ප්‍රධාන වශයෙන් කිලි වර්ග තුනක් (3ක්) ගැන කියැවෙතත් ඊට වඩා කිලි ඇත. ප්‍රධාන කිලි වර්ග තුන වනුයේ,
1. මළ කිල්ල
2. කොටහළු කිල්ල
3. වැදූගෙයි කිල්ල
ලෙසය. මේවා ප්‍රධාන කිලි වුවත් මීට වඩා වෙනස් කිලි වර්ගද ඇත. ඒවා යම් යම් අවස්ථාවලට පමණක් බලපානු ලබන නිසා ඒවා ගැන එතරම් සැලකීමක් නැත. ඒ කිලි අතර
1. මාසික ඔසප්වීමේ කිල්ල
2. ආහාර නිසා ඇතිවන කිල්ල
3. සොහොන් කිල්ල ද වේ.
මෙයින් මළ කිල්ල යනු මළ ගෙයක් ඇති වූ විට සිදුවන කිල්ලය. මළගමක් ඇති වූ විට මාස තුනක් ගතවන තුරු ඒ කිල්ල පවතී. තුන් මාසයේ දානය දෙනතුරු ඒ පවත්නා බව විශ්වාස කෙරේ. ඒ නිසා ඒ නිවෙසේ ගුප්ත විද්‍යා කටයුතු මෙන්ම සුබ කටයුතුද මාස තුනක් යනතුරු නොකළ යුතු යැයි විශ්වාස කෙරේ. කිල්ල යනු විසබීජ යැයි ඇතැමුන් විශ්වාස කරති. ඒ දෙක අතර බැඳීමක් ඇතත්. මේ දෙක එකක්ම නොවේ. කිල්ල නිසා විසබීජ ඇතිවිය හැකියි. ඒත් මේ දෙක වෙන් වෙන්ව ගැනීම වැදගත්ය.
දෙවැනි කිල්ල ලෙස සැලකෙනුයේ “කොටහළු කිල්ලය” කොටහළු වීම යනු මල්වරවීමයි. දැරියකගේ ප්‍රථම ඔසප්වීම ආරම්භ වන මේ කිල්ල ඉතා බලගතු කිල්ලකි. සමාජ සම්මතයට අනුව දැරියක කොටහළු වූ නිවෙසක් උඩින් පක්ෂීහු පවා ඉගිළීමට බිය වෙති. මාස තුනක් යනතුරු එම කිල්ල බලපානු ලැබේ. එසේම දැරිය ස්නානය කරන තුරු පිරිමින්ට (තමාගේ පියාට පවා) දැකීමට ඉඩ නොදේ. එසේම ස්නානය කරවන තුරු ඇයව තනි නොකර රැකබලා ගැනීමද පවතී. එසේ නොවුණහොත් කළුකුමාර බැල්මට ලක්වීමට ඉඩකඩ වැඩි නිසාය. මේ මල්වර වූ දැරියක තුන්මාසයක් යනතුරු දේවාල, කෝවිල් ආදී ස්ථානවලට කැඳවාගෙන නොයන්නේ මේ කිල්ල නිසාය.
“වැදුම් ගෙයි කිල්ල” යනු කාන්තාවක දරු ප්‍රසූතියෙන් පසු මාස තුනක් යනතුරු පවත්නා කිල්ලය. මුලින් සඳහන් කිල්ල මෙන් මේ කිල්ලද බලවත්ය. බොහෝ විට මේ මාසතුන පසුවන තුරු දරුවාගේ ජන්ම පත්‍රය පවා සාදන්නේ නැත. එය බොහෝදුරට සම්ප්‍රදායක් සේ පවතී. මේ දරුප්‍රසූතියක් සිදුවූවාට පසු. එසේම මළගෙයක්. කොටහළු ගෙයක් ආදිය සිදුවූවාට පසු නිවෙසේ ගුප්ත විද්‍යාත්මකව සිදුකර ඇති ආරක්ෂාව පවා බිඳවැටෙන බව සඳහන්ය. එසේම ‘කෙම්” කිරීම් මේ කාලයේදී බලරහිත වේ.
දැන් ප්‍රධාන කිලි තුන හඳුනාගත් නිසා අවශේෂ කිලිද යම්තරමකට හඳුනා ගැනීම වැදගත්ය. කාන්තාවක මාසිකව ඔසප් වන දිනවල දේවාල කෝවිල ආදියට යෑම නුසුදුසුය. එසේම ඒ දිනවල නිවෙසේ ගුප්ත විද්‍යා ආරක්ෂා නොකිරීමත් අඳුන නොබැලීමත් මේ කාලයේ අලුතින් යන්ත්‍ර නොදැමීමත් වැදගත් සාධකය.
