හොඳට මතක හිටින්න මෛත්‍රී භාවනාව කරන්න

බුද්ධිමතා නැත්නම් ඥනවන්තයා කියන හැඳින්වීම ලබාගන්න ඔබත් කැමැති ඇතිනෙ. ඒත් මේ බුද්ධිය නැත්නම් ඥනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌. බුදු දහමට අනුව නම් ප්‍රඥවන්තයා කියන්නෙ තෘෂ්ණාව නැති කරල නිවන් අවබෝධ කරගත්තු අයට. ඒත් ලෞකික වශයෙන් ගත්තහම බුද්ධිමත් බව ඥනවන්ත බව මනින්නේ වෙන විදිහකට. පොත පතින් ලත් දැනුම, ජීවිතයෙන් ලබා ගත්තු අත්දැකීම් වගේම සමාජයේ කිසියම් ප්‍රභූ තත්ත්වයක්‌. උසස්‌ බවක්‌ ලබා ගත්තු අය බුද්ධිමත් කියල පිළිගන්නවනෙ. එතකොට කෙනෙක්‌ අහන්ට පුළුවන් උගත් කම කියන්නෙ විභාග වලින් ඉහළින්ම පාස්‌වෙලා ඉහළම වෘත්තියක යෙදුනු අයද කියල.

සාමාන්‍ය ව්‍යවහාරයෙ නම් ඒ අයත් බුද්ධිමතුන් විදිහට සැලකෙනවා. හැබැයි ඊට වඩා වෙනස්‌ ආකාරයකටත් අපට පුළුවන් මේ බුද්ධිමතා හඳුනා ගන්ට. බුද්ධිමතා යමක්‌ නිවැරදිව දකින, යමක ආදීනව තේරුම් ගන්න පුළුවන් අයෙක්‌ කියල අපි හිතමු. ටිකක්‌ ගැඹුරින් බැලුවොත් සිත, කය, වචන දමනය කරගත්ත පුද්ගලයා තමයි බුද්ධිමතා.

බුද්ධිමතාගේ සිත පිරිසිදුයි. කරන කියන දේවල් යහපත්. ඔහු හරිම සදාචාර සම්පන්නයි. හරිම ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා. මෙතැනදී ඉතාම වැදගත් දේ තමා අවබෝධය. කිසියම් දෙයක්‌ පිළිබඳව අපට තිබෙන දැනුම තමා අවබෝධය කියන්නෙ. ගුරුවරයාට යම් විෂයක්‌ පිළිබඳව අවබෝධයක්‌ තිබෙනවනෙ. වෛද්‍යවරයා ලෙඩ රෝග හැදෙන හැටි, රෝග ලක්‍ෂණ වගේ දේවල් දන්නව. ඒවා ඔහු අභ්‍යාසයෙන් තවත් අවබෝධ කර ගන්නවා.

යම් විෂයක්‌ පිළිබඳ පරිපාකයට නැත්නම් එහි විශේෂඥභාවයට පත් වීමට නම් ගැඹුරු අවබෝධයක්‌ ඕනෑ. එය විනිවිද දැකීමක්‌. ප්‍රතිවේධය කියන වචනය පාවිච්චි කරන්නේ ඒ අවබෝධය හැඳින්වීමටයි. යමක්‌ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක්‌ කරන්ට පුළුවන් වන්නෙ ඒ විදිහට ගැඹුරු අවබෝධයක්‌ තියෙන කෙනෙකුට පමණයි. අපි දන්නව බුදු හාමුදුරුවො එබඳු අසාමාන්‍ය දැනුම් සම්භාරයක්‌ තිබුණ ලොව විශිෂ්ටතම දාර්ශනිකයාණන් වහන්සේ. හැම දෙයක්‌ පිළිබඳවම ප්‍රත්‍යක්‍ෂ අවබෝධයක්‌ බුදුහාමුදුරුවන්ට තිබුණනෙ.

ලෝකය හා සත්ත්වයා ගැන කරුණු විමසා බලා ජීවිතය ජයගන්න මාර්ගය පෙන්වා දුන්නෙ බුදුහාමුදුරුවොයි. ඒ අවබෝධය බොහොම ගැඹුරුයි. සාමාන්‍ය පුද්ගලයකුට කවදාවත් ලබාගන්ට බැරි බුද්ධියක්‌ ඥනයක්‌නෙ බුදුහාමුදුරුවන්ට තිබුණෙ.

