නම ඇසූ පමණින් හිත ගත සසල කළ හැකි මහා තේජසකින් යුතුව අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ අප්‍රමාණ බැතිමතුන්ගේ දහසකුත් එකක් දුක් දොම්නස් දුරුකර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමෙන් ඉමහත් ගෞරව පූජෝපහාරයන්ට බඳුන් වූ මහා භද්‍රකාලි දේව මෑණියන්ට දේව නාමාවලියෙහි හිමිවන්නේ ඉහළම තැනකි. ශ්‍රී විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, ඊශ්වර, මහා භද්‍රකාලී, දැඩිමුණ්‌ඩ දෙවිවරු සිරිලක මහේශාක්‍ය දේව මණ්‌ඩලයට අයත් වෙති. දේව උත්පත්ති කතාවලට අනුව මේ සියලු දෙවිවරුන් පැවත එන්නේ ඉන්දීය සම්භවයකිනි. මේ නිසා මහා භද්‍රකාලි හින්දු කෝවිල්වලට පමණක් සීමාවූ දෙවඟනක් ලෙස සමහරුන් දරන අදහස නිවැරැදි වූවක් නොවේ.
මෙම අදහස ඇතිවීමට බලපා තිබෙන්නේ කාලි මෑණියන් බිලි පුද ලබන ජීවිත වනසා දමන යක්‍ෂ වේශය දරන හොඳට වඩා නරකට බලපවත්වන දෙවඟනක් බවට ඇතැම් අය තුළ ඇති විශ්වාසයයි. මුන්නේශ්වරම වැනි කෝවිල්වල සොහොන් කාලි නමට එළුවන් සහ කුකුළන්ගේ ගෙල කපා වැගිරෙන රුධිරයෙන් බිහිසුණු බිලි පූජා පවත්වා ඇතැම් අය විනාශකාරී ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට දරන උත්සාහය නිසා අවිහිංසක අදහස් දරන අයට කාලි දේවිය දේවත්වයෙන් පිළිගැනීමේ අපහසුතාවක් මතුවී තිබේ. එහෙත් මේ විශ්වාසය අප්‍රසිද්ධියේ පිළිගන්නා බොහෝ දෙනා කාලි ආවේශයෙන් ශාස්‌ත්‍ර කියනවා යෑයි කියාගන්නා අයවෙත ගොස් විවිධ පූජා පවත්වමින් පිහිට ඉල්ලති. මහා භද්‍රකාලි මෑණියන් පිළිබඳ මෙවැනි කරුණු මත පිහිටා නිගමනයකට පැමිණිය නොහැක.
අප විසින් බැති පුද පවත්වනු ලබන සියලුම දෙවිවරුන්ගේ තොරතුරු හා උපත් පිළිබඳ දේව කතා සාහිත්‍යයක් වෙනම ගොඩනැඟී ඇත. මේ දේව පුරාණයන් හා දෙවිවරු අපට ලැබී තිබෙන්නේ භාරත දේශයෙනි. එවැනි දේව කතාවලට අනුව ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ මහේශිකාව පාර්වතී හෙවත් මහා භද්‍රකාලි දේව මාතාවයි. පාර්වතිය ගිරිඳු, හරකල් උමයංගනා යන නම්වලින්ද හැඳින්වේ. පාර්වතී යනු කඳුකරයේ නිවැසි යන අරුත් ගෙන දෙන්නකි. උමා යනු ශිව දෙවියන් හා සිරිකත සිහි ගන්වන වදනකි. මේ හැර උමා එක්‌වූ විට තහනම වැළැක්‌වීම යන අරුතක්‌ද ඇතිවේ. ශිව දෙවිඳු තපසින් වැළැක්‌වූ නිසා පාර්වතියට "උමා" නම ලැබුණ බවද කියෑවේ. හිමාල පර්වත රාජයාගේද මේනා දෙවඟනගේද දියණිය පාර්වතී නම් වූ අතර දුටුවන් මන නුවන් පැහැර ගන්නා අතිශය සුන්දර රූ සපුවක් මෙම දෙවඟන සතුය. ශිව දෙවිඳු සමග හිමාලයේ කෛලාශ කූඨයේ වාසය කරයි.
