භූමි ශක්‌තීන් හඳුනාගෙන නිවස ඉදි කරන්න

නිවසක්‌ ඉදිකිරීමට භූමියක්‌ අවශ්‍ය බව අපි දනිමු. මේ පෘථිවියේ සිදුකරනු ලබන සෑම ඉදිකිරීමක්‌ම භූමිය මත සිදුකරනු ලබයි. එය පඨවි හෝ ආපෝ ධාතුව පදනම් කරගෙන කුමන තලයක සිදුකළ ද මූලික දරාගැනීම භූමිය වන බව අපි දනිමු. මේ නිසා භූමියක්‌ නොමැතිව ගෘහයක්‌ ගැන කතාකළ නොහැකියි. වාස්‌තු ශාස්‌ත්‍රය තුළ භූමිය යන්න ඉතා වැදගත්ම සාධකයක්‌ ලෙස සලකා වාස්‌තු මූලධර්ම රාශියක්‌ පෙන්වාදී තිබේ. භූමිය අපහට භෞතිකව දැකගත හැකි ඝණ වස්‌තුවක්‌ නැත්නම් පඨවි ධාතුවක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. සාමාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේදී භූමිය මතුපිට පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන සීමාව තුළ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවද ඍෂි දහමින් එන වාස්‌තු ශිල්පය තුළ භෞතික පරිසරය හා පාරිභෝගික පරිසරය පිළිබඳවද සැලකිලිමත් වනු ලබයි. වාස්‌තු ශිල්පයේ සිද්ධාන්ත සියල්ල ගොඩනැඟී ඇත්තේ විද්‍යාත්මක පදනමක්‌ මත මෙන්ම සොබා දහමට අනුගත වන ආකාරයෙන් වීම විශේෂ ලක්‍ෂණයකි. 

සාමාන්‍ය ලෙස නිවසක්‌ ඉදිකිරීමේදී එම භූමියේ චුම්භක ශක්‌තිය, ගුරුත්ව ශක්‌තිය හා දිශා කෝණයේ සංයුතිය මෙන්ම විශ්ව ශක්‌ති තරංග රටා පිළිබඳව අවධානය යොමු කරනු ලබන්නේ නැහැ. එසේ වුවද අපගේ ඉපැරණි මුතුන් මිත්තන් ගෘහයක්‌ ඉදිකිරීමේදී ඒවායේ නොපෙනන ශක්‌තීන්ගේ තරම පිළිබඳව කිරා මැන බලා එම ගෘහයන් නිර්මාණය කළා. මේ නිසා තමයි පෙර රජ දවස ගෘහයක දිග හා පළලට සාපේක්‍ෂව බිත්ති වල ඝණකම තීරණය කළේ. එසේ වුවද අද අප නිවාස ඉදිකිරීමේදී අඟල් 09, අඟල් 07 අඟල් 05 අඟල් 04 ක්‌ ආදී ලෙස විවිධ ඝණකම් යොදා ගනු ලබනවා. මේවා තුළ කිසිම විද්‍යාත්මක පදනමක්‌ නොමැති අතර ඉතාමත් කෙටිකාලයකදී ඉරිතැලීම් හා ගිලා බැසීම් වලට ලක්‌වීම දක්‌නට පුළුවන්. නූතන ඉංජිනේරු ශිල්පය පරිදි කොලම් එකක දිග සහ පළල තීරණය කිරීම හා බීම් එකක දිග සහ පළල තීරණය කිරීමේදී එහි බර සහ ආවරණය වන පරාසය පිළිබඳව අවධානය යොමු කොට කම්බි යෙදීම දක්‌නට පුළුවන්. මේවා ඉතාමත් සරල ක්‍රම ශිල්පයක්‌ ලෙස යොදාගන්නා අතර නූතන නිවාස ඉදිකිරීමේදී මෙම කටයුත්ත තීරණය කරනු ලබන්නේ බොහෝ විට මේසන් බාස්‌ විසිනි. මෙහි" අප සෑම විටම අවධානය යොමු කරනු ලබන්නේ භෞතිකව අපට පෙනෙන සහ දැනෙන දේ පිළිබඳව පමණයි. එසේ වුවද භූමිය සමඟ කටයුතු කිරීමේදී අපට පෙනෙන සහ දැනෙන දෙයට වඩා වැඩි පරාසයක්‌ තුළ නොපෙනෙන බලවේග වල ක්‍රියාකාරීත්වය ප්‍රබල බව දැනගත යුතුයි. වාස්‌තු ශිල්පයේදී නිවාස ඉදිකිරීමේදී මෙම කරුණු දෙක පිළිබඳවම අවධානය යොමු කරන බැවින් භූමිය මත සාර්ථක ගෘහයක්‌ ඉදිකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට අපේක්‍ෂා කරන්නේ ගෘහයක්‌ ඉදිකිරීමේදී භූමියේ පවතින අපේ අයට නොපෙනෙන ශක්‌තීන් සමබර කරගෙන නිවසක්‌ ඉදිකරන්නේ කෙසේ ද යන්න කියදීමටයි.

