මැදි වියේ ඔබ සොයා එන අංශබාග රෝගය

උපන් දා සිට ළමා ක්‍රියාකාරකම්වලින් තොරව හැදෙන වැඩෙන තම දරු සිඟිත්තා දෙස හැඬූ කඳුළින් බලා සිටින දෙමවුපියන්ට දරුවා වෙනුවෙන් තවත් කරන්න දෙයක්‌ ඉතිරි වී නැතිවා සේ දැනෙන්නට විය. වසර තුනක්‌ තිස්‌සේ රෝහල් කරා ගෙන යමින් කොතෙක්‌ වෛද්‍ය ප්‍රතිකාර කළත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි සේ නිෂ්ඵල කාර්යයක්‌ වී හමාරය.

"අනේ දෙවියනේ මගේ අහිංසක දරු පැටියා සුවපත් කර දෙන්න. අපිට ඔබවහන්සේගේ පිහිට හැර වෙන පිහිටක්‌ නැහැ දෙයියනේ."

තම සිඟිත්තා කර පින්නා ගත් දෙමාපියෝ දන්නා සෑම දේවාලයක්‌ පාසා රැගෙන යමින් දෙවියන්ට කන්නලව් කළේ කෙසේ හෝ දේව හාස්‌කමකින් හෝ දරුවා සුවපත් වේ යෑයි සිතමිනි. එහෙත් ඔවුනට එයින්ද සැනසීමක්‌ නම් ලැබුණේම නැත.

"මේ දරුවා රද්දල්ගොඩ වෙද මහත්තයා ළඟට අරගෙන යන්න. සමහර වෙලාවට සනීප කරගන්න පුළුවන් වේවි."

දරුවා දැකීමෙන් කම්පාවට පත් අයකු කීවේ රද්දල්ගොඩ වෙදැදුරාණන් ගැන අසා තිබූ හෙයිනි.

රද්දල්ගොඩ වෙදැදුරු දැඩි වේදනාවෙන් හඬා වැටෙන දෙමාපියන්ගේ දුක ඉතා සාවදානව අසා සිටින ගමන් දරුවා දැඩි සැලකිල්ලෙන් පරීක්‍ෂා කළේය.

"දරුවට බාල පක්‍ෂාගාත රෝගය වැළඳිලා. මේක බෝවන රෝගයක්‌. තවත් දරුවන්ට බෝවෙන්න පුළුවන්. ප්‍රවේසම් කරගන්න."

වෙදැදුරු කීවේ එපමණකි. ක්‍ෂණයකින් රෝගය හඳුනාගත් ඔහු ඊට නිසි ප්‍රතිකාර අරඹා ගත වූයේ දින කිහිපයකි. වසර තුනක්‌ තිස්‌සේ අප්‍රාණිකව සිටි දරුවා ක්‍රමයෙන් සුවපත්වන්නට පටන් ගත්තේ දේව හාස්‌කමකින් නොවුනත් රද්දල්ගොඩ වෙදැදුරුගේ දේශීය වෙදකමේ බල මහිමයෙනි.

පස්‌යාලේ වෙද පරපුර නියෝජනය කරන ධර්මදාස රද්දැල්ගොඩ වෙදැදුරුගේ වෙද පරම්පරාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය වෙද පරම්පරාව දක්‌වා දිව යන්නකි.

පක්‍ෂාගාතය, මධුමේහ, අපස්‌මාර, පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය. වායු ගෙඩි, ණික්‌කා ආදී රෝගයන් පිළිබඳ අති දස්‌කම් පෙන්වූ හිඟුලේ වෙද පරපුර ලක්‌දිව මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලීය.

පෙර පින් බලෙන් උපන් හැකියාව හා තම ගුරු පරපුරේ දස්‌කම් මගින් තම ශාස්‌ත්‍රය ඔප්නංවාගත් රද්දල්ගොඩ ධර්මදාස වෙදැදුරු 1957 දැනට පදිංචි කඩවත මහර දළුපිටියේම ඔසුසලක්‌ අරඹමින් ලක්‍ෂ ගණනකට හෙළ ඔසුවෙන් ප්‍රතිකාර කරන්නේය.

සර්වාංග රෝගවලට විශේෂ බවක්‌ දක්‌වන රද්දැල්ගොඩ වෙදැදුරු අංශබාග රෝගයට දක්‌වන්නේ අති විශේෂ බවකි. මේ වන විට දහස්‌ ගණනක්‌ වූ මෙරට අංශබාග රෝගීන් දෙපයින් නැගිටවු මෙම වෙදැදුරු හමුවීමට පසුගිය දිනක මම ගියේ තවත් බොහෝ තොරතුරු දැන ගැනීමටය.

"පක්‍ෂා ගාතය, පක්‍ෂ වධය, අර්ධාංග ඝාතය ඒකාංග රෝගය අංශ බාගය ආදී විවිධ නම්වලින් හැඳින්වෙන මෙම රෝගය පිළිබඳව පැහැදිලි කළොත්"

පළමුවෙන්ම මම රද්දැල්ගොඩ වෙදැදුරු හා කතාවට ප්‍රවිශ්ඨ වෙමින් ප්‍රශ්නයක්‌ ඇසීමි.

