කතුන් ලෙඩ කරන යකුන්

එක්‌ කලෙක ලංකාව යක්‍ෂ පුරයක්‌ව පැවැති බව වංශ කතාවල සඳහන් වෙයි. මේ යක්‍ෂයන් කොහි සිට පැමිණියේද යන්න ස්‌ථිරව සඳහන් නොවෙතත් බොහෝ දුරට භාරතය හෙවත් ඉන්දියාව දෙසින් ඔවුන් සංක්‍රමණය වෙන්නට ඇතැයි සැලකේ. විශේෂයෙන් ම ඉන්දුÊනිම්න ශිෂ්ඨාචාර ප්‍රදේශයට ආර්යයන් සංක්‍රමණය වන විට එහි සිටි ජනතාව භාරතයේ නැඟෙනහිරටත් දකුණටත් තල්ලු වූ බව පෙනෙනුයේ, මේ යක්‍ෂ නමින් හැඳින්වෙන්නේ ඔවුන් විය හැකිය.

කෙසේ වුවද යක්‍ෂයන් පිළිබඳ විශ්වාස නම් අපේ සම්ප්‍රදායික පැවැත්මකි. මෙරට පමණක්‌ නොව අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවලත් මේ යක්‍ෂ සංකල්පය පිළිගෙන ඔවුනට විවිධ පුද පූජා කිරීම සිදු කරයි. මෙරට ග්‍රාමීය ප්‍රදේශයන්හි තවමත් දැඩි සේ මේ සංකල්පය පවතී. නාගරීකරණය වුන සමහර ප්‍රදේශවලින් ඒ තත්ත්වය තරමක්‌ බැහැර වෙමින් ඇත ද වසර දහස්‌ ගණනක්‌ අත්දැකීම් මත ර¹ පවතින බැවින් අපේ සමාජයන් මෙම සංකල්ප වෙනස්‌ කිරීම එතරම් ලෙහෙසි නැත. අපේ සමහර යන්ත්‍ර මන්ත්‍රවල කියෑවෙන පරිදි සමහර යකුන්ගේ උපත නියතයෙන්ම සිදුව ඇත්තේ භාරත දේශයේය. zඔඩ්ඩ නම් වඩිග රටZ ආදී වශයෙන් කියෑවෙන වඩිග දේශය භාරතයේ ඔරිස්‌සා ප්‍රදේශය බව පිළිගත හැකිය. මේ අදහස සනාථ කෙරෙන තවත් සාධකයක්‌ වන්නේ යන්ත්‍ර මන්ත්‍රවල එන භාෂාවයි. එම භාෂාව බොහෝ දුරට ද්‍රවිඩ භාෂාවට සමීපය. මෙරට ඈත අතීතයේ සිටියා යෑයි කියවෙන යක්‍ෂයන් ද, එම පරම්පරාවට අයත් විය යුතුය. විශේෂයෙන්ම පසු කාලීනව අපට වින කරන යක්‍ෂයන් පැමිණ ඇත්තේ භාරතයෙන් බව පිළිගැනීමට සිදුවේ. රට යකුන් ගැන සඳහන්වීමෙන් ඒ බව තවත් සනාථ වේ. එම රට යකුන් ඉපිද ඇත්තේ මහමෙර පලාගෙනය. විශේෂයෙන්ම කාන්තාවන්ට වෛර කරන, දරුගැබ් විනාශ කරන කළු යකා හෙවත් කළු කුමාරයා පිළිබඳ සංකල්පය අප ජනතාව තුළ වසර ගණනාවක්‌ තිස්‌සේ කාවැදී ඇත. කළු යකා සහ කලු කුමාරයා යනු දෙදෙනෙකු යෑයි ද මතයක්‌ වේ. තවත් මතයක්‌ අනුව කළු කුමාරයා යනු කළු යකාගේම අවතාරයකි.