හින්දු බැතිමතුන්ගේ ශක්‌ති පූජාවට බඳුන් වූ මහා භද්‍රකාලි දේවිය ශක්‌ති දෙවඟන නමින්ද හැඳින්වේ. ලෝකයේ පැවැත්ම ර¹ පවතින්නේ ශිව - ශක්‌ති සංයෝගය මතය. මේ නිසා දරුවන් ලබා ගැනීම සඳහා උමා හා ඉසුරු දෙවියන්ට අනාදිමත් කාලයක සිට පූජා පවත්වා තිබේ.
"උමා ඉසුරු දෙවිඳු බෙලෙන් - පෙමා වඩන දරු නිතියෙන්" යනාදී ගැමි කවි එයට නිදසුන්ය. ශිව ලිංගය කිරෙන් අභිෂේක කර ශිව පාර්වතී පූජා තබා දරුවන් පැතීම දැනට කරනු ලැබේ. පොළොන්නරු ශිව දේවාලය මේ අනුහස පවතින තැනක් ලෙසට සැලකේ. අනුරාධපුර අභයගිරියේ ක්‍රි. ව. 7-8 සියවස්‌වලට අයත් ශිව - ශක්‌ති මූර්ති හමුව ඇත. එය අර්ධ නාරි, අර්ධ පුරුෂ මූර්තියක් වන අතර ශිව ශක්‌ති සංයෝගය දක්‌වන හෙළ කලා නිර්මාණයකි. තවත් එවැනි මූර්තියක ශිව උමයංගනා දෙදෙන සිහසුනක් අරා සිටිති. ඔවුන් වටා ගිනි සිළු නිකුත්වන අතර ශිව දෙවිඳුගේ අත්වල පොරොවක් හා මුවකු දැක්‌වේ. භාරතීය ශිව දෙවියන්ගේ මූර්තිවල ඒවා නොමැත. මෙයින් මූර්තිමත් වන්නේ ශක්‌තියයි. මෙහිදීම හමුවූ ශිව කාම සුන්දරී පිළිරුව භද්‍රකාලි දේවියගේ රූ සපුව උසස් ලෙස පිළිබිඹු කරයි. මෙයින් ලක්‌වාසීන් අනුරාධපුර පොළොන්නරු යුගවල පවා භද්‍රකාලි දේවිය කෙරෙහි බැතිමත් වූ බවක් පෙන්වයි.
පසුකාලීනව මහායාන පඬිවරුන් විසින් නිර්මාණය කරන ලද අවලෝකිතේශ්වර හා තාරා දෙවඟන මෙම ශිව - ශක්‌ති යුගලයම බව පෙනේ. මහායාන බලපෑම නිසා බෞද්ධ ආරාමවල මේ දෙදෙනාගේ ප්‍රතිමා ඉදිවිය. එසේ හමුවූ එවැනි පිළිම රාශියක් මෙරට කෞතුකාගාරවල තබා ඇත. තාරා දේවිය සිතූ පැතූ සම්පත් ගෙනදෙන සුරභි ෙනුවක් වැනි බවත් ඇයගේ කීර්තිය මුළු ලක්‌දිවම වසා පැතිර සිටි බවත් තිසර සන්දේශයේ දැක්‌වේ. තාරා දෙවඟනගේ හා උමාවගේ ප්‍රතිමා එක සමාන වන අතර තාරා දේවිය නමින් පුදනු ලැබුවේ නිසැකවම භද්‍රකාලි දේවිය බව පෙනේ. ඇය සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන සියලු යහපත බලය ශක්‌තිය ගෙන දෙන දෙවඟනක් ලෙස ඉමහත් ගෞරවයෙන් පුදනු ලැබ ඇත. ටිබැට් වාර්තාවලට අනුව තාරා දේවිය අද්භූත බල මහිමයෙන් යුක්‌ත වන අතර ඉතා බිහිසුණු අවස්‌ථාවලදී පවා බැතිමතුන් කරා ගොස් ඔවුන් එම විපත් වලින් බේරාගත් බවට තොරතුරු ඇත. මහා ඝන කැලෑවල අතරමං වීම, මුහුදේ හා ගොඩබිම දරුණු කුණාටුවලට හසුවීම, හිරභාරයට පත්වීම, මරණයට ළංවීම වැනි අවස්‌ථාවලින් පවා බැතිමතුන් බේරාගෙන ඇත. මේ අයුරින්ම හින්දු බැතිමතුන් කරා එන දුර්ගා දේවිය ඔවුන්ට පිහිටවී ඔවුන් ගලවා ගනී. මේ අනුව තාරා යනු භද්‍රකාලි දේවියගේම ප්‍රතිමූර්තියකි. දුක් විඳින ජනයා කෙරේ මහා කරුණාවක් දක්‌වන භද්‍රකාලි මාතාව අසීමිත බලශක්‌තියක මූර්තියකි.
