සෙනසුරු මාරුව 2017 ජනවාරි


මෙතෙක් කුජ හෙවත් අගහරුට අයත් වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටි සෙනසුරු 2017 ජනවාරි 25 වනදා පස්වරු 6 - 14 ට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට අයත් ධනු රාශියට පැමිණෙන අතර මෙය ජ්‍යෙතිෂයට අනුව වැදගත් ග්‍රහ අවස්තාවකි.සෙනසුරු මාරුව පිලිබදව ලිවීමට බොහෝ දේ ඇත.එයට පෙර සෙනසුරු ධනු රාශියේ ගමන්කල ආසන්නම අවස්තාවන් පිලිබදව පැහැදිලි කිරීමක් කල යුතුය.එවිට ජ්‍යෙතිෂය පිළිගන්නා නොපිළිගන්නා සියලුම දෙනාට යම් පමණක අවබෝධයක් ඉදිරි වසර තුනක කාලය පිලිබදව ඇතිකරගැනීමට හැකිවනු ඇත.

මෙම ලිපිය කියවනා අය අතරේ 1958 ට පෙර උපන් අයද 1987 ට පෙර උපන් අයද සිටිනු ඇත.ඔබ කල යුත්තේ 1958 පෙබරවාරි 08 වනදා සිට 1961 සැප්තැම්බර් 18 අතර කාලය පිලිබදවත් , ඉන් අනතුරුව 1987 දෙසැම්බර් 17 වනදා සිට 1990 දෙසැම්බර් 15 වානදා දක්වා කාලය පිලිබදව ඔබගේ මතකය අවදිකර බැලීමයි.තමන්ගේ මවගෙන් පියාගෙන් වැඩිහිටියෙකුගෙන් එම කාලය , තමන්ට , තම පවුලට උදාවී පැවති තත්වය පිලිබදව අසා දැනගන්න.යහපත් ලෙස එම කාල සීමාවන් ගෙවීගොස් ඇත්නම් මෙවර සිදුවන සෙනසුරු මාරුව පිලිබදවද එතරම් බියක් නොදක්වන්න.නමුත් අයහපත් කටුක අත්දැකීම් සහිතව එම කාල සීමාවන් ගෙවීගොස් ඇත්නම් , මෙවර 2017 ජනවාරියේ සිදුවන සෙනසුරු මාරුව සමග ඉදිරි වසර තුනක කාලය , එනම් 2020 ජනවාරි 26 වනදා දක්වා කාලය ප්‍රවේසමෙන් කටයුතු කරන්න.මෙය සෙනසුරු මාරුව ඔබට බලපාන ආකාරය පිලිබදව සරල අවබෝධයක් ලැබීමට ඔබ සියලු දෙනාටම පිටුවහලක් වනු ඇත.

1958 වන විට මෙරට පාලන බලය හෙබවූයේ එවකට අග්‍රාමාත්‍ය සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා විසිනි.1959 සැප්තැම්බර් 26 වනදා තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්විය.1958 මැයි මසදී දිවයිනේ සිංහල සහ දෙමළ ජන වර්ග දෙක අතර මතබේධ වර්ධනය වන්නට විය.එය 1958 ලංකා කෝලහාලය ලෙස ඉතිහාසයට එක්විය.මෙම හර්තාල් ව්‍යාපාරය පැවති කාලයේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා කුඩා අවදියේ පසුවූ අතර , පසු කාලයක ඔහු කියා සිටියේ 1958 සිදුවූ සිදුවීම් තමන්ගේ දේශපාලණික ගමන් මග වෙනතකට හැරවූ බවයි.මෙම කාල සීමාව මෙරට දේශපලණයේ කැලඹීම් සහිත කාලයක් විය.1958 පෙබරවාරි 08 වනදා ධනු රාශිගතවූ සෙනසුරු නැවත ජුනි 02 වනදා සිය වක්‍රගමන වෘශ්චික රාශිය වෙත යොමුවිය.එතැන් සිට නොවැම්බරය දක්වා වක්‍ර ගමනේ යෙදෙමින් සිටි සෙනසුරු නැවතත් නොවැම්බර් 07 වනදා ධනු රාශිගත විය.1961 පෙබරවාරි 01 වනදා සෙනසුරු මකරයට පැමිණෙන තුරු , අතර කාලයේ මෙරට දේශපාලනය තද කැළබීම් සහිතව ගෙවී ගිය අතර රාජ්‍ය පාලකයාගේ හදිසි මරණයද සිදුවිය.මේ සෙනසුරු ධනු රාශියේ ගමන්කල ආසන්න කාලපරිච්ඡේදයකි.

ඉන් අනතුරුව 1987 දෙසැම්බර් 17 වනදා සෙනසුරු ධනු රාශිගත වූ අතර 1990 දෙසැම්බර් 15 වනදා දක්වා ධනු රාශියේ සෙනසුරු ගමන් කලහ.මෙම කාල සීමාව ලංකා ඉතිහාසයට අදුරු මතකයන් බොහෝ එක්කලහ.උගතුන් බුද්ධිමතුන් මෙන්ම දේශපාලකයන් සහ සාමාන්‍ය මහජනතාව ඝාතනයට ලක්වූවේ මහමගය.ගිණිගන්නා ටයර් මතය.මිනිසුන්ගේ හිස කදින් වෙන්ව , විදුලි කණු මත එල්ලෙමින් තිබූ බව , අතීතය මතක කවුරුත් දන්නා වූ කරුණකි.මෙම කාලයේ ප්‍රචණ්ඩත්වය මෙහෙයවූයේ ඉතා උසස් අධ්‍යාපණයක් ලැබූ ප්‍රධාන චරිත කිහිපයකි.එනම් උගතා බුද්ධිමතා සිය ගමන් මග හාත්පසින්ම වෙනස්වූ මගකට යොමුකල සමයකි.1958 - 61 අතර කාලයත් 1987 - 90 කාලයත් සෙනසුරු ගමන් කරමින් සිටියේ ධනු රාශියේ වන අතර , එය ලංකා නිදහස් කේන්ද්‍රයේ එකොලොස්වැන්න විය.එය ලංකා කේන්ද්‍රයේ ආරූඪ ලග්නය පිහිටි ස්තානයයි.පුද්ගලයෙකුගේ නම් ප්‍රතිරූපය පිලිබදව කියවෙන ස්තානයයි.මෙලෙස සෙනසුරු ධනු රාශියේ ගමන්ගත් සියලු කාල සීමාවන් තුල ලංකා භූමියේ අයිතිය පිලිබදව තදබල ගැටලු බලපෑම් ඇතිවිය.එය ඉහත සදහන් කාල පරිච්ඡේදයන් දෙක පිලිබදව අවධානයෙන් යුතුව විමසීමෙන් අවබෝධ කරගත හැකිවෙයි.මෙම කාලසීමාවන් දෙකම මෙරට ප්‍රධාන දේශපාලකයන්ට මාරක කාලයක් විය.

