ගෙවල් බලන්නන්ගෙන් ප්‍රවේශම් වන්න

අයියෝ නංගි මොකක්‌ද මේ කරලා තියෙන්නේ මේ ගෙදර මුදුන් බිත්ති තුනක්‌ තියෙනවානේ ඇත්තටම ඔයාලා මෙච්චර කාලයක්‌ කොහොමද මේ ගෙදර හිටියේ" ඔයාලාගේ ගෙදර කුරුස බිත්තියකුත් තියෙනවා. ඒක නම්, ඉතින් හොඳ දෙයක්‌ නොවෙයි. වැඩිකල් ආයුෂ නැහැ. ඉක්‌මනට මොනවා හරි කරන්න"

"පඩිපෙළ දොර ඉස්‌සරහටම ඇවිල්ල කවුද මේක හැදුවේ හොඳ වේලාවට මම මේක දැක්‌කේ ඔයාලාගේ වේලාව හොඳයි. මේ පඩිපෙළ තවත් තිබුණොත් ගෙදරට තවත් නම් හොඳක්‌ වෙන්නේ නැහැ"

මේ වගේ වදන් මාලා සමහරවිට ඔබගේ නිවසට එන හිතවතුන් බොහෝ විට ප්‍රකාශ කරනවා. එවැනි සිදුවීම්වල අත්දැකීම් ඔබටත් ඕනෑ තරම් ඇති. ඊට පස්‌සේ මොකද වෙන්නේ ඔබගේ නිවසේ මෙතෙක්‌ කල් නොතිබුණු ප්‍රශ්නයක්‌ හදලා දීලා ඔබගේ හිතවතා හෝ හිතවතිය නිවසින් පිටට යනවා. ඒත් ඔහු හෝ ඇය විසින් නිර්මාණ කර දුන් ගැටලුව ජීවිත කාලය තුළම ඔබට අයහපත් බලපෑම් ඇති කිරීමට හේතු වෙනවා.

වාස්‌තු ශිල්පය තුළ එය පුළුල්ව බෙදීමේදී "වාස්‌තු මනෝවිද්‍යාව" පිළිබඳව විෂය පතයක්‌ හමුවෙනවා. මේ තුළින් සෑම විටම අවධානය යොමු කරනු ලබන මූලික සිද්ධාන්ත ගණනාවක්‌ තිබෙනවා. එහිදී නිවාස වලට පැමිණ ගෘහ හිමියාගේ ආරාධානාවකින් තොරව වාස්‌තු දෝෂ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන් හඳුන්වා දෙනු ලබන්නේ "ගෙවල් බලන්නන්" ලෙසයි. මෙම ගෙවල් බලන්නන් විසින් සෑම විටම සිදුකරනු ලබන ප්‍රකාශ තුළින් ගෘහයක මෙතෙක්‌ කල් සක්‍රීය නොවුණු වාස්‌තු දෝෂ බලවත් කිරීමේ හැකියාවක්‌ පවතින බව මා විසින් සිදුකළ ක්‍ෂේත්‍ර අධ්‍යයන වලදි පෙනී ගොස්‌ තිබෙනවා. ඒවා කොතෙක්‌ බලවත් ද යත් නැවත නිවැරදි කිරීමට පවා නොහැකි වන ලෙස බලවත් වෙනවා. සමහර නිවාස නිකරුනේ කඩා බිඳ දැමීම, ආර්ථික ප්‍රශ්න බහුල වීම, නිවැරදි වාස්‌තු සිද්ධාන්ත වැරදි ලෙස සකස්‌ වීම ආදී කරුණු නිසා සෑම විටම ගෘහයකට සිදුවන අයහපත අති මහත් බව කිව යුතුයි.

මෙසේ ගෙවල් බලන්නන් ලෙස සෑම විටම ඔබට අයහපත් දේ ලබා දෙන්නේ ඔබගේම හිතවතෙකු හෝ හිතවතියන් විසිනි. මීට අමතරව නිවසේ පුංචි වැඩකට එන මේසන් බාස්‌ හෝ වඩු බාස්‌ මෙන්ම නැකැත්කරුවන් සහ කපුවන් මෙම ගෙවල් බලන්නන්ගේ චරිතයට පනපෙවීම සිදුකරනු ලබනවා. මේ නිසා මෙවැනි පුද්ගලයන්ගේ ප්‍රකාශ පිළිබඳව ඔබ වඩාත් විමසිලිමත් විය යුතුයි. 

ඔබගේ ගෘහයේ සැලසුම පිළියෙල කරන අවස්‌ථාවේදීම ඔබ වාස්‌තු මූලධර්ම පිළිබඳව අවධානය යොමු කොට කටයුතු කළ ද මෙවැනි ප්‍රකාශ හමුවේ ඔබට ගැටලු සහගත තFවයකට මුහුණ දිමට සිදුවෙනවා. මෙවැනි විටකදී ඔබ වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. එහි දී ඔබගේ ගෘහයේ දැනෙන ප්‍රශ්න නොමැති නම් ඔබ කිසිම විටක පිටස්‌තර පුද්ගලයින් සමග එවැනි කතාවන් ආරම්භ නොකළ යුතුයි. එසේම දැනෙන ප්‍රශ්න ඇත්නම් ඔබ ගොඩ වෙදකම් නොකර පිළිගත් වාස්‌තු ශිල්පයේ උපදෙස්‌ අනුව කටයුතු කල යුතුයි.

එසේම නිවසට පැමිණ ඔබගේ ආරාධනයකින් තොරව නිවසේ වාස්‌තු දෝෂ පිළිබඳව පවසන යමෙක්‌ වේද ඔහු වාස්‌තු ශිල්පය පිළිබඳව දන්නා අයෙකු නොවේ. කාගෙන් හෝ අසා දැනගත් දෙයක්‌ හෝ තමන්ට ඒ වේලාවේ හිතෙන දෙයක්‌ පමණක්‌ ඔහු ප්‍රකාශ කරන බැවින් ඔබ එවැනි අවස්‌ථාවල ප්‍රවේශම් විය යුතුයි. ඒ මක්‌ නිසාද යත් විෂය පිළිබඳව මනා පරිචයක්‌ ඇති කිසිම වාස්‌තු ශිල්පියෙකු ගෘහ හිමියාගේ අවසරයකින් තොරව ආරාධනයකින් තොරව කිසියම් ගෘහයක වාස්‌තු දෝෂ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරන්නේ නොමැති බැවිනි.

ගෙවල් බලන්නන් විසින් ඔබගේ මනස අවුල් කරන 

ජනප්‍රිය වාස්‌තු ඉඟි කිහිපයක්‌ පවතිනවා.

