කුල ක්‍රමයේ ආරම්භය සහ ඒ තුළින් මානව සමාජය විවිධ තලවලට බෙදීම


ජාති, කුල, භේද ගැටුම් සමාජ විසංවිධානයට හේතු වී විනාශකාරී යුද්ධ ඇති වූ බව ලෝක ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන්ව ඇත. එහෙත් යුද්ධය යනු කුමක්‌ද? බලය, අරගලය, ව්‍යසනයෙන් තොර පාලනය පිළිබඳව ආසියාවේ ක්‍රි. පූ. 6 වැනි සියවසේ පහළ වූ මහා ප්‍රාඥයා වන බුදුන් වහන්සේ සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සමාජ විනය, පැවැත්ම ස්‌ථාපිත කරවන සිය මතය, මධ්‍යම නිකායේ මහා දුක්‌ඛන්ධ සූත්‍රයෙන් ද සුත්ත නිපාතයෙහි කලහ විවාද සූත්‍රයෙන්ද අනාවරණය කළහ.

මෙම ලිපියෙන් අදහස්‌ කරන්නේ කුල ක්‍රමයේ ආරම්භය සහ ඒ තුළින් මානව සමාජය විවිධ තලවලට බෙදීම පිළිබඳව විභාග කිරීමත්, එයින් භාරතීය සමාජය තුළ ඇති වූ විසංවාදයත් සමඟ බිහි වූ ආගමික දර්ශනවාද පිළිබඳවත් කුල ක්‍රමය ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැස ගැනීම පිළිබඳවත්aa සාකච්ඡා කිරීමය.

ක්‍රි. පූ. 3250 පමණ ආරම්භ වී ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ලද බවට සලකන පුරාවස්‌තු පරීක්‍ෂා කළ මානව හා සමාජ විද්‍යාඥයෝ ඔවුන් අතර ද පංති ක්‍රමයක්‌ පැවත ඇති බව අනුමාන කරති. එනම් පූජකවරුන් , පාලන තන්ත්‍රය මෙහෙවූ ප්‍රභූන්, වෙළෙඳ හා ශිල්පීය ජන කොටස්‌ හා කම්කරුවන් වශයෙනි.

ක්‍රි. පූ. 900 පමණ කාලයක සිට ආර්ය ජන කණ්‌ඩායම් අතර මුල්බැස තිබුණේ බ්‍රාහ්මණ ධර්ම නීතිය අනුව පැවැති තෙදබල යාගහෝමවල ඵලය ආයුරාරෝග්‍ය සම්පත්තිය පමණක්‌ නොව භව භෝග සම්පත් ද ලබා දෙනු ලබන්නේ බ්‍රාහ්මණයන්ගේ බල පරාක්‍රමය අනුව බවයි. එම නිසා බ්‍රාහ්මණයන් දෙවියන් ඉක්‌ම ගිය ප්‍රබල සමාජ සාධකයක්‌ බවට පත්විය. තමුන්ට විරුද්ධ අනුගාමිකයන් යාග හෝම මගින් විනාශ කළ බමුණන් රජුන්ටත් වඩා ප්‍රබල වූ අවස්‌ථා වෙයි. රජ සිටු මැති ඇමැතිවරුන්ගෙන් ද විශාල පුද පඬුරු අපේක්‍ෂා කළ බ්‍රාහ්මණයන්ට භව භෝග සම්පත්වලින් ආඩ්‍යව සමාජයේ ප්‍රබල ජන කොටසක්‌ බවට පත්විය.

වර්ණ යනු පැහැය හෙවත් පාටය. ස්‌වදේශිකයන්ගෙන් ආර්යයන් වෙන්කර හැඳින ගැනීමට වර්ණය යොදා ගත් බව සැළකෙයි. ඒ අනුව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍යය යන තුන් කොටස ආර්යයන් වූ අතර කළු පැහැගත් ස්‌වදේශිකයන් ශුද්‍රයන් ලෙස වර්ග කරන ලදී.

පුරාණ භාරතීය සමාජය සැකසී තිබුණේ ආගමික, දේශපාලන, ආර්ථික හා අධ්‍යාපනික යන සංස්‌ථාවන් වර්ණය අනුව සහජයෙන් වෙන් කිරීමෙනි. මෙම වර්ග කිරීම බ්‍රාහ්මණ, ක්‍ෂ්ත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් විය.

