පියයුරු පිලිකාවට දේශීය ප්‍රතිකාර


කාන්තා පිළිකා වලින් දෙවෙනියට බහුල වන්නේ පියයුරු ආශ්‍රිත පිළිකාවන්. එබැවින් විශේෂයෙන්ම වයස අවුරුදු තිස් පහ පැන්නට පස්සේ කාන්තාවන් වැඩි ව‍ශයෙන් තමන්ගේ පියයුරු ගැන, රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි අපගේ උපදෙස.

කාන්තා පියයුරු ආශ්‍රිත පිළිකාවක් හඳුනා ගන්නේ කොහොමද?‍

බාහිර ස්වරූපය ගැන වගේම අභ්‍යන්තර තත්ත්වයන් ගැන සැලකිලිමත් විය යුතුයි. පළවෙනි දෙය තමයි තමන්ගේ මවට හෝ තමන්ගේ ඥාතියෙකුට පියයුරු පිළිකාවක් හැදිලා තිබුණා නම් පාරම්පරික සම්බන්ධතාව නිසා තමන්ටද සෑදීමේ ප්‍රවණතාවක් ඇති බව දැනුවත් විය යුතුයි.එවන් අය තමන් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්ඩ ඕනේ. ඒක ක්‍රම කීපයකට කරනවා. අත තබා ස්පර්ශ පරීක්ෂාවෙන් තමයි පරීක්ෂා කරන්නේ.දේශීය වෛද්‍යවරයෙක් හමුවෙලා එම පියවරයන් දැන උගෙන පරීක්ෂා කරගන්ඩ පුළුවන්.අපි සාමාන්‍යයෙන් පියයුර වටේ සහ තන පුඩුව ඒ දෙසට සහ පිටතට පරීක්ෂා කරනවා. රෝගියාට උපදෙස් දෙනවා පරීක්ෂා කරන විට මොනවා හරි ගැටිත්තක් අහු වුණොත් නැතිනම් අමුත්තක්, වේදනාවක් දැ‍නුණොත් ඒ ගැන වඩාත් විමසිලිමත් වන ලෙසට.

ගැටිත්ත සුළු හෝ විශාල එකක් විය හැකියි. උදාහරණයක් ලෙස විශේෂයෙන් කාන්තා පාර්ශ්වයේ පියයුරු ආශ්‍රිතව බිබිලක් හෝ කුරුලෑ බිබිලක් වැනි හෝ ඇති වුණොත් එයා සැලකිලිමත් වෙන්ඩ ඕනේ මේකේ ඊළග පියවර මොනවා වෙයිද කියලා. එය ක්‍රමයෙන් අඩුවිය හැකියි. නැතහොත් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.දෙවෙනි කාරණය තමයි පියයුරුවල හැ‍ඩයේ වෙනස්වීමක් වීම සහ තන පුඩුවෙහි වෙනස්වීමක්. සාමාන්‍යයෙන් පියයුරු දෙක එක හා සමානයි. සමහරවිට එක් පියයුරක් විශාල විය හැකියි. නමුත් අනවශ්‍ය ලෙස විශාල වීමක් හෝ හැඩයේ වෙනස්වීමක් බාහිරව ඇති වීම පියයුරු පිළිකාවක ලක්ෂණයක් විය හැකියි.තවත් ලක්ෂණයක් තමයි ගැටිත්තක් පේන්ඩ නැහැ. පියයුරු විශාල වීමක් හෝ හැඩයේ වෙනස් වීමක්ද නැහැ. නමුත් ස්පර්ශ පරීක්ෂාවේදී ඇතුළෙන් ගැටිත්තක් අහු වෙනවා. එය ගනකම් ස්වාභාවයකට දැනෙනවා.

ඒ ගෝලාකාර ගනකම් ස්වාභාවය එහාට මෙහාට චලනය වෙන්ඩත් පුළුවන්. චලනය නොවන ගැටිත්තක් වෙන්ඩත් පුළුවන්. පසුකාලීනව දැකිය හැකි තත්වයක් තමයි ගැටිත්තක් තිබිලා ඉන් තුවාලයක් ඇති වෙලා සැරව ගලන ව්‍රණයක් බවට පත්වීම.ඒවා තමයි ප්‍රධාන ලක්ෂණ. ඊට අමතරව අවසාන කාලයේ ස්පර්ශයේදී හෝ ස්පර්ශයෙන් තොරව හෝ තදබල වේදනාවක් ඇති විය හැකියි. ‍ඒ වගේම තමයි පියයුරුවන්හි පටකවලින් එපිට වෙනත් වෙනත් තැන් වලටත් පිළිකාව පැතිරෙන්ඩ පුළුවන්.

