එක් එක් ජාතීන්ට ආවේණික වූ සිරිත් විරිත් ඇත. සමහර විට එකම රටක වූ එකම ජාතියක් තුළ ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වූ සිරිත් ඇත. මෙම සිරිත් අපගේ සංස්‌කෘතික ලක්‍ෂණ වේ. එම නිසා, මේවා හැකිතරම් දුරට ආරක්‍ෂා කර ගැනීම අපගේ යුතුකමකි.ජීවිතයේ විවිධ අවස්‌ථාවලදී පිළිපැදිය යුතු සිsරිත් ඇතත්, මෙම ලිපියෙන් අදහස් කරන්නේ, විවාහ උත්සවයකදී අනුගමනය කෙරෙන සිරිත් පිළිබඳවය.
මනාලයා මනාලියගේ නිවසට පැමිණීමේදී ප්‍රධාන දොරටුව අසලදී මනාලියගේ බාල සොහොයුරා විසින් දෙපා හෝදා පිසදා මනාලයා නිවසට කැඳවීම ඉතා යහපත් පැරණි චාරිත්‍රයකි. සුඛෝපභෝගී වාහනයකින් දහස් ගණන් වටිනා සපත්තු පැළඳ පැමිණෙන මනාලයාගේ දෙපාවල දූවිලි නොමැති හෙයින් මඩ තැවරී නැති නිසා, දෙපා සෝදා පිස දැමීම අනවශ්‍ය බවට සමහරු තර්ක කරති.
මෙම චාරිත්‍රය ඉටු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, දූවිලි හෝ මඩ සේදීමක් නොවේ. අලුත් ඥති සම්බන්ධයක් ගොඩනගා තම සොහොයුරියගේ අනාගත ජීවිතය භාර ගැනීමට පැමිණෙන මස්‌සිනා තමන්ගේ උඩඟුකම් අත්හැර නිහතමානීව ගෞරවයෙන් හා අභිමානයෙන් යුක්‌තව තම නිවසට පිළිගන්නා බවයි. සමාජය කොතරම් දියුණු වුවත් මෙය බැහැර නොකළ යුතු චාරිත්‍රයකි. බොහෝදෙනා තාමත් මෙම චාරිත්‍රය ප්‍රතික්‍ෂේප කර නොමැති වීම සතුටට කරුණකි.
මනාලයා සහ ඔහුගේ ඥතීන් තම නිවසට පැමිණෙන විට මනාලියගේ මව සහ පියා බුලත් සහිත හෙප්පුව ඔවුන්ට පිළිගන්වා ආචාර කර පිළිගැනීම පැරැණි සිංහල චාරිත්‍රයයි. මෙය දැන් දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. කලකට පෙර අපගේ වැඩිහිටියෝ බුලත් සහ හෙප්පුව අමතක කර දමා, අතට අත දී බටහිර ක්‍රමයට පිළිගත්හ. දැන් බොහෝ දෙනා තම අලුත් ඥතීන් සිප වැළඳ බදාගෙන පිළිගැනීමට පුරුදු වී සිටිති. අපගේ සංස්‌කෘතියට නොගැළපෙන මෙවැනි විකාර වහා අත්හැර දැමිය යුතුය.
විවාහ මංගල උත්සවයේදී මංගල පෝරුවට නගින මනාල යුවළ පාවහන් පැළඳ පෝරුවට නැඟීම සුදුසු නැත. එය පැරණි චාරිත්‍රවලට පටහැනිය. සතරවරම් දෙවියන්ට පුන් කලස් මත පහන් දල්වා නවග්‍රහයන්ට බුලත් හුරුළු, පඬුරු, ලද පස් මල්, වී පොරි විසුරුවා, සුදු රෙද්දක් මත කැකුළු සහල්, අතුරා තැනෙන මංගල පෝරුව විශේෂිත ස්‌ථානයකි.
මනාල යුවළකට එහි නැඟිය හැක්‌කේ ජීවිතයට එක් වරක් පමණකි. ශුභ හෝරාවක ශුභ මොහොතක, ශුභ දිශාවක් බලා පෝරු මස්‌තකාරූඪ වීමේදී පාවහන් මුදා හැර එම කාර්යය ඉටු කළ යුතුය. පාවහන් පැළඳ බුලත්, වී පොරි, සහල් ලද පස් මල් පෑගීම සුදුසු නැත.