"රාජ්‍ය පාලනයෙන් විනිර්මුක්‌ත කුල සංවිධානයක්‌ තිබීමත් සමාජයෙන් පිටමං කිරීම කුල ක්‍රමයේ ඉතාම තියුණු අවිය වීමත් හින්දු ආගම නොනැසී රැකීමට රුකුල් දුන් ප්‍රබල සාධකයක්‌ විය. විදේශිකයන් විසින් තමාගේ කැමැත්ත නො කැමැත්ත නොවිමසා තම හිසට උඩින් ඇටවූ දේශපාලන යන්ත්‍රයක්‌ යටතේ ජීවත් වන හින්දු භක්‌තිකයාට තම සංස්‌කෘතියට ආවේණික වූ ආගෝපාංග රැක ගැනීමට අත්වැල වූයේ කුල ක්‍රමයයි. (අසිරිමත් ඉන්දියාව, මහාචාර්ය ඒ. එල් හෂාම් පරිවර්තනය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1962)

විශ්ව නිර්මාණය පිළිබඳ බ්‍රාහ්මණ කතා පුවතෙහි ලා බ්‍රහ්මයා ගේ විවිධ ශරීර අවයවයන් ගෙන් මිනිස්‌ ප්‍රජාව ප්‍රභවය ලත් බව කියෑවෙයි. එනම් බ්‍රාහ්මණයා ඔහුගේ ශ්‍රී මුඛයෙනුත්, ක්‍ෂත්‍රියා බාහු යුග්මයෙනුත්, වෛශ්‍යයා කලවයෙනුත්, ශුද්‍රයා පාදයෙනුත් උපන් බව බ්‍රාහ්මණ ඉගැන්වීමයි. (සෘග් වේදයෙහි දහවැනි මණ්‌ඩලයෙහි අනූවැනි සුක්‌තය, (90)

බ්‍රාහ්මණ වර්ණයට ඉගෙනීම, ඉගැන්වීම, යාග හෝම කිරීම, දන් දීම හා දන් පිළිගැනීමත්, ක්‍ෂ්ත්‍රියයනට රාජ්‍ය පාලනය හෙවත් ප්‍රජා රක්‍ෂණය, යාග හෝම පැවැත්වීමට හා අධ්‍යයන කටයුතු ද වෛශ්‍ය වර්ණයට, සත්ත්ව පාලනය, කෘෂිකර්මය, වාණිජ කටයුතු, මුදල් ණයට දීම, යාග පැවැත්වීම, මෙන්ම අධ්‍යයනය කිරීම පැවරිණි. මෙම ත්‍රිවිධ වර්ණයට පැවරී තිබුණ කාර්ය භාරය විමුක්‌තිය ලබා දෙවන උතුම් ධර්මතා ලෙස බ්‍රාහ්මණයන්ගේ ධර්ම නීතිවල ඇතුළත්ව සමාජගත කෙරිණි. සතරවැනි වර්ණය වූ ශුද්‍ර වර්ණයට පැවරී තිබුණේ අනෙකුත් වර්ණ තුනට සේවය කිරීමය. විශේෂ වරප්‍රසාද ලද වර්ණත්‍රයට විපත්ති අවස්‌ථාවකදී තමන්ට වඩා පහත් වර්ණවල ධර්ම නීති අනුගමනය කිරීමට අවකාශ ලැබුණ අතර, එවැනි ධර්ම ආපද්ධර්ම ලෙස හඳුන්වන ලදී. එමෙන්ම වරප්‍රසාද ලද වර්ණත්‍රයටම උපනයනය හෙවත් පූන නූල පැළඳීමෙන් වැදගත් ආගමික තත්ත්වය ලබා ගැනීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමේ අවස්‌ථාව සැලසුණි. එය ඔවුන් සලකන ලද්දේ දෙවන උපත ලෙස ය.

බ්‍රාහ්මණ ධර්ම නීති එදා භාරතීය සමාජය උපතින්ම වර්ගීකරණයට ලක්‌කර ඔවුන්ගේ දේශපාලන, ආර්ථික හා සාමාජික අයිතීන් සීමා කර ඔවුන්ගේ ප්‍රගතියට බාධා කරන ලදැයි, ඊට අනුව චින්තනය මෙහෙයවන්නන් විසින් නොපිළිගැනීමට ඔවුන් පෙළඹී තිබුණේ භාරතීය සමාජය එලෙස ගැලපීමෙන් සියලු වරප්‍රසාද දේව කැමැත්තට අනුව භුක්‌ති විඳින වග සමාජ අවධානයට ලක්‌ කිරීමටය.

බමුණන් උපත හා බැඳුණ පාරිශුද්ධියක්‌ පිළිබඳව මතය තහවුරු කරමින් උපතෙහිදී යම් මිශ්‍රණයක්‌ සිදු වී ඇතැයි සැලකුණු පුද්ගලයන් පංචමයන් හෙවත් කුල හතරෙන්ම පිටුවහල් කළ යුතු අය ලෙස සලකන ලදී.