පියයුරු පිළිකා ඇති වෙන්ඩ හේතු මොනවාද?

හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම දෙය තමයි පාරම්පරික සම්බන්ධයක් එනම් කුලජ හේතුවක්, දෙවැන්න තමයි අපත්‍ය ආහාර ගැනීම ඒ කියන්නේ ශරීරයට අහිතකර ආහාර ගැනීම. බටහිර කියනවා කාසිනෝ ජෙනික් ආහාර කියලා. ඒ කියන්නේ පිළිකා කාරක ආහාර වර්ග ගැනීම.විශේෂයෙන්ම කාර්යය බහුල ජීවිතයේ පහසුවට ලබාගන්නා ක්ෂණික ආහාර වර්ග සරලම උදාහරණයක්. ඊළගට තමයි අපත්‍ය විහරණ. ඒ කියන්නේ නිසි ඇවතුම් පැවතුම් නොහොත් ශාරීරික ක්‍රියාවන්ගේ ප්‍රමානවත් හෝ පිළිවෙළක් නැති කම.වඩා වැදගත් හේතුවක් තමයි මානසික කාරණා. චින්තා , ක්‍රෝධ ශ්‍රෝක, අනියත භය වීම් වැනි තත්වයන් පිළිකා කාරක විය හැකියි. එහෙම නැතිනම් පිළිකාවක් ඇති වුණොත් ඒවා වැඩි දියුණු වීමට එම කාරණා බලපානවා විය හැකියි. ඒ නිසා කායික සුවතාව වගේම මානසික සුවතාවත් යන දෙකම අපි ආයුර්වේදයේ රෝග නැසීමට මෙන්ම නිරෝගීතාව සුරැකීමටත් සලකා බලනු ලබන කාරනා වනවා.

ගර්භාෂ පිළිකා සහ ගැබ් ගෙල පිළිකා කියන්නේ මොනවද? ඒවා ඇතිවෙන්න විශේෂ කාරණා තියනවද ?

ලංකාවේ කාන්තාවන්ට බහුලව තියෙන්නේ ගර්භාශයට පහළින් වන ගැබ් ගෙල පිළිකායි. ඒසඳහා ත් ඉහත දැක්වූ නිදාන කාරණාම බලපානවා. ‍ඊට අමතරව අද සමාජය තුළ දක්නට ලැබෙන කරුණු කාරණාත් බලපානවා.
උදාහරණයක් ලෙස පිටතින් ලබාදෙන හෝමෝන මගින් සිදුකරන උපත් පාලන ක්‍රමවේදයන්. දැන් නවීනව පාවිච්චි කරන උපත් පාලන ක්‍රම වලට කලින් අ‍පේ දේශීය වෙදකමේ තිබුණා උපත් පාලන ක්‍රම.වෙද මහත්වරු මෙම ක්‍රම චිකිත්සා සඳහා භාවිතා කළා. ඒවා ස්වාභාවිකයි. එහෙම කළාට සිරුරට හානියක්, අතුරු ආභාධයක් තිබ්බෙ නෑ. මේ කාල වකවානුවේ එන්ඩ එන්ඩ ගර්භාෂ , ගැබ් ගෙල සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා වැඩි වෙමින් යනවා.ගර්භාෂය, ඩිම්බ කොෂය ආදී අවයව අ‍පේ හෝමෝන පද්ධතිය හා සම්බන්ධ ව්‍යුහයන්. බටහිර සංස්කෘතියෙන් මෙන්ම ප්‍රතිකාරයෙන් අපට ආඳා තියෙන උපත් පාලන ක්‍රම කෘත්‍රිමව ශරීර හෝමෝන වෙනස් කිරීමක්.ස්වාභාවිකව හෝමෝන නෙවෙයි එම වෛද්‍ය ක්‍රමයේ පිටින් හෝමොන දෙනවා. දීලා ඇ‍ඟේ හෝමෝන වෙනස් කරනවා. ඒවායේ තියෙන අතුරු අබාධ ගණනාවෙන් ප්‍රධාන සහ හානිකරම තත්වයක් තමයි පිළිකා කියන්නේ.

