වංකනාසික තිස්‌ස රජුගේ ඇවෑමෙන් ඒ රජුට දාව ශුභ රජුගේ දියණිය කුසින් උපන් ගජබා නම් කුමාරයා ක්‍රි.ව. 113 දී අනුරාධපුරයේදී ලංකා රාජ්‍යයේ අභිෂේකය ලැබුවේය.
ගජබා රජ රාජ්‍යයේ කටයුතු අන්‍යන්ගෙන් නොවිචාරා තමන් විසින්ම දැනගතහොත් යෙහෙකැයි සිතා රාත්‍රියෙහි අප්‍රසිද්ධ වේශයෙන් අනුරාධපුර නුවර වීථිවල ඇවිදින්නට පටන් ගත්තේය. මෙසේ ඇවිදින එක් රාත්‍රියකදී ගෙයි දොර වසාගෙන එක් දුප්පත් කනවැන්දුම් ස්‌ත්‍රියක් හඬන බව රජුට ඇසුණේය. රජ තෙමේ ඒ ගෙයි දොර සුණු ගා සළකුණු කොට මාළිගාවට පෙරළා ගොස් පසුදින උදෑසන ඇමැතිවරු රැස් කොට රාජ්‍යයෙහි යම්කිසි අයුක්‌තක් හෝ අපරාධයක් සිදුවී තිබේදැයි විචාළේය. එවැනි අපරාධයක් සිදුවී නැතැයි ඇමැතිවරු කීහ. ගජබා රජතුමා විසින් රෑ සළකුණු කරන ලද ගෙයි සිටි ස්‌ත්‍රිය ගෙන්වා රාත්‍රියෙහි හඬමින් සිටි කරුණු විචාළේය.
වංකනාසික තිස්‌ස රජුගේ කාලයේ සොලීන් විසින් ලක්‌වැසියන් දොළොස් දහසක් අල්වාගෙන යන කල ඇගේ පුත්‍රයන් දෙදෙනාද අල්වාගෙන යනු ලැබූ ශෝකයෙන් තමා හැඬූ බව ඕතොමෝ කීවාය. ඒ ඇසූ ගජබා රජ බොහෝ සේ කිපී සොළී රජුගෙන් පළිගැනීමට අදහස් කළේය.
කරිකාල් නම් සොළී රජු විසින් කරන ලද සාහසික ක්‍රියා ඇසීමෙන් කෝපයට පත් ගජබා රජ සොළී රටට යුධ පිණිස යැමට මහත් සේනාවක් රැස් කළේය. මේ කාලයේ කරිකාල් රජුගේ පුතු වූ නාලන්කිලි නම් රජ චෝල මණ්‌ඩලය අනුශාසනා කළේය. ගජබා රජු තමාගේ නීලමහා යෝධයා නමින් ප්‍රසිද්ධව සිටි යුධ සේනාධිපතියා ප්‍රධාන බල සෙනඟක් සමඟ යාපා පටුනෙන් නැව් නැගී සොළී රටට ගොඩ බැස නාලන්කිලි රජුට විරුද්ධව යුද ආරම්භ කළේය.
සොළී රජ බියට පත්ව ගජබා රජ ගෙන්වා කුමක් හෙයින් තමාගේ රාජ්‍යයට සිංහලයෝ එසේ පිටත් කරත්දැයි විචාලේය. කරිකාල් රජ විසින් වංකනාසික තිස්‌ස රජුගේ කාලයේදී ලක්‌දිවට ගොස් කරන ලද බලහත්කාරකම් හේතු කොට ගෙන තමන් යුධ සෙනගක් සමඟ සිංහල මිනිසුන් නිදහස් කරගෙන යැම සඳහා එහි පැමිණි බැව් ප්‍රකාශ කළේය.
එසේ සිංහලයන් නිදහස් නොකළ හැකි යෑයි සොළී රජ කී කල්හි ගජබා රජ චෝල මණ්‌ඩලය විනාශ කරන්නට ස්‌වකීය සේනාවට අණ කළේය. එයින් බිය ගත් සොළී රජ සිංහල සිරකරුවන් නිදහස් කළේය. සිංහල මිනිසුන් සොළී රටෙන් නිදහස් කරගෙන එන කල ගජබා රජු විසින් සොළී මිනිසුන් දොළොස් දහසක් ද ලක්‌දිවට ගෙනඑන ලදී.
වළගම්බා රජු කාලයේදී සොළී රටින් ලක්‌දිවට පැමිණි සොළී අධිපතීන් සත් දෙනාගෙන් එක් අයෙක් අනුරාධපුර මාළිගාවේ තිබී පැහැරගෙන සොළී රටට ගෙනගිය බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුවද සොළී මිනිසුන් විසින් පූජනීය වස්‌තුවක් මෙන් තබාගෙන සිටි පත්තිනි දේවියන්ගේ රන් සළඹ ද සතර දේවාලයේ දෙවියන්ගේ ආයුධ ද ගජබා රජු විසින් සොළී රටෙන් ලක්‌දිවට ගෙනෙන ලදී.
ගජබා රජතුමා සොළී රටට ගොස් සොලීන් දොළොස් දහසක් රැගෙන ලක්‌දිවට පැමිණ අනුරාධපුරය බලා ගමන් ඇරඹූ විට දැනට නවගමුව දේවාල භූමිය අයත් ප්‍රදේශයේදී රෑ බෝ විය. ගජබා රජතුමා ගෙනෙන ලද පත්තිනි දේවියගේ සළඹ මේ දේවාල භූමියේ තිබෙන නා ගසක අත්තක් උඩ තැන්පත් කරන ලදී.
පසුදා උදේ නැවත ගමන් ඇරඹීමට සූදානම් වූ රජතුමා හා පිරිස සළඹ රැගෙන යැමට නා ගස ළඟට පැමිණියහ. සළඹ තැන්පත් කර තිබූ නාගස වටකොට නාග කන්‍යාවන් පිරිවරා සිටි හෙයින් එම ස්‌ථානයේ පත්තිනි සළඹ තැන්පත් කිරීමට අධිෂ්ඨාන කොට සොළීන් කණ්‌ඩායම් නවයක් එහි ආරක්‍ෂාවට තබා දේවාලය සාදවා රජතුමා අනුරාධපුරය බලා පිටත්විය.
මේ නිසා ගම් ගොඩැලි නවයකින් නවගමුව ප්‍රදේශය ගොඩනැගුණි. පෘතුගීසි, ලන්දේසි කාලයේදී මේ ප්‍රදේශය විනාශ විය. දේවාලය පිහිටි භූමි ප්‍රදේශයේ පෘතුගීසි බලකොටුවක්‌ද පිහිටුවන ලදී. දේවාලයේ බොහෝ වස්‌තූන්ද පැහැර ගත්හ. අදටත් කඩුවෙල පිහිටි නවගමුව පත්තිනි දේවාලයට පැමිණෙන බැතිමතුන් ගණන අපමණය.
එස්. ඩී. කන්නන්ගර
0 Comments