ කිරීමේදීය. එහෙත් එම කීමෙහි සත්‍යයක්‌ නැත. විශ්ව කර්මයාට කළ නොහැකි දෙයක්‌ නැත. ලෝකය මැවීම මහා බ්‍රහ්මයාගේ කාර්යයක්‌ වූවද එයටද විශ්ව කර්මයාගේ සහාය අවශ්‍ය වූ බැව් කියෑවේ. අහස පොළොව අද පවතින තත්ත්වයට පත්කර ඇත්තේද ඔහුගේ බලයෙන් බව පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. කෙසේ වූවද "විශ්ව කර්ම" නම් කාගේවත් මැවීමක්‌ නොවේ. සමහර පුරාණ ග්‍රන්ථයන්හි එන පරිදි ඔහුගේ පියා මහා බ්‍රහ්මයාය. තවත් මතයක්‌ අනුව (වේදයෙහි එන) ඔහුගේ පියා "භුවන" නම් දෙවියෙකි.

උපත කෙසේ සිදුවූවද ලොව ඕනෑම දුෂ්කර කාර්යයක්‌ ක්‍ෂණයකින් නිම කිරීමට විශ්ව කර්මයාට හැක. මෙසේ ඕනෑම දෙසක ඕනෑම දුෂ්කර කාර්යයක්‌ කිරීම සඳහා ඔහුට අත් දහසක්‌ ඇත. එමෙන්ම ඒ සියලු දෙය ගවේෂණය, නිරීක්‍ෂණය කළ යුතු බැවින් ඒ සඳහා ඇස්‌ රාශියක්‌ ඇත. එම ඇස්‌ ඇත්තේ හිසෙහිය. එකක්‌ නොව හිස්‌ පහක්‌ම විශ්වට ඇත. ඔහු දැනුමටද සම්බන්ධය. ඒ නිසාය ඔහුගේ අත්වල පොතක්‌ පන්හිඳක්‌ දක්‌නට ඇත්තේ. ඒ හැරුන විට වෑයක්‌ වැනි ආයුධයක්‌ සහ දොඩම් හෝ නාරං ගෙඩියක්‌ තවත් අත්වල වෙයි. මේ සංකේතවලින් යම් යම් කාර්යයන් පිළිබඳ එදා යම්කිසි දැක්‌මක්‌ තිබෙන්නට ඇත. ඊශ්වරයා මෙන් විශ්වකර්මද ගෙල වටා නාගයකු පැළඳගෙන සිටියි. ඔහුගේ වාහනය ගොනෙකි.

කෙසේ වූවද විශ්වකර්මට නොකළහැකි දෙයක්‌ මුළු විශ්වයේම නැත. ඔහුට නොපෙනෙන දෙයක්‌, ඔහු නොදත් දෙයක්‌ ලොව නැත. වාස්‌තු විද්‍යාවෙහි නිර්මාතෘ ලෙස සැලකෙනුයේද ඔහුය. එහෙත් එය ඔහුට භාරදී ඇත්තේ zගර්ශවෘහද්දුථ" නම් අයය. ගර්ශටද එම කාර්යය පවරා ඇත්තේ මහා බ්‍රහ්මයාය. ඔහු එය විශ්වට භාර දුන්නේ තමාට කළ නොහැකි නිසා බව කියෑවෙයි. කෙසේ වුවද අවසානයෙහි සමස්‌ත ලෝකයේම වාස්‌තු විද්‍යාව පිළිබඳ සියලු කාරණා නිර්මාණය කළේ විශ්වකර්මය. ඒ සම්බන්ධ වගකීම ඔහුට පැවරුන නිසාවෙනි. වාස්‌තු විද්‍යාවේදී භූමියේ පාද බෙදීම්, භූමිනාගයා, දොර උළුවහු ආදී සංකල්පයන් තුළින් එම පාඩම අපට හඳුන්වාදී ඇත්තේ එහි නිර්මාතෘ විස්‌කම් දෙවියන් විසිනි.