ගැබ් ගෙල පිළිකා හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද ?

ප්‍රධානදෙය තමයි බාහිර මුත්‍ර ප්‍රදේශය ආශ්‍රිතව ශ්‍රාව්‍ය ගැලීම වැඩියි. ඊළඟට රක්ත වහනයක් ( ලේ ගැලීමක්) විය හැකියි. ඇයගේ උදර ප්‍රදේශයේ වේදනාවක් තියෙනවා. ඒ වගේම පාද දෙකේම ශ්‍රෝතයක් තිබිය හැකියි.ඒ කියන්නේ පාදයන්හි ඉදිමුමක් තියෙනවා.තරුණ කෙනෙක් වුණොත් එයාගේ ඔසප් චක්‍රයට බලපානවා. ඔසප් චක්‍රය නියමාකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට ඒ අය විවිධ බෙහෙත් ගන්නවා. ඒ නිසා ඔසප් චක්‍ර‍ය සිදු වෙනවා විය හැකියි. එය පේන්ඩ සිදු වෙන රක්ත වහනයක් මිස ක්‍රමවත්ව වෙනවා නොවෙයි. එනම් ඒක නිට්ටාවට සුව වෙන චිකිත්සාවක් නෙමෙයි.ඒ අත‍රතුර ගර්භාෂයේ හෝ ඩිම්බයේ තියෙන ගෙඩි එන්ඩ එන්ඩ වර්ධනය වෙනවා. එනම් හේතු කාරණාවට බෙහෙත් හම්බ නොවෙනවා විය හැකියි. ඒක භයානක තත්ත්වක්. සමහර වෙලාවට ඩිම්බ කෝෂ ඉවත් කිරීම් බටහිර වෙදකමේ කරනවා.නමුත් තරුණ කෙනෙක් වුණොත් එය විශාල ගැටලුවක් වෙනවා. එහිදී හෝමෝන පිටින් ගන්ඩ වෙනවා. එවිට අතුරු ආබාධ රැසක් ඇති විය හැකියි. නමුත් දේශීය වෙදක‍මේ ගැබ් ගෙල සහ ඩිම්බකෝෂ පිළිකා මුලින්ම හඳුනාගතහොත් ඉතාම පැහැදිලි සාර්ථක චිකිත්සා පද්ධතීන් තිබෙනවා. වඩාත්ම වැදගත් වන්නේ අතුරු ආබාධ රහිත වීමයි.

පිළිකාවලට දේශීය වෙදකමේ තියෙන චිකිත්සා (ප්‍රතිකාර )මොනවාද?

ආයුර්වේදයේ අපි මෙම රෝග කතා කරන්නේ ත්‍රිදෝෂජ විකාර ජනිත තත්වයන් විදියට. ත්‍රිදෝෂ කියන්නේබොහොම ගැඹුරු සංකල්පයකට අනුව විග්‍රහ වන වාත, පිත්ත සහ කඵ යන ත්‍රිත්වයටයි.එය වෙනස් වීම පුද්ගලයාට රෝග ඇති වීමේ මුලික සිද්ධාන්තයයි. පෙර මා සඳහන් කළ පරිදි පිළිකා යනු ආයුර්වේදයේ අර්බුධයි. වාතජ, පිත්තජ, කඵජ සහ මේදජ යන සෞම්‍යාකාර අර්බුද සහ රක්තජ, මාංශජ වැනි ඝාතකාකාර අර්බුධ මූලික බෙදීම් අතර දක්නට ලැබෙනවා.සෞම්‍ය අර්බුද කියන්නේ ඒක සුව කරන්ඩ පුළුවන්. බොහොම ලේසියෙන් පුළුවන්. ඝාතක අර්බුධ කියන වචනයේ අර්ථය රෝගියා විනාශ වනවා යනුයි. නමුත් එවැනි රෝගියකුට අපට යම් ආකාරයක ප්‍රතිකාර කරන්ඩ පුළුවන්. ඒ කියන්නේ පිළිකාව අඩු කරන්ඩ සහ ඒකෙන් වන හානිකර තත්ත්වය පාලනය කරන්ඩ. සරලවම ඔහුගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින්.