මෙවර සෙනසුරු ධනු රාශියට පැමිණීමට පෙර සිටම , නව ආණ්ඩුක්‍රම විවස්තාවක් පිලිබදවත් , ලංකා භූමියේ ඉඩම් විදේශ සමාගම් සදහා විකුණා දැමීම් පිලිබදවත් කතා බහ වෙමින් ඇත.මෙයින් ඉදිරියට දේශපාලණය පිලිබදව වැඩි යමක් නොකියන අතර එය ඉදිරි කාල සීමාව තුලදී අවබෝධ වනු ඇත.කිව යුතු වන්නේ ලංකා දේශපලනයේ 2017 න් ඉදිරියට උදා වන්නේ සුබදායක කාලයක් නොවන බවයි.දේශපාලණ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි අබිරහස් සිදුවීම් සිදුවිය හැකි , උගතුන්ට බුද්ධිමතුන්ට මෙන්ම දේශපාලකයන්ටත් මාරක පවතින කාලයකි.දේශයේ අයිතිය වෙනුවෙන් විශේෂ ගැටලුකාරී තත්වයන් මතුවනු ඇත.2017 ජුනි 22 වනදා සෙනසුරු වක්‍රයෙන් වෘශ්චික රාශිය බලා ගමන් කරන අතර , සෙනසුරු ඔක්තෝම්බර් 25 වනදා නැවත ධනු රාශියට පැමිණෙයි.මෙම කාල සීමාව විශේෂයෙන් ප්‍රවේසම්විය යුතු කාල සීමාවක් වෙයි.රාශි දෙකක් අතර සෙනසුරුගේ මෙම වක්‍රවීම 2005 වසරේ ජනවාරියේත් 2006 වසරේ නොවැම්බර් මාසයේත් සිදුවූ අතර එයින් පසුව 2017 වසරේ මැද භාගයේදී මෙලෙස සෙනසුරු රාශී දෙකක් අතර වක්‍ර ගමනක යෙදෙනු ඇත.

ඉහත සදහන් කරනු ලැබූවේ සෙනසුරු ධනු රාශිය තුල ගමන්ගත් ආසන්නම කාල පරිචේඡේදයන් පිලිබද කෙටි විස්තරයකි.එම කාල සීමාවන් තුල පුදගලයෙකු ලෙස , ඔබ උපත ලබා සිටියේ නම් , එම කාල සීමාවන් , ඔබට ගෙවීගිය ආකාරය පිලිබදව තරමක හෝ අවබෝධයක් ඔබ ලබා සිටිනු ඇත.ඉන් පසු කාලීනව උපන් ඔබගේත් , සියලු දෙනාගේත් ඒ ඒ ලග්නයන්ට අනුව , 2017 - 20 අතර කාලයේ සෙනසුරු ඔබට බලපාන ආකාරය පිලිබදව සාපේක්ෂ පලාඵල විස්තරයක් පහත දැක්වෙයි.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබ සෙනසුරුගේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ගෙවමින් සිටි අතර එම අපල කාලය ජනවාරි 25 වනදායින් අවසන් වේ.නමුත් ඔබගේ ජම්ම පත්‍රයෙහි සදු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ පිහිටා ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු ලග්නයෙන් නමවැන්නේ පිහිටා තිබේ නම් ජම්ම ඒරාශ්ටක අපලයත් 2017 - 20 අතර කාලයේ යෙදෙනු ඇත.2017 ජුනි 22 වනදා සිට ඔක්තෝම්බර් 25 වනදා දක්වා කාලසීමාව ප්‍රවේසම් විය යුතුය.සෙනසුරු නැවතත් අශ්ටම ඒරාශ්ටක තත්වය මේ කාල සීමාව තුල ඇති කරවයි.

සෙනසුරු මාරුවේ වෙනස විශේෂයෙන් බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝම්බර් 25 වනදා පසුවීමෙන් පසුවය.එතෙක් කාලය ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්වේ.ඒරාශ්ටක අපලය අවසන් කරන මේෂ ලග්නයෙන් උපන් ඔබට තරමක සහනදායී කාල සීමාවකි.රැකියාව සම්බන්ධව , ආදායම් සම්බන්ධව , ලැබීම සම්බන්ධව ගැටලු යෙදී පැවතියේ නම් ඒවා නිරාකරනය කරගැනීමට අවස්තාව උදාවන අතර , රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූවේ නම් 2017 සැප්තැම්බරයෙන් ඉදිරියට ඒ සදහා අවස්තාව උදාවනු ඇත.ස්තානීය වෙනස්කම් ඇතිකරයි.දේව භක්තිය ඇතිවේ.ඇදහීම් විස්වාසයන් සහ ගුප්ත සාස්ත්‍රයෙන් වැඩ ගැනීමට සිතයි.පවුලේ වැඩිහිටියන් සම්බන්ධව එතරම් සුබදායක නැත.දුර බැහැර ගමන් , දුෂ්කර ගමන් මෙන්ම වන්දනා ගමන් කිහිපයක් යෙදෙනවා ඇත.ආගමික කටයුතු සදහා අවස්තාව උදාවේ.ඉඩකඩම් දේපල සම්බන්ධව කටයුතු සිදුවේ.වැඩිමහල් සහ බාල සහෝදරයෙකුට අපලදායක වන අතර අසල්වැසියන්ගේ ගැටලු සදහා මුහුණ දීමට සිදුවිය හැකිය.සතුරු කරදර පීඩා මතුවූවත් ඒවා විසදා ගැනීමට අවස්තාව සැලසේ.වාතාබාධයන් , දනහිසේ ආබාධයන් මතුවිය හැකි කාලයකි.ඒරාශ්ටකයක් අවසන්වීමේ වාසිය සහිත කාලයක් නිසා , නවතා තිබූ , අතහැර දමා තිබූ කටයුතු නැවත ආරම්බ වනවා ඇත.ජීවිතයේ යම් යම් සිදුවීම් පිලිබදව කලකිරීම් මතුවිය හැකිය.අමනාපයෙන් සිටි  නෑ හිතවතුන්ගේ ඇසුර ඇතිවේ.ඔවුන්ගේ උදව් උපකාර ලැබෙනවා ඇත.වැඩිහිටියන් සමග සම්බන්ධතා ඇතිවන අතර එම සබදතා වැඩි දුර පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්වයන් මතුවිය හැකිය.2019 වසරේ ජනවාරියේ සිට 2020 දක්වා වූ කාල සීමාව තදබල වාතාබාධයන් මතුවීමට , දැඩි දෙව භක්තියක් ඇතිවීමට හේතු පවතී.පවුලේ වැඩිහිටියෙකුගේ මරණයක් සිදුවිය හැකි අතරම ඉගෙනීම් කටයුතු නව මගක ගමන් කරයි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 - 20 අතර කාලය ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ගෙවීයයි.උපතේදී සදු ලග්නයේ සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල සමග ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යන , අපල දෙක එකම කාල සීමාවක යෙදෙනා අතර , සදු උපතේදී ලග්නයෙන් අටවැන්නේ යෙදී තිබුණේ නම් ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට සිදුවනු ඇත.වෘෂභ ලග්නයෙන් උපන් ඔබට යෝග කාරකයා හෙවත් යහපත සලසනා ප්‍රබලම ග්‍රහයා වන්නේ සෙනසුරු ග්‍රහයා වන අතර , එම සෙනසුරු ඒරාශ්ටක අපලයකින් දුර්වලවීම යනු , ඔබට උදව් උපකාර කල අයම , ඔබට පෙරලා අයහපත ඇතිකරනවාක් වැනිය.එම නිසා වෘෂභ ලග්නයෙන් උපන් ඔබ ඉදිරි වසර තුනක කාල සීමාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.සෙනසුරු මහදසා අතරු දසා මෙම කාල සීමාව තුල යෙදී ඇත්නම් තවදුරටත් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.