රාක්‍ෂයන්ගේ නගරය හෙවත් ලංකාපුරය මවන ලද්දේද විශ්ව කර්මය. එහි සිටි රාක්‍ෂයන් වරෙක උපුල්වන් දෙවියන්ට බියෙන් පලාගිය අතර ඉන්පසු එය කුවේරගේ වාස භවනය විය. ලංකාවේද ඓතිහාසික සිද්ධීන් කීපයකටම විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා හවුල්වී ඇත. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ස්‌ථූපය ගොඩනැංවීමේදී උළු ගඩොල් හිඟවූ අවස්‌ථාවන්විය. ඒ සෑම විටම එම ද්‍රව්‍ය හැකි ඉක්‌මනින් සපයාදීමෙන් විශ්වකර්ම ඔහුට උදව් දුන් බව කියෑවෙයි. එමෙන්ම එහි ධාතු නිදානෝත්සවයේදී රට පුරා සැරසීම් කරන ලද්දේද ඔහුගේ අත් දහසෙනි. දෙවුන්දර උපුල්වන් දේවාලයේ දේව රූපය මවන ලද්දේද විශ්ව කර්ම විසින් බව කියෑවෙයි. ඒ අතරම ජනප්‍රවාදවලින් කියෑවෙන පරිදි දඹුල්ලේ දඹුලු ලෙන තුළ ඇති බුද්ධ රූපය නිර්මාණය කර ඇත්තේද ඔහුය. මෙසේ සාමාන්‍ය මිනිසාට කළ නොහැකි විශිෂ්ටතම ශිල්පීය කාර්යයන් සෑම විටම කර ඇත්තේ මේ අපූර්ව බලැති විශ්වකර්ම දෙවියන් විසිනි.

දේව කතාවල එන පරිදි විශ්වකර්මට හිස්‌ තුනක්‌ සහිත පුතෙක්‌ සිටියේය. ඔහු කිසියම් වරදක්‌ කළ විටෙක ඉන්ද්‍ර දෙවියා ඔහුගේ හිස්‌ තුනම කපා දැමීය. එවිට ඒ හිස්‌ තුනෙන් විශ්වකර්ම වැනි දක්‍ෂතා ඇති පක්‍ෂීන් තිදෙනෙකු ජනිත වී ඇත. ඇටිකුකුලා, ගේ කුරුල්ලා සහ වටුවා ඒ සතුන් තිදෙනාය.

අද අප සූර්යය රශ්මියෙන් නොදැවී සිටිනුයේද විශ්ව කර්ම නිසාය. සූර්යා විවාහ කරගෙන සිටියේ විශ්වකර්මගේ දියණිය වුවද මේ මාමා සහ බෑණා අතර අමනාපකම් විය. වරෙක ඇතිවූ තද කේන්තියක්‌ නිසා විශ්වකර්ම තම බෑණා කෙරෙහි තදින් කෝපවිය. සූර්යයාගේ ලොකුම හපන්කම වූයේ තම රශ්මිය ලොවට පිට කිරීමය. ඔහුට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ විශ්වකර්ම තම භාණ්‌ඩ (ලී ඉරන) කට්‌ටලයක්‌ සූර්යා මත තැබීය. ඒ නිසා වෙන් එවක්‌ පටන් සූර්යාගෙන් පිටවන රශ්මියෙන් අටෙන් එක්‌ කොටසක්‌ම කැපී ගියේය. එම අටෙන් එකෙන්ද යම් ප්‍රයෝජනයක්‌ ගතයුතු යෑයි සිතූ විශ්ව කර්ම එම රශ්මියෙන් ආයුධ කීපයක්‌ තනා දෙවියන් කීපදෙනෙකුට දෙන ලදී. එම ආයුධ සූර්යය රශ්මිය මෙන්ම දිලිසෙන බව කියෑවෙයි.

කෙසේ වුව ද සූර්යයාත් විශ්ව කර්මත් සතුරන් වී එම සිද්ධිය සිදුනොවූයේ නම් අදත් පොළොවට වැටෙන සූර්ය රශ්මිය මෙයට වඩා වැඩිවීමට ඉඩ තිබිණි. එදා විශ්ව කර්ම කෙතරම් හපන්කම් කළද අද නම් විශ්වකර්මටද පාඩම් කියාදිය හැකි පුද්ගලයන් මේ පුංචි ලංකාවේද ඇත. එහෙත් ගැටලුව වන්නේ එවන් පුද්ගලයන්ගේ කෙරුවාවන් මිනිස්‌ සංහතියට සුභදායී නොව අශුභදායී පමණක්‌ වීමය.

ඡේ. ශීලා වික්‍රමරත්න
2017-04-23 දිවයින පුවත්පත

Post a Comment

0 Comments