" උපන් කැත යවන්නට බැරි බව " ලාංකීය ජනවහරේ පවතින කතාවකි.නමුත් උපදිනා ඕනෑම අයෙකුට කිසියම් ආකාරයක රූප සුන්දරත්වයක් හිමිය.තවත් සමහරුන් කියන්නේ " හදවත ලස්සන නම් " ප්‍රමාණවත් බවය.එසේ කියා සෑහීමකට පත්නොවන පිරිස අනන්තය , අප්‍රමාණය.එසේ කියනා අය පවා හොර රහසේ හෝ තමන්ගේ රූ සපුව පිලිබදව කටයුතු කරයි.ජ්‍යෙතිෂය අනුව සදු කුජ සිකුරු සහ බුධ යන ග්‍රහයන් බලවත්ව උප්පත්ති කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් සිත්වසගවන පෙණුමක් ලබාදෙනු ඇත.විශේෂයෙන් සිකුරු උච්ච ස්වක්ෂේත්ර හෝ මූලත්රිකෝණ බලයෙන් සිටිනා අයගේ රූපය වියපත් නොවේ.සිකුරු බලවත්ව මාලවී යෝග බලයෙන් සිටීනම් හෝ බුධ බලවත්ව බද්‍රා යෝග බලය උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇතිනම් ඔවුන්ගේ වයස , වයසින් ඉක්ම ගියද රූපය වියපත් නොවී පවතිනු ඇත.ජ්‍යෙතිෂයට අනුව යෙදෙන ග්‍රහ පිහිටීම් අතරින් රූ සපුව පිලිබදව කියැවෙන ග්‍රහ තත්වයන් ඕනෑතරම් පවතී.එවැනි පිහිටීම් පසෙක තබා දේශීය වෙදකමට රුචියක් සහ ඇළුම් කමක් දක්වනා ඔබ වෙනුවෙන් රූසපුව රැකගැනීමට වර්ධනය කරගැනීමට දේශීය වෙදකම හා සම්බන්ධ ප්‍රතිකාරයන් කිහිපයක් පිලිබදව පහත දැක්වේ.
මුහුණේ කුරුළෑ බිබිලි , ඒ හරහා විසප්පු තරමේ ගෙඩි , ළප කැලැල් ආදිය බහුලව ඇතිවේ.මෙම තත්වය විශේෂයෙන් වර්ධනය වීමට ශරීරගත සහ උදරගත උෂ්ණ තත්වයන් හේතුවේ.ශරීරයේ ලේ ධාතුවේ ඇතිවන සංකූලතාවයන් හේතුවෙන්ද සෘජුවම , එහි බලපෑම මුහුණ හරහා පිට කරයි.එය ශරීර උෂ්ණත්වයේ අධික බවක් ඇතිවී ඇති බවට පෙර සලකුණකි.තරුණ වයස මැදි වයස හෝ මහලු වයස යන බේදයෙන් තොරව මෙම තත්වයන් ඇතිවන අතර වැඩිහිටිවියේ සිටිනා අයගේද කුරුලෑ ගෙඩි මතුකරයි.තරුණ මහලු බේදයෙන් තොරව මෙම තත්වයන් ඇතිවන නමුත් තරුණ තරුණියන් අතරේ කුරුලෑ ආදී තත්වයන් බහුලව දැකිය හැක.එයට ප්‍රධාන හේතුව වන්නේ තරුණ වයසේදී ගන්නා ආහාර රටාවේ ඇතිවන වෙනස්කම්වේ.එමෙන්ම ශරීරයේ හෝමෝණ නිපදවීම සහ එහි ක්‍රියාත්මක බව වැඩි කාලයයි.එමෙන්ම කුරුලෑ ළප ආදියට මූලික වන ශරීර උෂ්ණත්වය ආහාර රටාවේ වෙනස්වීම් මගින් ඇතිවනවා මෙන්ම පරම්පරාගතව පැමිණීමේ හැකියාවද පවතී.විශේෂයෙන් නාඩි පොරොන්දම නොහැලපී , භූත පොරොන්දම නොගැලපී විවාහවීම නිසාද , උපදින දරුවන් දෙමාපිය දෙපලගේ විවිධ වූ ජාන ව්‍යාකූලතාවයන්ට ලක්වෙයි.එමෙන්ම ශරීරයෙන් මුත්‍ර සහ මළපහ නියමාකාරයෙන් ඉවත් නොවීමත් , තෙල් සහිත ආහාර වැඩි වශයෙන් ගැනීමත් ආදි හේතූන් නිසා එහි අනිසි බලපෑම් මුහුණ හරහා මතුකරයි.
