භූත දෝෂ ඔබට බලපාන හැටි

ම හද නමැති වන බඹරා ඔබේ කණට ළංවී ආදරය ප්‍රකාශ කරන ආකාරය ගීතයකින් පැවසෙන්නේ වන බඹරාගේ ප්‍රේමණීය හඬත් සමගය. ඒ කණට කර පැවසෙන්නේ ආදරයයි.

මගේ කණට කර කවුදෝ සිංදු කියනවා

කවුදෝ මගේ කණට කර අසභ්‍ය ලෙස බැණ වදිනවා

මගේ කණට කර නොපෙනෙන කවුදෝ කතා කරනවා

මෙවැනි වදන් ප්‍රබන්ධ නොවේ. පීඩාවට පත් බොහෝ දෙනෙකුගේ මැසිවිලිය. සත්‍ය වශයෙන්ම නොපෙනෙන භූත බලවේගයන් කතා කරන්නේද? මෙය මානසිකව බලපානු ලබන ගැටළුවක්‌ද? භූත විද්‍යාව හෝ භූත බලවේගයන් පිළිබඳ අරුත අද සමාජයෙන් තුරන්ව ගොස්‌ ඇත. භූත විද්‍යාව ගැඹුරු ශාස්‌ත්‍රයකි.

ගුප්ත විද්‍යාවේදී යන්ත්‍ර - මන්ත්‍ර පිළිබඳ සීහුම් බැලිය යුතු බව භූත විද්‍යාව තුළින් ඉගැන්වෙයි.

කෙනෙකුට විපත් දෙනු ලබන මන්ත්‍ර තවත් අයෙකුට වාසනාව උදාවෙයි. එය පුරාණ ඉසිවර මතයකි. එක්‌ දුබලතාවයක්‌ දුරුකිරීමට මන්ත්‍ර රැසක්‌ ඇත. එය ඇදුරාට හෝ ආතුරයාට සිද්ධි - සීහුම් බලා කළ යුතුය.

වෙහෙරගල පන්සලේ සීලරතන හාමුදුරුවෝ කොණ්‌ඩදෙණියට සැපත්වීමෙන් පසුව උන්වහන්සේ එම ග්‍රාමයෙහි නාමයෙන් සිරිලක පුරා ප්‍රචලිත විය. කොණ්‌ඩදෙණියේ හාමුදුරුවන් භාවිත කළ යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත කටයුතු තුළ පිදවිලි, බලියාග නැත. මන්ත්‍රයෙහි අක්‍ෂර කෙටිය. කෙම් ක්‍රම පොඩිය. ගුණදොස්‌ කඩිනම්ය. ගුප්ත විද්‍යාව - භූත විද්‍යාව තුළ තමන් හට මන්ත්‍ර සිද්ධි වීම තුළ උන්වහන්සේගේ ශිල්පීය ක්‍රමවේදයන් බලවත්ය.

යමෙකුගේ කණට කර නොපෙනෙන අයෙකු යමක්‌ පවසනු ඇසීම භූත බලවේගයක ලක්‍ෂණයකි. මානසික පිරිහීම මත මෙවැනි භූත බලවේගයන් මිනිසාට බලපෑම් ගෙන එයි.

කේන්ද්‍ර සටහනක සටහන් වන කේතු ග්‍රහයාගේ බලපෑම ජන්මියාට භූත දෝෂ ගෙන දෙයි. කේන්ද්‍රයක කේතු ග්‍රහයා අසුබව හතරවැන්නේ හෝ හයවැන්නේ සිටීම හෝ අසුබයෙකුගේ දැක්‌මට හසුවීමද ජන්මියා භූත දෝෂයෙන් පෙළීමකි. ග්‍රහ තත්ත්වය අනුව දෝෂය විවිධ වෙයි.