වඩා රෞද්‍රව පෙනී සිටින විට කළු යකා නමින් ද සරලව හැසිරෙන විට කළු කුමාරයා නමින්ද පිළිගැනෙනු ඇතැයි සිතේ. එක්‌ මතයක්‌ අනුව කළු යකා ඉපිද ඇත්තේ ලංකා පුරයේ ය. ඔහු ඉපිද ඇත්තේ ම කතුනට වෛර කිරීමටය. ගජබා රජු චෝල දේශයට ගොස්‌ සොලීන් ගෙන ආ පුවත අප අසා ඇත. එම ගමනේදී මුහුද දෙබෑ කරමින් රජුට මංපෙත් පෑදුවේ නීල යෝධයා ය. ආපසු එන ගමනෙදී නීල යෝධයා ලංකාපුරයට ගොස්‌ ඇත. මේ ලංකාපුරය පිළිබඳව නොයෙක්‌ අදහස්‌ පළව තිබේ. එය මෙරටට සමීපව පිහිටා ඇති අතර, යකුන්ගේම දේශයක්‌ ලෙසද, සඳහන් වෙයි. බුදුන් ලංකාවට වැඩම කළ දවසද, මෙරට සිටි යකුන් ලංකාපුරයට ගිය බව සඳහන් වෙයි. මෙම ලංකාපුරයට ගිය නීල යෝධයා පිළිබඳව එම දේශයේ කාන්තාවන් අතර විශාල ගැටුමක්‌ ඇති වී තිබේ. මෙම අවස්‌ථාවේදී තද කෝපයට පත් නීල යෝධයා එහි සිටි ගර්භනී කාන්තාවන් දෙදෙනෙකුගේ හිස කඩා දැමූ බවක්‌ සඳහන් වෙයි. (එම හිස්‌ ඔහු අනුභව කළ බව ද කියවෙයි) අවසන මෙම නීල යෝධයා කළු යකා බවට පත් විය.

ස්‌ත්‍රී දෙන්නා දෑලෙ සැදෙන්නේ

බිළිඳුන් දෙදෙනා උකුලෙ වැනෙන්නේ

බෙලි විකමින් සිට රවා බලන්නේ

පපුවේ අත් ගසමින් වැලපෙන්නේ

එසේ ඈත අතීතයේ සිටම ස්‌ත්‍රීන්ට විශේෂයෙන් ම ගර්භනී කාන්තාවන්ට වෛර කරන මෙම කළු යකා ගබ්සා කිරීමත්, ස්‌ත්‍රීන් වඳ භාවයට පත් කිරීමත් කරන බව සඳහන් වේ. ඒ බැව් මින් කියෑවේ.

දහ අට මායම ට

උන හිසරද හදන්න ට

බිළිඳුන් නසන්න ට

ගතිය ඒ කළු වරම් පෙර සි ට

කළු කුමාර දිෂ්ඨිය හෙළනු ලැබූ කාන්තාවකගේ ශරීරය වැහැරීම නියතය. ඒ හැර ඔල්මාද විකාර ගති ස්‌වරූපයක්‌ ද ඔවුන් තුළ ඇතිවේ. විශේෂයෙන් ම විකාර බස්‌ දෙඩීම වැනි දේ කරනුයේ පිරිතක්‌ හෝ බෙර හඬක්‌ ඇසෙන විටය. එම අවස්‌ථාවන්හිදී ශාරීරකව ද විවිධ හැසිරීම් හි යෙදීම දැකිය හැක. ඒ කළු යකාගේ දිෂ්ඨි ලෑමේ ආදීනවයි.

"සිහි මද වී වියරුව මෙන් බත බුලතද පිරිය නො දා

රත් වී ඇඟ ගිනියම් කර ඔක්‌කාරෙන් පපුව ද දා"

මෙසේ කාන්තාවන්ට බැල්ම හෙළීම සඳහා කළු කුමාරයාට සුදුසු අවස්‌ථා හා ස්‌ථාන ද වේ. පාලු මංපෙත්, සොහොන් බිම් වැනි ස්‌ථාන මෙන්ම ඒ සඳහා ගොන්මං වේලාව වැනි අවස්‌ථා ද ඇත. තාමත් අපේ ගම්බද කාන්තාවන් එවන් ස්‌ථානවල, එවන් අවස්‌ථාවල තනිව නොහැසිරෙන්නේ ඒ නිසාය. ශාරීරිකව බලතහොත් කළු යකාට අත් හතරක්‌ ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක්‌ අතක කුකුලෙකි. හිසෙහි නයි පෙන තුනක්‌ ඇත. තවත් මතයක්‌ අනුව මෙම කළු යකාට අවතාර 07 කින් පෙනී සිටිය හැකිය. ඉන් එක්‌ අවස්‌ථාවකි කළු කුමාරයා. කළු යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ් ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සම්ප්‍රදායිකව පවතී. ඒ අනුව යක්‍ෂයන් පැන්නීම සඳහා විවිධාකාර ක්‍රමවේදයක්‌ ආදී යුගයේ සිට පවත්වා ඇත. එයින් බලි තොවිල් පැවැත්වීම ශාන්තිකර්ම කිරීම.

