කොඩිවින කපන තෙයියෝරු තෛලය

අද හුඟක් දෙනෙක් බිය වන දෙයකි හූනියම කියන්නෙ. දකුණු පළාතෙ නම් කියන්නේ කොඩිවින කියලයි. කොඩිවින කොටස් 2ක් ඇත. එකක් තමයි උපක්‍රමශීලීව කෙනකුගේ දියුණුව බලා ඉන්න බැරිව කරන කොඩිවිනය. මිනී අළු, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, අබ මතුරා දැමීම වැනි උපක්‍රම තමයි පළමු ගණයට වැටෙන්නෙ.

දෙවැනි හූනියම තමයි නොදන්නාකම නිසා ඇතිකරගන්නා කොඩිවිනය. ඒ කියන්නේ ගෙවල්වල නිසි පිළිවෙළක් නැතිව කරන කටයුතු නිසා ඇතිවන කොඩිනය. රාත්‍රි කාලයේ මිදුල අතුගෑම, ප්‍රධාන උළුවස්ස උඩ ඉඳගෙන ආහාර ගැනීම. රණ්ඩු සරුවල් ඇතිකරගෙන නරක වචන කීම ආදිය නිසා කරගන්නා කොඩිවිනය ය. තවත් ගෙවල්වල නොදන්නාකම නිසා ඇතිකරගන්නා කොඩිවින රාශියක් තිබේ. මා ලීවේ ඉතා ටිකක් පමණි. ප්‍රශ්නය එය නම් එය නැති කරගන්නා විධිය කියා දීම මේ ලිපියේ මූලික අරමුණයි.

කෙයියෝරු තෛලයෙන් ටිකක් තැඹිලි තෙල්වලට කලවම් කරගෙන බුදු පහන දැල්වීම තුළින් මා විසින් කියන ලද හූනියම් දෙකම නිමකර ගැනීමට පුළුවන. නමුත් තෙයියෝරු තෙල තියෙන්නෙ කොහෙද කියලා ඔබට ගැටලුවක් මතුවිය හැකිය. එය හිඳගන්නා අයුරු මා ලියා තබනු ඇත.

අමු ඉඟුරු ඉයකොළ, සස්සඳ කොළ, දිවිපතුරු කොළ, යකිවනස්, යක්බේරිය කොළ, යකිනාරංකොළ, වේලා කොළ, දෙහි ලෙලි, ‍ෙදාඩම් ලෙලි, නාරං ලෙලි, ඇහැළ දලු, ඇත්තෝර දලු, වැල්පෙනල කොළ, නික කොළ, ඉරිවේරිය කොළ, ගම්මිරිස් කොළ, ලුනුවර්ණකොළ, බුලත් කොළ, හාතවාරිය කොළ, රසකිඳ කොළ, සැවන්දරා මුල්, වම් මුතු හෙවත් කලාඳුරු අල මෙකී දේ කොටා මිරිකා යුෂ හැළියකට වත්කර තැඹිලි පොල් කිරි වත්කර දෙහි ඇට, ‍ෙදාඩම් ඇට, කරඳ ඇට, කුඹුරු ඇට, එරබදු ඇට, පුස් ඇට, පෙතිතෝර ඇට, විල ඇට, කොහොඹ ඇට, මූණමල් ඇට, නා ඇට, ඉඟුරු, ගම්මිරිස්, වදකහ, පෙරුම්කායම්, සුදුලූනු, හරන්කහ, ගලිස්, කැකුණ මල, දුම්මල, වල් ඉඟුරු, අද ලෙලි (ඉත්තෑකූරු), දේවදාර, අසමෝදගං, උළු හාල්, කුරුඳුපොතු, අඹ, දෙදුරු අඹරා තෙලට යොදා සිඳගන්න.

තෙයියෝරු මන්ත්‍රයෙන් ජීවම් කර තබාගෙන බුදු පහන දල්වන විට මින් බින්දු කිහිපයක් මිශ්‍ර කරන ලද තෙල භාවිතයට ගන්න. සියලුම දෙවියෝ සතුටු වෙනු ඇත. අංගම්, පිල්ලි, හූනියම්, බැඳ එවූ යකුන්ගෙන් ඇතිවන කරදර, දෙවොල් බන්ධන, නොවදී, යක්ෂ ලෙඩ, විකාර හීන, මයා දිෂ්ටි දුරුවේ. භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩයන්ගේ දෝෂ දුරුවේ. ගෙදරක තෙල් ටිකක් තිබුණත් සූනියම් නොවදී. මේවා හිඳ ගැනීමට හැමෝටම අපහසුය. ඊටත් වැඩිය සිද්ධි නැකැත් සහ ගුප්ත විද්‍යාව ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. තෙයියෝරු තෛලය සඳහා ගන්නා මන්ත්‍රය පුවත්පත්වල ලියන්නේ නැත. තෛලය සිඳගත් අයගෙන් ටිකක් ලබාගෙන ඔබේ ගෙදර දෝෂයක් ඇත්නම්, නැති කර ගන්න. ආවට ගියාට මන්ත්‍ර විද්‍යාවේ මන්ත්‍ර හෙළිකරන්නේ නැත්තේ ගුරු උපදේශ නිසා බව සඳහන් කරනු කැමැතිය. ඔබේ පළාත්වලත් මේ තෙයියෝරු තෛලය සිඳගත් වෙද මහතුන් සිටීමට පුළුවනි. සූනියම් නොවදින නිසා සූනියම් කපන්න වුවමනා නැත.

ජේ‍යාතිර් විද්‍යා විශාරද ගුප්ත විද්‍යාධාරි
මාතර පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර

Post a Comment

0 Comments