නිවසක්‌ ඉදිකිරීමට ප්‍රථම භූමිය හා සම්බන්ධ පූර්ව වාස්‌තු පිළිවෙත් නිසි පරිදි ඉටු කරන්න.

භූමියට ඇතුල් වීමේ දිනය හා දිශාව

නිවසක්‌ ඉදිකිරීමට සූදානම් වන ඔබ සැලසුම සකස්‌ කිරීමට මුලින්ම භූමියට යන දිනයේදී සුබ මුහුර්තියෙන් සුබ දිශාවෙන් ඔබගේ භූමියට ඇතුල්වීම පළමු කාර්ය වෙනවා. මෙහිදී ඔබ බලවත්ව භූමියට ඇතුල්වීම කළ යුතු වෙනවා. එහිදී ඉරිදා සහ අඟහරුවාදා දිනයන් යොදා නොගැනීමට මතක ගත යුතුයි. එම දින දෙක මඟහැර අනෙක්‌ ඕනෑම දිනයක සුබ මුහුර්තියෙන් පෙරවරුවේ භූමියට යැම මැනවි. මෙහිදී ඉඩමට ඇතුල්වීම සිදුකළ යුතු වන්නේ, ඊශාන දිශාවේ සිට නිරිත දිශාව බලා හෝ නිරිත දිශාවේ සිට ඊශාන දිශාව බලා වේ. 

ප්‍රථම වාස්‌තු සීහුම් කිරීම

සැලසුම සකස්‌ කිරීමට භූමියට යන මුල්ම දිනයේ ගෘහ මූලිකයාට පෑගෙන පළමු පස්‌ කොටස රතු හෝ සුදු රෙදි කඩකට රැගෙන භූමියේ බ්‍රහ්ම පාදය මතට ගෙනගොස්‌ බ්‍රහ්ම පාදයේ ඇති පස්‌ සමඟ එක්‌කොට මෙම භූමියේ ගෘහයක්‌ සාදන බව ගෘහ හිමියා මහී කාන්තාව සමඟ ගිවිසුම්ගත වීම සනිටුහන් කිරීම උදෙසා දක්‍ෂිණාවෘත්තව පස්‌ කවලම් කොට නැවත රතු රෙදි කඩට පස්‌ කොටසක්‌ ගෙන ගැට තුනක්‌ සහ එම පස්‌ කොටස ඉඩමේ හතර මායීමෙන් පිට තබා පසුව එය ජලයේ පා කර හැරීම මැනවි.

ශක්‍රීය ශෛල සෙවීම

ඔබගේ භූමියේ මිනිස්‌ ඇට සත්ව ඇට ආදිය සක්‍රීයව ඇත්නම් ඒවා තිබෙනවාද යන්න නිවස සෑදීමට ප්‍රථම සැකහැර දැනගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් සිදුකොට අවශ්‍ය ප්‍රතිකර්ම කිරීම මුල්ම දිනයේ සිදු කිරිම මැනවි. මේ සඳහා පළපුරුදු වාස්‌තු ශිල්පයෙකුගේ සහාය ලබා ගැනීම මැනවි.

භූමි ඥාතීන්ගෙන් අවසර ලබාගැනීම

ඉඩමට ඇතුල් වී පූර්ව වාස්‌තු පිළිවෙත් ඉටුකොට සීහුම් කිරීම් සිදුකොට ශක්‍රීය ශෛල පිළිබඳව විමසා බලා පසුව සකස්‌ කළ සැලසුම යථාර්ථයක්‌ බවට පත් කිරීමට අවශ්‍ය ඉදිකිරීම් ආරම්භ කිරීමට ලබාගත් සුබ නැකත් යෙදී තිබෙන දිනට පූර්ව දිනයේදී භූමි ඥාතීන්ගෙන් අවසර ලබා ගැනීමේ බහිරව පූජාව පැවැත්වීම මැනවි. මේ සඳහා පුළුටු වර්ග යොදා නොගෙන බුදුගුණයෙන් ගම්භාර දෙවියන්ගේ මූලිකත්වයෙන් අතාල කොටස්‌ සඳහා බහිරව දේවතා පූජාවක්‌ පැවැත් විය යුතුයි.