ආර්යයන්ගේ සාහිත්‍යයේ සෘග්, යජුර්, සාම, අථර්වන් යන වේද ග්‍රන්ථවලට අමතරව බ්‍රාහ්මණ, උපනිශද් පුරාණ සහ රාමායනය සහ මහා භාරතය යන ග්‍රන්ථ ඇතුළත්ය. ඒ මගින් පූර්ව භාරතීය සමාජ සිදුවීම් පිළිබිඹු කරන බව විද්වතුන් පවසයි. ක්‍රි. පූ. 1000 සිට ක්‍රි. පූ. 600 තරම් වකවානුවක්‌ සම්බන්ධව කියෑවෙන මහා භාරතය කාණ්‌ඩ 18 කින් හා ශ්ලෝක ලක්‍ෂයකින් යුක්‌ත මහා කාව්‍යයකි. ඊටත් එහා යන දීර්ඝ කාල වකවානුවකට උරුමකම් කියන කාල පරාශයක්‌ රාමායනයෙන් මූර්තිමත් වන බව ද ඉතිහාස සටහන් අනුව විශ්වාසිතය. රාමායනය පද්‍ය 24000 කින් සමන්විත වනසේ වාල්මිකී පඬිවරයා විසින් රචිත මහා කාව්‍යය ග්‍රන්ථයකි.

ඉපැරැණි ඉන්දු ආර්යයන්ගේ පුද පූජා හා ආගමික විශ්වාස පිළිබඳව ක්‍රි. පූ. 1500 - 1000 ත් අතර වකවානුවට අයත් යෑයි විශ්වාසිත සෘග් වේද ග්‍රන්ථය, ශ්ලෝක 1028 කින් සමන්විත සංස්‌කෘත භාෂාවෙන් ලියෑවී ඇති කාව්‍යමය නිර්මාණයකි.

ගුරුකුල අධ්‍යාපනය තුළින් යුද ශිල්පය, රාජ්‍ය පාලනය, ග්‍රන්ථ අධ්‍යයනය, වෛද්‍ය විද්‍යාව හා ජ්‍යෙdතිශය, කුලය හා උපත පිළිබඳ ඉගැන්වීම ගෙවීමකින් තොරව නිදහසේ ඉගෙන ගත්හ. එහෙත් ගුරු දක්‍ෂිණා පිදුම සිදුව ඇත. එකල ගුරුවරයාගේ නිවස අධ්‍යාපන ආයතනයයි. මානව ජීවයේ වැදගත් අවස්‌ථා ලෙස සලකන උපත, විවාහය, මරණය යන වැදගත් අවස්‌ථාවල වේද මන්ත්‍ර ගායනා කිරීම බ්‍රාහ්මණ සමාජ සිරිත් අතර විය.

පශ්චාත් වෛදික යුගයේදී භාරතීය සමාජ බෙදීම පුද්ගලයන්ගේ උපත නොව ඔවුන් යෙදුණ කාර්යභාරය අනුව සිදුවිය. එනම් බ්‍රාහ්මණ දරුවෙකුට ඔහුගේ දක්‍ෂතා අනුව ක්‍ෂත්‍රියයකු වීමටත් වෛශ්‍යයකු වීමටත් අවස්‌ථාව සැලසුණි. එමෙන්ම අන්තර් කුල විවාහ පිළිබඳව ද වේද ග්‍රන්ථ අතර ප්‍රථම වූ සෘග් වේදයෙහි ද සඳහන් වෙයි. මුල්ම යුගයේ වර්ණයට අනුව කාර්යයන් සිදුÊකරනු ලැබුණි ද එහි දැඩි බවක්‌ නොවූ අතර පශ්චාත් යුගයේ එය දැඩි කුල භේද ක්‍රමයක්‌ ලෙස විකාශය විය. වෛශ්‍යයන් බදු බරින් පීඩා විඳි අතර ශුද්‍රයන් ඉතා දැඩි දුක්‌ඛදායී තත්ත්වයට පත්ව ඇත.

"උගැන්මත් , ඉගැන්වීමත් වෛදික ගුරුන් අතෙහි පැවැති කාලයෙහි ඉන්දියාවෙහි සභ්‍යත්වය දැඩි සාධු ලක්‍ෂණයෙන් තොර නොවීය. උගැන්මත්, ඉගැන්වීමත් ඔවුන් අතින් ගිලිහී පොදුවේ රටෙහි පැතිරෙන්නට වූ කාලයෙහි බ්‍රාහ්මණ සභ්‍යත්වය සංවේගජනක ලෙස දූෂණය විය..." 

(සිංහල සාහිත්‍යයෙහි නැගීම, මාර්ටින් වික්‍රමසිංහ, 1958, පිටු අංක 85, 86)

සමාජමය ලෝකය අධ්‍යනය කිරීමේදී භාෂාව ඉතා වැදගත් ය. භාෂාව යනු සමාජ සංසිද්ධියක්‌ යනුවෙන් පර්ඩිනන්ද සෝඩි පවසයි. භාරතීය සමාජය ආර්ය සභ්‍යත්වය තුළින් ගොඩනැංවීමට සංස්‌කෘත භාෂාව ඉටු කළ මෙහෙය සුළු පටු නොවන බව විද්වතුන් සලකන්නේ ආර්යයන් ගෙන් භාරතයට ලැබුණ සංස්‌කෘත භාෂාව අනෙකුත් භාරතීය භාෂාවන්ට මව් භාෂාව ලෙස මඟ පෙන්වූ බැවිනි. කෘෂිකාර්මික ජන කොටසක්‌ වූ ආර්යයෝ පසු කාලීනව ඔවුන්ගේ ප්‍රගතිය, රාජ්‍ය පාලන හැකියාව, සමාජ තත්ත්වය මනා ලෙස ප්‍රකට කර ඇති බව පෙනෙයි.

