වළකින්න රහමෙරින් කෙමක් බලගතු තැඹිලි ගෙඩියෙන්

තමන්ට හැකි නම් තමන්ම කරන්න. අපහසු නම් වෙනත් අයකු සම්බන්ධ කරගෙන මෙම ශාන්තිකර්මයට අදාළ ගුරුකම සහ පසුව ඇති කෙම් ක්‍රමය කරන්න.
අවශ්‍ය දේමල් බුලත් පුටුවක් හදාගන්න. නොඉඳුල් තැඹිලි තෙල් 1/2ක් පමණ, තැඹිලි වතුර කෝප්පයක්. (තැඹිලි ගෙඩියක් වුවද වරදක් නැත) කපුරු, බුලත්, මල්, හඳුන්කූරු, සාම්බ්‍රානි, පිරුවටයක්, කෙසෙල් දල්ලක්, පොල්තෙල්.

තමන් පිරිසුදුව සුදුසු වස්ත්‍රයක් හැඳගෙන පුර පක්‍ෂයේ සතියේ දිනක උදය කාලයේ සුබ හෝරාවක් තුළ සුදුසු පිරිසුදු ස්ථානයක මල් බුලත් පුටුව සකස් කරගන්න. බුදු හිමියන්ට, ත්‍රිවිධ රත්නයට පහන් දල්වන්න. ගමට ප්‍රධාන දෙවියන්ට පහන් දල්වන්න. භද්‍රකාලි මෑණියන්ට පහනක් දල්වන්න. තෙල්, මල්, සුවඳ දුම් පූජා කරන්න. හැකි නම් ත්‍රිවිධ රත්නයට අදාළ ගාථා කියා කාලිමෑණියන්ටද තමන්ට හැකිනම් ස්තෝත්‍ර කියා කාලිමෑණියන්ට දල්වන පහන ඉදිරිපිට රත් පැහැති මල් තබා තමන්ට වී ඇති ප්‍රශ්නය පවසන්න. මල් බුලත් පුටුවේ ඇති තැඹිලි ගෙඩිය හිල්කර හෝ භාජනයකට ගත් එම වතුර කෝප්පයද, හිඳගත් තැඹිලි තෙල්ද මල් බුලත් පුටුවේ තබන්න. කාලිමෑණියන්ට කන්නලව් කරන්න. සැමියාගේ නම, ලග්නය හා නැකැතද පවසන්න.

පසුව,
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානු ශාසනං
යන ගාථාව 1008 වරක්ද පසුව අටවිසි පිරිතෙන් 1008 වරක් ප්‍රාණ බල පිහිටුවා ගන්න. සුවඳ ධූපය නිතර අල්ලන්න. කපුරු දල්වන්න.
පසුව,
මා කුංජර නාග වාසදෝ - දුක්ඛාභි කුජර නාග වාසදෝ
නභි නාගහතස්ස කුංජර - සුගති හෝති ඉගොසරං ගතො

යන මන්ත්‍රයෙන් 1008 වරක් ජීවම් කරන්න. ඉන්පසු තැඹිලි ගෙඩියේ වතුර හෝ තැඹිලි කෝප්පයේ වතුර සැමියාට බීමට දෙන්න. ජීවම් කළ තෙල් බින්දු කිහිපයක් ආහාර ගන්නා විට දවල්, රාත්‍රි දෙකටම ආහාරවලට මිශ්‍ර කර කෑමට දෙන්න. කෑමට පසු ගනු ලබන ආහාරවලට පිළිහිඩි සහ කිලි නොමැති ආහාර පමණක් දීමට උත්සාහ කරන්න. මේ ආකාරයට දින 21ක් දෙන්න. හැකි නම් උදේටද බත්වලට දමා දෙන්න. යම් හෙයකින් සැමියා බීමත්ව නිවෙසට පැමිණි විට තෙල් බින්දු 3ක් පමණ වතුරට දමා දුන්නාට වරදක් නැත. එසේත් නැත්නම් හිසට තෙල් ටිකක් දමන්න. දිනපතාම තෙල් බින්දු කිහිපයක් හිසට දමා හිස පිරිමදින්න. විශේෂයෙන් ඔබ කුමන අවස්ථාවකදී වුවද සැමියා බීමත්ව නිවෙසට පැමිණි විට යටිපතුල්වල ගෑමෙන් වළකින්න. හරක්මස්, උෟරු මස් කෑමෙන් වැළකීම අවශ්‍යයි.

තදබල අපලයක් ඇත්නම් කේන්ද්‍රය පරීක්‍ෂා කර ඊට අදාළ යන්ත්‍රයක් ඔබට හා දරුවන්ට සැමියා මෙල්ල වන ආකාරයට ජීවම් බල පිහිටුවා පලඳවන්න. සැමියාගෙන් තදබල ලෙස කරදර ඇත්නම් ඔබට අපල උපද්‍රව ඇත්නම් කේන්ද්‍රය බලා ඔබද සුදුසු යන්ත්‍රයක් දමා ගන්න. එයටද සැමියා ඔබට අවනත විය හැකි යන්ත්‍රයක් ගැබ්කර ගන්න බලන්න.

ඔබගේ සැමියා නිතර පාවිච්චියට ගනු ලබන හිසට දමන තෙල් හෝ පුයර, ක්‍රීම් වර්ග ඇත්නම් කරණීයමෙත්ත සූත්‍රයෙන් 108 වරක් ජීවම් කර ඔහුගේ පාවිච්චියට තබන්න. වරින්වර ජීවම් කරන්න. මෙය කිසිවකු සමඟ කතා නොකර කරන්න. ඒ තුළින් ඔහුගේ බීම ක්‍රමයෙන් ඉවත්ව පවුලේ සමඟිය ඇතිවේ.
(මෙය කෙම් ක්‍රමයක් බව සලකන්න)
ජීවම් බල පිහිටුවීමෙන් පසු දේව මණ්ඩලයට පින් දෙන්න. මෑණියන්ට දේව දානයක්, තම්බපු කඩල සමඟ දෙන බවට බාර වෙන්න. මේ සියල්ල ඉතාම භක්තියකින් කැපවීමකින් කළයුතු බව සලකන්න.



අම්බලන්තොට - නෝනාගම
රුහුණු මහා භද්‍රකාලි අම්මාන් දේවාලයේ
දේවගැති රූපසිංහ වෙදමහතා

Post a Comment

0 Comments