රැකියාව සම්බන්ධව ගැටලුකාරී තත්වයන් ඇතිවනවා ඇත.රැකියාවේ දුෂ්කරතා මතුවේ.රැකියාවේ ගැටලු මතුව පැවතියේ නම් රැකියාව අහිමිවීමට හෝ රැකියාවේ දුෂ්කර ස්තාන මාරුවක් යෙදිය හැකිය.මානසික පීඩා බලවත්වෙයි.විවාහක වෘෂභ ලග්න හිමියන් , තම විවාහ සබදතාවය රැක ගැනීමට කටයුතු කල යුතුය.සහකරු හෝ සහකාරිය සමග මතබේධ ඇතිකරයි.ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීම් මතුවනු ඇත.ණය තුරුස් වීමට සිදුවිය හැකි අතරම ලැබීමට පැවති ලැබීම පවා ප්‍රමාධයට ලක්වෙයි.ආදර ප්‍රේම සබදතා පිලිබදව විශේෂ ගැටලු ඇතිවන අතර සබදතා අතරමග කැඩී බිදී යා හැකිය.තමන්ට නොගැලපෙන හිතවත්කම් මෙන්ම , සබදතාවයන් ඇතිවන අතර රැවටීම් සිදුවීමට අවස්තාව පවතී.දරුවන් සම්බන්ධවද සැනසීම් රහිත කාලයකි.දරුවෙකු අසනීපයකට ලක්වීමට හෝ දරුවෙකු පිලිබදව වෙනත් ගැටලු මතුවිය හැකිය.ඉගෙනීම් සම්බන්ධව පසුබෑම් සිදුවිය හැකි අතර , නොකඩවා පවත්වාගෙන යන ඉගෙනීම් කටයුතු අතරමග නැවතිය හැක.අතපසුවීම් සිදුවිය හැකිය.පවුලේ වැඩිහිටියන්ට සුබදායක නැත.තම පියාට විශේෂයෙන් අයහපත්වේ.තමාට හිතවත් වැඩිහිටියෙකුගේ මරණයක් සිදුවනු ඇත.හවුල් ව්‍යාපාරාදියෙන් පාඩු සිදුවිය හැකිවාක් මෙන්ම හිතවතාම , විස්වාසවන්තයාම වංචා සිදුකරයි.ආගම් සහ දේව භක්තිය වර්ධනයවේ.දුර බැහැර දුෂ්කර ගමන් යෙදෙනා අතර අදික වියදම් පාඩු සිදුවෙයි.වාතාබාධයන් , අස්ති බිදීම් , පාදයේ ආබාධයන් යෙදෙනා අතර බඩ යටිබඩ ආශ්‍රිතව රෝග තත්වයන් මතුවනවා ඇත.අමනුෂ්‍ය දෝශයන්ට ලක්වීමට , සිතේ බිය සැක සංකා ඇතිවීමට අවස්තාව පවතී.වෘෂභ ලග්නයෙන් උපන් ඔබ මෙම වසර තුනක කාලය ඉතා ප්‍රවේසමෙන් , දුර දිග බලා කටයුතු කල යුතුමය.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවෙයි.උප්පත්තියේදී සෙනසුරු ලග්නයෙන් දොලොස්වැන්නේ පිහිටා සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකයත් ලග්නයෙන් හත්වැන්නේ සදුගේ පිහිටීම වූවේ නම් ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනවා ඇත.එසේ නොවූ මිතුන ලග්න හිමියන්ට සෙනසුරු හත්වැන්නේ ගමන්කිරීම සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවයි.

වෙනදා නොපැවති ගමන් බිමන් ඇතිවේ.නිතර නිතර ගමන් බිමන් යෙදීම නිසා පවත්වාගෙන ආ, කරගෙන ආ කටයුතු අතපසුවීමක් සිදුවිය හැකිය.රැකියාවේ දුෂ්කරතා , කාර්‍ය බහුලතා ඇතිවේ.වගකීම් වැඩි කාලයකි.සිතේ මනසේ නොසන්සුන් බවක් ඇතිකරවයි.දේපල සම්බන්ධව හෝ ඉදිකරමින් පැවති නිවාස දේපල සම්බන්ධව යම් යම් ගැටලු මතුවිය හැකි අතරම අතරමග නවතා දැමීමට සිදුවිය හැකියි.තමාගේ වටිනා දෙයක් අන්සතු වන්නට , අහිමි වන්නට හේතු පවතී.සිතේ සැකය සහ අස්තාවර බවක් ඇතිකරයි.විවාහකයන් අතර මතබේධ හෝ සහකරු සහකාරි සම්බන්ධව සෞඛ්‍ය දුර්වලතාවයන් ඇතිවිය හැකිය.සම්මත සබදතාවයන් ඇතිවීමට විවාහ දිවිය තුල පැවති සතුට සාමයට බාධාවන සිදුවීම් ඇතිවිය හැකිය.සමාජ සබදතා වලදී සැලකිලිමත්විය යුතුය.නින්දා අපහාසයක් හෝ බොරු චෝදනාවකට ලක්විය හැකිය.නමුත් විවාහ බලාපොරොත්තුවෙන් සිටියේ නම් බාධා අවහිරතාවයන් යටතේ උවත් විවාහයක් සදහා අවස්තාව සැලසේ.විදෙස්ගතවීම් බලාපොරොත්තු වූවේ නම් ඒ සදහා අවස්තාව සැලසෙනවා ඇත.ඕනෑම කටයුත්තක් උත්සහයෙන් කල යුතු වන අතර උත්සහය අනුව ප්‍රතිඵලය සාර්තක කරගැනීමට හැකියාව ලැබෙනවා ඇත.ආගම දහම පිලිබදවත් බාවනා ආදී සිත සනසන කටයුතු සදහා යොමුවීමත් සිදුවිය හැකිය.ඉගෙනීම් කටයුතු දුෂ්කරතා බාධා මැද සාර්තක වෙයි.සිතේ කලකිරීම් මතුවනවා ඇත.ආදරය ප්‍රේමය පිලිබද සාමාන්‍ය සිතුවිලි වෙනස්වේ.තමාට වඩා වැඩි වයසේ අයගේ ඇසුර ඇතිවේ.එයින් ලාබ ප්‍රයෝජන ලැබිය හැකි නමුත් සබදතා වැඩිදුර පවතින්නේ නැත.කාම රාග සිතුවිලි වෙනසකට ලක්වන අතර අසම්මත වූ හැසිරීම් ඇතිවිය හැකිය.අයහපත් පුරුදු ඇබ්බැහි වීම් සිදුවිය හැකිය.මෙම කාලයේ ඇතිවන ආදර ප්‍රේම සබදතාවයක් පහසුවෙන් අමතක කරන්නට බැරි , පහසුවෙන් කැඩී නොයන , සිතේ තදබල බැදීම් වනු ඇත.නමුත් එක් පාර්ශවයකට පසුතැවීම් බොහෝ ඉතිරි කරයි.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර , සදු ලග්නයෙන් එකොලොස්වැන්නේ පිහිටා සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු උපතින් ලග්නයෙන් හයවැන්නේ යෙදී පැවතියේ නම් ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනවා ඇත.මෙලෙස ඒරාශ්ටක අවස්තා යෙදේ නම් ඉදිරි වසර 3 ක කාලය ඉතා ප්‍රවේසමෙන් කටයුතු කල යුතු අතර , කටක ලග්නයට සෙනසුරුගේ ඒරාශ්ටක අපලය තදින් අසුබ ඇතිකරවයි.

