කතරගම දෙවියෝ සහ කතරගම පුරාණය

රුහුණු කතරගම නම ඇසූ පමණින් අපට නිතැතින්ම සිහියට නැගෙනුයේ ලාංකික ජනතාවගේ මහත් භක්‌තියට පාත්‍ර වූ ජනප්‍රියත්වයෙන් අනූන මහේශාක්‍ය දෙවි කෙනෙකු වූ කතරගම දෙවියන්යස්‌කන්ධ කුමාර, කඳ කුමරු, කදිර යන නම් වලින් ද කතරගම දෙවියන් හඳුන්වයි. දමිළ වැසියෝ කන්දසාමි, මුරුගන් යන නම් වලින්ද ඊට අමතරව කදිරදේව යන නම ද භාවිත වේ. කන්දේ විසූ අය අරුත් දෙන කන්ද කුමාර යන නම ද භාවිතයේ පවතී.

මුහුණු සයක්‌ සහ අත් දොළසකින් සමන්විත කතරගම දෙවියන් රන් ඔටුන්නක්‌ පළඳ ඇත. වැලමිටෙන් පටන් ගෙන බෙදී යන දකුණත් සයක්‌ සහ වමත් සයකින් සමන්විත දෙවියන් රනින් කළ වළලු, ගෙල පළඳනාවක්‌, රන් පඩියක්‌, රන් සළුවක්‌ උඩුකයට රත් පැහැති සාටකයක්‌ ද සහිත ඇඳුම් පැළඳුම් සහිතය.

පිල් විදහා ගත් දැවැන්ත මොනරකු පිට අසුන් ගෙන සිටින කතරගම දෙවියන්ගේ අත් දොළසේ කිහිපයක හක්‌ ගෙඩියක්‌, පාරා වළල්ලක්‌, කඩුවක්‌, දුන්නක්‌, හෙල්ලක්‌ ද දරණ බව පෙනේ. මොනරා අසල දැවැන්ත නාගයකු ද සිටිති. නාගයත් මොනරාත් සාමාන්‍ය ජීවිතයේදී සතුරන් සේ සැලකුණ ද ඔවුන් දෙවියන් ඉදිරියේදී එකිනෙකාට මිතුරෝ ය. මෙම දෙදෙනාගෙන් සංකේතවත් වන්නේ කතරගම දෙවියන් කෙරෙහි මුදු මොලොක්‌ ගති පැවතුම් මෙන්ම දැඩි ගති පැවතුම් ද පවතින බවකි. කතරගම බුදු දහමේ එන සොළොස්‌-මස්‌ථානවලින් එකකි. කොළඹ සිට සැතපුම් 179 ක්‌ හෙවත් කිලෝමීටර් 290 ක්‌ දුරින් පිහිටි කතරගම පූජා නගරය මැණික්‌ ගඟ අසබඩ සුන්දර පරිසරයක පිහිටා ඇත.

එළාර දුටුගැමුණු යුද්ධය අවසානයේ එළාර රජු පරදා දුටුගැමුණු රජ ලද ජයග්‍රහණයෙන් පසු දෙවියන්ට වූ භාරයන් ඔප්පු කිරීමට කතරගම දේවාලය දුටුගැමුණු රජු විසින් ගොඩනගා ඇත.

මුල් කාලයේදී කතරගම වන්දනාව වර්ෂයේ එක්‌ වකවානුවකට (ජූලි - අගෝස්‌තු) වෙන්ව තිබුණ ද දැන් එම කටයුත්ත වසර මුළුල්ලේ නොකඩවා කෙරෙයි.

අසහනයට පත් වන්නෝ දෙවියන්ගේ පිහිට පතති. ව්‍යාපාරයක්‌ පටන් ගන්නා මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යන්නෝ ද වසරකට වරක්‌ නොවරදවාම කතරගම දෙවියන්ට භාර හාර ඔප්පු කිරීමට කතරගමට ඇදෙති. කතරගම දෙවියන්ගේ පිහිට පතා යන බැතිමතුන් වන්දනාමාන කරන තවත් ස්‌ථාන දෙකක්‌ ඇත. එනම් කතරගම සිට කිලෝමීටර් 5 ක්‌ දුරින් පිහිටි සෙල්ලකතරගම සහ කිලෝමීටර් 3 ක්‌ දුරින් පිහිටි වැඩිහිටි කන්දයි.

වැඩිහිටි කන්ද නමින් හැඳින්වෙන ස්‌ථානය කතරගම දෙවියන් තේවානි අම්මා නමින් හැඳින්වෙන තම බිරිඳ සමඟ මුල් කාලයේ ජීවත් වූ ස්‌ථානයයි. සෙල්ලකතරගම පිහිටි ස්‌ථානය පැරැණි දේව කතාවලට අනුව කතරගම දෙවියන්ගේ තවත් බිරිඳක්‌ වන වල්ලි නම් ලාංකික තරුණිය දෙවියන්ට හසු වූ ස්‌ථානය සේ සැලකේ.

කතරගම දෙවියෝ නැමදීමට යන බැතිමත්හු උන්වහන්සේ වෙනුවෙන් වෙනත් පූජාවන්ට අමතරව විශේයෙන් කැපී පෙනෙන පලතුරු වට්‌ටියක්‌ පූජා කරති. සුවඳවත් වූ පලතුරු සුවඳට දෙවියන්ගේ විශේෂ කැමැත්තක්‌ පළකරන බැවින් තමන්ගේ අපේක්‍ෂා ඉල්ලීම්වලට පලතුරු පිරි පූජා වට්‌ටියක්‌ ගෙන යැමට බැතිමත්හු අමතක නොකරති. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ දේව පුරාණ කතාවල විවිධ කතා, ජනප්‍රවාද ඇත. කෙසේ නමුත් කතරගම දෙවියන් ජාති ආගම් වලින් තොරව සමසේ දුක්‌ කරදරවලට සහ ඉල්ලීම්වලට කන්දෙන පිහිටවන ජීවමාන දෙවිකෙනකු වශයෙන් බැතිමත්හු විශ්වාස කරති.

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යන කියමන ජන වහරේ පවතිනුයේ කතරගම දෙවියෝ වන්දනාමාන කිරීමට කතරගමට යන බැතිමත්හු කට වරද්දා නොගෙන දෙවියන් කෙරේ විශ්වාසයකින් යුතුව යන බැතිමතාට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුවන බවක්‌ විය හැකිය.

බඹරැන්දේ සරත් කුමාර යූ. වඩුගේ

Post a Comment

0 Comments