පුද්ගල ආරක්‍ෂාවෙහි ඓක්‍යය සමාජයෙහි ආරක්‍ෂාවයි යනුවෙන් ශ්‍රීමත් අයිවර් ජෙනිස්‌ වරක්‌ සඳහන් කළේය. සමාජ විද්‍යාඥයන්ගේ මතය වන්නේ ආරක්‍ෂාව, අවශ්‍යතාවන් පිළිබඳ තෘප්තිය අඛණ්‌ඩ ජීවන ප්‍රවෘතිය යන කරුණු මූලික සමාජ වුවමනාවන් බව ය.

මෙම කරුණු අනුව පූර්ව භාරතීය සමාජය තුළ පැවැති වර්ණ හෙවත් කුල ක්‍රමයේ ආරම්භය කෙබඳු එකක්‌ ද යන්න පිළිබඳව යම් අවබෝධයක්‌ ලැබෙන අතර, ඒ තුළින් සමාජ සාමාජිකයන් වර්ග වීමෙන් සැකසුන ස්‌ථර හෙවත් සමාජ ස්‌ථරායනය කෙබඳු ද යන්න පිළිබඳව විමසා බැලිය යුතුය.

සමාජ ස්‌ථරායනය යනු සමාජය අගය කරනු ලබන යම් යම් දේ අනුසාරයෙන් පුද්ගලයන් විවිධ වූ සමාජ තලවල පිහිටා වර්ග වීමයි. එලෙස අගය කරන දේ බලය, ධනය, සමාජ තත්ත්වය ආදී කාරණා මත සිදුවෙයි. පුද්ගල ජීවිත කෙරෙහි විවිධ අයුරින් බලපාන්නා වූ ස්‌ථරායන ස්‌වභාවය විමසීමේදී, ජීවිත අපේක්‍ෂාව, කායික, මානසික අවශ්‍යතා, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම විවාහ සම්බන්ධ ඉඩ ප්‍රස්‌ථා කුඩුම්භ සංරක්‍ෂණය, අපරාධ, යුක්‌තිය පිළිබඳව ක්‍රියා කරන ආයතන මගින් ලැබෙන සැලකිල්ල සමාජයීය හා දේශපාලන චර්යාව පිළිබඳව වූ මෙහෙය නිදසුන් වෙයි.

සමාජමය දූරාවලියක්‌ තුළ පුද්ගලයන් යම් යම් තලවල පිහිටුවීමෙන් යම් සංස්‌කෘතික අගනාකමක්‌ කරා පරිවර්තනයක්‌ සිදු කෙරෙනු ඇත. එය සමාජ ස්‌ථරායනයෙහි එක්‌ ලක්‍ෂණයකි.

භාරතීය සමාජයේ පුද්ගලයන් යම් යම් තලවල පිහිටවනු ලැබුණේ වර්ණය (කුලය) පදනම් කර ගෙනය. ගරුත්වය ලැබුණේ ද ඒ පිළිවෙළටමය. ආදායම් සාධක අභිබවා ගොස්‌ වර්ණය මත පිහිටා තත්ත්වය තීරණය කෙරිණි. ආදායම වැඩි වුවත් ඉහළ තත්ත්වයක්‌ නොලැබිණි. පශ්චාත් වෛදික යුගයේ සමාජ සකස්‌ වීම අනුව අන්තර්Êකුල සහයෝගිතාවය තුළින් එක්‌ සමාජ තලයක සිට අනෙකකට මාරුවීමට ඇති හැකියාවක්‌ පිළිබිඹු විය. සමාජ ස්‌ථරායනයේ දී පෙන්වා දෙන ආවෘත සහ විවෘත යන අංශ දෙකින් ආවෘත ලක්‍ෂණ මෙකල සමාජය තුළින්a බෙහෙවින් පිළිබිඹු වන්නේ බ්‍රාහ්මණයන්ගේ ගූඪ ලක්‍ෂණ තුළින්ය. හැම විටම පිළිබිඹු වූ වැසුණු ලක්‍ෂණ වලට උදාහරණයක්‌ ලෙස ගතහොත් ඔවුන් ගවයා පූජ්‍යත්වයට පත් කර ගවයින්ගේ අපද්‍රව්‍ය ශුද්ධ වස්‌තු ලෙස සැලකීමට ධර්ම නීතිවලට අනුව එකඟව සිටියි.