"වැඩි වශයෙන් මැදි වයස්‌වල හා ඉන් ඉහළ වයස්‌වල අය මෙම රෝගවලට ගොදුරු වන බවක්‌ පෙනෙනවා. මෙතනදී රෝගියා පමණක්‌ නොවෙයි ඔවුන්ගේ ඥතීහු දැඩි අසරණභාවයට පත්වෙනවා. විශේෂයෙන් රෝගියාගේ නොහැකියාව නිසා දැඩි මානසික අවපීඩනයකට පත් වෙනවා.

"මෙම රෝගය ඇතිවීමට විවිධ හේතුන් බලපානවා. විශේෂයෙන්ම මොලයට සිදුවන යම් ආඝාත තත්ත්වයක්‌ නිසා මෙවැන්නක්‌ ඇතිවෙන්න පුළුවන්. අපේ මස්‌තිෂ්කය හෙවත් මොළය අර්ධ ගෝල දෙකකින් සමන්විත වෙනවනේ. වම සහ දකුණ වශයෙන් වන එම කොටස්‌ මගින් ශරීරයේ ප්‍රතිවිරුද්ධ කොටස්‌වල ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා. මේ අවස්‌ථාවේ කිsසියම් හේතුවක්‌ නිසා මොළයට රුධිරය සපයන රුධිර නාලවල රුධිර කැටියක්‌ හිරවීම නිසා මෙම ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල වී එම කොටස ක්‍රියාවට යටත්වන අදාළ පාර්ශ්ව අප්‍රාණික වීම සිදුකරනවා. මෙහිදී නිසැකවම සිදුවන්නේ අංශබාගයට මග පෑදීමයි. ඒ වගේම මොළයට ලේ සපයන රුධිර නාලයක්‌ පිපිරී යැමද මේ රෝගී තත්ත්වයට හේතුවෙන්න පුළුවන්.

"මේ රෝග තත්ත්වයේදී අත් පාවල දරුණු දුර්වල තත්ත්වයක්‌ ඇති වීම විශේෂයෙන් සිදුවෙනවා. ඒ කියන්නේ එක අතක්‌ හෝ එක පාදයක්‌ එහෙමත් නැතිනම් දෙකම අප්‍රාණික වෙන්න පුළුවන්. ඒ විතරක්‌ නොවෙයි ගෙල පිටුපසට බර වීම, කට පැත්තකට ඇද වීම, දෙනෙත් හැකිලීම, දිව අක්‍රිය වී කතාව අපහසු වීම දැස්‌වල දුබලතාව දැස කඳුළින් තෙත්වීම වගේ රෝග දැකගන්න පුළුවන්."

"මේ තත්ත්වයට අමතරව පපුවේ ගොර ගොර ශබ්දයක්‌ පිටවීම, මළපහ පිටවීම ඇවිදීමේ නොහැකියාව, සමබරතාව බිඳවැටීම මාංශ පේෂීවල තද ගතිය වගේ දේවල් සාමාන්‍යයෙන් අංශබාග රෝගියකුගේ ගති ලක්‍ෂණ."

"රාත්‍රි කාලයේදී හට ගන්නා පක්‍ෂා ඝාතයට හේතුවන්නේ රුධිර වාහිනී තුළ ලේ කැටියක්‌ හිරවීමයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියකු රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යැමෙන් මෙම තත්ත්වයෙන් මගහැරෙන්න පුළුවන්."

ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මේ තත්ත්වය ඇතිවීමට පෙර යම් යම් රෝග ලක්‍ෂණ ඇති වෙන්න පුළුවන්. ඒව තමයි හිස කරකැවිල්ල, හිසෙහි බර ගතිය, ඇසක්‌ කුඩා වීම, හෝ පෙනීමේ දුබලතාව, ඇස්‌ රතුවීම, කන්වල ශබ්ද පැවතීම, ශරීරයේ තැන් තැන්වල මස්‌ නැටීම අවිවේකී බව, ශරීර වර්ණය වෙනස්‌ වීම, වමනය, ඇසෙන් ගිනි පුපුරු පිටවෙනව වගේ දැනීම වගේ දේවල් නිසා මෙම රෝග වැළඳීමේ ඉඩකඩ වැඩි බව හඳුනාගන්න පුළුවන් ලක්‍ෂණ."

මෙම රෝගය වැඩිවශයෙන් වැළඳීමට හේතුවන්නේ ව්‍යායාම අඩුකම, ශරීරයට හානි ගෙනෙන ආහාර රටාව, පවුල් ඉතිහාසය, රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, දුම් බීම, කොලෙස්‌ට්‍රොaල් වැඩිවීම, මත්ද්‍රව්‍ය භාවිතය, හිමොක්‌ලොබින් ඌනතාව, මානසික ආතතිය වගේ දේවල් බලපානවා.

