බිලි පූජාව බෞද්ධ ඇසින් ...

කිසියම් සතෙකු, කිසියම් සතෙකුගේ ආහාරය පිණිස ගොදුරුවීම මේ ස්‌වභාවධර්මයේ නියතයකි. නමුත් කිසියම් සතෙකු තවත් සතෙකුගේ විනෝදය පිණිස හෝ ආත්මලාභයක්‌ උදෙසා ගොදුරු වන්නේ නම් අපි කෙසේ එය අනුමත කරමුද. හලාවත භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාවත් 'විශ්වාසයක්‌' පමණක්‌ මත පදනම්ව සිදුවන සත්ව ඝාතනයකි. (එම සතුන් ස්‌වභාවිකව මිය නොයන බැවින් 'ඝාතනය' යන වචනය හැර ඒ වෙනුවෙන් වෙන යොදනන්නට වචනයක්‌ නැත) එනම් මෙය ඇදහිල්ලකි. ඇදහිල්ල යනු නොපෙනෙන යමක්‌ පිළිබඳව ඇති විශ්වාසයයි. එය මිනිසුන්ගේ ආත්මය පිරිසිදු කරන දර්ශනයක්‌ හෝ ආගමක්‌ නොවේ. මෙවැනි ඇදහිලි යනු ගණුදෙනුවක්‌ම පමණකි. ඒ යමක්‌ ලබාදී එයට හිලව් වන්නට වෙනත් දෙයක්‌ ආපිට ලබාගැනීමයි. මෙම සත්ව ඝාතනය සිදුවන්නේද කාලි මෑණියන් සමග සිදුකරන 'ගණුදෙනුවකට' අනුවය. 'අපිට අසවල් දෙය ලබාදුන්නොත් අපි ඔබට අහවල් දෙය දෙන්නෙමු' යි කියනා බැතිමතුන් මෙහිදී තමන්ගේ පාර්ශ්වයෙන් 'දෙනුයේ පණ ඇති සතුන්ය. ගණුදෙනුව සමතයට පත්වන්නේ හිස සහ කඳ දෙපසට වෙන්වන යන කඩු පහරකින්ය. බුදු දහම, මහා සංස්‌කෘතිය බවට පත්ව ඇති මෙවන් රටකට මෙවැනි දෑ 'ඔරොත්තු' නොදෙන්නේය. මේ සමස්‌ත සමාජයම බුදු දහමේ ඉස්‌මතුවන පිං පව්, එසේ නැතිනම් කර්මය කර්මඵලය මත පිsහිටා හොඳ නරක විචාරන්නේය. අපගේ සදාචාරය, සභ්‍යත්වය සහ සහජීවනය ගොඩනැගී ඇත්තේ එමගිනි. එයට අනුව මෙවන් රටක සත්ව ඝාතනයක්‌ යනු 'පවක්‌ම' මිස උත්සවාකාරයෙන් සැමරීමට දෙයක්‌ නොවේ. අප සංස්‌කෘතිය තුළ ඝාතනය උත්සවාකාරයෙන් සමරන්නාට කියන වචනය 'ම්ලේච්ජයා' යන්නයි. ඒ අනුව මේ භද්‍රකාලී කෝවිලේ මේ බිලි පූජාව 'ම්ලේච්ජ' ක්‍රියාවක්‌ ලෙසින් සමාජයේ බහුතරය අර්ථ දක්‌වති. වෙනකක්‌ තබා මේ කෝවිල් ක්‍රමයේ පදනම වැටී ඇති හින්දු ආගමේ නියෝජිතයන් වන හින්දු සංගමයද මෙම ක්‍රියාව හෙලා දකිමින් ප්‍රකාශක්‌ නිකුත් කළේය.