2017 - 20 අතර කාලයේ ඒරාශ්ටක අපල නොයෙදෙන කටක ලග්න හිමියන්ට සෙනසුරු හයවැන්නට පැමිණීම සුබදායකවේ.විවාහය ප්‍රමාද වෙමින් පැවතියේ නම් විවාහය සිදුවන කාල සීමාවයි.නමුත් විවාහ දිවි ගෙවනා අයගේ සහකරු හෝ සහකාරිය සම්බන්ධව සෞඛ්‍ය ගැටලු දුර්වලතා මෙන්ම විවාහයට බලපෑම් ඇතිවන ආකාරයේ සතුරු කරදර පීඩාවන්ට ලක්වීමට සිදුවනු ඇත.විදෙස්ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත.සතුරන්ගෙන් ජය ලැබිය හැකි , නඩුහබ අවුල් වියවුල් පැවතියේ නම් ඒවා විසදාගනිමින් නව ගමනකට අවස්තාව සැලසෙනවා ඇත.තම දේපල ආදායම් සම්බන්ධව , මුදල් සම්බන්ධව ගැටලු යෙදී පැවතියේ නම් ඒවා විසදාගනිමින් අනාගත දියුණුව සදහා නව වැඩ කටයුතු ආරම්බ වනවා ඇත.ආදර ප්‍රේම සබදතා ඇතිවේ.ඒවා විවාහයක් දක්වා පවත්වාගෙන යාමට හැකිවනු ඇත.හිතවතුන්ගේ , විශේෂ පුද්ගලයන්ගේ උදව් උපකාර හිමිවනවා ඇත.පිලිගැනීමට ගෞරවය ලැබීමට අවස්තා සැලසේ.ආගමික කටයුතු හෝ උත්සව අවස්තා තම නිවසේ සංවිධානය වනු ඇත.තමාට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට , අතහැර දමා තිබූ දෙයින් නැවත ප්‍රයෝජන ලැබීමට , නව දේපලක් , යාන වාහනයක් මිලදී ගැනීමට පසුබිම සැකසේ.තමන්ගේ ශක්තිය බලය ක්‍රියාත්මකවෙයි.අනෙක තම මතයට නම්වා ගැනීමට හැකිවෙයි.සතුරාත් මිතුරු වනවා ඇත.කටක ලග්නයට 2017 - 20 අතර කාලයේ සෙනසුරුගේ ග්‍රහ ගමන සුබදායකවෙයි.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ තැම්පත්ව ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බ වන අතර සදු ලග්නයෙන් පස්වැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලය 2017 - 20 අතර කාලයේ යෙදෙනවා ඇත.එසේ නොවනා සිංහ ලග්න හිමියන්ට සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවනු ඇත.

තම පියාගේ සෞඛ්‍ය තත්වයට හානි ඇතිවිය හැකිය.පියා සමග මතබේධ මතුවිය හැකිය.විවාහ සබදතාවයට අසුබ බලපෑම් ඇතිකරවයි.සහකරු සහකාරිය පිලිබදව සෞඛ්‍ය දුර්වලතාවයන් හෝ වෙනත් ආකාරයේ මතබේධයන් මතුවන් කාලයකි.එමෙන්ම විවාහ දිවියට සැකය මූලික ගැටලු මතුකරයි.ආදර ප්‍රේම සබදතාවයන් පිලිබදවද ගැටලු මතුවන අතර වැඩිහිටියන්ගේ බාධා අවහිරතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.සබදතාවයන් බිදී යාමට හේතු පවතින අතර කෙටි කාලයක් තුලදී නැවත වෙනත් සබදතාවයන් ඇතිවේ.තමන්ගේ තත්වයට , වයසට නොගැලපෙන ආකාරයෙන් සබදතා ඇතිවේ.අනියම් කම්සැප ලාබයන්ට අවස්තාව පවතී.විශේෂ වැඩිහිටි සබදතාවයන් ඇතිවන අතරම ඔවුන්ගෙන් උදව් උපකාර මගපෙන්වීම් හිමිවේ.හවුලේ කරන කටයුතු තුලදී අනෙක් පාර්ශවය පිලිබදව සැක සංකා මතුවන අතර එම නිසා එම කටයුතු අතරමග නැවතීමට හෝ එයින් පාඩු සිදුවීමට අවස්තාව පවතී.එමෙන්ම මවගෙන් පැවති ලැබීම් හෝ , මවගේ ආදායම් තත්වය මෙන්ම සෞඛ්‍ය තත්වයටද ගැටලුකාරී බවක් ඇතිකරනවා ඇත.ජීවිතයේ වෙනස් තීන්දු තීරණ ගන්නා කාලයයි.ඉගෙනීම් කටයුතු තුලදී පසුබෑම් ඇතිවූවත් , නව ආකාරයේ විෂය කේෂත්‍රයක පුළුල් ඉගෙනුමක් ලැබීමට අවස්තාව සැලසෙනවා ඇත.ජ්‍යෙතිෂය , වෙදකම ආදී වූ අංශයන්ට යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටිනා අයට එම කටයුතු සාර්තක කරගැනීමට , තම උගත් දෙයින් සේවයක් සැලසීමට සහ ලාබයක් ලැබීමට අවස්තාව සැලසෙනවා ඇත.දරුවන් සිටිනා සිංහ ලග්න හිමියන් තම දරුවන් සම්බන්ධව ගැටලුවලට මුහුණ දීමට සිදුවන අතර දරුවන් තුළින් හිතුවක්කාර දඩබ්බර ගති මතුවනවා ඇත.අනියම් සබදතාවයන් ඇතිවීමට , භාහිර අයෙකුගේ විශේෂ අවධානයට ලක්වීමට අවස්තාව පවතී.එමෙන්ම හදිසි ගැබ් ගැනීම් ඇතිවීමටත් , අනියම් සබදතා පවත්වන්නේ නම් ඒවා සමාජයට නිරාවරනය වීමටත් අවස්තාව පවතී.දරුඵල ලාබ බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහා අවස්තාවක් උදාවන නමුත් , දරු ගැබට හානි වීමක් සිදුවිය හැකිය.විදෙස්ගතවීම් සාර්තක වනු ඇත.එමෙන්ම උදරගත රෝගබාධයන්ට අවස්තාව පවතී.ලැබීම සහ ආදායම සම්බන්ධව ගැටලු අවහිරතා සහ නිෂ්ඵල වියදම් යෙදෙනවා ඇත.රහස් කටයුතු සිදුවෙයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවෙයි.උප්පත්ති කේන්ද්‍රයෙහි සදු ග්‍රහයා ලග්නයෙන් නමවැන්නේ යෙදී ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු ලග්නයෙන් සිව්වැන්නේ නම් ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනු ඇත.මේ ආකාරයෙන් නොවූ කන්‍යා ලග්න හිමියන්ටද සෙනසුරුගේ 2017 - 20 අතර ග්‍රහ චාරය එතරම් යහපත් වන්නේ නැත.