පුද්ගලයා සහ සමාජය පිළිබඳ අදහස්‌ දක්‌වන සමාජ විදයාඥයන් මනුෂයයන් සහජ දක්‍ෂතාවන් ගෙන් මෙන්ම අධ්‍යාපනය තුළින් හැකියාවන් සංවර්ධනය කර ගත හැකි පිරිසක්‌ ලෙස පෙන්වයි. තර්කයේ මෙන්ම බුද්ධි යුගයට එළැඹි මිනිසා ආරය සහ පරිසරය යන සාධක තුළින් මිනිස්‌ කය හා මනස සංවර්ධනය කර ගැනීමේ ප්‍රයත්නය අමතක නොකළහ.

ජීව විද්‍යාත්මක සාධක සමාජ විද්‍යාඥයා විසින් විග්‍රහ කරන්නේ කායික හා මානසික සංවර්ධනයට පරිසරය බලපාන බැවින් යෑයි සමාජ විද්‍යා පර්යේෂක මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් සඳහන් කරන අතර බුදු සමය ඉදිරිපත් කර ඇති නියාම ධර්ම වන බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය සහ චිත්ත නියාමය මානව හා සත්ත්ව උපත් කෙරෙහි බලපාන බැවින් බීජ නියාමයට ආරය සම්බන්ධ වන බවත්, උතු නියාමයට පරිසරය සම්බන්ධ වන ආකාරයත් සිය සමාජ විද්‍යාවේ මූලධර්ම කෘතියෙන් සාකච්ඡා කරයි. නූතන සමාජ විද්‍යාඥයන් පවා තහවුරු කර සිටින්නේ උපතින් සෑම මනුෂ්‍යයෙකුටම හිමිවන්නේ එකම අයිතිවාසිකම් පද්ධතියක්‌ බවයි.

එරික්‌ ප්‍රොම් නමැති මනෝවිද්‍යාඥයාගේ දැක්‌ම වන්නේ සත්ත්ව වර්ගයාගෙන් ක්‍රමයෙන් පරිණාමයට පත් වූ මිනිසා ස්‌වයං විඥානය දියුණු කර ගැනීමෙන් සත්ත්වයාට වඩා ඉහළට නැගි බවත්, තමාගේ ස්‌වාභාවික වනාන්තර නිවාස හා පරිසරයෙන් ඈත්වීම කවරදාකවත් යළි එහි ආපසු නොයන තරමට සිදුව ඇති බවත්, මුල්ම අවධියේ මිනිසා සතු සහජාශයන් කිසිවිට ආපසු ලබා ගැනීමට ඉඩක්‌ නොමැති බැවින් මිනිසා සිය සාමාජිකයන් සමඟÊපවත්වනු ලබන අෙන්‍යාන්‍ය සබඳතාවන් ජීව විද්‍යාත්මකව පමණක්‌ විග්‍රහ කොට තේරුම් ගත නොහැකි බවයි.

බුදු සමයේ සමාජ දර්ශනයට අනුව විශද කරන්නේ ඊශ්වර නිර්මිත කිසිවක්‌ මිහිපිට නැති බවයි. මනුෂ්‍යයාගේ කායික හා මානසික සංවර්ධනයට බුදු සමය වැදගත් කරුණු රැසක්‌ සමාජගත කර ඇති අතර ග්‍රීක දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ ස්‌ථරායනය ලෙස රටක්‌ ආරක්‍ෂා කරන පාලකයන් වැඩ කරන ජනතාව සහ අවශේෂ අය වශයෙන් සංකල්පයක්‌ ඉදිරිපත් කළේය. තවද වේද, හා උපනිශද් ග්‍රන්ථයන්හි එන දර්ශන භාරතීය වින්තකයන්ට අභ්‍යාස සැපයීමට සමත්වීම තුළින් සමාජ බලපෑමක්‌ සිදු වූ බව කිව යුතුය. උපනිෂද්වල මනස අනන්ත යෑයි සඳහන් වෙයි. (බෞද්ධ දර්ශනය හා ෂඩ් දර්ශනය, හිරිපිටියේ පCඳ්C¹කිත්ති හිමි, 2001 පිටු අංක 28)

මානව හා සත්ත්ව සංහතිය කෙරෙහි කරුණාව සහ මෛත්‍රිය දැක්‌වීමෙන් උතුම් මානුෂීය දර්ශනයක්‌ ලොවට ඉදිරිපත් කළ උත්තරීතර මනුෂ්‍යයා වූ බුදුරජාණන්වහන්සේ භාරතීය වර්ණ භේදය තුළ පැවැති මිථ්‍යාව නිර්වද්‍ය කිරීමෙන් නොනැවතී ප්‍රායෝගික වශයෙන් සාමානත්ව දහම ක්‍රියාත්මක කළේ, සිවු කුලයේම ජනයාට පැවිදි භාවයට දොරටුව විවෘත කිරීමෙනි. එලෙස පැවිදි වූ හීන හා නීච යනුවෙන් වෙන්කළ මනුෂ්‍යයන් හට රාජ රාජ මහා අමාත්‍යාදීන් පමණක්‌ නොව දෙවියන් බඹුන් පවා වන්දනය කළ බව බුදු සමය පෙන්වා දෙයි. 