එම නිසා ඔබ රූසපුව පිලිබදව සිතා කටයුතු කරනා අයෙකු නම් තම ආහාර රටාව සහ එදිනෙදා ජීවන රටාවේ පිළිවෙල පවත්වාගත යුතුය.දිනකට දෙවරක්වත් මළපහ පිටවීම යහපත්ය.දිනකට දෙවරක් තියා එක්වරක් වත් මෙම කටයුත්ත සිදු නොවන පිරිස් බහුලව සිටී.උවුන් තුලින් අදික කෝපය පිටවේ.මළබද්ධය තත්වය හෝ බඩ වියලීමේ ගති පවතින්නේ නම් ඒ සදහා දේශීය ප්‍රථිකාර ඕනෑ තරම් තිබෙන අතර ඒ සදහා යොමුවීමත් කේදි සහිත ආහාර , හොදින් ඉදුණු පළතුරු අනුඹවය සහ පිරිසිදු ජලය නිතරම පානය කිරීම මූලිකව යහපත්ය.එමෙන්ම බඩ විරේකයක් සුදුසු දේශීය වෛද්‍ය උපදෙස්මත සිදුකිරීමද යහපත්වේ.
විශේෂයෙන් ශරීර උෂ්ණත්වය , ශරීරයේ ඉතිරීවී ඇති විස ගති ඉවත්කිරීමට මෙන්ම සම පැහැපත්වීමට දේශීය වෙදකම තුල විවිධාකාරයේ පාන වර්ග ලබාදෙයි.රණවරා දිනකට එක් වරක් හෝ බීමට හැකි නම් සමේ පැහැයැ වර්ධනය කරයි.දිනකට එක් වරක් හෝ බීම සිදුකල යුතුය.බාර්ලි තම්බා බීමත් , හාතවාරිය කොළ කැද බීමත් යහපති.එමෙන්ම වෙනිවැල්ගැට සෑම දිනකම රාත්‍රි නින්දට පෙර පානය කිරීමට හැකිනම් එයද ඉතා යහපත්ය.කොහිල කැද බීමෙන් සමස්ත ශරීරයේ දාහය නිවයි.
මෙතෙක් දුරට ශරීරයේ උෂ්ණත්වය සහ එය පාලනය කිරීම පිළිබදව කීවා මිස රූ සපුව වැඩීමට කලයුතු ප්‍රතිකර්ම පිලිබදව සදහන් කලේ නැත.එයට හේතුව වන්නේ ශරීරගත උෂ්ණත්වය අවශ්‍ය පමණට වඩා පැවතීමෙන් එය ශරීරයේ බොහෝ රෝග තත්වයන් ඇතිවීමට හේතුවක් වන නිසාවෙනි.මුහුණේ ඇතිවන කුරුලෑ තත්වයන් සදහා ප්‍රතිකාර කිහිපයක්ම පහත සදහන්වේ.
කළාදුරු අල තන කිරෙන් අඹරා කුරුලෑ ගෙඩි මතුවී ඇති ස්තානයේ ආලේප කරන්න.මුහුදු බෙල්ලන් දෙහි ඇඹුලෙන් උරච්චි කර කුරුලෑ මතුවී ඇති ස්තානයේ ආලේප කරන්න.ඊට අමතරව කටු ඉඹුල් ගසේ කටු ගලවා එළකිරෙන් අඹරා කුරුලෑ ඇති ස්තානයේ ආලේප කරන්න.ගෝරෝචන සහ ගම්මිරිස් ඇල් දියෙන් අඹර එම ස්තානයේ ගෑමත් , උදුපියළිය කොළ ඉස්මෙන් සුදුළුුණු අඹරා ගෑමත් කුරුලෑ ගෙඩි පාලනයට යහපත්වේ.කුඹුක් පොතු මී පැණි සමග අඹරා ආලේප කිරීමත් කුරුලෑ සදහා ප්‍රතිකාරයකි.තවද මුහුණේ ඇතිවන අධික කුරුලෑ ගෙඩි තත්වයන් පාලනය කිරීමට දේශීය වේදකමෙහි ඉතා අගනා ප්‍රතිකාර පවතී.මෙහි දැක්වූයේ එදිනෙදා කටයුතු සමග පහසුවෙන් කරගත හැකි කෙටි එහෙත් ස්තිර ප්‍රතිකාර කිහිපයක් පමණි.
