අන් අයගේ චරිත ලක්ෂණ ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන දැන ගැනීමේ හැකියාවක් ඔබට ඇතිනම් එය මොන තරම් ආඩම්බරයක්ද. එවැනි පුදුම සහගත ඉවක් ඇති ඉතා කලාතුරකින් අත්ලක දැකිය හැකි රේඛාවක් පිළිබඳවයි අද අනාවරණය කරන්නේ. දියුණු කරගත් චිත්ත සන්තානයක් ඇති අයගේ පුනරුත්පත්තිය අනුව කාලයක් තිස්සේ නොකඩවා දියුණු කරගෙන එන මනසක් ඇති අයගේත් අත්වල මෙම රේඛාව හොඳින් දර්ශනය වන බව දැකිය හැක.
මෙම රේඛාව පරහිත් (අන්හිත්) දර්ශන රේඛාව හෙවත් ස්ථානෝචිත රේඛාව යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම රේඛාව පිළිබඳ විමර්ශනයට පළමුවෙන් හස්ත රේඛ සටහන දෙස බලන්න. ඔබේ අත්ලේ මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ උතුරු දිශාවෙන් ආරම්භ වී අර්ධ කවයක් මෙන් නැවී හෘදය රේඛාවෙන් පහළ දෙවැනි කුජ මණ්ඩලය මතදී අවසන් වෙයි. ඇතැම් අවස්ථාවලදී මෙය බුධ මණ්ඩලය හෙවත් සුළැඟිල්ලේ මුලට වැටෙයි. එමෙන්ම මෙම රේඛාවේ විශේෂ ලක්ෂණයක් වනුයේ කිසිම අවස්ථාවක සෘජු රේඛාවක් වශයෙන් නොපිහිටීමයි. එමෙන්ම ගැඹුරු හා පැතැලි රේඛාවක්ද නොවීමයි. මනෝ දර්ශන රේඛාව හැම අවස්ථාවේම සියුම් රේඛාවක් වේ. "හිප්නොටිසම්, මැස්මරිසම්" මනෝ විද්‍යාව වැනි පෝෂණ ක්‍රම හා දර්ශන විද්‍යා උගතුන්ගේ අත්ලෙහිත් එම රේඛාව පිහිටිය හැක. එහෙත් ප්‍රායෝගික ජීවිත ගත කරන ඇතැමුන්ගේ අත්වල මෙම රේඛාව කිසිසේත්ම ප්‍රදර්ශනය නොවේ. මනෝ දර්ශන රේඛාව මගින් ඇතිකරවන බලවේගය අනුව සිත තුළ හටගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයක සේයාවක් ගනී. යමෙකුගේ මනසෙහි ස්වභාවයෙන් පවතින චල ගතිය මෙම රේඛාව වැටීමත් සමගම අවසන් වෙයි. වැඩ ගැනීමට හැකි තමාට පාලනය කරගත හැකි අචල චිත්ත සන්තානයක් මෙම රේඛාව මගින් ඇති වෙයි. එමෙන්ම භූතාත්ම සමග දැඩි සම්බන්ධකම් පවත්වන දේව ආකර්ෂණය ලත් අය සත්‍ය ලෙස ප්‍රකාශ කරන අයගේ අත්වල මෙම රේඛාව පිහිටා ඇති අතර ඔවුන්ගේ මනසෙහි අත්භූත සිතුවම් දර්ශන මැවෙයි. මෙම රේඛාවේ බලපෑම ප්‍රමාණය ඉක්මවා ගිය විට අසාධ්‍ය මානසික ආබාධවලට හැරී අවාසනාවන්ත ජීවිත ගත කිරීමටද සිදුවනු ඇත. මනෝ දර්ශන රේඛාව ඇති අය සිතන්නේ පතන්නේ ක්‍රියා කරන්නේ අන් අයට වඩා වෙනස් ආකාරයකටයි. අවස්ථාවට උචිත වන ආකාරයෙන් ක්‍රියා කිරීම තවත් වැදගත් ලක්ෂණයක් වන්නේය. චන්ද්‍ර මණ්ඩලයේ උතුරු කොටසින් පටන්ගෙන කුජ මණ්ඩලයෙන් අවසන් වන මනෝ දර්ශන රේඛාවක් අත්ලේ පිහිටා තිබේනම් එවැන්නන්ට යමක් කලින් පෙනෙන, දැනෙන, හැඟෙන Æණයක් ඇතිවේ. එවැනි අය ගුප්ත ශාස්ත්‍රයට දක්ෂයෝ වෙති. මෙම ලක්ෂණය වම් අත්ලේ පමණක් දර්ශනය වේනම් උත්පත්තියෙන්ම පිහිටා ඇති එවැනි ප්රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම මෝඩයකු හෝ මානසික ලෙඩෙකු හෝ වීමක් පෙන්නුම් කරයි. හොඳින් පිහිටා ඇති එකී රේඛාවක් සමගම හෘදය රේඛාවක්, ශීර්ෂවත් අතර කතිර ලක්ෂණයක් වැටී තිබේ නම් එවැනි අයට හිප්නොටිසම් "මැස් මරිසම්" පෝෂණ ක්‍රම ප්‍රගුණ කළ හැක. දියුණු කරගත හැකි මනෝ ශක්තියක් ඇති පුද්ගලයෙක් වෙයි.
රේඛාව කුඩාවටත්, රේඛා සමූහයකුත් සංකලනය වී පිහිටියේ නම් එවැන්නෝ ස්නායු දුර්වලතාවයෙන් පෙළෙන හා සුළු දේවල්වලට පවා අධික ලෙස කැළඹෙන අය වෙති. මෙම රේඛාව කෙටි රේඛාවලට කැඩී බිඳී ගොස් තිබේ නම් අපස්මාර හෝ ආවේෂ වී ශාස්ත්‍ර කීම හෝ එවැනි තත්ත්වයන්ට පත්වේ. මෙම රේඛාව කෙටි රේඛාවලින් හරස් අතට කැපී ගොස් තිබේනම් තමාගේ ඥතීන් හා ළඟින් ඇසුරු කරන අයගේ බලවත් විරෝධය මැද ගුප්ත ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමට පෙළඹුන ගතියක් පෙන්නුම් කෙරේ.
මනෝ දර්ශන රේඛාවේ සිට ශාඛාවක් පැන නැඟී දෛව රේඛාවට සම්බන්ධ වී නම් තමාගේ රැකියාවත්, ජීවන මාර්ගයත් එම ගතිගුණ නිසාම පිරිහීමට පටන් ගනී. රේඛාවේ ආරම්භ වන්නේ දූපත් ලක්ෂණවලින් නම් සිහිනෙන් කතා කිරීම, ඇවිදීම වැනි විකෘති ගතිවලින් නොයෙකුත් හිරිහැර විඳීමට සිදුවේ. තාරුකා ලක්ෂණ වැටීම හේතුවෙන් දරුණු මානසික රෝගවලට ගොදුරු වේ. මෙම රේඛාව පැහැදිලිව ගැඹුරුව පිහිටීම ඉතා උසස් ප්‍රතිඵල ඇති කරයි. එවැනි රේඛා ඇති අයට අනුන්ගේ සිත් ගැන පුළුල් අවබාධයක්ද ඇත.
හිඹුටානේ පියතිලක ද අල්විස්
0 Comments