හතරවැන්නේ කේතු අසුබ වූ විට නිවස අඳුරු සහිතය. ජන්මියාගේ පපුව සම්බන්ධ වියලිකාරක රෝග ඇතිකරවයි. නහරගත දෝෂ ඇතිවෙයි. මෙවන් අඳුරු සහිත නිවසක පසුපස වඩාත් අඳුරුය. ගුප්ත ස්‌වරූපයක්‌ ගනියි. පාළු ස්‌භාවයක්‌ උසුලන එවන් නිවස සහ භූමි ප්‍රදේශය භූත බලවේගයන්ට යටත්ය. කොතරම් විය පැහැදම් කළද, ආහාර පාන ගෙන ආවද, කේතු බලපෑමට - භූත බලවේගයනට අවනත නිවාස තුළ කිසිදු යාදීමක්‌, වගතුවක්‌ නැත. වියදම් කරන ආකාරයට මුදලේ නිසි ඵලයක්‌ නොලැබෙයි. නිවැසියන් තුළද ඇත්තේ කළකිරුණු උදාසීන පෙනුමකි. පිරිසිදු බවක්‌ ක්‍රමවත් බවක්‌ ඔවුන් තුළ නොමැත.

ඇතැම් නිවාසයන්හි යමෙක්‌ ගමන් කරන අඩි ශබ්ද බඩු භාණ්‌ඩ පෙරලීම්, නැතිවීම් සිදුවෙයි පාළු දුගඳ සහ ගුප්ත බව තුළ කොටුවන නිවැසියන්හට අනේක විධ රෝගාබාධ, කරදර ඇතිවන්නේ නිරායාසයෙනි. එවන් වූ නිවසට, භූමියට, නිවැසියනට කල්ප ගණනේ ඥති මිත්‍රයන් වූ භූත කොටස්‌ එම නිවැසියනට නොයෙකුත් පීඩාවන් ගෙන දෙන්නේය.

හයවැන්නේ කේතු අසුබ දෘෂ්ඨ§ ලද කළ කේන්ද්‍ර සටහනකට තමනට වඩා පහතින් සිටි පිරිසකගේ භූත බලවේගයන්ට අවනත නිවස තුළ කිසිදු යාදීමක්‌, වගතුවක්‌ නැත. වියදම් කරන ආකාරයට මුදලේ නිසි ඵලයක්‌ නොලැබෙයි. නිවැසියන් තුළද ඇත්තේ කළකිරුණු උදාසීන පෙනුමකි. පිරිසිදු බවක්‌ ක්‍රමවත් බවක්‌ ඔවුන් තුළ නොමැත.

හයවැන්නේ කේතු අසුබ දෘෂ්ඨි ලද කල කේන්ද්‍ර සටහනකට තමනට වඩා පහතින් සිටි පිරිසකගේ භූත බලවේගයන් ගොනුවෙයි. පෙර භවයන් හි සේවක කාරකාදී පිරිස්‌ තුලින් නිසි වැටුප් නොගෙවා පීඩාවට පත්කරමින් ශ්‍රමය සූරාගත් පිරිස වෙත ආවේෂ සහගතව මියගිය සේවක පිරිස භූතාත්ම ලෙස තම පළිගැනීම් ගොනුකර වන්නේය. ජන්මියෙකුගේ ව්‍යාපාර පිරිහීම - ගිනි ගැනීම් අලාභ හානි තුළින් හදිසි විනාශ වීම් සිදුවන්නේ අයහපත් භූත බලවේගයන් බලවත්වීම නිසාය. ජන්මියෙකුගේ දුර්වල වූ ශරීරයට පීඩා කරමින් සමේ රෝග හඳුනාගැනීමට අපහසු පීඩා ඇතිකරවන්නේ මෙම භූත බලපෑම් නිසාය.

ප්‍රේත භූත කොටස්‌ මිනිසාට ආවේශ වෙයි. එවිට මිනිසා ප්‍රේත ගති පෙන්වයි. අපිරිසිදුව හඬාවැළපෙයි. සිනාසෙයි නිරුවත්ව ගුලිවෙයි. කෝප වූ කළ පහරදෙයි.