මුහුණේ මෙන්ම සමේ පැහැය සහ තරුණ බව සුන්දරත්වය වර්ධනය කරගැනීමට සහ පවත්වා ගැනීමට සුදුසු ප්‍රතිකාර සහ පිලිවෙත් කිහිපයක් සමග දින චර්යාවේ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් මෙතැන් සිට ඉදිරිපත්කරමි.රූ සපුව පිලිබදව සැලකිලිමත්වන අයෙකු ශරීර උෂ්ණත්වය මෙන්ම මානසික සමබරතාවය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කලයුතුය.මානසික සුවදායක බවක් නැතිනම් ලස්සනට ඇති රූපය පවා අවලස්සනවේ.විරූපීවේ.එම නිසා සිත මනස සුවදායක ලෙස පවත්වා ගැනීමට කටයුතු කිරීමත් අඩුම තරමේ පැය හයක පමණවත් සුවබර නින්දක් ලැබීමත් කලයුතුවේ.රාත්‍රියේ නිදිවරන්නාගේ ලේ දුර්වලතා සහ ලේ ඌණ තා ඇතිකරයි.ඇස් යට කළු පැහැගනී.මානසික සහනයක් නොමැතිනම් සුවදායක නින්දක් නැත.එමනිසා පලමුව සිත මනසත් ඉන් පසුව නින්දත් සමබර ලෙස පවත්වාගැනීමට මූලිකව කටයුතු කලයුතුය.අනෙක් අතට ශරීරයේ ලේ ධාතුව පිලිබදවද සැලකිලිමත්විය යුතුය.නියමිත ගුණයෙන් යුතු රුධිරය ශරීරයේ පවතින්නාගේ සම මෙන්ම නියපොතු , දත් ආදී වූ ශරීරයේ විවිධවූ අවයවයන්ගේ නියමාකාර ක්‍රියාත්මක බව ඇතිකරයි.
එමෙන්ම දිනකට ජලය ලීටර හතරක් වත් පානය කලයුතුය.ක්‍රමවත් ව්‍යායාමයන් සහ අවශ්‍ය නම් කාලය තිබේනම් යෝගී ක්‍රම සහ භාවනා ක්‍රමද බාවිතාකල හැකිය.ෂණික ආහාර වර්ග , කෘතිමාකාරයෙන් නිපදවනා ආහාර , පැණි බීම වර්ග , පැණි කෑම සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වැලකී සිටීමද යහපත්වේ.මීට අමතරව අදික සූර්ය කිරණින් සහ දූවිලි තත්වයන්ගෙන් ආරක්ෂාවීමට දේශීය වට්ටෝරු සහිත ආලේපයක් බාවිතා කිරීමද විශේෂයෙන් කලයුතුවේ.එමෙන්ම වර්ථමානයේ වායුසමීකරණය සහිත පරිසරයන්ගේ ජීවත්වන්නන්ගේද සමේ වියළි බව අධික වන අතර ඒ සදහාද ආලේප වර්ග සුදුසු ලෙස බාවිතාකල යුතුය.මීට අමතරව හිරු උදාවීමට පෙර උදෑසන අවධිවීමෙන් සමට අවශ්‍ය විටමින් ගුණගන් ශරීරගතවීම සිදුවන අතරම දීර්ඝායුෂ ලැබීමටද හේතුවනු ඇත.සමේ පැහැය සහ රූ සපුව පිලිබදව කටයුතු කරනා අය ස්භාවික ද්‍රව්‍යන් භාවිතයෙන් මුහුණ සේදීමද යහපත්ය.අමුකහ ගලගා ජලය පමණට දමා සකසා එයින් මුහුණ දිනකට දෙවරක් සේදීමත් , දෙහි , දොඩම් , පිපිඤ්ඤා ආදිය සමග පිරිසිදු ජලයෙන් මුහුණ සේදීමත් සමේ පැහැයට මෙන්ම සමේ පෝෂණයට සහ විවිධ ආසාධනයන්ගෙන් ආරක්ෂාවීමටත් ගුණදායකවේ.
මීට අමතරව සුදු සදුන් ඇල් දියෙන් ගලගා මුහුණේ හැකි නම් සම්පූර්ණ ශරීරයේම ආලේප කර විනාඩි විස්සක් තිහක් අතර කාලයක් සිට ඇල් දියෙන් ස්නානය කරන්න.බිත්තර කහ මදය, ඔලිව් තෙල් හා දෙහි ඉස්ම තේ හැන්දක් බැගින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු විස්සකින් පමණ සෝදා හරින්න. මුහුණේ සහ ශරීරයේ ඇතිවී ඇති ශුර්වර්ණ වූ ලප තත්වයන් සමනයවී සම සාමාන්‍ය තත්වයට පත්කරගැනීමටද දේශීය ප්‍රතිකාර පවතී.අමු කඩල අවශ්‍ය තරමට ගෙන දෙහි ඇඹුල් සහ ඇල් දිය සහිතව අඹරා එම ස්තානයන් හි ආලේප කර විනාඩි 20කට පමණ පසු සෝදා හරින්න.එක දිගට දින හතක් පමණ සිදුකරන්න.එමෙන්ම සම පැහැපත්වීමට කොකුම් පොතු , වැල් මී සමග වදකහ ඇල් දියෙන් ගලේ අඹරා ශරීරයේ ආලේප කර හැකිනම් පැයක පමණ කාලයක් සිට ස්නානය කරන්න.
