සෙත් කවිය යනු දෙවියන් සමීප කරන ශබ්ද ශාස්‌ත්‍රයේ උත්තුංග අවස්‌ථාවකි. පැරණි ශාස්‌ත්‍රඥයෝ මෙම කාර්යය නිසි ලෙසම කිරීමට වගබලා ගත්හ. අලංකාර පදවැලක් යොදාගෙන සිත් ගන්නා තාලයකට ගායනා කළ හැකි කවියක් තනා දුන් පමණින් සෙත් කවියක් නොවෙන්නේය. වර්තමානයේ ඇතැම් පිරිස් තනා දෙන සෙත් කවි බොහෝවිට වස්‌කවි වලට සමකළ හැක්‌කේ අලංකාරයට පමණක් තැන දීම නිසාය.
සෙත් කවියක් තැනීම සඳහා න්‍යායන් රැසක් ශස්‌ත්‍රීය වශයෙන් පවතී. එකී න්‍යායන්ට අනුකූල නොවන විට එම කවිය වැදගැම්මක් නැති තත්ත්වයට පත්වේ. කවියෙන් පිහිට පතන්නාට එයින් කිසිදු යහපතක් සැලසෙන්නේ නැත. හිටි අඩියේ සෙත් කවි තනා දෙන පිරිස්‌ද අප අතර සිටී. එබැවින් සෙත් කවියක් සර්වාකාරයෙන්ම සාර්ථක වන්නේ කෙසේ දැයි නැකත පාඨකයා දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණවේ.
සෙත් කවියක් තැනීමට අදාළ ජන්මියාටත් කවිය තනන්නා වූ ශාස්‌ත්‍රඥයාටත් සුබ නැකතක් ශුද්ධ කරගත යුතුය. පංචාංග ශුද්ධිය මෙන්ම දෝෂ භංග වන නැකතකින්ද එම ජන්මියාගේත් ශාස්‌ත්‍රඥයාගේත් පක්‍ෂියා සුබ අවස්‌ථාවක වීමත් ප්‍රථම කොට වැදගත් වේ.
දෙවනුව ජන්මියාගේ නම වැදගත් වේ. ශබ්ද ශාස්‌ත්‍රයට අනුව සෑම කෙනෙකුටම අයිති නමට යෝනියක් පිහිටා තිබේ. යෝනි 8 කි. ඒවා සත්ව නාමයන්ගෙන් හැඳින් වෙයි. මෙම යෝනි 8 හි සතුරු මිතුරු යෝනි වශයෙන් කොටස් දෙකකි. ඒ ගැනද අවධානය යොමුකොට ජන්මියාගේ නමේ යෝනිය සොයාගත යුතු වෙයි.
සුබ නැකතට අරඹන කවියේ පළමු වචනය සුබ ගණයකින් ඇරඹිය යුතුය. එසේම එයට යෙදෙන වචනයේ යෝනිය ජන්මියාගේ නමේ යෝනියට අයිති යෝනියකින් හෝ එයට මිතුරු යෝනියකින්ම ඇරඹිය යුතුය. සතුරු යෝනියක් වීමෙන් කවිය මුළුමනින්ම අසාර්ථක වේ. සතුරුත් නැති මිතුරුත් නැති යෝනියක් නම් එය හරයක් නැති ගසක් මෙනි.
ඊළඟට අක්‍ෂර පිළිබඳව විමසිය යුතුය. ස්‌වර පිළිබඳවද එසේමය. ශබ්ද ශාස්‌ත්‍රීය නිගමනයට අනුව ක්‍ෂර ස්‌වර අතරද සතුරු මිතුරු වර්ග දෙක තිබේ. එනිසා ජන්මියාගේ නමේ මුල් අක්‍ෂරය අයත්වන කුලයේ අක්‍ෂරයකුත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ නොවන ස්‌වරයකුත් තිබිය යුතුය. කවියේ පළමු ගණයේ සිටම මිතුරු යෝනි මෙන්ම එකිනෙකට විරුද්ධ නොවන ගණ යොදාගත් යුතුය.
කවියේ පළමු පදයෙන් දේව වර්ණාවද දෙවන පදයෙන් දේව නාමයද දැක්‌විය යුතුය. දේව නාමය යනු දේව අභිධානය ලෙස දක්‌වයි. විෂ්ණු දෙවිඳුට නම් වී අකුරට ඉදිරියෙන් පවතින අක්‍ෂරය හා ස්‌වරය වී අකුරට සම කුල විය යුතුය. "විෂ්ණු දෙවිඳුනි" කීවිට අවසන් වන්නේ "නි" අකුරෙන් නිසා එම අකුරට ස්‌වකුල අකුරකින් ඊළඟ වචනය පටන්ගත යුතුය. තුන්වන පදයෙන් ආතුර දෝෂය සමඟ ජන්මියාගේ නම සඳහන් විය යුතුය. එය ආතුර අභිධානය නම් වේ. ජන්මියාගේ නමේ මුල් හා අග අක්‍ෂර වලටද පෙරකී ලෙස ස්‌වකුල අක්‍ෂරම යෙදිය යුතුය. හතරවන පදයෙන් ඉල්ලීම සංකේතවෙයි. එම පදයේද අවසන් වචනය ජන්මියාගේ නමේ යෝනියට සම වීම හා අවසන් අකුර නමේ මුල් අකුරට ස්‌වකුල විය යුතුය.