සමාජයෙ ජීවත්වෙන අපටත් බුද්ධියක්‌, ඥනයක්‌, අවබෝධයක්‌ ඕනෑ. නැත්නම් කොහොමද අපි දියුණු වෙන්නෙ. දැන් බලන්න මවුකුසින් බිහිවෙන දරුවා ක්‍රමයෙන් ලොකු මහත් වෙනව. අකුරු ඉගෙන ගන්නව. එහෙම ඉගෙන ගෙන දැනුම ලබාගෙන විභාගෙ සමත් වෙනවා. මොනවද ඒ දැනුම කියන්නෙ. විභාගයක්‌ සමත් වෙන්ට වුවමනා විෂය ධාරාව ඉගෙන ගන්නව. ඒකට විවිධ විෂය අයිතියිනෙ.

අද සමාජයේ තියෙන ලොකුම ගැටලුවක්‌ තමා මේ විෂය දැනුම ලබාගැනීම. ඊට පස්‌සෙ විභාග වලින් සමත්වීම. මෙන්න මෙතැනදී තමයි අනවබෝධය නිසා ඒ කියන්නෙ දැනීමක්‌ නැතිවීම නිසා හුඟදෙනෙක්‌ වල්මත් වෙන්නෙ. මං මුළා වෙන්නෙ. මොකද සමහරුන් හිතනව දැනුම නැත්නම් අවබෝධය පූජාවකින් වෙන ආශිර්වාදයකින් එහෙමත් නැත්නම් මන්තර බලයකින් ලබාගන්න පුළුවන් කියල. ඇත්තම කියනව නම් අවබෝධය නැත්නම් බුද්ධිය ලබාගන්න ඒ කිසිම දේකින් බෑ.

මෙතෙනදී වැරදි විදිහට හිතන්ට එපා. සම්‍යක්‌ දෘෂ්ටි දෙවි දේවතාවුන්ගෙන් වැඩක්‌ නෑ කියලා එහෙම. දෙවියො නැත්නම් දේවත්වයට පත් වන්නෙ පිං බලයෙන්. පින් පිරිහී ගියහම දේව ශක්‌තිය නෑ. ඒකනෙ බෞද්ධයො විදිහට අපි හැම පිංකමක්‌ අවසානෙදි දෙවියන්ට පින් දෙන්නෙ. එහෙම පින් ගන්න දෙවියන්ගෙන් අපට ආරක්‍ෂාව, පිහිට ලැබෙනව. ඒ මිසක්‌ අපේ දියුණුව, අපේ බුද්ධිය, අවබෝධය කිසිම දෙවියකුගෙන් නිකම්ම ලැබෙන දෙයක්‌ කියල හිතන්ට එපා.

බුදුහාමුදුරුවො ප්‍රඥව ලබාගැනීමේදී කරුණාව කියන දේ ගැන සඳහන් කරල තියෙනවා. ඒ නිසා කරුණාව හා ප්‍රඥව එක්‌ව ගමන් කරන බව අප වටහා ගන්ට ඕනෑ. කොහොමද කරුණාව පහළ වෙන්නෙ. කරුණාව කියන්නෙ මෛත්‍රිය, ද්වේෂයක්‌ නැතිව, අහිතක්‌ නැතිව කිසිම චංචල සිතක්‌ නැතුව හැම සත්ත්වයකුට අප්‍රමාණව මෛත්‍රී කරන්නට පුළුවන් නම් ඒකට තමා කරුණාව කියන්නෙ. ඒ විදිහට මෛත්‍රිය වැඩීම භාවනාව කියල හඳුන්වනව. එහි අවසාන ප්‍රතිඵලය නිවන.

ගිහි ජීවිත ගෙවන, ලෞකික යහපත අපේක්‍ෂා කරන අපටත් මෛත්‍රී භාවනාව නිසා දියුණුව ලබා ගන්න පුළුවන්. දැන් සමහරු දියුණුව හොයාගෙන ෙµන්සු වගේ දේවල් පසුපස යනව. දේවාල ගානෙ යනව. පූජා වට්‌ටි වෙන වෙන පඬුරු බාර හාර වගේ දේවල් ඉවරයක්‌ නෑ. ඒත් ඒ කිසිම දේකින් අපට බෑ ඉෂ්ටාර්ථ සිද්ධිය සලසා ගන්ට.