නමුත් මේ තත්ත්වය ඇතිවුණොත් මේකට ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැහැ. මෙතෙනදී එකක්‌ කියන්න ඕනෑ. සෑම රෝගියකුම සනීප කරල දෙනවා කියන එක අපට මෙතනදී කියන්න අපහසුයි. නමුත් සියයට වැඩි ගණනක්‌ අපගේ ප්‍රතිකාර අරගෙන සුව වෙලා තියෙනවා. නමුත් කර්ම ශක්‌තිය ප්‍රබල වෙලා යමක්‌ විඳවන්න තියෙනව නම් ඒ වගේ රෝගීන් සුව කිරීම පහසු නැහැ.

මේ වගේ රෝගීන් මුලින්ම ගෙනියන්නෙ රෝහලකට. නමුත් ඒ සෑම රෝගියකුම දෙපයින් නැගී සිටින්නෙ. සිංහල තෙල් බෙහෙත්වලින් කියන එක අවිවාදයෙන්ම අපට කියන්න සිද්ධ වෙලා තියෙන්නෙ සුව වූ රෝගීන් දිහා බැලුවහම.

දළුපිටියේ වෙද ගෙදර ආරම් භයේදීම බාල පක්‍ෂාගාත රෝගය වැළඳුන ඉහත කී දරුවා මුළුමනින්ම සුවය ලැබ අද වන විට මැදි වියේ පසුවුවත් වසරක්‌ පාසා බුලත් හුරුල්ලක්‌ රැගෙන වෙදැදුරුගේ දෙපා නමදින්නට අමතක කර නැත.

රද්දල්ගොඩ වෙදැදුරු මස්‌ මාලු කිසි දිනෙක ආහාරයට ගන්නේ නැත. එළවළු හා බත් ආහාරයට ගන්නා ඔහු ධාන්‍ය වර්ගවලට දැඩි කැමැත්තක්‌ දක්‌වයි. අංශභාග රෝගයට අති දස්‌කම් පෑ රද්දල්ගොඩ වෙදැදුරු අද වන විට ලක්‍ෂ ගණනාවකට වෙදකම් කර ඇති බව කියන්නේ දැඩි ප්‍රිතියකිනි.

"අපි අපේ පරලෝ ගමනට වෙන පින්කම් කරන්න ඕන නෑ. මගේ වෙද ගෙදරට එන රෝගීන් සුවපත් කිරීමම හොඳටෝම ඇති. මගෙන් ප්‍රතිකාර ගන්න එන කිසිවකුගෙන් අයුතු විදියට ගසාකන්න මම කොහෙත්ම සූදානම් නෑ. ඒක මෙතෙන්ට එන හැම රෝගියෙක්‌ම දන්නවා. පූජ්‍ය පක්‍ෂයෙන් නම් මම කොහොමටවත් මුදල් අය කරන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්‌. අංශබාග රෝගය හැදුන රෝගීන්ගෙන් බොහෝ පිරිසකට මගේ ප්‍රතිකාරවලින් සම්පූර්ණ සුවය ලැබිල තියන බව මම කියන්නේ මහත් සන්තෝෂයෙන්. තවත් කොටසක්‌ සම්පූර්ණයෙන්ම සුවය නොලැබුණත් තම තමන්ගේ එදිනෙදා වැඩ කොටස්‌ කර ගැනීමට තරම් සුවයක්‌ ලබා තිබෙනවා."

"මේ හැම දෙයකටම තමා කළ කුසලාකුසල කර්මයත් හේතුවෙනවා. තවත් අංශබාග රෝගීන් පිරිසක්‌ ප්‍රතිකාර නොලබාම දින කීපයකින් මිය යනවා. අන්න ඒ අයට තමයි පෙර කුසල් අකුසල් වැඩියෙන් බලපාල තියෙන්නේ."

"මේ වන විට ලක්‍ෂ ගණනක රෝගීන් සුවපත් කරපු එකේ ප්‍රතිඵල මට දැනටමත් ලැබිලා තියෙනවා. අද වන විට මම ඉතා නිරෝගිමත් ජීවිතයක්‌ ගත කරන්නේ ඒ පිනෙන්ම කියල මම දන්නවා. ඖෂධ නිෂ්පාදනයේදී කිසියම් වියදමක්‌ දරන්නට සිදුවන නිසා රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක්‌ මුදල් ගත්තත් ඔවුන් ගසාකෑමට කිසි විටෙක සූදානම් වන්නේ නැහැ."

දැනට තම පියාට අමතරව රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට බාල පුතු වන බුද්ධික රද්දැලිගොඩ වෙදැදුරු සැදී පැහැදී සිටින්නේය. මේ වන විට සිය පුතු සමග ඇති පස්‌යාලේ ආයුර්වේද සමාගම මුළුÊමහත් ශ්‍රී ලාංකිකයන්ගේ අනේක විධ රෝග සුවපත් කිරීමට පිහිටුවන ලද ආයතනයකි.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments