ශාස්‌ත්‍රධාරි රේඛාව, භූමිරේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව

අත්ලක ප්‍රධාන රේඛාවන්ට අමතරව පිහිටන අප්‍රධාන රේඛාවන් කීපයක්‌ පිළිබඳව පසුගිය ලිපිවලින් විස්‌තර කළා ඔබට මතක ඇති. අද අපි විස්‌තර කරන්නේ කලාතුරකින් කෙනෙකුගේ අතක දැකිය හැකි ලුහුඬු රේඛා කීපයක්‌ පිළිබඳවයි. ශාස්‌ත්‍රධාරී රේඛාව, භූමිරේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව ගැනයි. පළමුව රූප සටහන බලා රේඛා හඳුනා ගන්න.

මැණික්‌ කටු රේඛා ආශ්‍රයෙන් ජීවන රේඛාවෙන්, ශීර්ෂ රේඛාවෙන් හෘදය රේඛාවෙන් ආරම්භ වන ශාස්‌ත්‍රධාරී රේඛාවේ සාමාන්‍ය පිහිටීම එහි පෙන්නුම් කරල ඇති. ශාස්‌ත්‍රධාරී රේඛාව පිහිටා ඇත්තේ කීර්ති රේඛාවටත් මැදිවෙලා බව දැන් ඔබට පැහැදිලි ඇති. කීර්ති රේඛාවේ සාමාන්‍ය පිහිටීමත්, සුඛ රේඛාවේ සාමාන්‍ය පිහිටීමත් (ශාස්‌ත්‍රධාරී රේඛාව දෙපැත්තේ) කෙටි ඉරිවලින් සලකුණු කර ඇති නිසා ශාස්‌ත්‍රධාරී රේඛාව පිහිටන්නේ කෙසේද කියා ඔටට තේරුම් ගත හැකි වෙයි. කීර්තිරේඛාව රවි මංඩලයෙන් අවසන් වෙන බවත්, සුඛ රේඛාව බුධ මංඩලයෙන් අවසන් වෙන බවත් පෙර විස්‌තර කළ ලිපිවලින් ඔබ දැනුවත් වෙලා ඇති. නමුත් ශාස්‌ත්‍රධාරී රේඛාව අවසන්වන්නේ වෙද ඇඟිල්ලටත්, සුලැඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන්. නැතිනම් සුලැඟිල්ලටත්, වෙද ඇඟිල්ලටත් අතර ඇඟිලි කරු අතරිනුයි. කාගේ හෝ අතක එවැනි රේඛාවක්‌ ඇත්නම් එය තමයි ශාස්‌ත්‍රධාරි රේඛාව.

ශාස්‌ත්‍රධාරී රේඛාව හැම අයෙකුගේම අත්වල පිහිටන රේඛාවක්‌ නොවේ. නොයෙක්‌ විදියේ ශිල්ප ශාස්‌ත්‍ර පිළිබඳව සහජ ප්‍රවීනතාවයක්‌ ලබන විශාරදයන්ගේ අත්වල මෙම රේඛා දැකිය හැක. උපතින්ම උරුම කරගත් හෝ ස්‌ව උත්සාහයෙන් දියුණු කරගත් අසහාය බුද්ධි බලයක්‌ ඇති අයගේ අත්වලත් මෙම ශාස්‌ත්‍රධාරි රේඛාව පිහිටිය හකිය. ජ්‍යෝතිර් විද්‍යාඥයන් හස්‌ත රේඛා විශේෂඥයින් ගත් කතුවරුන් විද්‍යාඥයන් චින්තකයන්, සංගීතඥයින්, ලේඛකයින් වැනි ප්‍රසිද්ධ ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ අත්වල ශාස්‌ත්‍රධාරි රේඛාව පිහිටන බව පර්යේෂණවලින් ඔප්පුවී ඇත. ශාස්‌ත්‍රධාරි රේඛාව හක්‌ගෙඩි ලකුණකින් අවසන්වීම ඉතාමත් සුභඵල දෙන පිහිටීමක්‌ වේ. දස අත පැතිරගිය කීර්ති ප්‍රශංසා ආදියට උරුමකම් ඇති ඔවුන් මිනිසත් බවේ උසස්‌ තත්ත්වයට පත්වන්නෝ වෙති. මත්ස්‍ය සලකුණක්‌ (මාළුවෙකුගේ) ශාස්‌ත්‍රධාරී රේඛාව මත දිස්‌වීමත් ඒ වගේම සුබඵල දීමක්‌ වේ. දැන් ඔබ ඔබේම අත දිගඇර බලන්න ශාස්‌ත්‍රධාරී රේඛාව ඔබේ අතේ ඇතිද කියා.