හැරත් අප සංස්‌කෘතිය මෙන්ම භාෂාව තුළද 'බිල්ල' යනු 'කළු වචනයකි'. එය එක්‌තරා අයුරකින් 'අපරාධයකට ලක්‌වීම' යන හැඟීමද දනවයි. ඒ තත්ත්වය කෙසේ වෙතත් කලෙක පැවැතී, තවත් කලෙක තහනම් වූ නමුත් දැන් නැවත කලක සිට එලිපිටම 'ජයටම' සිදුවන බිලි පූජාව හෙවත් බහුතරයකගේ අර්ථ දක්‌වීමට අනුව 'අපරාධය' බවට පත්ව ඇත්තේ මේ කාලිඅම්මාන් කෝවිලේ පූජාවයි. අපි මැදපෙරදිග දෙසට හැරෙමු. එහි මහා සංස්‌කෘතිය ගොඩනැගී ඇත්තේ මුස්‌ලිම් ආගම මත පිහිටාය. එවන් සංස්‌කෘතියක්‌ තුළ අවිහිංසාව මත සහමුළින්ම පදනම් වූ ආගමක්‌ වුවද බුද්ධාගමට ඉඩක්‌ නැත. බොහෝ මැදපෙරදිග රටවල බුද්ධාගම යනු ත්‍රස්‌තවාදයටත් වඩා තහනම් වූවකි. කිසිවෙකුට හිංසාවක්‌ පීඩාවක්‌ නැති අතිශයින් අවිහිංසක දර්ශනයක්‌ වුවද එයට එම රටවල්හී කිසිදු ඉඩක්‌ නැත. එහෙත් එම රටකට ගොස්‌, ඒවා මුස්‌ලිම් ආගමට නතුවීමට පෙර ඒවායෙහි බුද්ධාගම පැවතියේ යෑයි ඓතිහාසික සාධක මතුකරමින් හෝ බුද්ධ රුපයක්‌ පෙන්වීනම් අත්විඳින්නට වන ප්‍රතිවිපාක ලෙහෙසි නැත. ඒවයෙහි තත්ත්වය එසේ වුවද මෙරටදී භද්‍රකාලී අම්මාන් කෝවිල් පූජකයෝ රාවණ යුගයට දිගු ඉතිහාසයක්‌ ගැනද කියමින් තම බිලි පූජාව සාධාරණීකරනය කරන අතරේ සුපුරුදු පරිදි තම බිලි පූජාව කරගෙන යති.

මෙවැනි දෙයක්‌ සිදුවන විට බෞද්ධ රාජ්‍ය පදනම හෝ සත්ත්ව අවිහිංසා නීති මත පිහිටා එයට විරුද්ධව නීති රැගෙන නොඑන්නේ මන්දැයි බොහෝ දෙනා විමසති. නැතිනම් මේවන විටද නීති පොතේ ඇති මෙයට විරුද්ධව ක්‍රියාත්මක කළහැකි වගන්ති අකුරු පමණක්‌ ලෙසින් තබා ඇත්තේ මන්දැයිද අසති. ඒ අතරේ ඇතැම් දේශපාලනඥයෙක්‌ වීරයෙක්‌ ලෙසින් මෙයට මැදිහත්වෙයි. තවත් පිරිසක්‌ බුදුදහම පෙරටු කරගනිමින් මෙයට විරුද්ධව නැගී සිටියි.

මේ සියළු මැදිහත්වීම්, විරුද්ධවීම්, පලපෑම් කිරීම් කිසිදු දේශපාලන හෝ පටු වාසියකින් තොරව සතෙකු මරණයෙන් වලක්‌වා ගැනීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් සිදුවන ඒවානම් අගනේය.

එහෙත් බෞද්ධයන් ලෙස මෙතැනදී අප සිටිය යුත්තේ ආගමේ නාමයෙන් කලහ කරගන්නා පිරිසක්‌ ලෙසින් නොවන වග අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කර්මය, කර්මඵලය සහ මැරෙන ඉපදෙන සංසාරය පිළිබඳ විශ්වාස කරන බෞද්ධයන් මෙය දැකිය යුත්තේ කෙසේද?

අප සිතිය යුත්තේ මෙලෙස බෙලිකැපුම් කන එළුවා, කුකුළා ලෙසින්ම අප අතීත භවවලදී කීවරක්‌ බෙලි කැපුම්කා ඇතිද යන්නය. යම් හෙයකින් අපට ධර්මය ලැබුණු මේ අවස්‌ථාවේ අප එයින් ප්‍රයෝජනයක්‌ නොගෙන ධර්මයේ නාමයෙන් කලහකරගැනීමට ගොස්‌ ජීවිතය වරදවාගතහොත් අපි මීළඟ ආත්මයේ එළුවකු, කුකුළකු බවට පත්වීමේ අවධානම එලෙසින්ම ඇත. සතරඅපායෙන් මිදෙන අවස්‌ථාව හෙවත් සෝවාන් ඵලයට පත්නොවුණු ඕනෑම අයෙක්‌ තිරිසන් අපායේ හෙවත් තිරිසන් සතෙකු ලෙසින් මතුභවයේ ඉපදීමේ අවධානම ඇත්තේය. අප එතැනට වැටුනහොත් මෙවැනිම වූ බිලිපූජාවකදී අපේම රැහේ පිරිසකගේ ලේ ගංගා වල පිලීගඳ විඳ, මරණබියෙන් දසත වෙලාගත් පරිසරයක්‌ මැද මන්නයක, කඩුවක මුවහතෙන් හිස කඳින් වෙන්වීමේ අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුනොවේ යෑයි කාටනම් කිවහැකිද?

ආගමේ නාමයෙන් කලහකරගනිමින් ද්වේශය වඩනු වෙනුවට, මෙලෙස බෙලිකැපුම්කෑමේ ඉරණමට ලක්‌වන, එම ඉරණමෙන් තවමත් මිදී නැති මේ සතුන්ව කමටහනක්‌ කර ගැනීමට අප දක්‍ෂ විය යුතුය. මේ සතා මේ ගෙවන්නේ ඌ පෙර ජීවිතයකදී කරන ලද කර්මයක්‌මය.