මෙවැනි සලකා බැලීම් මත සුව කළ හැකි සහ නොහැකි ලෙස පිළිකා වර්ග දෙකක් තියෙනවා. එනම් සාධ්‍ය සහ අසාධ්‍ය ව‍ශයෙන්. පිළිකාවල මුල් අවස්ථාව බොහෝ විට පහසුවෙන් දේශීය වෙදක‍ම් ක්‍රම භාවිතයෙන් සුව කරන්න පුළුවන්.පිළිකාවලට අපි අභ්‍යන්තරව සහ බාහිරව ‍ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනස් ආකාරයන්ට සිදුකරනවා. බාහිර ප්‍රතිකාර විදියට අපි ‍ ශල්‍ය ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ සැත් භාවිතෙයන් කපා ඉවත් කිරීමෙන් කරන ප්‍රතිකාර පමණක්ම නෙමෙයි.වෙනමම වූ අනන්‍ය ක්‍රම භාවිතා කරනවා. ඒවා අතර පුච්චන ක්‍රම නැති නම් අග්නි කර්ම බෙහෙවින් සාර්ථක රාවනා රජ කාලයේ ඉදලාම සිදු කරන ක්‍රමවේදයන්. ඒ සඳහා විශේෂිත උපකරණ දේශීය වෙදක‍මේ අදටත් භාවිතයේ තියෙනවා. ‍‍

යම් ශල්‍ය කර්ම සිදු කිරීම් අපි වෙනස් ආකාරයකට සිදු කරනවා. උදාහරණයක් ලෙස කපලා අයින් කරන්ඩ අවශ්‍ය අර්බුධ අපි බාහිරව බෙහෙත් ආලේප කරලා අයින් කරනවා. ඒවා ලේඛනීය චිකිත්සා හෙවත් සූරා ඉවත්කිරීම්.ඒ සඳහා අපි බාහිරව පත්තු , ආලේප, මැල්ලුම් වගේ දේවල් භාවිතා කරනවා. ඒවා ගහ කොළේ පොත්තේ තියෙන ස්වභාවික දේවල්. නිවැරදි ප්‍රතිකාරය මඟින් රෝගියාට කිසිදු හානියක් අත්වන්නේ නැහැ.මේ සමඟම අභ්‍යන්තර චිකිත්සාවත් ආරම්භ කළ යුතුයි. ප්‍රධාන චිකිත්සාවක් ලෙස රෝගියාගේ බල දුබලතාව දැන ශෝදන කර්ම කිරීම කළ හැකියි. වමන, විරේක, වස්ති, නස්‍ය, සහ රක්ත මෝක්ෂණ ආදී ලෙස වන කර්ම පංචකයකින් එම ප්‍රතිකාරය සමන්විතයි.

අනතුරුව ශමන චිකිත්සාව කරනවා. එහිදී විකෘත වූ දෝෂ සම තත්වයට පැමිණවීමක් අපේක්ෂිතයි. ශමන චිකිත්සාව ක්‍රම හතරකට වෙන් කරනවා. ප්‍රකෘත්ති ස්ථාපන, රෝග නාශන, රසායන චිකිත්සා, සහ නෛස්ථිකී චිකිත්සාවයි.රෝගවල උප්පත්ති කාරණා නිසා වාත පිත්ත කඵ දෝෂ වල වෙනස්වීම් ඇති වෙනවා. රස , රත්ත , මාංශ , මේදස්, අස්ථි , මජ්ජා සහ ශුක්‍ර යන ධාතුවල වෙනස් වීම සහ දූෂිත තත්ව ඇතිවෙනවා. දෝෂ වල සහධාතුන් හිඅභ්‍යන්තරිකව සිදුවන වෙනස් වීම නිසා තමයි රෝග ඇති වෙන්නේ. ඒ නිසා අපි ඖෂධ ප්‍රතිකාරයෙන් යළිත් රෝගියා ප්‍රකෘති තත්ත්වය පත් කරනවා. එය ප්‍රකෘත්ති ස්ථාපනචිකිත්සාවයි.