මෙහිදී කළු යකා පමණක්‌ නොව තොට යකා, අවිමාන, ගරා යකා, රිද්දියකා, කතුනට වින කිරීමට එක්‌ වූ සෙසු රට යකුන්ට ද පුද පූජා කරනු ලැබේ. එසේ සිදු කරන ශාන්තිකර්ම කතුන් ගැබ් ගැනීමට ද බලපායි. එවන් ශාන්තිකර්ම අතරින් කතුනටම වෙන් වූ රට යකුම වැදගත් තැනක්‌ ගනී. එම රට යකුමෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ යක්‍ෂ දිෂ්ඨියක්‌ නිසා වඳ බවින් යුතු වූ කාන්තාවකට දරු පල ලබා දීමයි. මෙහිදී පූර්ව බෞද්ධ සිද්ධීන් ද මේ පුරාවෘත්තයන්ට සම්බන්ධව ඇත. පෙර කලක දීපංකර බුදුන් දවස වඳ බිසව් 07 දෙනෙකු සිටි බව සඳහන් වෙයි. මුදුන් මාල, ධර්මපාල, ගිරිමේඛලා, ඔන්තුරා, එර්දි. රත්නපාල, තොන්ඩමාලා යනු ඒ 07 දෙනයි. වඳ භාවය නිසා සිත් තැවුලට පත්වූ මෙම ස්‌ත්‍රීන් ඉන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. අවසානයේ ඔවුහු කපු හේනක්‌ වැවූහ. කපු හේනෙන් සකසා ගත් කපු නූල්වලින් විවිධ රෙද්දක්‌ බුදුන්ට පුදා ඇත. ඒ පිං බලෙන් ඔවුන්ට දරු ගැබ් ඇති විය. රට යකුමට මුල්ව ඇත්තේ මේ සිද්ධියයි.

මෙම ශාන්තිකර්මයෙන් කළු කුමාර දිෂ්ඨියෙන් සිදුව ඇති අයහපත් දුරුවන බැව් කියෑවේ. ඉන් පසු එතෙක්‌ දරු ගැබ් නොපිහිටි කතුනට ද දරු පල ලැබේ. එහිදී කළු යකා හැඳින්වෙන්නේ කළු කුමාරයා ලෙස ය. එමෙන්ම වරෙක මහා කළු දේවතාව නමින් ද ඔහු හඳුන්වා ඇත.

හෙට්‌ටි අවතාරයක්‌ ගනිමින් දිෂ්ඨි බලමින් ඇවිදි තේ

සැටටි සොත්පති පැළැඳ කඩු බැඳ මුගුරු කොන් කඩකුත් ගතේ 

දිට්‌ටි හැර ආතුරක්‌ රැකදෙන් සිද්ධි මහ කළු දේව තා

දුට්‌ට අවගුණයක්‌ හිතාගෙන ලෙඩක්‌ කරදුන් සිටග තේ

මේ යාගය සඳහා විශේෂ පුද පූජා කළ යුතුය. එවා විශේෂයෙන් ම පිරිසුදු විය යුතුය.