රූප සටහනේ අංක 2 පෙන්වා ඇති කෙටි රේඛා සලකුණ දෙස දැන් බලන්න. මැණක්‌ කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අග භාගය කපාගෙන මහපට ඇඟිල්ල දිශාවට ඉලක්‌ක තබා විහිද යන එම රේඛාව තමයි භූමි රේඛාව. ඉඩකඩම් වගේම භූමියෙන් ලබාගන්නා මැණික්‌. නිධන් වස්‌තු වැනි දේවලට හිමිකරුවන් වන අයගේ අත්වල බොහෝවිට මෙම රේඛාව දැකිය හැකිය. මැටි, ගල්, වැලි වැනි ඛනිජ සම්පත් උපයෝගී කොට ගෙන කිසියම් ව්‍යාපාරවලින් දියුණු වීමට භාග්‍ය ඇති අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටයි. භූමි රේඛාව වෙනත් රේඛාවලින් කැපී යාම අසුබය. ඉඩ කඩම් සම්බන්ධ අවුල් වියවුල් ඇතිවීමට එවැනි පිහිටීම් හේතුවෙයි. දූපත් ලකුණු හෝ කළු ලප වැටීමත් සුබ නොවේ. ඉඩම් නඩු තමන්ගේම වාසියට තීන්දුවන නිසා භූමි රේඛාව මත දිස්‌වන්නාවූ චතුරස්‍ර ලකුණද, සුබ පිහිටීමක්‌ බව සැලකේ.

මැණික්‌ කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අවසාන කෙළවර කපාගෙන උඩු අත බලා විහිදයන කෙටි රේඛා සලකුණ ජන්ම රේඛාවයි. 3. එම රේඛාව හොඳින් දර්ශනය වේ නම් එය ඉතා හොඳ පිහිටීමක්‌. පෙර ආත්මයන්හිදී කරන ලද නොමඳ පින්බල ඇති ඔවුනට අනේක විධ භවභෝග සම්පත් හිමි වේ. එවැනි පිහිටීම් ඇති අයට උපන් භූමියේ ජීවත්වීමෙන් හා උපන් භූමියේ ව්‍යාපාර ආදිය කිරීමෙන් නොමඳ දියුණුවක්‌ ලබාගත හැකිවෙයි. කාගේ හෝ අතක ජන්ම රේඛාව කැඩී කැපී හෝ විකෘති වී ඇති නම් එවැනි අයට උපන් භූමියේ ව්‍යාපාර කිරීමෙන් දියුණුවක්‌ ලබාගත හැකි නොවේ. ජන්ම රේඛාව මත දූපත් ලකුණක්‌ හෝ කතිර ලකුණක්‌ වැටීමත් ඒ වගේම අසුබයි. එවැනි පිහිටීම් ඇති අයට විදේශ රටවලදී හෝ හදිසි විපත් අකල්මරණ පවා සිදුවිය හැකිය. ජන්ම රේඛාව මත චතුරස්‍ර ලකුණු වැටී ඇත්නම් ඔහු හෝ ඇයට ජීවිතයට එල්ල වෙන අනේකවිධ බාධකවලින් ආරක්‌ෂා වෙන බව පැවසේ.

රූපසටහනේ අංක 4 න් දක්‌වා ඇති කෙටි රේඛා සලකුණ සතුරු රේඛාවයි. එය ජීවන රේඛාවේ මුල් භාගය කපාගෙන විහිද ගොස්‌ ගුරු මණ්‌ඩලයටත්, ශනි මණ්‌ඩලයටත් අතර ඇති ප්‍රදේශයෙන් කෙලවර වෙයි. එම සතුරු රේඛාව සුබ පිහිටීමක්‌ නොවේ. සතුරු රේඛාව පිහිටා ඇත්නම් එවැනි අයට බොහෝ සතුරු අය සිටින බව පෙන්නුම් කෙරේ. සමහර අයගේ සතුරු රේඛාව ඉරිවලින් කැපී යා හැක. සතුරු බලවේග අභිබවා නැගී සිටීමේ ආත්ම ශක්‌තියක්‌ ඔවුන් තුළ ඇති බව එම ලකුණු තුළින් පෙන්නුම් කරයි.

හිඹුටානේ පියතිලක ද අල්විස්‌

Post a Comment

0 Comments