නිවාස දේපල , තම අයිතිවාසිකම් පිලිබදව ගැටලු මතුවේ.නව කටයුතු ආරම්බ කිරීම දිනෙන් දින අතපසුවෙයි.මගහැරෙයි.සිත මනස අස්තාවර බවක් ගනී.ගෘහ මානසිකත්වය දුර්වලවේ.නිවසේ සිටීම එතරම් ප්‍රිය නොකරනා කාලයකි.නිවසින් බැහැර කටයුතු යෙදේ.දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.මව සමග අමනාපකම් වාද විවාද නිතර නිතර ඇතිවෙයි.තමාගේ දෙයින් තමාටම ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිවිය හැකිය.තමා ජීවත්වන ස්තානයේ , ස්තානීය ගැටලු ඇතිකරගන්නවා ඇත.රැකියාවේ දුෂ්කරතා අවහිරතා මතුවේ.කාර්‍ය බහුලවේ.රාත්‍රියේ නිදිවැරීමට සිදුවෙයි.ශරීරයට අදික වෙහෙසක් දැනෙනා , නිතරම පාහේ කලකිරීමේ , පසුතැවීමේ ස්භාවයක් මතුවනා කාලයකි.ප්‍රශ්ණයක් නොවන දෙයද ඔබට මෙම කාලය තුල ප්‍රශ්ණයක් ගැටලුවක් වනු ඇත.මෙම කාලයේ හදිසියෙන් කලබලයෙන් කටයුතු කර හදිසි පාඩු ඇතිකරගනු ඇත.දේපලක් අහිමිවීමට හෝ තමා එදිනෙදා භාවිතා කරනා යමක් අහිමිවීමට , කැඩී බිදීයාමට , හදිසි නඩත්තු ඇතිවීමට , ධන හානියක් සිදුවීමට අවස්තාව පවතින කාලසීමාවකි.මෙම කාලය තුල ඔබව නුරුස්සන අයගේ , සතුරන්ගේ , ඇසුරට ලක්වී අපහසුතාවයන්ට පත්වීමට සිදුවිය හැකිය.රැවටීම් සහ වංචාවන්ට ලක්විය හැකියි.නිවසට , පදිංචි ස්තානයට සොර සතුරු බිය මෙන්ම අමනුෂ්‍ය බලපෑම්ද ඇතිවිය හැකිය.සිතේ තන්නහවක් ලෝබ කමක් ඇතිවේ.තමන්ගේ නොවන දේ පිලිබදව ආසාවන් ඇතිවේ.ආදරය ප්‍රේමය තුලත් විවාහ දිවිය තුලත් සිත , මනස මූලික වීමෙන් අනවශ්‍ය ගැටලු ඇතිකරගන්නවා ඇත.හිතවත්කමක් ඇතිවූ වේගයට වඩා වේගයකින් හිතවත්කම් අහිමිකරගනී.එම නිසා මෙම කාලය තුල විශේෂයෙන් සිතත් මනසත් නිරවුල්ව පවත්වාගැනීම යහපත්ය.හදිසි කෝපය පාලනය කරගත යුතුය.මෙම කාලය තුල තමන්ට හමුවන්නේත් , සබදතා ඇතිවන්නේත් , නිවසට පැමිණෙන්නේත් , තමන්ට වඩා අසරණ , තමන්ට වඩා ප්‍රශ්ණ ගැටලු ඇති අය වනු ඇත.ඔවුන් නිසා තමාට පාඩු අලාබ සිදුවනවා ඇත.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබ මෙතෙක් සෙනසුරුගේ , වසර හතයි මාස හයක් දක්වා පැවති ලග්න ඒරාශ්ටක අපලයෙන් පීඩාවට පත්වෙමින් සිටි අතර 2017 ජනවාරියේදී එම ඒරාශ්ටක අපලය අවසන් වෙයි.නමුත් උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා , ලග්නයෙන් තුන්වැන්නේ තැම්පත්ව සිටියේ නම් 2020 දක්වා කාලය තුල ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට ඔබට සිදුවෙයි.උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ තැම්පත්ව සිටියේ නම් 2020 දක්වා ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනවා ඇත.එසේ නොවන තුලා ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව යහපත් බවක් ඇතිකරවනු ඇත.

තමා සමග සිටි අවස්තාවාදී පුදගලයන් හදුනාගැනීමට ඔවුන්ගෙන් දුරස්වීමට අවස්තාව සැලසේ.නමුත් ඔවුන් තමන් සමග විරුද්දවීම් ඇතිකරගනී.අසල්වැසියන් සමග පැවති සබදතාවයන්ගෙන් දුරස්වීමක් සිදුවේ.මේවා සිදුවන්නේ තමාගේ යහපත පිනිස වනු ඇත.සිතට සහනයත් , ප්‍රිතියට කරුණුත් ගොඩනැගේ.අහිමිවූ තත්වය , දුර්වලවූ ධනය නැවත ගොඩනගා ගැනීමට හැකියාව ලබනවා ඇත.දේපල ලාබ සහිතය.එවැනි ගැටලු පැවතියේ නම් ඒවායෙන් නිදහස් වීමට අවස්තාව සැලසෙනවා අතරම නව වැඩකටයුතු ආරම්බවෙයි.ලාබ නොලැබී තිබූ , අතහැර දමා තිබූ දෙයින් නැවත ලාබ ලැබීමටත් , ප්‍රයෝජන ලැබීමටත් අවස්තාව සැලසේ.තමන්ට යහපත් අයගේ ආධාර උපකාර ලැබෙනා අතර පවුලේ දියුණුව සදහා කටයුතු සිදුවේ.දරුඵල ලාබයක් ලැබිය හැකිය.කල් පවතින රෝගාබාධයන් පැවතියේ නම් ඒවා සම්බන්ධව සහනදායී බවක් ලැබෙනවා ඇත.විවාහ බලාපොරොත්තුව සඵල කරගැනීමට , ශක්තිමත් ප්‍රේම සබදතා ඇතිකර ගැනීමට , යහපත් සමාජ සබදතා ඇතිකරගැනීමට අවස්තාව සැලසේ.ඉගෙනීම් සාර්තකවේ.විදෙස්ගතවීමේ අවස්තා හිමිවේ.රැකියාවේ තත්වය දියුණුවේ උසස්වේ.තම දක්ෂතා වෙනදාට වඩා ස්මතුවන , ඒ හරහා පිලිගැනීම ගෞරවය ලැබීමට වස්තාව සැලසෙනවා ඇත.වසර හතයි මාස හයක් පුරා පැවති ඒරාශ්ටකයක් අවසන්වීමත් සමග ඔබගේ ජීවිතයේ බොහෝ අංශයන් පිලිබදව යහපත් වාතාවරණයක් ඇතිකරගැනීමට 2017 - 20 අතර් කාලයේදී තුලා ලග්නයෙන් උපන් ඔබට අවස්තාව හිමිවනවා ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ දැනට ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිටිනා අතර 2017 - 20 අතර කාලයේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන කොටස ගෙවී යයි.උප්පත්තියේදී  සදු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ තැම්පත්ව සිටියේ නම් ලග්න ඒරාශ්ටක අපලය සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය පවතිනු ඇත.සදු ලග්නයෙන් දෙවැන්නේ වේ නම් ලග්න ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපල දෙක එකට , එකම කාල සීමාවක ගෙවී යනු ඇත.සදුගේ පිහිටීම ඔබගේ කේන්ද්‍රයේ ඉහත ආකාරයේ වේ නම් ඉතාමත් ප්‍රවේසමෙන් 2017  -  20 අතර කාලය ගතකල යුතුමය.

