වෘක්‍ෂ දෝෂ හඳුනා ගන්න

මිනිසාට ගස්‌ වැල්වලින් තොරව ජීවත් විය නොහැකි බව අප දන්නා කරුණකි. මිනිසා මෙන්ම ගස්‌ වැල් ද ජීවය සහිත කොටසක්‌ බව වාස්‌තුවේ හඳුන්වයි. මෙය විශේෂයෙන්ම බුදු දහම මගින්ද තහවුරු කොට තිබේ. ගස්‌ වැල් හා මිනිසා අතර පවතින මෙම සම්බන්ධතාවය ඉතා ප්‍රබල සම්බන්ධතාවයකි. ලෝකයේ හා ජීවයේ පැවැත්ම උදෙසා ගස්‌ වැල්වලින් ඉටු කරන මෙහෙය අපමණයි. බුදුවරුන් මාර පරාජය කොට විමුක්‌තිය උදාකර ගන්නේ ද තුරු සෙවණක්‌ යටයි. අප ඒ සෑම ගසක්‌ම බෝධිය යන ගෞරවාන්විත නාමයෙන් හඳුන්වමු. තුරු ලතා නොමැති කල පෘථිවි තලයේ ජීවයක්‌ පිළිබඳව අපට කතා කළ නොහැක. ජීවයේ ආරම්භයත් ජීවයේ අවසානයත් එකට යා කෙරෙන්නේ තුරු ලතා බව අප මතකයේ තබා ගත යුතු වේ. මේ වැනි සක්‍රීයතාවයක්‌ සහිත තුරු ලතා මිනිසා වෙත කරනු ලබන බලපෑම සුළුපටු නොවේ. මේ නිසාම වාස්‌තු විද්‍යාව තුළ ගස්‌ වැල් සම්බන්ධව විශේෂ අවධානයක්‌ යොමුකොට තිබේ. ප්‍රධාන වාස්‌තු සෘෂිවරුන් වන විශ්ම කර්ම, මය, විශ්වජිත් යන සෘෂිවරුන්ට අමතරව තුරු ලතා මිනිසාට සිදුකරන බලපෑම් පිළිබඳව අදහස්‌ දැක්‌වූ නග්නජිත්, අභිජිත් හා වසීෂට යන සෘෂිවරුන් වැදගත් වේ. 

එසේම පුරාණ ලංකාවේ ලිය වී ඇති ඉපැරණි වෙද පුස්‌කොළ පත්a ආශ්‍රයෙන්ද ගස්‌ වැල්වල බලපෑම පිළිබඳව වැදගත් කරුණු රාශියක්‌ සඳහන් වේ. අනුරාධපුර යුගය ඉතා සක්‍රියව පැවති වාස්‌තු ශිල්පයේ මෙම දැනුම ඉහළ ලෙස යොදාගත් කාල වකවානුවක්‌ ලෙස හැඳින්විය හැක. විශේෂයෙන් වාස්‌තුවේ සඳහන් වෘක්‍ෂ ශක්‌ති විමෝචන න්‍යාය තුළින් ගස්‌ වැල්වලින් මිනිසාට සිදුකරන බලපෑම හා ගස්‌ වැල් වල ශක්‌තිය උපයෝගි කරගෙන අපට ලබාගත හැකි ප්‍රයෝජන රාශියක්‌ තිබෙන බව පැහැදිළි වේ. මෙම ලිපියේ මූලික අදහස වන්නේ වාස්‌තුවට අනුව ඔබගේ ගෘහය සමීපයේ හා ගෙවත්තේ තිබිය යුතු යහපත් ශාකයන් සහ අයහපත් ශාකයන් මොනවාද යන්න පිළිබඳව දැනුවත් කිරීම හා මිථ්‍යා මත නිසා විනාශ කරගන්නා ශාකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔබව දැනුවත් කිරීමයි. 

වාස්‌තුවට අනුව අප විසින් ගස්‌ වැල් ආදිය පිළිබඳව අවධානය යොමු කිරීමේදි දිශාව ඉතාමත් වැදගත් වේ. ඔබගේ ගෘහයට අනුව ප්‍රධාන දිශා ආශ්‍රිතව ගස්‌ වැල් පිළිබඳව අවධානය යොමු කිරීම පහත පරිදි විය යුතුය.

1. උතුරු/ නැගෙනහිර දිශාවන් -( ඉතා උස්‌ වූ ගස්‌ සුදුසු නොවේ. සුදු /නිල් /ලා කහ/ දම් පාට මල් පිපෙන ගස්‌ සුදුසු වේ. එසේම කටු සහිත ගස්‌ සුදුසු නොවේ. උතුරු දිශාවට කිරි සහිත ගස්‌ ඉතා සුදුසු අතර කොහොඹ වෘක්‍ෂය ඊශාන දිශාව තුළ සිටුවීම ඉතා යහපත් වේ. විශ්ව ශක්‌තිය සම්ප්‍රෙෂණය වන ඊශාන දිශාවෙන් දෙවියන් වඩින බැවින් කොහොඹ ශාකය සිටුවනු ලැබේ.

