ස්‌කන්ද කුමාර මංත්‍රය මෙන්න

පෙර කල තාරක නම් අසුරයෙක්‌ ශ්‍රී ලංකාවේ අධිපතිකම දැරුවේය. මොහුගෙන් රටවැසියනටත් ඉමහත් කරදර සිදුවන්නට පටන්ගත්තේය. එයින් මිදීමට මනුෂ්‍යයන් මෙන්ම දෙවිවරුන්ද රැස්‌වී සාකච්ඡා කොට එකල දෙවියකු නූනත් දේව බලය පවා මැඬලිය හැකි මහා බලැති දේව වංසික ස්‌කන්ද නම් යුධ සෙන්පතියකු දකුණු ඉන්දියාවේ සිටින බව දැනගත් තාරකට විරුද්ධ පිරිස ඔහු හමුවට ගොස්‌ තාරකගෙන් සිදුවන විවිධ කරදර ආදිය පවසා එයින් මුදවා දෙන ලෙස ඉල්ලීය. මේ විස්‌තර ඇසූ ස්‌කන්දගේ හදවත උණුවී ඔවුන්ට සැනසිල්ල සහනය අප්‍රමාදව ලබාදෙන බවට පොරොන්දු වී තාරකගේ බල ශක්‌තිය බිඳ හෙළීමේ දැඩි අධිෂ්ඨානයෙන් සූදානම්වී ලක්‌දිවට පැමිණ තාරක මරාදමා ඔවුනට සෙත සලසා මේ ස්‌කන්ද නම් වීර සෙනවියා ආපසු ඉන්දියාවට නොගොස්‌ ලංකාවේ රුහුණු ප්‍රදේශය නියෝජන වන පරිදි වැසියන්ගේ ජනාදරය දිනාගෙන කතරගම ස්‌ථිරව පදිංචිවී රට පාලනය කළා.

එම තාරකගේ කෲරතර අධර්මිෂ්ඨ අඳුරු යුගය ආලෝකවත් කිරීමට පෑවූ නව සඳක්‌ සේ ඔහු සතර අගතියෙන් තොරව සියලු වැසියනගේ දුක සැප සොයා ඒවාට සුදුසු විසඳුම් ක්‍රියාත්මක කර දැහැමි පාලකයකු වූ ස්‌කන්ද ලංකා පුරවැසිභාවය තහවුරු කර ගැනීමට ලාංකික කාන්තාවක්‌ විවාහ කර ගත්හ.

ජනතාවට ළෙන්ගතුව සාමකාමී රජ කෙනකු ලෙසින් යුක්‌ති ගරුකව රට පාලනය කරන මොහුට ජනතාව ගෞරව වශයෙන් ඇමතුවේ කන්දසාමි නොහොත් ස්‌කන්ද සාමි නාමයෙනුයි.

දිනක්‌ මේ රජතුමා අවට පරිසරය නරඹමින් විනෝදයෙන් මැණික්‌ ගඟ දිගේ ඉහළට යනවිට (අද සෙල්ලකතරගම) නම් ලත් තණ හේනක සතුන් එළවන අහිංසක පෙනුමකින් යුත් පිං පාටති තරුණ ගැටිස්‌සියක්‌ දැක ඇගේ ආචාර සමාචාර ගති පැවතුම් කෙරෙහි සතුටට පත්ව ඇය කෙරෙහි හිත ඇදී බැඳී ඇගෙන් ඇගේ නම කුමක්‌දැයි ඇසුවේය. එවිට ඇය තමා උසස්‌ වැදි පරපුරකින් පැවත එන දුප්පත් අසරණ කෙල්ලක්‌ බවත් දෙමාපියන් මට වල්ලී කියන නමින් අමතන බවත් පැවසුවාය. ඊට පසු ස්‌කන්ද ඇයට ඔහු සමඟ විවාහ වන ලෙස යෝජනාවක්‌ කළා. පසුව ඇය සතුටට පත්වී කිහිප දිනකින් ඔවුන් දෙදෙනා විවාහ විය.

ඉන්පසු නොබෝ දිනකින් ඔහුගේ පළමු බිරිය වන ඉන්දියාවේ විසූ තේවානි අම්මාද කතරගම සිය මැඳුරට ගෙන්වාගෙන තේවානි අම්මා සහ වල්ලි අම්මාද සමඟ දෙදෙනා යහතින් අගරජ බිසවු වශයෙන් සිටිය බව ජනප්‍රවාදයේ කියෑවේ.

රටට වැසියනට ජාතියට ආගමට කැපවී උදාර සේවයක්‌ කළ කවුරුන් හෝ මියගිය පසු ඔහු දේවත්වයෙන් සලකා භක්‌තියෙන් ආදරයෙන්, විශ්වාසයෙන් ඇදහීම පෙරදිග විසූ ආර්යයන්ගේ ආවේණික සිරිතකි. චාරිත්‍රයකි. මේ සංකල්පය අනුව ස්‌කන්ද නම් ප්‍රතාපවත් වීරයාද මිය යැමෙන් පසු දේවත්වයට පත්ව මහේශාක්‍ය දෙවියෙක්‌ වී රුහුණු රාජ්‍ය කතරගම සිට පාලනය කරනවායි යන විශ්වාසයෙන් හුදී ජනයා දෙවියකු වශයෙන් අදහන්ට පටන් ගත්හ. මේ කතරගම දෙවියන් දැනට වර්ෂ පන්දහසකටත් ඈත අතීතයේ සිට බැති බරින් ගෞරවයෙන් අද දක්‌වා අදහන බව දේශස්‌ත්‍ර කළුතර හා වේලාපුර කළුතර වශයෙන් කළු ගඟ මුහුදට වැටෙන මෝය කළුතර වශයෙන් කළු ගඟ මුහුදට වැටෙන මෝය ප්‍රදේශය දෙකොට කොට බෙදීමේ පුවත ඉපැරැණි පුරාවෘත්තයෙන් බොහෝ දුරට අපට ඔප්පුවේ.

මෙවන් මහා බලගතු කතරගමට අධිපති දෙවියන් ගුප්ත විද්‍යාව අනුව බන්ධනය කරගැනීමේ විවිධ මන්ත්‍ර යන්ත්‍ර ඇත. තඹපත්වල හා පුස්‌කොළ පොත්වල පෙර ඉසිවරුන් විසින් සකසා ඇත. ඒවා හරියට දැන කරගත හොත් මිනිසාට ශුභපල ලබා දියුණුවීමේ උදාව ඉක්‌මනින් ළංකරගත හැක.

මෙහිදී බන්ධනය යන වචනයෙහි බරපතළකම නිසා සමහරු බියවෙති. එනිසා කොයිම බලගතු දෙවිකෙනෙක්‌ බැඳගෙන වැඩ ගැනීමට මිනිසුන්ට තියා දෙවියකුටත් නොහැකිය. බන්ධනය යනු දෙවියන් බැඳගෙන වැඩ ගැනීමක්‌ නොව දෙවියන් හා අප අතර ඇති කරගන්නා මිත්‍ර බන්ධනයකි.

භූත විද්‍යාවේ ඉගැන්වෙන කන්දකුමාර බන්ධනය ඉන් එකකි. එයින් මිත්‍ර බන්ධනයක්‌ ඇතිකර ගත හැක. හැබැයි දෙවියන් සමඟ මිත්‍ර බන්ධනයක්‌ ඇතිකර ගැනීමට පෙර ඔබ දෙවියන් හා සමාන ගුණධර්මයෙන් යුතුව තිරිසන් ගතියෙන් තොරව ඊර්ෂ්‍යාවෙන් මානයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් අගතියට ගිය දුර්ජන ක්‍රියාවලින් මිදිය යුතුයි. තවද ගෙරිමස්‌ කන මත්වතුර බොන්නන්ටද කරගත නොහැක.

පෙර කල කොළඹ නුවර පාරේ මාවනැල්ල නගරයට ආසන්න වාකිරිගල ග්‍රාමයේ පිරිවෙනක වැඩ වසමින් පූජාවලිය කළ මයුරපාද නම් ශාස්‌ත්‍රගමධාරී තෙරුන් වහන්සේ පිළිබඳවූ මුඛ පරම්පරාගත කථාවක්‌ මෙසේය. අපේ බුදුරදුන්ගේ අරහත්ත ගුණය වර්ණනා කිරීම් වස්‌ පූජාවලිය රචනා කිරීමට ඉටාගත් මයුරපාද තෙරණුවෝ දිනක්‌ බුද්ධි ප්‍රභාවය ලබනු සඳහා ස්‌කන්ද කුමාර වරප්‍රසාදය පතා විහාර භූමියක වූ ගල්ලෙනක හිඳ මන්ත්‍ර පිහිටවමින් සිටියාහ. මේ අතරේ වරින්වර භයානක අවතාර සතලොසකින් පැමිණි කඳ කුමරුට ශාස්‌ත්‍ර නියමය පරිදි ඒ ඒ බිලි පූජා පවත්වන ලද්දේය. දසඅට වැනි වරට පැමිණියේ මොණර අවතාරයයි. ඒ අවතාරයට බිලි පිණිස සූදානම් කර තිබුණු ලොඳ කුරුම්බා ගෙඩියේ ඇස්‌ස ගසා නැති බව දුටු මයුරපාද හිමි විපිළිසර බවට පැමිණියේය. මොණරාද කෝපාෂ්ඨයෙන් රෞද්‍ර බැල්මක්‌ හෙළා හැරී ගියේය. දෙවනවර තෙරුන් වහන්සේ ඉදිරියේ උගේ හොටය දිගුකරගත් විශාල මයුරෙකි. මේ නම් කඳකුමරුගේ වාහනය වූ මයුරාය. ඒ මයුරාගේ දෙපය අඩගව්වක්‌ පමණ දුරින්වූ බතලේගල කඳු පර්වතයට යාවූ ගම්මානයක රැඳී තිබුණු උන්වහන්සේට පෙනුණේය. මෙවිට කළයුතු අන් දෙයක්‌ නොදත් තෙරුන් වහන්සේ දකුණතින් දකුණැස වසාගෙන වම් ඇස මයුරයාට විදා පෑවේය. ස්‌කන්ද කුමාර වරප්‍රසාද නම් වූ අද්භූත බලය ලත් උන්වහන්සේ සත් දිනක්‌ ඇතුළත පූජාවලිය ලියා නිම කළහ.