තම ආර්තික තත්වය පිලිබදව තදබල ගැටලු ඇතිකරවයි.මුදල් සම්බන්ධ කටයුතු වලදී ඉතා සැලකිලිමත්ව කටයුතු කල යුතුය.මූල්‍ය ආයතන වල සේවය කරන වෘශ්චික ලග්න හිමියන් ඉදිරි වසර තුනක කාලය ඉතා කල්පනාවෙන් තම රැකියා කටයුතු සිදුකල යුතුය.එමෙන්ම තමන්ගේ දේපල පිළිබදවත් අයිතිවාසිකම් පිලිබදවත් සැලකිලිමත්ව කටයුතු කල යුතුවේ.අන්සතුවීම් , තමාගේ වටිනා දේ අස්තානගතවීම් , අහිමිවීම් හෝ ඒවා සම්බන්ධව හදිසි නඩත්තු කටයුතු යෙදෙනු ඇත.ඉතීරි කල ධනය හදිසි වියදමක් හරහා අහිමිවීමට , අඩුවී යාමට හේතු පවතී.ණය තුරුස් වීමට , ලබාගත් ණය මුදල් සම්බන්ධව , ලබාදුන් අයගේ බලපෑම් ඇතිවීම සිදුවනු ඇත.එමෙන්ම විවාහ දිවිගතකරන අය අතරේ මතබේද ගැටලු ඇතිවේ.පවුල් ආරවුල් මතුවන කාලයකි.එමෙන්ම තම සහකරු හෝ සහකාරිය සම්බන්ධව මාරක අපල උවත් යෙදිය හැකි කාල සීමාවකි.රහස් කටයුතු ඇතිවේ.රහස් ගමන් බිමන් යාමට සිදුවේ.තමාගේ රහස් තමාගේ කටින් , වචනයෙන්ම බාහිරට අනාවරණය වනු ඇත.එමෙන්ම තමා තුල පැවතී ආකාර්ශනය හෝ ශරීර රූප ස්භාවයට හානි මතුවිය හැකියි.අනියත චෝදනාවන්ට , අපහාසයන්ට ලක්විය හැකිය.තමා සම්බන්ධව කේලම් කටකතා අසන්නට සිදුවිය හැකිය.චිත්ත පීඩා බලවත්වේ.අනියම් සබදතා ආදිය ඇතිවීමට , ඒ හරහා කළකෝලාහලයන් ඇතිවීමට ඉඩකඩ පවතී.වැඩිමහල් සහෝදරයෙකු සම්බන්ධව අපල ක්‍රියාත්මකය.එමෙන්ම තමා ඇසුරු කල හිතමිත්‍රයන් නිසා තමන්ට ගැටලුඇතිවන අතර , අවස්තාවාදී ලාබ ප්‍රයෝජනයන් බලාපොරොත්තුවෙන් බොහෝ හිතවත්කම් ඇතිවනවා ඇත.තමන්ට කිසිසේත් නොගැලපෙන සබදතාවයන්ට අවස්තාව පවතී.එමෙන්ම කට වචනය නිසා නොසිතූ ගැටලු ඇති වීමට , නොයිවසිලිමත් බව නිසා ලැබීමට තිබූ ලාබ පව අහිමි වීමට අවස්තාව ඇති කාලයකි.දතේ කනේ කැක්කුම් , උගුරේ ආබධයන් මතුවීමට අවස්තාව ඇති කාලයයි.දිර්ග අසුබ කාලයක අවාසන වසර තුන ගෙවීම ආරම්බ වන නිසා 2017 - 20 අතර කාලය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ විශේෂයෙන් බුද්ධිමත්ව කටයුතු කලයුතුමවේ.සෙනසුරුගේ මහදසා අතුරු දසා ගෙවමින් සිටිනා වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන් මෙම කාල සීමාව ප්‍රවෙසමෙන් කටයුතු කිරීම යහපත්වේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබද දැනට සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිටී.2017 - 20 අතර කාලයේ සෙනසුරු ලග්නයේ ගමන් කරනවා ඇත.මෙය ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාවයි.උප්පත්ති කේන්ද්‍රයෙහි සදු ග්‍රහයා ලග්නයේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටකයත් , උපතින් සදු ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , ලග්න ඒරාශ්ටකය සමග එකම කාලයක ගෙවී යනු ඇත.කෙසේ උවත් සෙනසුරු ලග්නයේ ගමන් කරනා කාලය සුබදායක නැත.