මේ නිසාම මහා භද්‍රකාලි මාතෘත්වයේ මුදුන්මල්කඩ බවට පත්වී මවු දෙවඟන ලෙසට අනන්ත කාලයක සිට වැඳුම් පිදුම් ලබා ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජොදාරෝ හරප්පා නෂ්ඨාවශේෂ අතරද මවු දෙවඟනගේ පිළිරූ හමුවීමෙන් ඒ බව සනාථ වේ. අතීත ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ වාසය කළ අනාර්ය ජනතාව අතර ශිව හා පාර්වතී දෙදෙන මාතෘ පීතෘ දෙවියන් ලෙස වන්දනාවට පාත්‍ර වී තිබේ. ඒ නිසා භද්‍රකාලි වන්දනාවේ ඉතිහාසය බොහෝ දිගු එකකි. භද්‍රකාලි දේවිය මවක් සේ සලකන නිසාම කාලි අම්මා යන නම ඇතිවී තිබේ. හින්දු කෝවිල්වලදී භද්‍රකාලි අම්මාන් ලෙස හැඳින්වේ. පත්තිනි මෑණියෝද භද්‍රකාලි දේවියගේම තවත් ස්‌වරූපයකි. ශ්‍රී ලක්‍ෂ්මී, සරස්‌වතී, ශ්‍රියාකාන්තා යනුවෙන් හඳුන්වන්නේද කාලි මෑණියන්ගේම විවිධ ශක්‌ති ස්‌වරූපයන් බව ගුප්ත විද්‍යාවෙන් ප්‍රකට වෙයි. එපමණක් නොවේ, අප විසින් පිහිට පතන ශ්‍රී විෂ්ණු කතරගම, ඊශ්වර හා ගණ දෙවිඳු භද්‍රකාලි දේවියට ඉතා සමීප දෙවිවරු වෙති. ශිව දෙවියන්ගේ මහේශිකාව වන භද්‍රකාලි ගණ දෙවිඳු හා කදිර දෙවිඳුගේ මෑණියන් වන අතර විෂ්ණු දෙවිඳුගේ සොහොයුරියයි.
මේ නිසා භද්‍රකාලි දේවිය යහපත සැපත සෞභාග්‍යය උදා කිරීමේදී අසීමිත බලයක් දරයි. දිව්‍ය සුන්දරී, භගවතී, භාගෙශ්වරී, ත්‍රිලෝක විජාධි, ත්‍රිභුවනේශ්වරී, ත්‍රිකාලේශ්වරී, ත්‍රිභූවන වසංකරී, රාජ රාඡේශ්වරී භූත භූතේශ්වරී, ඉෂ්ටාර්ථ සාධනී, විද්‍යාධාරනී, කාර්ය සාධනී, ඓශවර්ය විභූෂණී, ගෘහ සංරක්‍ෂණී, දේහ සංරක්‍ෂණී, ධන සංරක්‍ෂණී, සෞභාග්‍ය සුන්දරී, සර්ව සුඛදායිනී, සර්ව බල ප්‍රදායිනී, ආදී නාමයන්ගෙන් මහා භද්‍රකාලි මෑණියන් ඇමතීමෙන් පෙනී යන්නේ බැතිමතුන්ට සියලු යහපත උදාකර දිය හැකි අසීමාන්තික දිව්‍ය ශක්‌තියක් දරා සිටින බවයි. ගුප්ත විද්‍යාවට අනුව ධන සම්පත් ලබා දෙන ශ්‍රී ලක්‍ෂ්මී දේවිය ලෙසටත් සියලු ශිල්ප ශාස්‌ත්‍රයන් ලබා දෙන සරස්‌වතී දේවිය ලෙසටත් වැඳුම් පිදුම් ලබන්නේ මහා භද්‍රකාලි දේවියමය. මන්ත්‍ර ශාස්‌ත්‍රයේ මෝහනය ලෙසට දක්‌වන්නේද අසමසම රූ සපුවෙන් දුටුවන් මෝහනයට පත්කරන මේ දෙවඟනගේ සෞන්දර්ය ශක්‌තියයි. මන්ත්‍ර ශාස්‌ත්‍රයේ ඇති සියලුම මන්ත්‍රවල භද්‍රකාලි ශක්‌තිය ඇතුළත්ව තිබේ. දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු, බන්ධන, තීන්දු ආදිය පුරාම එය පැතිර පවතී.
මන්ත්‍ර ශාස්‌ත්‍රයේ අතිශය දරුණු ක්‍රියාවලදී යොදා ගන්නා සොහොන් කාලිය භද්‍ර කාලි නොවුණද භද්‍රකාලි දේවියගේ බල ශක්‌තිය රැගත් වෙනත් දේවතාවියකි. මෙරට මෙන්ම ඉන්දියාවේද මන්ත්‍රධාරීන් විවිධ ආකාරයේ බිහිසුණු මන්ත්‍ර කටයුතු හා පුද පූජා මගින් සොහොන් කාලිය පහදවාගෙන දරුණු ක්‍රියාවල යෙදෙති. එහෙත් එය මාරක ක්‍රීඩාවකි. මහා භද්‍රකාලි යනු සොහොන් කාලි හෙවත් ස්‌මශාන් තාරා දේවිය නොවේ. එහෙත් අවශ්‍ය වූ විටක ඇයගේ බලශක්‌තිය යොදවා ඕනෑම සතුරකු වනසා දැමීමේ හැකියාව භද්‍රකාලි දේවිය සතු වේ. එවැනි දේ සඳහා යොදා ගනු ලබන්නේ මේ සොහොන් කාලි දේවිය හා ඇයගේ පරිවාර යක්‍ෂ සේනාවයි. භූත භූතේශ්වරී යන නම භද්‍රකාලි දේවියට ලැබී තිබෙන්නේ මේ නිසාය. ඇතැම් තන්ත්‍ර ග්‍රන්ථවල තිබෙන තොරතුරු වැරැදි ලෙස
අර්ථකථනය කිරීම නිසා මන්ත්‍රකරුවෝ මහා භද්‍රකාලි ලේ පිපාසිත යක්‍ෂ දුවක් ලෙසට අර්ථ දක්‌වති. නමුත් භද්‍රකාලි දේවියගේ පිහිට ලැබීමට බිලි පිදීමෙන් හැකියාව නොලැබේ. ඒවායින් යකුන් පහදවාගෙන යම් දරුණු ක්‍රියා කළහැකි වන්නට පුළුවන.
මෙවැනි දේ නිසා කාලි දේවිය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර අනියත බියක් පහළව ඇත. මහා භද්‍රකාලි දේවිය යටතේ තවත් කාලි හත් කට්‌ටුවක් සිsටින අතර සොහොන් කාලියද එයට අයත් වේ. යක්‍ෂ භූතාදීන්ට පමණක් නොව මේ කාලි හත් දෙනාද භද්‍රකාලි අණසකට යටත් වෙති. භද්‍රකාලි දේවිය අනෙකුත් දෙවිවරුන්ට වඩා ඉක්‌මනින් ක්‍රියාත්මකව ප්‍රතිඵල ලබා දෙන්නේත් තමාට එරෙහිවන තමා රවටන අයට තද දඬුවම් පමුණුවන්නේත් මේ ශක්‌තිය නිසාය. එම නිසා භද්‍රකාලි දේවිය රවටා පිහිට ලැබීමට යැම අවදානම් ක්‍රියාවකි.