මොණරා පැමිණි ගම්මානය මොණරා ගම්මන නම්විය. මෙකල මේ ගම මොණරාගම්මන යන නමින් හැඳින්වේ. මයුරපාද පාය (මයුරපාද පිරුවන) යන නාමය මේ සිද්ධිය හා සම්බන්ධයි.

මයුරපාද තෙරුන් වහන්සේ එදා පූජාවලිය ලියා නිමකිරීම සඳහා කන්දකුමාර වරප්‍රසාදය ලබාගැනීමට භාවිත කළ තඹ පොතක සඳහන් මහා බලති කන්ද කුමාර බන්ධනයට අයත් මන්ත්‍රය මෙසේය.

"ඕං නමෝ කන්ද කුමාර පෙරුමාල් අප්පොච්චි හාමිනා කදිදේශවරපුර අධිගෘහිත ඝණමුඛ දවාදසනේත්‍ර දවාදස හස්‌ත්‍ර ගෘහිත ආයුධ වර්ණ වර්ණලංකාර භූසිත ගණපති මකුට ත්‍රී නේත්‍ර ඊශ්වරාවතාර ධාරිත කන්දේසු දිව්‍යාභරණ ධාරිත රුහුණු මායා දේශ අධි ගෘහිත දේවරාජ මන්දිරාතේ උරුක්‌කු පේරුක්‌කු කට්‌ටු කන්දස්‌වාමි දීෂ්ඨි වාරුම් ගුරු කුත්තිලේ වේලා ඉර ඉරංගුවේලා රාම නාරසිංහ කාමුරු ජයත්ත්‍ර උරුලේ සායාරි බිස්‌මාකාමී ජහරේ පුදිය විෂ්ණු කපාල වෙට්‌ටු නාරං පත්තු පාතාල කදිර කන්ද කුමාර ඊශ්වර තට්‌ටු භූමිභාග වෙඩිසුරු පාත්තු ඉරලාඩි ඉරු ඉරුකී දිෂ්ඨි උපුටං ඒරු ඒරු ස්‌වාමියාගේ කතු කුමාර වෙඩි සැරැ දිෂ්ඨි දහරේ හරන්තු ඒහි ඒහි ඒස්‌සවාහඃ"

ස්‌කන්ද කුමාර දෙවියන්ට මල් අසූනක්‌ තනා කන්නලව්වක්‌ කර පලතුරු මල් පුද පූජාවක්‌ තබා ස්‌කන්ද කුමරුගේ රූ සටහනක්‌ ඇඳ මේ මන්ත්‍රය තඹ හෝ රන්, රිදී පතක ඇඳ ලියා සුවඳ ධූපයක්‌ අල්වා 1080 වරක්‌ ජපකර අඟල් 2 රිදී සුරයක බහා කර පළඳින්න. වෛද්‍යවරුන්ට නීතිඥයන්ට, ආරක්‍ෂක නිලදරුවන්ට, උසස්‌ ප්‍රභූවරුන්ට හා දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට, කලාකරුවන්ට, අධ්‍යාපනය හදාරන දරුවන්ගේ විභාග ජය සඳහාද තමාගේ ශරීර ආරක්‍ෂාවන්ටද, කලාකරුවන්ටද ඉමහත් සනික ප්‍රතිඵල ලබාගත හැක.

මේ මන්තරයෙන් ලක්‍ෂවාරයක්‌ ජපකළහොත් ඔබට නොයෙක්‌ ආකාරයේ දෙවිවරු, සුරූපී ස්‌ත්‍රීන්, ස්‌කන්ධ දෙවියන් මැවී පෙනෙන්නට පුළුවන. මේ නිසා මේ යන්ත්‍රය පැළඳීමෙන් පසු ඔබ සිල්රැකීම, නිතිපතා බුදුන් වැඳීම හා බුද්ධ ශාසනයේ දියුණුවට ආධාර උපකාරදී දන්පින් දී දෙවියන්ට නිතිපතා පිංදෙන්ට. මෙය පළඳින ඇත්තෝ තමා අඳින සරම්, ගවුම් ආදී හැම අඳුමක්‌ම හිසට උඩින් නොපළඳින්න. කකුල් දෙකට යටින් ඉහළට ගෙන ඇදීම යෝග්‍යයි. යන්ත්‍රය ස්‌ත්‍රී පුරුෂ භේදයෙන් තොරව පැළදීමට වරම් ඇත.

ගුප්ත විද්‍යාකීර්ති, සාමවිනිසුරු
දේශබන්දු රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ 

Post a Comment

0 Comments