එසේම වරප්‍රසාද අහිමිව සිටි ජනයාට ආත්මාභිමානයෙන් හා මානසික තෘප්තියෙන් යුතුව සමාජ ක්‍රියාකාරිකයන් ලෙස අනුයෝජනය වීමට අවස්‌ථාව උදාකර දුන් බුදුන්වහන්සේ බමුණන්ගේ මෙන්ම ශුද්‍රයන්ගෙන් ද ප්‍රත්‍ය පිළිගත්හ. දළ ආහාර මෙන්ම නොදළ ආහාර ද වැළඳීමෙන් ආරාධනයක්‌ ලැබුණ ඕනෑම දිළිඳු මෙන්ම පහත් කුල නිවෙසකට වැඩම කරමින් පිහිට විය යුතු සෑම කෙනකුටම පිහිට වෙමින් සිය ශ්‍රාවක සමූහයාට පමණක්‌ නොව තුන් ලොවටම පරමාදර්ශී වූ ජීවිතයක්‌ ගත කළ එකම ශාස්‌තෲන් වහන්සේ බව අවධාරණය කළ යුතුය. උන්වහන්සේ තත්කාලීන සමාජ ව්‍යqහය වෙනස්‌ කිරීමෙහිලා පියවර ගත්තේ මෛත්‍රී සහගතව හා කරුණාව පෙරදැරි කර ගෙනය. 

වර්ණ භේද වාදය සාවද්‍ය බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවූ බවත් ඒසුකාර සූත්‍රය මගින්ද බමුණන්ගේ ඥාන විභාග පදනම අරුත්සුන් පරම්පරාගත විශ්වාස මිථ්‍යාවක්‌ බවත් අස්‌සලායන සූත්‍රයෙන් ද පෙන්වාදුන් අතර බ්‍රහ්මණයන් අන්ධ විශ්වාස ගැන එල්බ ඇති බව වංකී සූත්‍රයෙනුත් පෘථිවියෙහි ක්‍රම විකාශය හා මානව සමාජ විකාශය හා ස්‌වභාවය හා භෞතික ආර්ථික සාධකයන්හි වෙනස්‌කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳව නිදුසුන් සහිතව අග්ගඤ්ඤ සූත්‍රයෙනුත් ලෝකයාට මැනවින් පහදා දුන්හ. එසේම සහජයෙන්ම වර්ණ භේදය තහවුරු කිරීම පිණිස ජාති ලක්‍ෂණ නොමැති බව සුත්ත නිපාතයේ වාසෙට්‌ට සූත්‍රයෙන් ද බුදුන්වහන්සේ අවධාරණය කර ඇත. 

මේ අයුරින් පිරිසිදු කුල ගැන විශ්වාස කරමින් කුලභේදය පවත්වාගෙන යැම හා ඊට උත්සාහ දැරීම නිරර්ථක බව පසක්‌ කරන ලද අතර "සඤ්ඤාහේස ලෝකස්‌මිං" යනුවෙන් ජාති, කුල, ගෝත්‍ර, සංඥා සම්මුති මාත්‍ර පමණක්‌ බවත් පැහැදිලි කර දුන්හ. 

මිත්‍ය මත වාද එල්බ ගත් මිනිසා තුළ සාරාර්ථ සංකල්පනා බිහිනොවන බවත් සනාතන වැදගත් කමකින් තොර පහත් චර්යාවන් කෙරෙහි සිත එලවන බවත් බ්‍රාහ්මණ සමාජයේ පිරිහීමට හේතුවුණ කරුණු අතර සැලකිය හැකි කරුණු වන අතර යාග හෝම බිලි, බලි පූජා ඇතුළු නිරර්ථක ක්‍රියාවන් (රජු සිය පාලනය ආරම්භ කළේ රාජ්‍ය සූය නමැති මහා පරිමාණ බිලි පූජා සහිත යාගයකිනි) ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් බලපාන ලද භෞතික හා අභෞතික කරුණු රැසක්‌ බ්‍රාහ්මණ සමාජයේ විසංවිධානයට බලපාන ලදැයි පැහැදිලි වන අතර පැවති සමාජ ස්‌ථරායනය බිඳ වැටීමට එය බලපාන ලද ආකාරය මෙම කරුණු අනුව සනාථවෙනු ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඊට අභියෝගාත්මක ලෙස විවිධ ආගමික කණ්‌ඩායම් බිහිවිය. උපරිතලයේ සිටි බ්‍රාහ්මණයන් කල් යත්ම පිරිහීම හේතුකොට ගෙන ඒ තැනට ක්‍ෂත්‍රියයන් පත්විය. මගධය ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්තවෙමින් පැවති පරිභ්‍රාජක හා ආජීවක නිකායවලට ක්‍ෂත්‍රීය සහයෝගය වඩ වඩා ලැබෙන්නට විය. බිහාරය ආශ්‍රිතව ශ්‍රමණ කණ්‌ඩායම් විය. උපනිශද් යුගයේ අවසාන භාගයේ බ්‍රාහ්මණයනට අභියෝගීව ඇරඹි ක්‍ෂත්‍රීය ව්‍යාපාරයේ ප්‍රතිඵලය වූයේ ජෛන සමය හා බුදු සමය පහළ වීමය. ජෛන සමය වර්ධන මහාවීර තුමන් ද බුදුසමය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගෙන්ද ක්‍ෂත්‍රීය පරම්පරාව ඇසුරුකොට පහළ විය. ක්‍රි.පූ. 6 වන ශත වර්ෂයේ පහළ වූ ආගමික දර්ශනයන්හි ඇතැම් පොදු ලක්‍ෂණ පෙන්නුම් කළ ද මූලධර්ම අතින් පරස්‌පර විරෝධී ලෞකික හා ලෝකෝත්තර තත්ත්වයන්හි විශාල වෙනසක්‌ පෙන්නුම් කරයි. 