බලවත් මානසික පීඩාවන්ට අවස්තාව පවතී.ඇතිවන ඕනෑම ගැටලුවක් සිත මනස පීඩාවට් පත්කරමින්දීර්ග කාලයක් පවතිනු ඇත.කාර්‍ය බහුල බවක් සහ අවිවේකී බවක් සහිතය.සිතේ තන්නහව ඇතිවේ.අනුන්ගේ දේ පිලිබදව ආසා ඇතිවේ.ඒවා තමාගේ කරගැනීම සදහා කටයුතු කරයි.අන්සතු ධනයට ලොල් වන කාලයකි.පවුලේ අයගෙන් තමාටත් , තමාගෙන් පවුලේ අයටත් කරදර පීඩා ඇතිවනවා ඇත.සහෝදර සහෝදරියන් අසල් වැසියන් සමග ගැටලුකාරී බවක් ඇතිවේ.අමනාපකම් ඇතිවේ.ඒවා අවසානයේ සතුරු කම් පළිගැනීම් දක්වා වර්ධනය විය හැකියි.හදිසි අලාබයක් තදින් සිදුවේ.විවාහ සහකරු සහකාරිය පිලිබදවත් විවාහ දිවියේ තත්වය පිලිබදවත් ගැටලුකාරී බවක් ඇති කරවයි.රැකියාව සහ ආධායම සම්බන්ධව දුෂ්කරතා ගැටලු මතුවේ.වැඩි ලාබ අපේක්ෂාවෙන් මුදල් යොදවා කරන කටයුතු තුලින් අලාබ පාඩු සිදුවේ.වෙනදා ගරු කල පුද්ගලයන්ගෙන්ම නින්දාවට , අපහාසයට කටයුතු ඇතිවේ.සමාජයෙන් ඇසුරු කල අයෙගෙන් දුරස්ව , සීමිත පිරිසක් සමග කටයුතු කරනා , එම සීමිත පිරිස මගින්ද ගැටලු කරදර මතුවනා කාලයයි.තමන්ට නොගැළපෙන සමාජය සමග කටයුතු කිරීමට සිදුවෙයි.නිතර නිතර කෙටි ගමන් බිමන් යෙදේ.බොහෝ ගමන් නිශ්ඵල ගමන්වේ.රාත්‍රී ගමන් යෙදෙනවා ඇත.එවැනි අවස්තාවකදී සතා සිව්පාවාගෙන් මෙන්ම වෙනත් ආකාරයෙන් හානි සිදුවිය හැකියි.හිසට හානිවන ලෙස අනතුරු සිදුවිය හැකියි.ජම්ම පත්‍රයක , ලග්න භාවය , එම පුද්ගලයාගේ සමස්ත ජීවිතයම පිලිබදව  වගකීම හිමි ස්තානය වන අතර සෙනසුරු ලග්නයට පැමිණ ඒරශ්ටක හරහා සමස්ත ජීවිතයේ ඕනෑම අංශයක ගැටලු බාධා අවහිරතා සහ වෙනත් අසුබ ග්‍රහ තත්වයන් පවතින්නේ නම් හදිසි මාරක උවත් ඇතිකල හැකිය.සෙනසුරුගේ මහදසා අතුරු දසා ගෙවමින් සිටිනා ධනු ලග්න හිමියන් විශේෂයෙන් මෙම කාල සීමාව ප්‍රවෙසමෙන් කටයුතු කිරීම යහපත්වේ.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබට 2017 ජනවාරි 25 වනදා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය ආරම්බ වන අතර , එතැන් සිට ඉදිරියට වසර හතයි මාස හයක් පුරාවට සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක පලය පවතිනු ඇත.2025 අප්‍රේයල් 01 වනදායින් අවසන් වනු ඇත.උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ තැම්පත්ව ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු ග්‍රහයා ලග්නයෙන් දොළොස්වැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයත් 2020 දක්වා වූ කාලය තුල පවතිනවා ඇත.මකර ලග්නයට ලග්නාධිපති වූ සෙනසුරු ග්‍රහයා ඒරාශ්ටක අපලයකින් දුර්වලවීම යහපත් නොවන අතර , සෙනසුරු මහදසා අතුරු දසා මේ කාලසීමාව තුල යෙදෙන්නේ නම් තවදුරටත් අයහපත් වනු ඇත.

හදිසි වියදම් ඇතිවේ.තම බලාපොරොත්තු බොහෝ දුරට ක්‍රියාත්මක නොවී යයි.ආරම්බ කරන විශේෂ කටයුතු අතරමග නවතා දැමීමට හෝ බොහෝ දුෂ්කරතා අවහිරතා මැද පවත්වාගෙන යාමට සිදුවන කාලයකි.තමා අතින් වියදම් දරමින් , විශේෂ ලාබයක් නොලබා පවත්වාගෙන යාමට සිදුවනු ඇත්.උපයා සපයා ඉතිරි කල ධනය , නිශ්ඵල අර්ථවිරහිත කටයුතු සදහා යොදවන්නට සිදුවිය හැකිය.නොකල වරදට වැරදිකරු වන්නට , කොතෙක් යහපත කලද යහපතක් අසන්නට නොලැබී යන , කරන කටයුතු පිලිබදව අසුබවාදී විවේචන ඇතිවන් කාලයකි.වෙනත් අයගේ බලපෑම් , තර්ජන , අවහිරතා , බාධා තමාගේ කටයුතු පිලිබදව ඇතිවේ.තදබල මානසික ව්‍යාකූලතාවයන් ඇතිවනු ඇත.නිදිබර අලස ගති සහ ශරීර ශක්තියේ දුර්වලතාවයන් සහිතය.අනෙකා නුරුස්සන , හවුලේ කටයුතු කල නොහැකි බවක් ඇතිවෙයි.තමා ඇසුරු කල අයම තමා ප්‍රතික්ෂේප කිරීම් කරනවා ඇත.පැවති තත්වයට ගෞරවයට හානි ඇතිවේ.මෙවැනි තත්වයන් ඇතිවන විට තමාට අමුනුෂ්‍ය බලපෑම් ඇතිවී ඇතැයි , හතුරන් කොඩිවින , හදි හූනියම් කර ඇති බැව් සිතා ඒවා සම්බන්ධව ගුපත විද්‍යාවේ සහය සොයා යයි.එහිදීද තමා රැවටීමට ලක්වෙයි.මුදල් නිකරුණේ වියදම් කරයි.ලබනා යහපතක් නැත.අවසානයෙ එයද එපා වී , සියල්ල පිලිබදව කලකිරීමක් ඇතිකර ගනී.ජ්‍යෙතිෂය පිලිබද විසවාසයද නැතිවී යන අතර , නිවැරදි පලාඵලයක් පැවසූවද ,එය පිළිනොගැනීම නිසා හදිසි කරදර විපත් තිකරගනී.පවුලේ වැඩිහිටි ඤාතියෙකුට මාරක යෙදෙනු ඇත.තම සහකරු සහකාරිය පිලිබදවද ගැටලු මතුවන අතර දින කිහිපයකට හෝ අමනාපයෙන් දුරස්වීමක් සිදුවෙයි.එමෙන්ම සහකරු සහකාරියගේ සෞඛ්‍ය ගැටලු මතුවන අතරම , ඔහු හෝ ඇයට මතුවන සතුරු කරදර පීඩාවන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.රෝහල්ගතවන තරමේ අසනීප තත්වයන් මතුවීමට ඉඩ ඇති අතර තදබල ලෙස වෙනත් ගරහ අපල යෙදී ඇතිනම් නීතිමය බන්ධනයන්ට හසුවීමට , නොකල වරදට පවා දඩුවම් ලැබීමට , වරද කරෞ වීමට සිදුවිය හැකිය.පිට පලාත් සමග සබදතා ඇතිවේ.විදෙස්ගතවීම් සදහා ගන්නා උත්සහයන් සාර්තකවේ.නමුත් ඒ සදහා මුදල් යෙදෙවීමේදී සැලකිලිමත්විය යුතුය.නැතිනම් විදෙස් ගමනත් මුදලුත් , තමන්ගේ වටිනා ලියකියවිලිත් අහිමිවීම් සිදුවනු ඇත.දිගු ඒරශ්ටක අපලයක මූලික අවස්තාව නිසා ප්‍රවේස්ම් විය යුතුය.ඇතිවන ගැටලු , ඇතිවන සෞඛ්‍ය ගැටලු කාලයක් පවතින ආකාරයෙන් වර්ධනය වනවා ඇත.ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් දුරදිග බලා කටයුතු කල යුතු කාලයකි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවෙයි.මෙය යහපත් අවස්තාවකි.නමුත් උප්පත්තියේදී  සදු ග්‍රහයා ලග්නයෙන් සිව්වැන්නේ යෙදී ඇතිනම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු ග්‍රහයා ලග්නයෙන් එකොලොස්වැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයත් 2017 - 20 අතර කාලයේ ක්‍රියාත්මක වනු ඇත.එසේ නොවනා කුම්භ ලග්න හිමියන්ට ඉදිරි වසර තුනක කාලය යහපත්වනු ඇත.