ගත සිත දුබල වූ මිනිසුන්ගේ විප්‍රකාරයන් ප්‍රේත ස්‌වරූපයන් උසුලයි. ඇතැම් විටෙක මිනිසා ශාස්‌ත්‍ර කීමට පොළඹවාලනු ලබන්නේද නිසැකවම භූත බලවේගයක්‌ තුළින් වෙයි. පෙරකල මළගිය ඥතියෙකු භූතයෙකු වී මිනිසාට ආවේශ වීම තුළ මිනිසා සත්‍ය මෙන්ම අසත්‍යද පවසයි.

භූත බලවේගයනට ගොදුරු වූ මිනිසා නොමග යයි. ජන්මියා නොමගට - පීඩනයට යොමුකරන්නේද භූත බලවේගයන් තුලින්මය. භූතයන් සිහිනෙන් දර්ශනය වී නිදන් වස්‌තු තිබෙන ස්‌ථාන පැවසීම - අපල දුරුවන බව පවසා විශාල ලෙස මුදල් වැයවන දේ පැවසීම මිනිසා පීඩාවට පත්කිරීමකි. භූතයන් පවසන නිදන් වස්‌තු එම ස්‌ථානයන්හි නැත. වැය කළ මුදලට - කඩා දැමූ නිවසේ කොටසට සිදුවන අපල දුරුවීමක්‌ නැත. භූතයන් මිනිසා පරිහානියට පත්කොට මානසිකව දුබල කර සතුටුවෙයි.

විහාර සිතුවම් තුළ ප්‍රේතයන් සිතුවම නඟා ඇත. යකදුරන් විසින් දෙනු ලබන ප්‍රේත තටු ආදියෙන් ප්‍රේත දෝෂ දුරලනු ලැබේ. මිනිසාගේ සිරුර - මනස අපවිත්‍ර වීම ප්‍රේත ස්‌වභාවයක්‌ ගැනීමකි. සිත - ගත මෙන්ම නිවස සහ භූමියද පිරිසිදුව තබාගැනීමෙන් ඥති ප්‍රේතයන් පලවා හැරිය හැකිය. වාස්‌තු විද්‍යාවේදී නිවසක්‌ පාද බෙදීමකට යොමු කිරීමේදී ප්‍රේත පාදය හඳුනා ප්‍රේත පාදය හසුනොවන ලෙස නිවස ගොඩනැඟීම කළ යුතුය. සුරූපිනියක වූවද ප්‍රේත ආවේශය ලද කල විරූප වන්නීය.

විහාර - ආරාමයනට ලොබ බැඳි පූජ්‍ය පක්‍ෂය පරලොව යැමෙන් පසු සුමන ප්‍රේතයන් නමින් බලවත්ව එම ස්‌ථානයන්හි සැරිසරන්නේය. පූජ්‍ය පක්‍ෂය ගිහි ජීවිතයට පිවිසීම, විහාර ආරාම හැරයාම, එම ස්‌ථාන පරිහානියට පත්වීම සුමන ප්‍රේතයන්ගේ බලපෑම්ය. ආහාර පානාදියෙන් අනෙකෙකුට සංග්‍රහ නොකළ ආහාර පාන සොරාගත් පිරිස්‌ භූත කොටස්‌ ලෙස ඉපිද කුසගින්නේ විලාප නගති. සියදිවි නසාගන්නවු එම අකුසලය තුළින් භූත ආත්මයක්‌ ලබා දුක්‌විදිති. යම් කුසලයක්‌ පලදීමෙන් ඔවුන් මිනිස්‌ භාවයක්‌ ලැබුවද ශාරීරික විකෘති භාවයෙන් පෙළෙයි. ගෙලෙහි ආබාධ ගෙල ඇදවීම ගෙල වැලලාගෙන මරණයට පත්වූවන්ගේ උත්පත්තිගත ලක්‍ෂණයන්ය. වස විස දුන් - විස පානය කලවුන් ගේ උපත තුළ සුවනොවන උදරාබාධ ඇත. උසකින් පැන දිවි තොරකර ගත්තවුන් පසු භවයකදී හදිසි අනතුරු වලින් මියයයි. හිස - කොන්ද ආබාධ වී එක්‌තැන්ව මියයයි. කුසල් හීන වූ කල ඔවුන්a භූත කොටස්‌ව තම ඥති මිත්‍රාදීන්ගෙන් කුසල් බලාපොරොත්තුවෙන් එම ඥතී මිත්‍රාදීන්හට නොයෙකුත් පීඩා - බලපෑම් එල්ල කරති.