එමෙන්ම වෙනිවැල් ගැට , ලොත්සුඹුලු , හරංකහ , වදකහ සමවගෙන ගෙන ඉතා සියුම්ව අඹරාගන්න.ඉන් පසුව ඇල් ජලයෙන් මුහුණ හෝදින් සෝදා කෝමාරිකා යුෂ මුහුණේ ආලේප කරන්න.එම කෝමාරිකා යුෂ වියලීමට පෙර පෙර සකසාගත් ආලේපය මුහුණේ ගා පැයක පමණ කාලයකට පසුව සෝදා හරින්න.මෙය රාත්‍රී කාලයේ කිරීම යෝග්‍යවේ.ඊට අමතරව කළාදුරු අල සහ නික මල් එකට සියුම්ව අබරා , ඇල් ජලයෙන් මුහුණ සෝදා තලතෙල් මුහුණේ ගා , ඉහත ආලේපය මුහුණේ ආලේප කරන්න.මීට අමතරව ගිතෙල් තේ හැදි එක බැගින් දිනකට වරක් ලබාගන්න.
මුහුණ සහ ශරීරය පිලිබදව සැලකිලිමත්වන ඔබට ඇතිවන තවත් ගැටලු කිහිපයක් පවතී. ඒ අතරින් හිස්+හොරි , අළුහම් , ඉන්නන් , මුඛ දුර්ගන්ධය ආදි තත්වයන් ප්‍රධාන ගැටලුවේ.මේ සදහාද විසදුම් කිහිපයක් දේශීය ප්‍රතිකාර තුලින්ම ලබාගත හැකිය.හිස්+හොරි සදහා නෙල්ලි , දෙහි ඇඹුලෙන් අඹරා හිස ගා පැයක පමණ කාලයක් සිට ස්නානය කරන්න.දිනපතා දින හතක් පමණ සිදුකරන්න.අලුහම් තත්වයක් ඇතිවී ඇත්නම් හීන් අරත්ත අල එළ කිරෙන් අඹරා අළුහම් ඇති ස්තානයන්හි ගා පැයක් පමණ සිට ස්නානය කරන්න.එමෙන්ම ඇත්තෝර කොළ යුෂගෙන අව් රශ්මියෙන් කකාරා ඇගෙහි ගා අව්වේ ස්වල්පවේලාවක් සිට ස්නානය කරන්න.මසකට වරක් අරළු කලං හයක් සීනි කලං හයක් සමග මිශ්‍රකර ඇස්ස ගැසූ තැඹිලි ගෙඩියක රෑ පින්නේ තබා උදෑසන පානය කරන්න.බඩ විරේඛ වී අලුහම් ඇතිවීමට බලපානු ලබණ උෂ්ණ තත්වයන් සහ උදරගත විස තත්වයන් ඉවත්වී යනු ඇති.ශරීරයේ ඉන්නන් ඇතිවී ඇත්නම් බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නා මත තබා උළන්න.නැතිනම් රතුලූණු ගෙඩියක් කපා විටකන හුණු එහි ගා ඉන්නා මත පමණක් ගාන්න.මුඛයේ ඇතිවන දුර්ගන්ධ තත්වයද ගැටලුකාරී වන බොහෝ අය සිටී.එවැනි තත්වයන්ගෙන් මානසික වශයෙන් පීඩා විදිනා අයට මෙම ප්‍රතිකාරයට යොමුවීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකිවනු ඇත.කළු තල , සාදික්කා සහ පුවක් යන මේ තුන් වර්ගය සමව ගෙන උදේ සවස හොදින් හපා , කට සෝදා ඇල් ජලය පානය කරන්න.මුඛයෙන් පිටවන උෂ්ණ සහිත දුර්ගන්ධයට තිත තැබීමට නම් මෙවැනි ප්‍රතිකාර සමග උදරගත අධික උෂ්ණත්වය පාලනය කලයුතුමවේ.මීට අමතරව කටහඩ මිහිරි වීමට , සෙම් සහිත බාධා මගහරවා ගැනීමට ගිතෙල් මේස හැන්දකට වැල් මි , ගම්මිරිස් සහ සීනි සම සමව ගෙන කළවම් කර බීමට ගන්න.
0 Comments