හදවත් උවදුරින් වැලකෙන හරි මඟ මෙන්න

හදවත් උවදුරින් වැලකෙන හරි මඟ මෙන්න

අප සමාජයේ ජීවත් වන බහුතරයක්‌ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙති. මිනිස්‌ දිවියේ කොයිම අවස්‌ථාවක වුව වයස්‌ පරතරයක්‌ නැතිව රෝග වැළඳේ. බොහොමයක්‌ ලෙඩ රෝග ඇති වන්නේ පරිසරය, ජීවන රටාව, සහ කන බොන ආහාර නිසි අයුරින් පවත්වාගෙන නොයැම නිසයි. ශරීරය තුළ ප්‍රතිශක්‌තිකරණය සෘණ වූ විට රෝග හට ගැනීම ඉක්‌මන් වෙයි. ලෙඩ රෝග ගැන කතා කරන විට හෘද රෝග ගැන කතා බහට ලක්‌ නොවන්නේ නම් මෙය පුදුමයකි.

ජීවිතය පවත්වා ගෙන යැමට හේතු කාරක වන ප්‍රධාන නියමුවා ලෙස හෘදය වස්‌තුව සැලකේ. මව් කුස තුළ පිළිසිඳ ගැනීමෙන් පසු පස්‌ වන මාසයේ සිට නොකඩවා එකදිගට නොනැවතී ක්‍රියාත්මක වන්නේ හෘදය වස්‌තුවයි. හෘදය වස්‌තුවේ සිට ශරීරයේ විවිධ කොටස්‌ කරා ලේ ගමන් කරවීමත් යළි ආපසු ලේ හෘදය කරා ගෙන ඒමත් කරනු ලබන නාල පද්ධතිය රුධිරවාහිනී යනුවෙන් නම් කෙරේ. මෙම රුධිරවාහිනී ධමනි, ශිරා සහ කේෂ නාලිකා ලෙස වර්ග 03 කට බෙදේ. මුළු ශරීරය පුරා දැලක්‌ සේ විහිදී ඇති ඉතා සියුම් නාළ විශේෂය කේශ නාලිකා වෙයි. මේවාගේ කාර්ය භාරය සුළු පටු නොවේ.

හෘදය වස්‌තුවෙන් පොම්ප කරන රුධිරය ධමනි දිගේ ශරීරයේ ඇවිද ගොස්‌ කේශ නාලිකා තුළින් ගමන් කර ශිරා හරහා යළි හෘදය වෙත එයි. නාළ තුළ ලේ ගමන් කරන විට තෙරපුමක්‌ ඇති කරන විට අධිරුධිර පීඩනය ඇති වේ. මීට ඉංග්‍රීසියෙන් "හයි බ්ලඩ් පෙෂර්" යෑයි කියයි. හෘද රෝග ඇතිවීමට විවිධ හේතු සාධක යෙදෙන අතර අධික රුධිර පීඩනයද ඒ අතර වෙයි. අධික රුධිර පීඩනය කොටස්‌ දෙකකි. මින් එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ ප්‍රාථමික අධිරුධිර පීඩනයයි. බහුතරයකට මෙය සෑදෙන අතර ඊට හේතු සාධක තවම නිශ්චිත වී නැති සෙයකි. දෙවන කොටසට අදාළ රුධිර පීඩනය ඇතිවන්නේ හේතුවක්‌ මතය. මෙය ප්‍රතිකාර මගින් නිට්‌ටාවට සුව කළ හැකිය. මෙය වැළදෙන්නේ වකුගඩු ආබාධ, අන්තරා සර්ග පද්ධතියේ රෝග නිසාය. එහෙත් ලෙඩ රෝගයට හේතුව හරි හැටි නොදනී. වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන වීමෙන් පසු රෝගයේ තතු අනාවරණය කර ගත හැකිය. මීට අදාළ රෝග ලක්‍ෂණ ලෙස දැක්‌වෙන්නේ හිසේ බර ගතිය, ක්‌ලාන්තය, නාසයෙන් ලේ ගැලීම, හුස්‌ම ගැනීමේ අපහසුව, මුත්‍රා අධික ලෙස පිටවීම, ඇස්‌පෙනීමේ දුර්වලතා, මහන්සි ගතිය වැනි කරුණුය. මෙම පීඩනයට ප්‍රතිකාර ගත යුත්තේ ඉදිරියේ ඇති වන සංකූලතාවන් වැළැක්‌වීමටය.

මෙම රෝගයෙන් (රුධිර පීඩනය) පෙළෙන අයට දිය හැකි උපදෙස්‌ මෙසේය.

01. අධි රුධිර පීඩනය වැළඳී ඇතැයි සිතා දුක්‌ නොවී එය පාලනය කර ගැනීමට තෙල් සහ මේද ආහාර වලින් තොරවන්න.

02. බඩ මහත - තර අයෙකු නම් බර අඩු කරගන්න.

03 සීනි - සුදුසීනි භාවිතයෙන් ඉවත්වීම හෝ අඩුවෙන් ගැනීම.

04. බිත්තර ආහාරයට ගැනීමේදී කහමදය හැර සතියට 02 ක්‌ 03 ක්‌ පමණක්‌ ගන්න.

05. ආහාර පිගානට වැඩියෙන් එළවළු යොදා ගන්න. පළාවර්ග සහ පලතුරු වර්ගද හොඳයි.

06. දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකෙන්න.

07. ව්‍යායාම වල යෙදෙන්න.

08. නිදහස්‌ මනසක්‌ ඇති කර ගන්න (භාවනා කරන්න).

09. නින්ද සහ විවේකය ගන්න - අධික කාමසේවනයේ නොයෙදෙන්න.

10 ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

යටකී උපදෙස්‌ පිළිපැදීමෙන් හා දේශීය වෛද්‍යක්‍රමයේ සිද්ධාන්ත අනුව ජීවත් වන්නේ නම්

ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැත. හෘද රෝග බෙහෙවින් ඇතිවන්නේ අවිචාරවත් ඇවතුම් පැවතුම් හා ආහාර පාන සෞඛ්‍යානුකූලව නොගැනීම හේතු කොට ගෙනය.

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව හෘද රෝග සඳහා විවිධ බෙහෙත් වට්‌ටෝරු භාවිත කිරීම උචිතය. ලසුන පද්මය, අර්ජුන වටිය, කතුභාදී චූර්ණය, කර්ෂණී පුනර්වා සමය, වේදහර කවාතය වැනි ඖෂධ වර්ග වලින් සකසා ඇති බෙහෙත් වර්ග පාවිච්චි කිරීම මැනවි. පලතුරු වර්ග අතුරින් ඉදුණු අඹ, ඇඹරෙල්ලා, ගස්‌ ලබු සියඹලා, දෙළුම් මුද්‍රප්පලම් ආදිය ගැනීමද යෙහෙකි.

සීනි බහුල අඩංගු ආහාර, පිටි සහිත ආහාර, මත්පැන්, ආදියෙන් වැළැකී සිටිය හොත් කොලෙස්‌ටරෝල් පාලනය සිදු කර ගත හැකි වන්නේය.

වෛද්‍ය ශූරි, ආයුර්වේද විශාරද පණ්‌ඩිත 
ආර්. ඒ. ඩී. හෙන්රි රණසිංහ

Post a Comment

0 Comments