2. දකුණු/ බටහිර දිශාවන් -( උස්‌ වූ ශාඛ සුදුසු වේ. රතු / රෝස/ කහ පාට මල් පිපෙන ශාක සුදුසු වේ. බෙලි ශාකය නිරිත දිශාවට ඉතා යහපත් බව පෙන්වා දෙමි. වාස්‌තු විද්‍යාවේ දි බෙලි ශාකය හඳුන්වනු ලබන්නේ ශ්‍රියා ඵල ශාකය ලෙසයි. එම නිසා මෙම ශාකය විශ්ව ශක්‌තිය පිටව යන නිරිත දිශාවේ සිටුවීම ප්‍රතිඵල සහිත වේ. 

නිවස සමීපයේ ගස්‌ සිටුවීමේදි වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් නිවසේ ප්‍රධාන ද්වාරයේ උස මෙන් 1 1/2 එනම් අඩි 09කට වඩා ඈතින් ගස්‌ සිටුවීමට වග බලා ගත යුතු වේ. කිසිසේත්ම ප්‍රධාන ද්වාරයට ආසන්නයෙන් වෘක්‍ෂ නොවිය යුතු වේ.

මංගල ද්වාරය සහ වෘක්‍ෂ දෝෂ 

1. මංගල ද්වාරයට අඩි 09 කට වඩා ආසන්නව ඉදිරියෙන් ඇති ගස්‌ දෝෂ ගෙන දේ

2. අඹ ,සියඹලා, බෝගන්විලා (කටු සහිත කිසිම ගසක්‌ සුදුසු නොවේ. පතොක්‌ ශාකයද සුදුසු නොවේ)

3. මැරී ගිය ශාක සහ විශාල බෙන සහිත ශාක

4. අකුණු වැදුණු ගස්‌

5. පිලල් සහිත පල රහිත ගස්‌

ඉහත නම් සඳහන් ගස්‌ තිබෙන්නේ වෙනත් කෙනකුගේ ඉඩමක හෝ පොදු පාරකින් වෙන්වලා නම් ඔබ කලබල නොවිය යුතුයි. එවැනි ගස්‌වලින් දෝෂයක්‌ හට නොගනී. විශේෂයෙන් තැඹිලි ගස පිළිබඳව මිථ්‍යා මතයක්‌ අප රටේ පැතිරිලා තිබෙන බව නිවාස පරීක්‍ෂා කිරීමේ දී පෙනී ගියා. නිවස ඉදිරියෙන් තැඹිලි ගස්‌ ඉතා අසුබ බවත් ඒවා ඉවත් කළ යුතු බවත් මිනිසුන් විශ්වාස කරනවා. මෙය ඉතා වැරදි මතයකි. වාස්‌තුවේ කිසිම තැනක එසේ සඳහන් වෙලා නැහැ. මෙවැනි මත දරන්නන් ඉදිරිපත් කරන්නේ බොළඳ තර්ක. පොල් තැඹිලි යනු කප් රුක ශාකයක්‌ බව අපි දනිමු. කිසිසේත්ම තැඹිලි ගස නිවසේ මුහුණතට අසුබ නොවේ. එහෙත් ගෙඩි හා අතු වැටීම වැනි ආරක්‍ෂාව පිළිබඳව ගැටලුවක්‌ පවතී. එසේ නොවේ නම් වාස්‌තු සිද්ධාන්ත වලට අනුව අයහපතක්‌ නොවන බව තරයේ සිහි තබා ගත යුතුයි. 

එසේම නිවසේ ඉතා ආසන්නව හා බැල්කනිවල බෝගන්විලා වැනි කටු සහිත ශාක හා පතොක්‌ ශාක තබා ගැනීම ඉතා අයහපත් බව පෙන්වා දෙමි. නිවසේ වහලයට හා බිත්තිවලට ගෑවෙන ලෙස ගස්‌වල අතු පහත් වී තිබීම සුදුසු නොවේ. නිවසට ඉතා ආසන්නයෙන් හා ගිනිකොන දිශාවෙන් නිවසේ මුහුණත ප්‍රදේශයෙන් කෙසෙල්, කීඩාරම්, ලප් නාරං ඉතා අයහපත් වේ. එසේම නිවසේ වහලයට හා ප්‍රධාන ද්වාරයට අවහිර වන පරිදි වැල් වර්ග යවා තැබීම නොකළ යුතු කාර්යයකි. කහ පාට මල් කිසිම විටෙක නිවසේ මුහුණත නිවසට ඉතා සමීපව නොවිය යුතු අතර දිශාව අනුව මල් වර්ග තෝරා ගැනීම ඉතාමත් ප්‍රතිඵලදායක බව පෙන්වා දෙමි. 