සමහර විටෙක මේ සත්ත්වයා පෙර බවයක පූජකයෙකු ලෙසින් සිට මෙවැනිම සත්ව ඝාතනයක්‌ සඳහා අනුබල දුන්නෙක්‌ විය හැකිය. මේ සත්වයා දැන් මේ ගෙවන්නේ ඒ කර්මඵලය බව හිතන්නට අපට හැකිවිය යුතුය. අප මෙය ධර්මය දෙසින් සිතා ගලපා නොගතහොත් මතු භවයකදී මිත්‍යදෘශ්ඨික ආගමකට වැටී අපද බිලි පූජා පවත්වන්නන් වීමේ අවධානමක්‌ ඇත්තේය. එසේ වුවහොත් සත්ව ඝාතන රැසකට අනුබල දී, කර්මය 'පොකුරු පිටින්' වගාකිරීමට යොමුව, එහි ඵලය ලෙසින් සංසාරය පුරා සිය දහස්‌වරක්‌ බෙලිකැපුම් කෑමට අපට සිදුවනු ඇත. ඒ සා අවධානමක්‌ දරාගනිමින් අප එළුවෙක්‌ව, කුකුළෙක්‌ව මරණයෙන් බේරාගැනීම පිණිස 'මරාගන්නට' යමුද? අප විසින් බේරාගනු ලැබූවද නැතිද මේ සතුන් කවදාම හෝ දිනක මස්‌මඩුවටම මිස රජපුටුවකට යන්නේද? බෞද්ධයන් ලෙස අප සිතිය යුත්තේ සංසාරයේ තව කීවරක්‌ මස්‌මඩු වෙත දැක්‌කෙමුද යනන්ය.

එදා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවසන කල්හී ඊට නුදුරින් ඌරන් මරන තැනක්‌ විය. තුන්ලෝකාග්‍රවූ උත්තමයන් වැඩවසන, දෙව්බඹුන්ද වන්දනාකරන ධර්මයක්‌ ඇසෙන පරිසරයක්‌ ඌරන්ගේ මරු විලාපයෙන් අපිරිසිදුවන්නේ යෑයි කියා කිසිවෙකුත් එම මස්‌මඩුව කඩාදමන්නට නොගියේය. රජුගේ පූර්ණ අනුග්‍රහය තිබූ බැවින් රජු මාර්ගයෙන් එය නවතාදමන්නට ඉතා පහසු අවස්‌ථාවක්‌ තිබුණිද භාග්‍යවතුන් වහන්සේ එසේ නොකළහ. නිරන්තරයෙන් මරණ බියෙන් වෙලී ඇති මේ ඝොර කටුක භයානක සංසාරයේ දුකම පෙන්වාදී, ඒ දුකින් මිදීමේ මග පෙන්වීම පමණක්‌ සිදුකළහ.

කාලිඅම්මාන් කෝවිලේ බිලිපූජාව කමටහනක්‌ කරගනිමින් අප තවත් ධර්මය දෙසට නැඹුරුවනු විනා මේ රටේ තිබෙනා ප්‍රශ්න මදිවාට තවත් ප්‍රශ්නයක්‌ කරගසාගැනීම නොකළ යුත්තකි.

මෙය මේ සත්ත්ව ඝාතනයට අනුබලදීමක්‌ ලෙසින් යමෙක්‌ කියන්නටද ඉඩ තිබේ. මෙහි සටහන් කළේ අප ඇසුරු කළ සැබෑ බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් අප ඇසූ ධර්ම කරුණු වල ගැලපුමක්‌ මිස අපේ යමක්‌ නොවේ. එහෙත් මෙහි සඳහන් කළදෑ, නිමාවක්‌ නොපෙනෙන සංසාරයේ ඔබ මා ඝාතනයට ලක්‌වීම පිණිස ඇති කෝටි ප්‍රකෝටි ගණනක්‌ වූ අවස්‌ථා වලින් මිදීම පිණිස මිස මේ ආත්මයේ කුකුලෙක්‌, එළුවෙක්‌ බේරාගැනීමේ සරළ අදහසින් යුතුවූ දෑ නොවේ.

මේ බිලි පූජාව අවැසි අයට ඒ අනුවද, මෙය අනවශ්‍ය අයට ඒ අනුවද හැසිරීමට තවදුරටත් අවස්‌ථාව ඇති අතර නීතිය මගින් කෙසේ වෙතත් ෙච්තනාවේ ස්‌වභාවය අනුව මෙයි අස්‌වැන්න ඔවුන් කරා හොඳ හෝ නරක ලෙසින් පැමිණෙනු නියතය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Post a Comment

0 Comments