ලාංකික සමාජ සභ්‍යත්වය හා සාහිත්‍ය කලා පිළිබඳව විමසීමේදී පූර්ව යුගයේ සිට (තන්තිරිමලේ ගුහා සිත්තම්) මේ දක්‌වා ක්‍රමයෙන් වෙනස්‌ වී වත්මන් ස්‌වරූපය ගැනීමට විදේශ සංස්‌කෘතික හා කලා ආභාෂය මෙන්ම ලාංකීය නිර්මාණකරුවාගේ (අනුරාධපුර සමාධි පිළිමය වැනි නිර්මාණ) දක්‍ෂතා ඔප්නැංවීමෙහිලා දේශීය සමාජය මුහුණ පෑ සමාජ පරිවර්තනද බලපාන්නට ඇති බව අවධාරණය කළ යුතු වෙයි.

"ආදි මනුෂ්‍යයන් එක පතිනියක ගැනීම උසස්‌ සිරිතක්‌ කොට සලකන්නට වූ තැන් පටන් ස්‌ත්‍රිය සමාජ සිරිතින්ද දාස වෘතයෙන් ද බඳිනු ලැබුවාය. එහෙයින් කුමාරිකා අවස්‌ථාවෙහිදී තමාගේ පිරිසිදු බව ස්‌ත්‍රිය විසින් රැක්‌ක විය යුතු විය. නොරැක්‌ක හැකිවූ විට ඈ කුලය ද සමාජය ද විසින් දරුණු නින්දාවට භාජන කරනු ලැබුවාය. සමාජයෙන් එළවනු ලැබූ ඈ සිඟමනින් ජීවත් වූවාය". (සිංහල සාහිත්‍යයේ නැගීම, මාර්ටින් වික්‍රමසිංහ, 1958, පිටු අංක 234) 

භාරතීය කුල ආභාෂය යාබද ශ්‍රී ලංකාවේ ද බලපෑ අන්දම ඉතිහාස සටහන් මගින් මනාව නිරූපණය වෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පුරා කථා අනුව මහත් තේජසින් හා බලපරාක්‍රමයෙන් යුතුව මෙරට රජ කළ රාවණ තෙමේ, පුලස්‌ති මහ සෘෂිහුගේ මුනුපුරාය. සප්ත හර්ෂි ගණයට අයත් පුලස්‌ති ලංකාවේ, ඉන්දියාවේ පමණක්‌ නොව ඈත පෙරදිග රටවල් රැසකම සිය අණසක පැවැත්වූවෙකු ලෙස සැලකේ. රාවණ රජුන්ට සංස්‌කෘත භාෂාව පිළිබඳ විශාරද තත්ත්වයක්‌ තිබුණ බැව් (ඔහු විසින් රචිත යෑයි සැලකෙන) කුමාර තන්ත්‍ර හා අර්ථ ප්‍රකාශ ග්‍රන්ථ නිදසුන් ලෙස ගත හැකි බව පණ්‌ඩිත තේරිපැහැ සෝමානන්ද හිමියන් විසින් පෙන්වා දී ඇත. (අනුරාධපුර සමයේ සකු පුබුදුව, රසවාහිණී 1960) 