මහා භද්‍රකාලි දේව මාතාව අසමසම දිව්‍ය තේජසක් දරන බැතිමතුන්ගේ ඉල්ලීම් වහා ඉටුකර දෙන මහේශාක්‍ය දිව්‍යාංගනාවකි. ස්‌ත්‍රීන්ගේ දුක් වේදනා දුරුකර දීමට විශේෂයෙන් භද්‍රකාලි මෑණියන් ක්‍රියා කරයි. එහෙත් පිහිට ලබා දීමේදී ජාති, ආගම්, කුල, වංශ, ස්‌ත්‍රී, පුරුෂ බේද කිසිවක් මෑණියන්ට නැත. භද්‍රකාලි දේවිය සතුන් බිලිදීම වැනි අමානුෂික පූජාවන්ට කිසිදු ප්‍රසාදයක් නොදක්‌වන අතර කිරි, තැඹිලි, අලුත් පලතුරු, වර්ණවත් සුවඳ මල්, සුවඳ වර්ග ආදී පිවිතුරු පූජාවන්ට ප්‍රිය කරයි. මේ සියල්ලට වඩා නැති බැරි අසරණයන්ට හා සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්දී ශීල භාවනා වඩා පින්දෙන අයට මෑණියන්ගේ පිහිට ලැබේ.
මහා භද්‍රකාලි දේවියට කළ නොහැකි කිසිවක් නොමැත" යන අභිධානය හිමිවීමට සුදුසුකම් ඕනෑවටත් වඩා තිබේ. බැතිමතුන් සැබෑවටම බැතිමත්නම් යහපත් නම් අනුන් ගැන කාරුණික නම් මෑණියෝ එබඳු අය කරන ඉල්ලීම් වහා ඉටුකර දෙති. සැබෑ භද්‍රකාලි බැතිමතුන් ඒ පිළිබඳව සාක්‍ෂි දරනු ඇත. ඕනෑම විපතක් දුරුකර සැපත ළඟාකර දීමට ආයුෂ තිබේනම් ඕනෑම දරුණු රෝගයක් සුවකර ජීවිතය ලබා දීමට මෑණියන්ට හැකියාව තිබේ. මෑණියන් පැහැදුනොත් ඕනෑම දෙයක් ඉටුකර දෙයි. සැබෑ බැතිමතුන්ගේ ඉල්ලීම් ක්‍ෂණික අවධානයට යොමු කරයි. මේ නිසා යහපත් මිනිසුන්ට භද්‍රකාලි දේවිය යනු කල්ප වෘක්‍ෂයකි. මේ මහානුභාව සම්පන්න දේව මාතාවගේ පිහිට පතා එන අයකුට සැබෑ භද්‍රකාලි දේව බලය සැබෑවටම දැක බලා ගත හැකි දේව මාලිගයක් ලෙසට වැල්ලවත්ත රෙදි මෝල අසල ඇති භද්‍රකාලි කෝවිල හැඳින්විය හැක. එහි සිටින පූජකවරුද බලි බිලි ආදී අනවශ්‍ය පූජා බැහැරකර මල්, පහන්, සුවඳ, පලතුරු, කිරි, තැඹිලි, ආදියෙන් ගෞරවනීය ලෙස පූජා පවත්වා මෑණියන්ට භක්‌ති පූජා කිරීම මේ අනුහස එම කෝවිල තුළ පැවතීමට හේතුවක් විය හැක. තමාගේ වාසිය පමණක් නොසිතා බැතිමත්ව කරන සාධාරණ ඉල්ලීම් නිසැකවම මෑණියන් ඉටුකරන නිසා සැබැවින් මහා භද්‍රකාලි යනු බැතිමතුන්ගේ මවක් හා සම කළ හැකිය.
පී. සී. පතිරණ
0 Comments