සුබ මුහුර්තියෙන් නිවසේ කටයුතු ආරම්භ කිරීම

මෙහිදී මූලික කටයුතු 04 ක්‌ සිදුකළ යුතු බව පෙන්වා දෙමි.

1. කූඤ්ඤ ගසා ලණු ඇදීම

මේ සඳහා ප්‍රථම කූඤ්ඤය ලෙස බෙලි කූඤ්ඤයක්‌ යොදා ගත යුතු අතර පළමු ලණු ඇදීම සඳහා කොහු ලණුවක්‌ භාවිත කළ යුතුයි. භූමියේ නිවස සාදන කොටසේ ඊශාන දිශාවේ මෙම කාර්ය කළ යුතු අතර ගෘහ හිමියා විසින්ම සිදුකළ යුතු අතර ලණු ඇදීම දක්‍ෂිණාවෘතව සිදුකළ යුතුයි. 

2. මංගල පස්‌ පිඩැල්ල කැපීම

ඉන්පසු එළඹෙන සුබ මුහුර්තියෙන් ගෘහ හිමියා විසින් මංගල පස්‌ පිඩැල්ල කැපිය යුතු අතර ඒ සඳහා ඊශාන කොටසේ එදිනට සුබ දිශාව බලා මෙය සිදුකළ යුතු වෙනවා. කපන ලද මංගල පස්‌ පිඩැල්ල රතු හෝ සුදු රෙදි කඩකට ගෙන එය ජලයේ පා කර හැරීම කළ යුතුයි.

3. මඟුල් ගල තැබීම

මුල්ගල නැත්නම් මඟුල් ගල තැබීම සඳහා ගෘහයේ ප්‍රධාන දිශාවන් 03 ක්‌ පවතිනවා. එනම් ඊශාන, ගිනිකොණ සහ නිරිත දිශාවයි. මෙහිදී ඊශාන දිශාව ඉතා සුදුසු වෙනවා. ගෘහ හිමියා විසින්ම මුල්ගල තැබීම කළ යුතු අතර ස්‌වස්‌ථික ලාංඡනය උඩ මුල්ගල තැබීම කළ යුතුයි.

4. මුල්ම ආහාර අනුභවය

මුල්ගල තබා අවසන් වූ පසුව ගෘහය සඳහා නූල් ගැසූ අත්තිවාරම තුළ සිටම ගෘහ හිමියා විසින් එදිනට නියමිත ආහාර අනුභවය සිදුකොට නිවස ඉඳුල් කිරීම කළ යුතු වෙනවා.

මේ ආකාරයට ඔබගේ නිවස ඉදිකිරීමට සැලසුම් කිරීමේ සිට නිවස ඉදිකිරීමේ ආරම්භක අවස්‌ථාව දක්‌වා කටයුතු කිරීමේදී භූමිය හා නිසි ආකාරයට සම්බන්ධ වීමේ වාස්‌තු වත් පිළිවෙත් පිළිබඳ ඔබව දැනුවත් කළා. මේ සියල්ල සිදු කරනු ලබන්නේ භූමිය හා සම්බන්ධ අපට නොපෙනෙන විවිධ ශක්‌තීන්ගේ යහපත් ප්‍රතිඵල නිසියාකාරයෙන් ලබා ගැනීම සඳහා වේ. මේ නිසා භූමිය මත සිදුකරනු ලබන කටයුතු වලදී භෞතික පැතිකඩ පිළිබඳව පමණක්‌ අවධානය යොමු කිරීම අසාර්ථක බව මතක තබා ගත යුතු අතර අපට නොපෙනෙන පාර භෞතික පැතිකඩ පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. එවිට ඔබගේ නිවස සාර්ථකව ඉදිකර ගැනීමේ හැකියාව ලැබේවි. මේ සඳහා නිසි පරිදි භූමි ශක්‌තීන් උපයෝගි කරගැනීමට අවැසි ශක්‌තිය සහ දැනුම නොඅඩුව ලැබේවා.

වාස්‌තුවිද්‍යා විශාරද - ඩී. යූ. සෙනරත්

Post a Comment

0 Comments