අතීතයට ගමන් කරන්නට පොටක් පෑදේ...


ඇපල් ගෙඩියක් බිමට වැටෙන හැටි අමුතු විදියට දැකපු අමුතු මිනිසෙක් ගුරුත්වාකර්ෂණය කියල අමුතු දෙයක් ගැන කතා කළේය. අයිසැක් නිව්ටන් පොළොව මත දුටු දේ ඊට සියවස් දෙකකට පසු අයින්ස්ටයින් විශ්වයේ සොයන්නට විය.

අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය බිහි කරමින් එය සනාථ කිරීම සඳහා, විශ්වයේ ඇති වන ගුරුත්වාකර්ෂණ රැළි ගැන අනාවැකි පළ කළේය. නමුත් මෙහිදී ඔහු කී එක දෙයක් දැන් වැරදී ඇත. මේ ගුරුත්වාකර්ෂණ රැළි මිනිසාට දැක ගන්නට නොලැබෙනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

ඒත් ඒ රැළි නිරීක්ෂණය කරන්නට අද මිනිසා සමත් වී තිබේ. දැන් එය අනාවැකියක් පමණක් නොවේ. එහි පැවැත්ම සනාථ වී හමාරයි.

මිනිස් මොළයෙන් නිපැයුණු අතිශය සංවේදී උපකරණවලට පසුගිය දා ශබ්ද සඥාවක් ග්‍රහණය විය. එහි රූපය තිරයේ සටහන් විනි. ඒ ගුරුත්වාකර්ෂණ රැල්ලක් මිනිසා දුටු ප්‍රථම වතාවයි.


මේ රැළි හට ගෙන ඇත්තේ අඳුරු කුහර (Black Holes) දෙකක් එකට ගැටීමෙනි. ඝට්ටනය සිදු වුණේ ආලෝක වර්ෂ බිලියනයකටත් වඩා ඈතිනි.

අයින්ස්ටයින් මේ ගුරුත්වාකර්ෂණ රැළි ගැන අනාවැකි පළ කළේ මීට වසර සියයකට පෙර ය. අද ඔහු සිටියේ නම් කෙතරම් සතුටු වෙයිද? කෙතරම් උද්දාමයට පත් වේද?

දැවැන්ත තාරකා පුපුරා යාමෙන් හෝ අඳුරු කුහර එකිනෙක ගැටීමෙන් මෙවැනි ගුරුත්වාකර්ෂණ රැළි ඇති විය හැකිය.

එවැනි අවස්ථාවක අවකාශයේ විස්තාරණ සහ හැකිළීම් ඇති වෙයි. ඒවා ආලෝකයේ වේගයෙන් විශ්වය පුරා විහිදී යාමට තරම් බලසම්පන්න වෙයි.


මේ ගුරුත්වාකර්ෂණ රැළි දකින්නට සමත් වීමෙන් පසු විද්‍යාඥයෝ අපූරු මත පළ කරති.

අඳුරු කුහර තුළට (Black Holes) එබිකම් කරන්නට අනාගතයේ දී මිනිසාට හැකි වන බව දැන් ඔවුන්ගේ විශ්වාසයි.

කාලයේ ආපස්සට යාමටත් මිනිසා සමත් වන බව ඇතැමෙක් පවසති.

 

Big Bang


එසේ වුවහොත් විශ්වයේ ආරම්භය ගැන පවතින Big Bang න්‍යායේ සඳහන් වන මාහා පිපිරුම දක්වා ගමන් කිරීමට මිනිසා සමත් වෙයි.

මින් ඉදිරියට විශ්වය දෙස අලුත් මානයකින් බලන්නට පෘථිවියේ සිටින මිනිස් සත්වයාට හැකි වනු ඇත. නොදුටු බොහෝ දේ නුදුරේ දී දකිනු ඇත.


මීට සිව් සිය වසකට පෙර ගැලීලියෝ දුර දක්නය සොයා ගත්තේය. තාරකා විද්‍යාවේ නිරීක්ෂණ පරාසය ප්‍රසාරණය වූයේ එතැන් පටන් ය.

ඊටත් වසර දහස් ගණනකට පෙර සිට මිනිසා අහස දෙස විමසිල්ලෙන් පසු විය. ඔවුහු තරු ගමන් නිරීක්ෂණය කළහ. ඒවා සටහන් කර තැබුහ. ඉර හඳ තාරකා ගැන පමණක් නොව නවග්‍රහයන් ගැන සංකල්පය ද බිහි විය. තාරකා විද්‍යාව එතරම් ම පැරණිය.

එය එසේ සිදු වන්නේ මේ පොළෝ තලයෙන් එපිට විශ්වයේ අභිරහස් අනාවරණය කර ගැනීමට පවතින ආශාව මිනිස් සත්වයාට අවේනික වූ දෙයක් නිසා යැයි මම හඟිමි


කෙසේ නමුත් වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණක් බව සනාථ කරමින් නවීන විද්‍යාවද වෙනස් වෙමින් පවතිනු ඇත.

ඊයේ හිතපු දේ අද දකිනු ඇත. අද හිතන දේ හෙට වෙනස් වනු ඇත. ස්ථාපිත මත බිඳ වැටී නව මත බිහි වනු ඇත.

උපුටාගැනීම බීබීසී
www.nethfm.com

Post a Comment

0 Comments