මොකද්ද මේ ඉෂ්ටාර්ථ සිද්ධිය කියන්නෙ. අපට ඉෂ්ට කර ගන්ට ළඟාකර ගන්ට තිබෙන අරමුණ තමා. අපි බලමු උසස්‌ පෙළ විභාගෙට හරි වෙන විභාගෙකට හරි සූදානම් වෙන ශිෂ්‍යයෙක්‌ දිහා ඔහු ඉස්‌සෙල්ලම කරන්ට ඕනෑ විෂය කරුණු අවබෝධ කර ගැනීම. ඒ ඒ විෂය නිර්දේශය ගැන හොඳින් අධ්‍යයනය කරල, එහි සියලු තැන් ප්‍රත්‍යක්‍ෂව දැන ගැනීම තමා අංක එකට අයත් කරුණ.

දැන් බලමු සමහරුන්ට විභාග අමාරු වෙන්නෙ ඇයි කියල. හේතුව තමා විෂය නිර්දේශය මුල සිට අගට ඒ වගේම එහි ගැඹුරු තැන් පිළිබඳ දැනීමක්‌ නැතිවීම. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන්ද දෙවියන්ට පූජාවක්‌ තියල දැනුම ලබාගන්ට. කරුණු නොදැන ගිහිල්ල ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්ට පුළුවන්ද? කවදාවත් බෑ. පූජා තියල සුර පැළඳගෙන, ජීවම් කරපු පෑන් අරගෙන විභාග දවසට ගිහිල්ල උත්තර ලියන්ට පුළුවන් කියල හිතනව නම් මොකටද මහන්සි වෙලා විෂය නිර්දේශ ඉගෙන ගන්නෙ. ඉස්‌කෝලෙ යන්නෙ. ටියුෂන් පන්තිවලට යන්නෙ.

මෙන්න මේක තමා අද හුඟ දෙනෙක්‌ පත්වෙන මුළාව. ඒ මුළාවෙන් අන්ධ වෙලා අපරාදෙ කාලය, ධනය විනාශ කරගන්ට එපා. බුද්ධිය වුවමනා මෙතනින් බේරෙන්ට. හිත ශක්‌තිමත් කරගෙන ඒ මුළාවෙන් මිදෙන්ට ඕනෑ. නැත්නම් ඔබට කවදාවත් අර කිව්ව ඉෂ්ටාර්ථ සිද්ධිය ලබාගන්ට බැහැ. ඒ නිසා අවබෝධය තමයි ඉතාම වැදගත්. එය ලැබෙන්නෙ ප්‍රගුණ කිරීමෙන්. ගැඹුරින් විමසා නොබැලුවත් යම් විෂය ක්‍ෂේත්‍රයක්‌ හඳුනා ගැනීම එහි ගති ලක්‍ෂණ තේරුම් ගැනීම හොඳටම ප්‍රමාණවත්.

හැබැයි මෙතැනදී මුලින් කිව්ව මෛත්‍රී සිත උපකාර වෙනව. මොකද මෛත්‍රී සිත බොහොම පිරිසිදුයිනෙ. කවුරුත් ගැන අමනාපයක්‌ නෑ. කහටක්‌ නෑ. අනුන්ගෙ යහපත පතන අයට තමන්ගෙ හිත පාලනය කරගෙන යම් දෙයක්‌ අවබෝධ කර ගැනීමත් ඉතාම පහසුයි. ශාන්ත සිතක බොහෝ දේවල් තැන්පත් වීමේ ශක්‌තිය වැඩියි. මතක ශක්‌තිය තමා විභාගයකට ලියන ශිෂ්‍යයකුට තිබෙන්ට ඕනෑ දේ. ඒ මතක තබා ගන්ට පුළුවන් නිරවුල් සිතට පමණයි. ඒ නිසා මතකය දියුණුවීමේ හොඳම ක්‍රමය තමා මෛත්‍රී භාවනාව පුරුදු කිරීම.

දවසකට දෙවරක්‌ උදේ පාන්දර ඉගෙනීමේ වැඩපටන් ගන්ට කලින් මෛත්‍රී භාවනාව කරල හිත සැහැල්ලු කර ගෙන ඔබේ දවස ආරම්භ කරන්න. එහෙම කරල බලන්න වෙනසක්‌ තියෙනවද කියල. ආයෙ වැඩ අවසාන කරල ඒ විදිහටම නින්දට කලිනුත් මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්‌සෙ නිරවුල් පිරිසිදු සිතේ ඔබ ලබාගත් දැනුම අවබෝධය උඩට ගන්න. ඒවා විග්‍රහ කරල බලන්න. ඒක හරියට හිතින් කරන අභ්‍යාසයක්‌ වගේ.

Post a Comment

0 Comments