කවිය පුරා ගණ පිහිටුවා ගැනීමේදී ගණයෙන් ගණය අනිෂ්ඨ නොවනසේ ගතයුතුය. උදාහරණයක් ගතහොත් දේව ගණයට පසු අග්නි ගණයක් යෙදුනොත් එතැනින් කියවෙන දෙයින් ඥති කරදර ඇතිවෙයි. දේව ගණයෙන් පසු භූමි ගණය යෙදුනොත් නපුර ඇතිවේ. මෙලෙස ශාස්‌ත්‍රීය නිගමනයන් රැසක් තුළ පිහිටා සෙත් කවිය රචනා කළ යුතුය. මෙම නිගමනවලින් බැහැරව රචනා වන කවි වලින් අපේක්‍ෂා කරන ප්‍රතිඵල අත් නොවේ. මට හමුවූ එක් කවියක් ඔබ හමුවේ තබමි.
ඉසුරු ගුණරැඳි වෙනු සුරිඳුනි ගුරුලු වාහන අරා වැඩහිඳ
අඳුරු දිවිමග පහන්කෙරුමට පුදන තෙල්මල්වැතිර බිමහිඳ
සතුරු බලහා අපල උවදුරු නසා සරුකර දිවිය දෙව් සඳ
මහරු නිලුකා ලක්‌මිණි දුව විගස සුරකිනු සදාදිගුකල් දිලෙන මෙන් සඳ
ඒ ඉහත කවියේ අවසන් පදයේ මාත්‍රා ප්‍රමාණය ඉක්‌මවා ගොස් මුළුමනින්ම තාලය වෙනස්‌වී ඇත. කවියේ මුලටම දේව අභිධානය පැමිණ තිබේ. එය ශාස්‌ත්‍රීය වශයෙන් වරදකි. විශේෂ වශයෙන් ජන්මියාගේ නමේ මුල් අකුරට කවියේ මුල් අකුර ගැලපුනද දේව අභිධානය මුල් පදයේම පවතින නිසා ඉ ස්‌වරය වෙනු සුරිඳුනි යන්නේ "වෙ" හෙවත් "එ" ස්‌වරයට ප්‍රතිවිරුද්ධය.
එහි තුන්වන පදයේ පළමු ගණය දේවගණවූ අතර දෙවන ගණය වායු ගණයට අයත්වේ. තුන්වන ගණය යළි දේව ගණය වේ. මේ ගණ තුන යෙදී ඇති අන්දම අනුව ඉතාම නරක තත්ත්වයක් ගොඩ නැඟේ. එය බලපාන්නේ එම පදයෙන් ඉල්ලන දේ සම්බන්ධයෙනි.
එලෙස එකක් හෝ වැරදි ඇතිවීම සෙත් කවියක ඵල හානිවී යැමට තුඩුදෙන පිහිටීමකි. කවියේ මුල් පදයේ අවසාන ගණයට පෙර පවතින ගණය සූර්ය ගණය වෙයි. ඊට එහා ගණය චන්ද්‍ර ගණය වෙයි. මේ ගණ තුනේ පිහිටීම දේව අභිධානයට බලපායි. ඒ කෙසේද යන්න විමසන විට මෙසේය. චන්ද්‍ර ගණයෙන් පසු සූර්ය ගණය ඇතිවීම ධන හානියටත් සූර්ය ගණයෙන් පසු දේව ගණය ඇතිවීම වැඩ කටයුතු කඩාකප්පල් වීමටත් බලපායි.
එසේම ගණ නිවැරදි වීම පමණක් නොව සෙසු ශාස්‌ත්‍රීය අංගද නිවැරදි විය යුතුය. එසේම ගණ තෝරා ගැනීමේදී ජන්මියාගේ උත්පත්ති කේන්ද්‍රයේ 6, 8, 12 ස්‌ථානවල අධිපති ග්‍රහයින්ට අයත් ගණ තෝරා නොගත යුතුය. එසේම තත්කාල කේන්ද්‍රයේද 6, 8, 12 පිළිබඳ විමසිලිමත් විය යුතුය.
එසේම සෙත්කවි කීමේදීද කවියේ ඵලය නොලාගත හැකි පරිදි නිවැරදි වේලාව සොයා කළ යුතුය. සෙත්කවි ගායනා කරන්නේ පිහිට පතා දෙවිවරුන්ටය. එබැවින් කවියෙන් අදාළ කරන දෙවියාට අයත් නිවැරැදි වේලාව දැන එකී වේලාවටම ගායනා කළ යුතුය. එසේ නොවීම නිසා අදාළ දෙවියන්ට එය සන්නිවේදනය නොවීමෙන් ඵලක් නැති තත්ත්වයට පත්වේ. ඒ අනුව විෂ්ණු දෙවිඳුට නම් රාත්‍රි 12.12 සිට 12.24 දක්‌වා කාලය වේ. කතරගම දෙවිඳුට නම් රාත්‍රි 10.47 සිට 11.11 දක්‌වා කාලය තුළ වේ. සූනියම් දෙවිඳුට රාත්‍රි 10.01 සිට 10.23 දක්‌වා වූ කාලය තුළ වේ.
කවිය තැනීමේ සිට ගායනා කිරීම දක්‌වා නිවැරැදි ශාස්‌ත්‍රීය පිළිවෙත් අනුගමනය කිරීමෙන් සෙත් කවියකින් උපරිම ප්‍රතිඵල නෙලාගත හැක. නැතිනම් සිදුවන්නේ හිස් බව ලැබීමය.
අගලවත්තේ බී. හේරත්
0 Comments