මේ ලෙසට සරසලා - පුද පඬුරු දුන් තැනේ - කළු යක්‍ෂ දේවතා මෙදුන් පුද දිවැස්‌ ලා - ඇප වෙලා කැප වෙලා - ඇල්ම ලා බැල්ම ලා ආදී වශයෙන් ඇදුරා විසින් ගායනා කර පිදවිලි ඔප්පු කරයි. මෙහි පැවසෙන සිද්ධාන්ත අනුව කාල්පනික වශයෙන් බලන විට ඇත්තටම කළු යකා බලවතෙකි. පෙර කී රට යකුම හැරුණු විට දරු ගැබ රැක ගැනීමට, වඳ බව නැති කිරීමට වෙනත් විවිධ සාම්ප්‍රදායික ක්‍රමයන් ද තාමත් අපේ ගම්වල සිදු කෙරේ. ස්‌ත්‍රියක ගැබ් ගත් බව දැන ගත් විට විශේෂ පිදේනි ඔප්පු භාර කිරීම නියතය. ඒ හැර වෙනත් බලි තොවිල් ද කරනුයේ දරු ගැබ ආරක්‍ෂා කිරීමටය. රට යකුමට පෙර කළුÊකුමාරයා වෙනුවෙන් ද කාන්තාව ගැබ් ගත් මුල් අවධියේම මූලික භාරහාර වීම පුද පූජා ආදිය කෙරෙනුයේ ඔහු කෙරෙහි ඇති බිය නිසාය. එවන් අවස්‌ථාවන්හිදී භාරය සඳහා විවිධ ද්‍රව්‍ය නියමිතය. ඇට ඇටි වර්ග සහ තවත් විවිධ දැ කුඩා කළගෙඩියක්‌ තුළ බහා ගෙයි බාල්කයක හෝ වෙනත් උඩ ස්‌ථානයක එල්ලා තබනුයේ කළු කුමාරයාට දෙන අත්තිකාරමක්‌ හෙවත් ඇපයක්‌ ලෙස ය. කුස තුළ පිළිසිඳ ඇති දරුවා නිරුපද්‍රිතව බිහි වූ පසු දරුවාට ඉඳුල් කටගෑමට පෙර තොවිලයක්‌ නටා කළු කුමාර පිදේනි දී පෙර කී කළය බිඳ දමනු ලැබේ. එයින් සියලු වස්‌ දොස්‌ දුරුවන බවට විශ්වාසයක්‌ ඇත. පිදේනිය ඔප්පු කිරීමේදීද ඇට වර්ග 05 ක්‌, බුලත්, රීරි ගොටු 07 ක්‌ වැනි ද්‍රව්‍ය අවශ්‍ය වේ. සමහර විට දෙගාත බිල්ලක්‌ ද දිය යුතුය. දෙගාත බිල්ල යනු මිනිසකු ලෙස සැලකුන ද ඒ සඳහා ගනු ලබන්නේ කුකුළෙකි. මෙම ශාන්තිකර්මයේදී මෙම කට්‌ටඬියා විසින් ගනු ලබන ක්‍රියා මාර්ග තුළින් ආතුර කාන්තාවගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස්‌ වේ. ඇගේ චිත්ත වේගය සුභවාදී අරමුණක්‌ කරා දිව යයි. ඒ අනුව ඇගේ දාරකෝපත්ති ස්‌ථානය වන මෙම ගර්භාෂය දරුවෙකු පිළිසිඳ ගැනීමට යෝග්‍ය තත්ත්වයට සැකසෙන බව විශ්වාස කෙරේ. මේ ගර්භනී තත්ත්වයේ සත්යතාව කාන්තාවගේ මනසට ශක්‌ති කර්මය කාවද්දනු ලැබේ.

කිරිත් එරී දස මස එක්‌වන්නේ

වටක්‌ කරඬු තනපුඩු කලුවන්නේ

පිටක්‌ එපන සියෑතින් සැරසෙන්නේ

මටත් විලි රුදා බෝය බොලන්නේ

(රට යකුම)

මෙවන් යාග හෝම වර්තමානයේ සමහරුන් මිත්‍යා විශ්වාස ලෙස සලකතත් ඈත අතීතයේ ඒ තුළින් යහපත් ප්‍රතිඵල ලබා ඇත. දැනට ද ඈත ඈත ග්‍රාම්‍ය කාන්තාවන් තරමක්‌ දුරට හෝ මේ ඇප කැප වීම් කිරීමට පෙළඹෙන බැව් පෙනේ. වෛද්‍ය විද්‍යානුකූලව ගර්භාෂයේ යම් යම් අපහසුතාවන්ට ප්‍රතිකාර කිරීම් තුළින් වුවද මානසික ශුභවාදීත්වය වර්ධනය වීම ප්‍රධානය. ශරීරයේ ඉන්ද්‍රිය ආශ්‍රිත ක්‍රියාවලින් වෙත මානසිකත්වයේ බලපෑම නියතය. ඒ තුළින් සුභවාදී ප්‍රතිඵල ලබා ගැනීමේ ආධ්‍යාත්මික බලවේගයක්‌ ඇත. අද වන විට මේ යක්‍ෂ භූතයන් පිළිබඳ මෙවන් සංකල්ප සමාජයෙන් බැහැර වෙමින් පවතී. විශේෂයෙන් ම ඔවුන්ට බලය පෑ හැකි පාලු මං පෙත්, ළිං තොට, ගං තොට, සොහොන් බිම් ආදී ජන ශූන්‍ය ස්‌ථාන නොව, ජනාකීර්ණය. එසේ වුවද ජනාකීර්ණ දුම්රිය, බස්‌රිය තුළ පමණක්‌ නොව මුහුදු වෙරළ වැනි සථානවල ද අද තරුණියන්ට දිෂ්ඨිලන යකුන් සිටින බව අසන්නට ලැබේ. එම යකුන්ගේ දිෂ්ඨි තුළින් සිදුවිය හැකි විපත් අපමණය. සුළු පටු නොවේ.

ඡේ. ශීලා වික්‍රමරත්න

Post a Comment

0 Comments