තම ශක්තිය විදහාපාමින් ශක්තිමත්ව කටයුතු කිරීමට අවස්තාව හිමිවනවා ඇතතමාගේ අදහස් බලාපොරොත්තු ඉටුකරගැනීමට ගන්නා උත්සහයන් සාර්තකවෙයි.ඉඩකඩම් දේපල සම්බන්ධව බෙදීම් කටයුතු සිදුවේ.එය තමාගේ වාසියට සිදුවෙයි.ශක්තිමත් හිතමිත්‍ර සබදතාවයන් ඇතිවේ.අවිවාහක අයට මංගල යෝග ක්‍රියාත්මක වනවා ඇත.දරුඵල ලාබ ලැබෙනා , පවුලට නව සාමාජිකයන් එක්වෙනා කාලයකි.රැකියාව සාර්තකය.උසස්වීම් සදහා ඉල්ලුම් කල යුතුය.තමාගේ අවස්තාව තමාට හිමිවෙයි.පිලිගැනීමට ගෞරවයට පාත්‍රවෙයි.තමාගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් නියමාකාරයේ යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත.ඉගෙනීම කටයුතු සාර්තක වන අතර නව අධ්‍යාපණික අවස්තාවන් උදාවේ.විදෙස්ගත උසස් අධ්‍යාපණ අවස්තා බලාපොරොත්තු අයටද , විදෙස්ගත රැකියා බලාපොරොත්තු කුම්භ ලග්න හිමියන්ටද , ඒ සදහා විශේෂ අවස්තාවන් හිමිවනවා ඇත.භූමියෙන් ලාබ ලබයි.මැණික් පතල් කරුවන්ට විශේෂ ලාබ හිමිය.ගොවිතැන් ආදී කටයුතු මගින් ලාබ හිමිවේ.ආදර ප්‍රේම සබදතා ඇතිවන අතර , එම සබදතා තමාට වඩා කිසියම් ආකාරයක උසස් අයෙකු සමග ඇතිවනවා ඇත.එම සබදතා හරහා තමාගේ අනාගත සාර්තකත්වය සදහා කටයුතු කරගැනීමට අවස්තාව උදාවේ.කම්සැප ලාබ හිමිය.තමාට වයසින් වැඩි ස්ත්‍රී පුරුෂයෙන්ගේ අවධානයට ලක්වන , ඔවුන්ගේ උදව් උපකාරයන් , මගපෙන්වීම් හිමිවන සහනදායී කාල සීමාවකි.2020 සිට දිගු ඒරශ්ටක අපලයක් ආරම්බ වන බැවින් ඊට පෙර ගෙවෙනා වසර තුනක කාලය ජීවිතයේ මෙතෙක් පැවති බොහෝ අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට හැකියාව ලැබෙනවා ඇත.ප්‍රිතිමත් වාසනාවන්ත කාලයකි.සෙන්සුරුගේ මහදසා අතුරු දසා ගෙවෙමින් පවතීනම් , තවදුරටත් යහපත් වනු ඇති අතර , මෙම කාල සීමාව තුල වෙනත් අසුබ ග්‍රහ බලපෑම් යෙදී නොමැතිනම් ඉහත කී සුබදායක බව විශේෂයෙන් ක්‍රියාත්මක වනු ඇත.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවෙයි.උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රයා ලග්නයෙන් තුන්වැන්නේ තැම්පත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් , සදු ලග්නයෙන් දසවැන්නේ තැම්පත් නම් ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනවා ඇත.එවැනි තත්වයන් නොමැති උවත් මීන ලග්න හිමියන්ට සෙනසුරු දසවැන්නේ ගමන් කිරීම එතරම් සුබදායක වන්නේ නැත.

රැකියාව සම්බන්ධව , රැකියා ස්තානය සම්බන්ධව ගැටලු මතුකරයි.රැකියාවේ වෙනදාට වඩා දුෂ්කරතා මෙන්ම වගකීම් ඇතිවේ.රාජකාරී බහුලවේ.ලැබෙනා කටයුතු නිසි වේලාවට අවසන්කරගැනීමට නොහැකිවීම් ආදිය නිසා , ප්‍රධානීන්ගේ විවේචනයට ලක්වනු ඇත.එමෙන්ම ස්තාන මාරුවක් හෝ ස්තිර නොවන රැකියා තුල , රැකියා අතහැරීමක් , වෙනත් රැකියාවකට යොමුවීමක් සිදුවනවා ඇත.රැකියාවේ කටයුතු හේතුවෙන් දුර බැහර වෙහෙසකර ගමන් බිමන් යෙදේ.වෙනදා පහසුවෙන් කල කටයුතු පවා මේ කාල සීමාව තුල වැඩි ආයාසයකින් යුතුව කිරීමට සිදුවේ.මානසික පීඩා සිත් තැවුල් ඇතිවේ.පහසුව්වෙන් ලබනා ලාබය වැඩි කැපවීමකින් සිදුකලද විශේෂ ලාබයක් හෝ පාඩුවක් නොලබා සමසේ පවතිනු ඇත.උසස්වීම් සදහා බාධා මතුවේ.පවුලේ වැඩිහිටියන්ට අපල දායකය.පිය පාර්ශවයේ වැඩිහිටියන් සමග සබදතා දුර්වල කරයි.පියාට යහපත් නැත.දේපල මිලදී ගැනීමේදී පාඩු සිදුවිය හැකියි.වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවිය හැකි. ලාබ යැයි සිතා ගන්නා දේ පමණක් නොව , වැඩි මුදලක් ගෙවා ලබාගන්නා දේ තුලද ගැටලු පවතිනවා ඇත.එම නිසා මිලදී ගැනීම් වලදී විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කල යුතුය.දරුඵල ලාබයන්ට අවස්තාව පවතී.ශරීරාබාධ මතුවේ.දනහිසේ ආබාධයන් මතුවිය හැකිය.එමෙන්ම හෘදයාබාධයන් පවතින අයට අවධානම් සහිතය.වෙනදා පැවති ගෞරවය , කීර්තිය , තත්වය තරමක් දුරට හෝ පිරිහේ.ඉගෙනීම් කටයුතු නොකඩවා පවත්වාගැනීමට බාධා ඇතිකල හැකිය.නොගැලපෙන හිතමිත්‍ර සබදතාවයන් ඇතිවිය හැකිය.ඉගෙනගන්නා වයසේ දරුවන් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය.එමෙන්ම තරුණ තරුණියන් තම තත්වය ගෞරවය පිලිබදව විශේෂයෙන් සිතා බලා බුද්ධිමත්ව කටයුතු කල යුතුවේ.

ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments