පරනිම්මිත වසවත්තියෙ වසවර්ති මහරජ සහ දස මාර සේනාව


මනුෂ්‍ය ජීවිතය අවසානය මරණයෙන් කෙළවර වේ. “සබ්බේ සත්තා මරිස්සන්ති” සියලු සත්වයෝ මරණයට පැමිණෙති. මරණං තම්හි ජීවිතං ජීවිතය කෙළවර මරණය වේ. “මාර බන්ධනා” මාරයාගේ බන්ධයෙන් මිදීමට කිසිවෙකුට බැරිය.

මාරයා විශ්වයේ ම ප්‍රචලිතය. සෑම ජාතියක ම, දර්ශනයක ම මාරයා ජීවත් වේ. ඒ අනුව අපේ බෞද්ධ ආගම ධර්මය තුළ ද මාරයා ඇත. මේ විශ්වයේ ආරම්භයත් මාරයාගේ ආරම්භයත් දෙකක් නොව එකකි. වෛදික සාහිත්‍ය තුළ ද මාරයා ජීවත් වෙයි. එහිදී “යම” නමින් විස්තර වන්නේ මාරයාය” යම හා යමගේ සොහොයුරිය හා කෙරෙන සංවාදයක් ද දක්නට ලැබේ. එහි තවදුරටත් විස්තර වන පරිදි යමගේ මව හා පියා විස්වන්ත හා සරණ්‍යූ දෙදෙනා වෙති. තණ්හා, රතී, රගා යනුවෙන් මාරයාට දූවරු තිදෙනෙකි.

ලෝභ, දෝෂ,, මෝහ යන්න මාරපාශයන්ය. තණ්හා, අන්තක, අධිපති, පමත්ත, බන්ධු, තණ්හා, පාපිම, මෘත්‍යු හා කිලේස යන නම් මාරයා සඳහා යෙදෙන පරියාය නම් ය. ස්කන්ධ, කිලේස, දේවපුත්ත, මච්චු හා සංස්කාර යනුවෙන් මාරයා පස් ආකාරයකට දක්වා තිබේ. සමහර අටුවා ග්‍රන්ථයක මාරයා මච්චු හා කිලේස යන නම් දෙකකින් හඳුන්වා ඇත.

මජ්ඣිම නිකාය, සුත්ත නිපාත, අටුවාව මරණ මච්චු, කිලේස මච්චු, දේව පුත්ත මච්චු යන පිළිවෙළට දක්වා ඇත. උදාන අටුවාව කිලේස මාර, අභිසංස්කාර මාර, දේව පුත්ත මාර අත්තහාර මාර මාරයන් හතරදෙනෙකු ගැන සඳහන් කරයි. කාමය අරතිය, සාපිපාසාව, තෘෂ්ණාව, ථීන මිද්ධය, බිය, සැකය, ගුණමකු බව හා දැඩි බව, වැරදි මඟින් ලබන යසස, තමන් උසස් කොට හා අනුන් පහත් කොට සැලකීම, යනු දස මාර සේනාව ලෙස දක්නට ලැබේ.

සො ඉමං ලෝකං සදේවකං සමාරකං සස්සමණ බ්‍රහ්මණීං පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤං” බුදුරජාණන් වහන්සේ වහන්සේ ප්‍රථමයෙන් ම ලෝකයේ මාරයා හඳුනාගත් සේක. බොහෝ අය මාරයාට රැවටෙති. එහෙත් බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් මාරයාට රැවටුණේ නැත. බුද්ධ කාලීන අය පවා බුදුන් වහන්සේ මාරයා පරාජය කළ කොනෙකැයි ප්‍රකාශ කළහ.

ඒ සඳහා මාර අභිභූ “මාරසෙනප්පමද්ද” යන වචන දක්නට ලැබේ. මාරයාගේ විශේෂ වූ ලක්ෂණ දෙකක් ඇත. එකක් මාරයා මිථ්‍යා දෘෂ්ටියෙකි. අනික සත්‍ය දැන ගැනීමට මාරයා විරුද්ධ වෙයි. “ජානාති මං භගවා, ජානාති මං සුගතෝ” යනුවෙන් භාග්‍යවත්හු මා හදුනති. තථාගතයෝ මා හදුනති. තථාගතයේ මා හඳුනති යනුවෙන් මාරයා සඳහන් කොට ඇත. දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට ගිය මාරයා ස්වාමිනි! ශ්‍රාවකයනට සත්‍යය ප්‍රකාශ නොකරන්නැයි ඉල්ලීය. මාරයා සත්‍යයට බියක් දක්වයි.

දිව්‍ය ලෝක හයෙන් එකක් වූ “පරනිම්මිත වසවත්ති” නම් දිව්‍ය ලෝකයේ අධිපති භාවය උසුලන්නේ වසවත්ති මාර දිව්‍ය පුත්‍රයයි. කුසල් මහිමයෙන් පෙර දෙවියෙක් වී ඇත. එහෙත් අන් අයට හතුරුකම් කරයි. සැපතට බාධා පමුණුවයි. යහ ගුණ ධර්මවලට අකමැති දුෂ්ටයෙකි . මාරයා, ඔහුට දස බිම්බරයක් මාර සෙනග වේ.

1. දෙව අවතාර 6. සර්ප අවතාර

2. මාර අවතාර 7. සිවු පා අවතාර

3. යක්ෂ අවතාර 8. බූත අවතාර

4. රාක්ෂ අවතාර 9. මත්‍ය අවතාර

5. ගුරුළු අවතාර 10. මනුෂ්‍ය අවතාර

අවතාර මගින් යහමගට අවැඩ සිදු කරයි. මාරයාගේ ස්වරූපය කෙබඳු ද යන්න කීමට නොහැකිය. ඒ විවිධ වූ අවතාර නිසයි. මාරයා සංකේතයක් ලෙස දැක්වීමට නොහැකිය. සංකල්පයක් ලෙස නම් දැක්වීම යුක්ති යුක්තය. “මාර දිව්‍ය රාජයා” යනුවෙන් පුද්ගල ආරෝපණයක් ද දක්නට ලැබේ.

සංයුක්ත නිකායේ නමින් කොටසක් දක්නට ලැබේ. පළමු කොටසට සූත්‍ර 10 කි. දෙවන කොටසට සූත්‍ර 10 කි. තුන්වන කොටසට සූත්‍ර 05 කි. භික්ඛුණි සංයුත්තයේ සූත්‍ර 10 ක් මාර සංකල්පයට වෙන් කොට ඇත. සෑම සූත්‍රයක ම මාරයා විරෝධය පා ඇති බව ප්‍රකට වේ. එසේ ම මාරයාගේ චරිතයේ විවිධ අවස්ථා මේ තුළින් දැක්ක හැකිය.

එක් සමයක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ සිලාවතියේ වැඩසිටි සේක. භික්ෂුන් වහන්සේ භාවනාවේ යෙදෙති. එතනට බමුණෙක් පැමිණියේය. ජටාවක් බැඳ, අඳුන් දිවි සමක් ඇඳ, ජරාවට පත්ව, වක ගැසුණු පරාලයක් මෙන් සුරු සුරු ගාන හුස්ම ඇතිව, උදුම්බර ලීයක් අතට ගත් බමුණු වේශයක් ඇතිව බමුණා පෙනි සිට භාවනාවේ යෙදුණ භික්ෂූන්ට මෙසේ කීයේය.

“භවත් හිමිවරුනි! ඔබ වහන්සේලා තාම තරුණයි. භද්‍ර යෞවනයේ පසුවන්නේ කළු පාට කෙස්. ඒ නිසා කාම සම්පත් අත් විඳින්න. මොලොව දී ලබන සැප අත් හැර පස්සේ ලබන සැප පසු පස දුවන්න එපා.”

භාවනා භික්ෂූන් මේ මහළු බමුණාට කම් සැපයේ තාවකාලික බව අනිත්‍යය සහිත බව ආදී ධර්ම දේශනා කළහ. අර මහළු බමුණා හිස වනා දිව දික් කොට හැරමිටි ගහමින් යන්නට පිටත් විය.

මේ පුවත භාවනා භික්ෂූහු බුදුරජාණන් වහන්සේට විස්තර කළහ. ඒ බමුණෙක් නොව එම වේශයෙන් පැමිණ ඇත්තේ මාරයා බව බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළ සේක.

මේ සූත්‍ර දේශනාවට අනුව මාරයා විවිධ වූ මවා ගැනීම් කළ හැකිය.

ඒ අතර පොදු ලක්ෂණ රාශියක් ද එම සූත්‍ර වල අන්තර්ගතයි. දේශනා කළ ස්ථානය, අවස්ථා හා ක්‍රියා එහි දැක්වේ. සෑම ස්ථානයක දීම මාරයා පැර දී ඇත.

එහි මාරයා “පාපිම” වශයෙන් හත් වරක් මහළු අන්තක” වශයෙන් සිය වරක් “මාර” වශයෙන් සතරවරක් “සීහ”” වශයෙන් එක් වරක් මහළු “බමුණෙකු” වශයෙන් එක වරක් යකෙකු වශයෙන් පෙනී සිටි බව පෙනේ. මෙසේ විවිධ වූ ක්‍රියා මෙම සූත්‍ර තුළ දිස්වේ.

පාලි සාහිත්‍ය තුළ මාර සංකල්පයට ප්‍රධාන තැනක් දී තිබේ. බෝසත් තාපසයාණෝ බුද්ධත්වයට පත් වීමේදී සිදු කළ මාර යුද්ධය මාර සංකල්පයේ විශිෂ්ටතම ලෙස වර්ණනා කොට ඇත.

බුද්ධත්වය කෂාත්සාත් කර ගැනීම වළකනු පිණිස වසවත්ති මාරයා සෙසු මාර වර්ගයාම අභිබවා සිටී. ගිරිමෙවුල් ඇතු පිට නැඟ ඒමත් නානා රූප මවමින් මාර සේනාව විශ්මය ජනක ලෙස කළ සටන චමත්කාර ලෙස පාඨක සිත් ඇඳ බැඳ තැබීමට ලේඛකයෝ පෙරමුණ ගත්හ.

එය කෙතරම් බිය ජනක සිදුවීමක්ද යන්න වඩාත් පැහැදිලි වන්නේ දේව සමූහයා පවා බියගෙන පලායාමයි.දේව සමූහයාටත් වඩා මාර තේජස හුවා දක්වා ඇත.

උපුටා ගැනීම - දිවයින පුවත්පත
රචකයෙකු සදහන්ව නැත

Post a Comment

0 Comments