ඡන්මියාට කේන්ද්‍ර සටහන තුළින් තමනට තම නිවසට බලපවත්වන භූත දෝෂය හඳුනාගත හැකිය. ඡන්මියා හට සිහිනෙන් දර්ශනය වන කණට කර පවසන තමන් පිරිහීමකට පත්කරවන භූත දෝෂයට පිළියම් කළ යුතුය. ඒ සඳහා තෙරුවන මූලික කොට මහා සංඝරත්නයට දෙනු ලබන සාංඝික දානමය පිංකම නිසැකවම බලවත්ය. සාංඝික දානයක්‌ දීමෙන් තමන්ට සහ තම නිවසට බලපෑම් ගෙනදෙන භූත බලවේගයන් ඉවත්කළ හැකිය.

ඉවත් කළ එම භූත බලවේගයන් අතර සසරෙහි පෙර කල තම මව පියා - ස්‌වාමි, භාර්යා, දරු, සොයුරු, ඥති මිත්‍ර පිරිස්‌ද සිටිය හැකිය. මේ භවයේ තමන්ගෙන් වියෝවූ මව පියා ඇතුළු ඥති මිත්‍ර පිරිසද ඔවුන් අතර සිටිය හැකිය. සංසාරික බැඳීමෙන් පැමිණ අසරණ වූ එම භූත කොටස්‌ නිවසින් පලවා හැර අසරණ කිරීම පාපයකි. පලවා හල සීමාවෙන් පිටත සිට ඔවුන් නගන අසරණ විලාපය මිනිසාට නෑසෙන්නේය. සංඝරත්නය විෂයයෙහි දන්දී පින්කම් කොට මියගිය ඥති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසුව ඡන්මියා එදින සවස විහාරස්‌ථානයක්‌ වෙත යාම යහපත්ය. ආගමික වතාවත් අවසානයේ විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ අසල තෙල් උතුරා යන පරිදි පහනකට දමා පහන දල්වා මිනිසා විසින් තම ඥති භූතයන් වෙනුවෙන් කළ යුතු සංවේදී උතුම් යුතුකම ඉටුකළ යුතුය.

අද දින මහදන් පිදීමෙන් තමන් විසින් කරන ලද කුසලයේ බලයෙන් අනුමෝදන් ශක්‌තියෙන් තමන්ගෙන් සහ තම නිවස, භූමිය ඇතුළු නිවැසියන්ගෙන් ඉවත්වූ භූත කොටස්‌ වලට විහාරස්‌ථානයේ පහන් දල්වා කරන මෙම කුසල් අනුමෝදන්වීමට පැමිනෙත්වායි පැතීම යහපත්ය.

අනතුරුව ඔවුන්ට පිං අනුමෝදන්කොට එම අනුමෝදනාත්මක කුසලයේ බලයෙන්, කුසල් රැස්‌කර ගනිමින් මෙම බෝධීන් වහන්සේ අසලම බලවත්වී උසස්‌ දිව්‍ය තලවලට එළඹ නිවන්මග අවබෝධකර ගැනීමට මෙම කුසල් හේතු වාසනා වේවායි පැතීම එම භූත කොටස්‌ සුගතිගාමී භාවයකට පත්වීමට ඉවහල් වෙයි.

භූතයන්ද සුළඟ වැනිය. සුළඟ නෙතට නොපෙනෙයි. ගතට දැනෙයි. මාරුතයක්‌ වීමට පෙර සුළඟ අප නිවැරැදිව හඳුනාගත යුතුය. භූතයන් අහිංසකය. අප චණ්‌ඩවීම මත ඔවුන් ප්‍රචණ්‌ඩ මාරුතයක්‌ වන්නේය.

ජ්‍යෝතිෂවේදී 
මතුගම ජයනෙත්ති

Post a Comment

0 Comments