ආහාරපානවලින් උදාවන කිල්ලත් මා සඳහන් කළා මතක ඇතැයි සිතමි. නිවෙසට උෟරු මස්, මොනර මස්, ඉත්තෑ මස් ආදිය ගෙන නොඑන්නේ ඒවා නිසා නිවෙසේ ආරක්ෂාවන් භංගවී යන නිසාය. මේ පමණක් නොව මෝර මාළු මෝර කරවලද කිලි මාළු ලෙස සැලකේ. ආරක්ෂා යන්ත්‍ර දැමූ නිවෙස්වල මෙන්ම පුද්ගලයන්ද ඉහත ආහාරවලින් වැළකීම වැදගත්ය. අළුකෙසෙල් සහ අළුපුහුල්ද මේ ගණයට අයත්ය. අළුපුහුල්වලින් සෑදූ පුහුල්දෝසිද මේ ගණයට අයත් වේ.
අළුපුහුල් ගෙඩි අතින් කරකවා මිස පිහියෙන් කපා වැලෙන් ඉවත් නොකිරීමටත් වගබලා ගැනේ. එසේම අළුපුහුල් ගෙඩිය නිවෙසකදී ආහාරයට ගැනීමේදී ඒවා වෙළෙඳපොළේදී කපාගත් කැබිලි මිස නිවෙසේදී මුල් ගෙඩිය දෙකට කැපීම නුසුදුසු බව පිළිගැනේ. අළුපුහුල් බොහෝවිට යොදා ගන්නේ අනවින කොඩිවින කැපීමටය. තරුණ ගැහැනු ළමයින්ට අළුකෙසෙල් ආහාරයට දීමද සිදුනොකෙරේ.
එසේම තුවාලයකට ප්‍රතිකාර කරන රෝගියෙක් මළ ගෙදරක ගියහොත් එම තුවාලය වැඩිවීමක් සිදුවේ. මෑතකදී දුටු පුවත්පත් ලිපියක් අනුව කතරගම දේවාල භූමියේ යම් මරණයක් සිදුවුවහොත් කතරගම දේවාලයේ පූජාවන් සතියක් පමණ නතර කෙරේ. මෙසේ කිලි සිදුවුණු නිවාසවලට ගුප්තවිද්‍යා ක්‍රම සිදුකිරීම දේව ආභරණ ගෙනයෑම සිදු නොවේ. ග්‍රහ දෝෂ සඳහා පලඳින යන්ත්‍ර දැනුම්වත් හෝ නොදැනුම්වත්ව මේ කිලි ගෙදරකට දමාගෙන ගියහොත් ඒ යන්ත්‍රයේ බලය බිඳේ. අත්දැකීම් අනුව එවැනි අවස්ථාවල යන්ත්‍රය කළුපැහැගැන්වීම, යන්ත්‍රය පුපුරායෑම, යන්ත්‍රය අස්ථාන ගතවීම ආදියට ඉඩ ඇත.
අප මේ කිලිවලින් ආරක්ෂාවීමට නම් කළ යුත්තේ එවැනි ස්ථානවලට හැකිතාක් නොගොස් සිටීමය. ප්‍රායෝගිකව එය කළ නොහැකි බව දනිමි. එවන් අවස්ථාවලදී තමා පැලඳ සිටින යන්ත්‍ර ගලවා තබා ඒ ස්ථානවලට යෑමත් ඉන්පසු නිවෙසට පැමිණ හොඳින් කහ (අමුකහ) සහ දෙහි මිශ්‍ර ජලයෙන් ස්නානය කොට දින තුනක් පමණ ගතවූ පසු යන්ත්‍රය පැලඳ ගැනීමය. රසදිය නමැති රසායන ද්‍රව්‍යයට කිලි අඩුවන බව විශ්වාස කෙරේ. එසේම මේ ස්ථානවලට ගොස් නිවෙසට ඒමේදී කිරිගහක් යටින් පැමිණ ඒ කිරිගසේ අත්තක් කඩා දැමීමෙන් කිල්ල අඩුවන බව පෙනේ. එසේම මේ කිල්ල නිසා “කෙම්” වලින් ලැබෙන සුවය අඩුවන බවද පැහැදිලිය.
කෙසේවත් ඔබට “කිල්ලෙන්” ආරක්ෂාවීමට නොහැකි නම් ඔබේ යන්ත්‍ර සුර ආදිය ආරක්ෂා කරගන්න සඳුන්, පොල්කිරි සහ අමුකහ මිශ්‍ර පිරිසුදු ජලයට පහත ස½දහන් මන්ත්‍රය මතුරා ස්නානය කරන්න. එසේම නිවෙස ඇතුළත හා පිටත ඒවා ඉසින්න.
ඕං ත්‍රිෂ්ටා ත්‍රිෂ්ටා අසජ්ජි උරුංචි පොන්නාල් ඒස්වාහ--
මේ මන්ත්‍රය හත්වතාවක් කීම සුදුසුය.
විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේයාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
පේරාදෙණියේ එස්. වීරරත්න





0 Comments