"සිංහලයෝ තුමු ඔවුන්ගේ වංශවතුන් හට "හන්දුරුවෝ යෑයි කියති. මා කල්පනා කරන හැටියට මෙය රජුන් සඳහා භාවිතවන "මැජස්‌ට්‌" යන අර්ථයෙන් හාමුදුරුවන් යන පදයෙන් බිඳී ව්‍යවහාරයට පැමිණි නාමයකි. රජතුමා ද ඔහුගේ රාජ මාලිගාවේ නිලධාරීන් හා පළාත් සමන්ත, දිසාපති ආදී උසස්‌ නිලධාරීන් තෝරා පත් කර ගන්නේ මෙම වංශවත් කුලවලින්මය. මේ රටේ වස්‌තුව හෝ ධනය හෝ එතරම් ගරු නොවේ. සමහරවිට හීන කුලිකයෙකුට වස්‌තුවෙන් ධනයෙන් වංශවත් කුලිකයෙකු අභිබවන්නට පුළුවන. එහෙත් ඔහුගේ හීන ජන්මය මකා ගන්නට එම වස්‌තුවෙන් හෝ ධනයෙන් ඔහුට පිහිටක්‌ නොවන්නේය. කාසියෙන් වංශය වනසාලිය නොහැක්‌කේය. වංශවතුන් ඇඳුමෙන් ද නාමයෙන්ද සෙසු වැසියන්ගෙන් වෙනස්‌වෙති. අඩු කුලයේ ස්‌ත්‍රීහු දණ හිසට රෙදි කඩක්‌ ඇඳ උඩුකය නග්නව තබා ගත යුත්තාහ. "එදා හෙළදිව, රොබට්‌ නොක්‌ස්‌, පරිවර්තනය, ඩේවිඩ් කරුණාරත්න, 2001, පිටු අංක 208, 209) 

බුදුන්වහන්සේ දේශනා කළ පංච ශීල ප්‍රතිපත්තිය කාලාම සූත්‍රය, ධම්ම පදය ප්‍රමුඛ ත්‍රිපිටකයේත් හින්දු ආගමේ තිරුක්‌කුරල් ග්‍රන්ථයේත්, ක්‍රිස්‌තු ධර්මයේ දස පනත ඇතුළු බයිබලයේත්, ඉස්‌ලාම් ආගමේ කුරානයේත් දක්‌වා ඇත්තේ අවිහිංසාව, කරුණාව, මෛත්‍රි කරුණාව වැනි උදාර සංකල්පයත් දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිතයන්, දරිද්‍රතාවයෙන් පෙළෙන්නවුන් වැනි සාමාජයේ රැකවරණය ලැබිය යුතු ජනකොටස්‌වලට සැළකිය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට දරා ඇති යහපත් ලක්‍ෂණයන්ය. (මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය විසින් සම්පාදිත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, පිsටු අංක 14) 

ශ්‍රී ලංකාවේ ද ජාති, කුල, ආගම්වාදීන් වශයෙන් මතුවීමට සමාජ ආර්ථික දේශපාලන හා සංස්‌කෘතික හේතු බලපවත්වන්නට ඇත. ජනයා වර්ග වී සමාජ කටයුතු ඉටුකිරීමේ ඉතිහාසය පණ්‌ඩුකාභය රාජ්‍ය සමය තෙක්‌ දිවයන බව ලිත ඉතිහාසය තුළ සනිටුහන්ව ඇත. භාරත දේශයේ සමාජගතව පැවති කුලවාදය හා ඊට අනුගතව පැවති සමාජීය ලක්‍ෂණ ආර්ය සංක්‍රමණයත් සමග විවිධ ස්‌වරූපයෙන් සමාජගතව වර්ධනය විය. 

ආශ්‍රිත කෘති(- 

1. ආදි බෞද්ධ චින්තනය, චන්දිම විඡේබණ්‌ඩාර, 
එච්. එම්. මොරටුවගම 1995 

2 බෞද්ධ සමාජ දර්ශනය මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර 1996 

3. ඉතිහාස ධාරා, ක්‌ෂාවියර් පින්තු සහ ඊ.ජී. මියාල්, 
පරිවර්තනය මහාචාර්ය මංගල ඉලංගසිංහ, 2002 

4. බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්‌ටනය, 
මහාචාර්ය දිගල්ලේ මහින්ද හිමි. 

5. ඉන්දියාවේ ඉතිහාසය, ක්‍රි.ව. 1206 දක්‌වා, 
අධ්‍යාපන ප්‍රකාශන දෙපා. 

6. සමාජ විද්‍යාවේ මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය, 
එන්. වී. ජී. ඒ. හේමන්ත. කුමාර, 2008 

7. අසිරිමත් ඉන්දියාව, ආචාර්ය ඒ. එල්. බෂාම් ,පරිවර්තනය, 

8. ඉන්දු ලංකා ආගමික සබඳතා, 1964, රසවාහිණී, 
2010. 04. 18 ඉරිදා දිවයින 

9. සමාජය කියවීම 2, සෙනෙවි එපිටවත්ත, 2006. 

10. සිංහල සාහිත්‍යයේ නැගීම, මාර්ටින් වික්‍රමසිංහ, 1958, සමන්. 

සුනිල් කුමාරසිංහ අතුකෝරල 
දිවයින පුවත්පත

Post a Comment

0 Comments