ඊළගට රෝග නාෂණය. රෝගයට අදාල විශේෂ චිකිත්සාව තුලින් රෝගය විනාශ කිරිම දේශීය මෙන්ම ආයුර්වේද ක්‍රමයන්හි සංකලනයන් විද්‍යානුකූල එමෙන්ම තර්කානුකූලවද සිදු කරනු ලබනවා.තුන්වෙනි දෙය තමයි රසායන චිකිත්සාව. ඒ කියන්නේ රෝගියාගේ ශරීර ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා. සමහර රෝගීන් වෙනත් ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් ඇතිවූ අහිතකර අතුරු ආබාධ ආයුර්වේද ක්‍රම මඟින් පාලනය කර රෝගියාට ඉහළ සෞඛ්‍ය රැකවරණයක් ලබාදීම මින් අපේක්ෂිතයි.අවසාන එක තමයි නෛස්ථිකී චිකිත්සාව. මෙහිදී මානසික මෙන්ම ආත්මීය සහනයක්, සංතර්පනයක් මෙන්ම විමුක්තියක් ලබාදීමේ පැහැදිලි ක්‍රම වේදයන් මඟින් රෝග සුවපත් කිරීම සිදුකරනවා.

දේශීය වෙද‍කමේන් පිළිකා සුව වු රෝගීන් ඉන්නවාද?

දේශීය වෙද‍කම ලංකාවට අමුතු, ආදේශිත චිකිත්සාවක් නෙමෙයි. අනාදිමත් කාලයක සිට රෝගීන් සුවපත් කළ පළපුරුදු, පෙර පුරුදු වටිනා ශාස්ත්‍රයක්. යම් යම් හේතු කාරණා හේතුවෙන් දැන් භාවිතයෙන් තොර වීම අවාසනාවක්.එසේවුවත් දේශීය වෙද‍කමේන් සුව වු පිළිකා රෝගීන් බොහෝ ඉන්නවා. මා මුලින් කිව්වා සාද්‍ය සහ අසාද්‍ය පිළිකා කියලා ප්‍රභේදයක් ඇති බව. අසාද්‍ය පිළිකාවලත් තියෙනවා අපට සුව කළ හැකි තත්වයන්.පිළිකාව ඔඩු දුවලා සුව කරන්ඩ බැරිම අවස්ථාත් තියෙනවා. එහෙම පිළිකා කාටවත් සුව කරන්ඩ බැහැ. එහෙම රෝගීන් හදුනා ගෙන රෝගියා සහ ඔහුගේ භාරකරුවන් මානසික පීඩනයක් ඇති නොවන අයුරින් දැනුවත් කිරීම දේශීය / ආයුර්වේද වෛද්‍යවරයාගේ අනන්‍ය ලක්ෂණයක්.අපට හැම පිළිකාවකටම බෙහෙත් කරන්ඩ බැහැ. නමුත් බොහෝ රෝගීන්ට බෙහෙත් කර සුව කළ හැකියි. කෙසේ වුවත් බො‍හෝ රෝගීන් එන්නේ වෙනත් බෙහෙත් අරගෙන අවසාන අවස්ථාවේදීයි.
එහෙම වු‍ණාම ගත්තු බෙහෙත් වලින් අතුරු අබාධත් ඇති වෙලා සුව කිරීම අපහසු තැනට පත්වෙලා තියෙන්නේ. නමුත් මුල් අවස්ථාවේ හඳුනා ගත්තොත් අපට පිළිකා සුව කළ හැකියි.

මාතර දික්වැල්ල කිරිනැළිය‍ ගෙඩි-වන-පිළිකා වෙද පරම්පරාවේ මේ ප්‍රතිකාර විශාල වශයෙන් කර තිබෙනවා. .

කොළඹ විශ්වවිද්‍යාලයේ
රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ කථිකාචාර්ය
විශේෂඥ වෛද්‍ය (සර්වාංග)
එන්. ඩී. නාමල් ජයවර්ධන
Published in http://www.mirrorgirl.lk

Post a Comment

0 Comments