වෘක්‍ෂ වේද දෝෂ

විශේෂයෙන්ම වාස්‌තුවේ සඳහන් පරිදි ස්‌ථම්භ වේද දෝෂය නිසා එම ගෘහයේ වෙසෙන්නන්ට සිදුවන අයහපත් බලපෑම්වලට සමාන අයහපත් බලපෑම් වෘක්‍ෂ වේද දෝෂ නිසා හටගනු ලැබේ. වෘක්‍ෂ වේද දෝෂ යනු මංගල ද්වාරයට ඉතා ආසන්නයෙන් හරි කෙලින් වෘක්‍ෂ පිහිටා තිබීමයි. 

රාජ භය ඇතිවීම

හදිසි අනතුරු ඇතිවීම

මානසික ආතතිය 

අසල්වැසියන් හතුරු වීම

චර්ම රෝග බහුල වීම

වාස්‌තුවේ සඳහන් පරිදි ගස්‌ වැල් යනු මිනිසා මෙන්ම ජීවය පිරුණු කොටසකි. ගස්‌වලට සූර්ය කිරණ පතිත වූ විට එම සූර්ය ශක්‌තිය අවශෝaෂණය කරගෙන විවිධ ශක්‌තීන් නිකුත් කරයි. මෙය වාස්‌තුවේ දී ශක්‌ති විමෝචනය ලෙස හඳුන්වයි. මෙම ශක්‌තීන් මිනිසාට හිතකර මෙන්ම අහිතකර ලෙස බලපානු ලබයි. වාස්‌තුවේදී මෙවැනි හඳුනාගැනීම් සිදුකොට සුබ අසුබ ලෙස වර්ග කොට ඇත. මෙය කොතරම් සක්‍රීයද යන්න පිළිබඳව සිදුකරනු ලැබූ අධ්‍යයනය තුළින් අනාවරණය වී ඇත. එහිදී සියඹලා වෘක්‍ෂය හා අඹ වෘක්‍ෂය ප්‍රධාන තැනක්‌ ගනී. මෙවැනි ශාක නිවසේ මුහුණතට කිසිසේත් සුදුසු නොවේ. මෙවැනි ශාක ඇති නිවෙස්‌වල පොදු ලක්‍ෂණ පහතින් දක්‌වා ඇත. 

දරු ඵල අහිමි වීම 

පිරිමි දරුවන් නොමැත

පරම්පරාව යාවත්කාලීන නොවේ

නිවස යාවත්කාලීන නොවේ

කසාද මග හැරී යාම

දරුවන් සිටියද ඔවුන් නොමග යාම සහ අකීකරු වීම

අසල්වැසියන් විරුද්ධ වේ.

මේ ආකාරයට ගස්‌වැල් ගෘහය සහ එහි ජීවත් වන්නන්ට සක්‍රීය ලෙස බලපාන බව මනාව පැහැදිළි වේ. මේ නිසා ඔබ විසින් තමන්ගේ ගෙවත්තේ ගස්‌ වැල් සිටුවීමේදී මේ පිළිබඳව සිතා බලා කටයුතු කරන්න. කිසියම් වෘක්‍ෂයක්‌ නිවසේ උසට වඩා වැඩි ඈතකින් හෝ වෙනත් කෙනකුගේ හෝ පොදු ඉඩමක තිබුණද කිසිම බලපෑමක්‌ ඇති නොකරයි. 

ඔබගේ ගෙවත්කට ශ්‍රියා ඵල බෙලි ශාකය හා කොහොඹ ශාකය එක්‌කර ගන්න. උතුරු හා නැගෙනහිර දිශාවට නම් ප්‍රධාන ද්වාරය තිබෙන්නේ සමන් පිච්ච වැලක්‌ නිවස ඉදිරිපිට ඉතා යහපත් වන අතර දකුණු බස්‌නාහිර දිශාවට ප්‍රධාන ද්වාරය ඇත්නම් නිවස ඉදිරිපිට සේපාලිකා ශාකය ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. වාස්‌තු විද්‍යානුකූලව උතුරු නැගෙනහිර දිශාවලට උස අඩු ශාකද දකුණු බටහිර දිශාවන්ට වඩා උස්‌ වූ ශාකද එක්‌කර ගන්න. සෑම විටම සුවඳ සහිත මල් වර්ග නිවස ඉදිරිපිට සිටුවා ගැනීම ඉතා යහපත් බව පෙන්වා දෙමි. වාස්‌තු සිද්ධාන්තවලට අනුව ඔබගේ ගෘහය සහ ඔබට යහපත් ප්‍රතිඵල ලබා දෙන තුරු ගොමුවන් ගෙවත්ත තුළ ඇතිකර ගැනීමට ඔබට සහායවීමට ගත් උත්සාහය සාර්ථක වු බව මාගේ හැඟීමයි.

පේරාදෙණිය ඩි. යු. සෙනරත්

Post a Comment

0 Comments