කෘමි ගණයට අයත් වන කුරුමිණියා පොල් කුරුමිණියා, යක් කුරුමිණියා, බටු කුරුමිණියා, ගිරිබෑවා ලෙසද නාමිකව හඳුන්වයි. මිනිසා විසින් අපවිත්‍ර කරන දෑ ආහාරයට ගනී. වෙනත් ආහාරද මේ සතුන් ආහාරයට ගැනීම සිදු කරයි. කෘමි වර්ගයේ ප්‍රමාණයෙන් විශාල වන බැවින් කුරුමිණියා ලෙස ව්‍යවහාර කරයි.තද කළු, දුඹුරු පැහැයෙන් යුතු බහුපාද හිමි කෘමියෙකි. ආලෝක පහන් ආදිය වටා රාත්රියේදී වඩාත් ගැවසෙන මෙම සත්ත්වයා පියාපත් දෙකින් පිට කරනු ලබන ශබ්දය බියකරුය. සුබ අසුබ ගෙන දෙන සතුන් අතරින් ඉතාම අසුබ පල ගෙන දෙන සතකු ලෙස හඳුන්වන යක් කුරුමිණියා කෝළසං යක්ෂයාගේ අවතාරයක් යැයිද කියනු ලැබේ.
විශේෂයෙන් කුඩා දරුවන්ට සෑදෙන ග්‍රහණි රෝගයට මුල් වන්නේද මලපහ සමඟ පිටවන්නේද කෘමි විශේෂයකි. එබැවින් කුරුමිණියා මිනිසාට හිතකර නොවන අතර නොයෙකුත් හානිදායක උවදුරු ඇති කරන සතකු ලෙස හැඳින්වෙයි.පොල් කුරුමිණියන් කා අග කඩාවැටුණු පොල් ගසක් නිවෙස ඉදිරිපිට හෝ වත්තේ ඇත්නම් භූමිය පාළු වෙයි.යක් කුරුමිණියකු යම් සුබ වැඩක් කරන තැනකට ශබ්ද නඟා වැටුණේ නම් එයින් හානි සිදුවෙයි. එම වේලාවද අසුබ වෙයි.රාත්‍රි 9න් පසු රෝගී අයකුගේ හිස මතට යක් කුරුමිණියකු වැටුණේ නම් එම රෝගියාට යක්ෂ දෝෂයක් ඇති වෙයි.උයන ළිප ළඟ කුරුමිණියන් නිතර ගැවසේ නම් මලගිය අයකුගෙන් නිවෙසට කරදර තිබේ.
යාග හෝම ශාන්ති කර්ම කරන වේලාවක කුරුමිණියකු පැමිණ, එම පුදසුන මත වැටුණේ නම් ශාන්ති කර්මයෙන් පල නොලැබේ. එවිට එම නිවෙසේ උළුවස්ස මත තබා පොල් බිඳ එම පොල් බෑ දෙකට එළ අබ කළු අබ, ලුණු කැට 07ක්, මිරිස් කරල් දමා "ගිනි පේශුමාලා දැහැනින්" හත් වර දැහැන් කර උළුවස්ස මතදී පිලිස්සීමෙන් දෝෂ භංග වෙයි.එකවරම උඩ කරකැවී තමන්ගේ දෙපා මුලට කුරුමිණියකු වැටුණේ නම් ඔහුට හෝ ඇයට සතුරු විපතක් ඇති වෙයි.
දේව ශාන්ති කර්ම කරන දෙවොලක කළු කුරුමිණියන් සිටී නම් එම දෙවොලේ දෙවියන් නැත. යක්ෂ දෝෂ හෝ ප්‍රේත දෝෂ පවතී.නිවෙසක් ඉදිකිරීමට ලණු ගසන වේලාවේ කළු කුරුමිණියකු එම සීමාවට වැටුණේ නම් නිවෙස සාදන තැන ප්‍රබල දෝෂ පවතී.නිවෙසේ රෙදි වනන වැලේ කුරුමිණියන් එල්ලී සිටී නම් එම නිවෙසේ අයට නඩුහබ අවුල් වියවුල් ඇති වෙයි. කොස්සෙන් හෝ ඉදලෙන් ගසා පලවාහරී නම් දෝෂභංග කළ හැකියි.සුබ දෙයක් කතා කරමින් සිටින තැනකට කළු කුරුමිණියන් වැටුණේ නම් එම ක්‍රියාව වෙනස් කළ යුතු වෙයි.
හංසි ආටිගල / මව්බිම පුවත්පත






0 Comments