මංගල උත්සවයකදී හැඳ පැළඳ මනාලයා තම නිවසින් පිටත් වීමට පෙර, මවට සහ පියාටද වැඩිහිටි ඥතීන්ට ද බුලත් හුරුළු දී වැඳ නමස්‌කාර කර, අවසර ලබාගැනීම වැදගත් චාරිත්‍රයකි. එහිදී දෙමාපිය වැඩිහිටියෝ ඔහුට ආශිර්වාද කරති. මෙම චාරිත්‍රය බොහෝවිට දැනුදු ඉටු කරනු ලබයි. එහෙත් සමහර විට මනාලියට මෙම චාරිත්‍රය ඉටු කිරීමට ලැබෙන්නේ නැත.
වර්තමානයේ බොහෝවිට මනාලිය හැඩ ගැන්වීම කරනු ලබන්නේ රූපලාවන්‍යාගාරයේදීය. එහිදී මනාලිය හැටියට හැඩගැන්වී යෙහෙළියක හෝ වෙනත් ස්‌ත්‍රියක සමඟ මංගල ශාලාවට පිටත්ව යයි. තම දෙමාපියන්ගෙන් සහ වැඩිහිටි ඥතීන්ගෙන් ඇයට ආශිර්වාද ලබා ගැනීමට අවස්‌ථාව සැලසෙන්නේ නැත. ඡායාරූප ඇල්බමයට මෙය අවශ්‍ය පින්තූරයක් හෙයින් ඡායාරූප ශිල්පියා පසුව මංගල ශාලාවේදී රඟපෑමක් කරවා මෙය ඡායාරූප ගත කරයි. මෙහිදී එම වැදගත් චාරිත්‍රය ඉටු වන්නේ නැත.
හතර වරිගයේ ඥතීන් මනාල යුවළ සමග එකට වාඩි වී දිවා ආහාරය ගන්නා මංගල කෑම මේසය අද බැහැර වී ඇත. මංගල උත්සවයකදී මෙය ඉතා වැදගත් අවස්‌ථාවක් විය. දෙපාර්ශ්වයේ ඥතීන් සමග සම්බන්ධතාවය ඇති කර ගැනීමට මෙය කදිම අවස්‌ථාවක් විය. උත්සවය මංගල ශාලාවකදී පැවතියත් මනාල මහත්මියගේ නිවසේ පැවතියත් මෙම චාරිත්‍රය රැක ගැනීමේ අපහසුවක් නොමැත. මනාල යුවළ සමග ප්‍රධාන ඥාතීන් එක්‌ව එකම කෑම මේසයකදී ආහාර ගැනීමේ පුරුද්ද නැවත ඇති කරන්නේ නම්, එය ඉතා අගනේය.
චාරිත්‍රානුකූ+ලව ඉටු කරන මංගල උත්සවයකදී මනාලිය, මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒම කලකට පෙර ඉතා වැදගත් අවස්‌ථාවක් විය. තම අනාගත ජීවිතය සාර්ථකව ගත කිරීමට මනාලිය, මනාලියාගේ නිවසට පැමිණීම ශුභ නැකතකට සිදුවිය යුතුය. අද බොහෝවිට සිදුවන්නේ පළමු මංගල දිනයේදී මනාල යුවළ මධු සමය ගත කිරීම සඳහා දුර බැහැර හෝටල්වලට පිටත්ව යැමයි.
පසුදා ගමනේදී මනාල යුවළ ශුභ නැකතට පැමිණෙන්නේ මංගල ශාලාවටය. එහිදී උත්සව පවත්වා අවේලාවේදී මනාලයාගේ නිවසට පැමිණෙති. එම අවස්‌ථාව ශුභ මොහොතක් නොවේ. ඔවුන්ට ආශිsර්වාද කර පිළිගැනීමට ඥාති පිරිසක් නොමැත. දෙමව්පියන් මේ ගැන සිතා බලා ශුභ නැකතකට මනාල යුවළ නිවසට ගෙන්වා ගැනීමේ චාරිත්‍රය ඉටු කිරීමට උත්සාහ දැරිය යුතුය.
සිරිත් විරිත් කලින් කලට වෙනස්‌වීම හා අහෝසි වීම ස්‌වාභාවිකය. සමාජයේ වෙනස්‌වීම් සමග සමහර සිරිත් ඉටු කිරීමට නොහැකි වීමෙන් අහෝසි වේ. එහෙත් වැඩි අපහසුවක් නොමැතිව අප විසින් රැකගත යුතු සිරිත් රැක ගැනීම අපගේ වගකීමයි. අප හමුවට පැමිණෙන කෙනකුට දෑත් එක්‌කොට ආචාර කිරීම අපගේ පැරණි සිරිතකි. එය පහසුවෙන් කළ හැකිව තිබියදී බටහිර සිරිත් අනුගමනය කිරීමට යාම අපගේ ජාතියට කරන අවමානයකි.
ජ්‍යෙdතිර්වේදී හිඹුටානේ
වි. මු. ධර්මදාස පෙරේරා
0 Comments