* ප්‍රධාන ද්වාරය බටහිරට හෝ ගිණිකොණට තිබෙන බව 

* නිවස තුන්මන් හන්දියක තිබෙන බව

* නිවස ප්‍රේත පාදයට හසු වී ඇති බව

* ඉඩමේ ළිඳ අයහපත් බව

* නිවස ඉදිරියේ ඇති කණු අයහපත් බව

* නිවස ඛ හැඩ නැත්නම් පොරො හැඩය බව

* බස්‌නාහිරට හිස දමා නිදා ගැනීම නුසුදුසු බව

* නිවසට බැසගෙන යන පඩිපෙල් අයහපත් බව

* ගැබිනි කාලයේ දි නිවාස සෑදීම සුදුසු නොවන බව

* බිම් මහලයේ දොරවල් හා ජනේල වලට ලම්බකව ඉහල මහලයේ ඒවා අසුභ බව

* කුරුස බිත්ති අයහපත් බව

* පඩිපෙළ දොරට පෙනීම අයහපත් බව

* ප්‍රධාන ද්වාරය අසළට ආ විට ජනේලයකින් එළිය පෙනීම අයහපත් බව

* නැගෙනහිර සහ බටහිර දිශාවලට වහලයේ මුඳුන් යටලීය අයහපත් බව

* දොර උළුවහු ගිනි කතුරට හසුවන බව

* තැඹිලි ගස්‌ නිවස ඉදිරිපිටට නුසුදුසු බව

* ගේට්‌ටුව සහ ප්‍රධාන දොර එකකෙලින් දෝෂ බව

* නිවස ළඟ පන්සල්, පල්ලි සොහොන් බිම අයහපත් බව

* නිවසේ මුළු ගණන වැරදි බව

* නිවසේ මුළුතැන්ගෙය සහ අනෙකුත් ගෘහ අංග වැරදි බව සහ වහලය වැරදි බව

මේ ආකාරයට නිවසට එන ගෙවල් බලන්නන් විසින් නිවසේ දෝෂ පෙන්වා දීමට යොදා ගන්න ජනප්‍රිය වාස්‌තු දෝෂ ඉඟි-වැකි කිහිපයක්‌ ඔබට පෙන්වා දුන්නේ එවැනි විටක දී ඔබට ඒ පිළිබඳව දැනුවත්ව සිටීමේ අරමුණෙනි. මෙහිදී ගෘහයක වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව අදහස්‌ ලබා දීමට නිසි වාස්‌තු පරීක්‍ෂාවකින් තොරව කළ හැකි දෙයක්‌ නොවේ. ගෘහයක දෝෂ තිබෙනවාද කියා සොයා ගැනීම සඳහා විධිමත් පරීක්‍ෂාවක්‌ කළ යුතු වෙනවා. මෙහි දී දෝෂ නොමැති නිවසක්‌ සොයා ගැනීම නොමල ගෙයකින් අබ මිටක්‌ සොයාගන්නවාටත් වඩා අපහසු කටයුත්තක්‌ බව මා මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රායෝගිකව කටයුතු කරන වාස්‌තු ශිල්පියෙකු බැවින් මනාව පැහැදිලි වී තිබෙනවා. අප මෙහිදි කළ යුත්තේ ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත එකඟ කර ගත හැකි තරමට එකඟ කර ගැනීම හා පොදුවේ නිවසේ වාස්‌තු සිද්ධාන්ත වැඩි ප්‍රමාණයක්‌ එකඟ කර ගැනීම මිස වාස්‌තු 100% ක්‌ එකඟ කර ගැනීම නොවේ. එම නිසා මූළීක සිද්ධාන්ත නිවැරදි නම් පුංචි පුංචි දෝෂ තිබුණාට ඒවා බලවත් වන්නේ නැහැ. එසේ වුවද දෝෂ වැඩි නම් පුංචි පුංචි දෝෂ පවා බලවත් වීමට ඇති ඉඩකඩ වැඩි බවද මතක තබා ගන්න. 

කෙසේ වුවද ඔබගේ නිවසට එන වාස්‌තු නොදන්නා ගෙවල් බලන්නන් විසින් ඔබගේ ගෘහයට ඇතිකරන අයහපත් බලපෑම නිසි ලෙස හඳුනාගෙන එවැනි සංවාද හැකිතාක්‌ වැලකී සිටීමට වගබලා ගන්න. නිවසේ වාස්‌තු දෝෂයන් තිබෙන බව මූලින්ම දැනෙන්නේ එම ගෘහය පරිහරණය කරන ඔබටම මිස නිවසට යන එන අයට නොවේ. එබැවින් ඔබට එවැනි සංවේදිතාවයන් ඇතිවන්නේ නම් සුදුසුකම් ලත් වාස්‌තු ශිල්පියෙකුගේ උපදෙස්‌ අනුව පමණක්‌ කටයුතු කිරීමට සිහිතබා ගන්න. ඔබට ආරක්‍ෂාව හා සැනසීම ලබා දෙන ඔබගේ නිවසේ වැරදි කියන මිනිසුන්ගේa මුසා බස්‌වලට රැවටී ඔබත් ඔබගේ වාසනාවන්ත නිවස ගැන සැකයෙන් බලන්න හිතන්නවත් එපා. ඒ තරමට ඔබගේ ගෘහය ඔබට සම්පතක්‌ බැවින් එයට සෑම විටම ගෞරවාන්විතව සැලකීමට පුරුදු වන්න.

වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩි.යු. සෙනරත්

Post a Comment

0 Comments