පමණ දැන ගත යුතුය ගුණ අනූන ගංජා

අතීතයේ පෙරදිග මනුෂ්‍යයෝ ජලය, ගින්න, සුළඟ දේවත්වයෙහි ලා සැලකු අතර, කංසා පැළයට ද, දේවත්වයෙන් සලකන්නට පටන් ගත්හ. එසේ කංසා පැළයට දේවත්වයෙහි ලා සලකන්නට පටන් ගත්තේ ඉහත ස්වාභාවික වස්තූන් ගෙන් මෙන් ම, කංසා පැළයෙන් ද මානව සමාජයට යහපතක් සිදුවන බව දැනගෙන ය.

ජලය, ගින්න, සුළඟ, අප බලාපොරොත්තු වන තරමට වැඩියෙන් ලැබූ විට එයින් මිනිස් සමාජයට, මෙන් ම, සත්ත්ව සංහතියට හා ශාක ප්‍රජාවට ද සිදුවන්නේ අයහපතක්ම ය. එහෙත් ජලය, ගින්න, වාතය අන්තරායකාරී යැයි කිසිවකු එය ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට නැත. මනුෂ්‍ය ශරීරයේ ජීවන බලය රඳා පැවැත්මට උපකාරී වන කංසා වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් අනතුරු සිදුවිය හැකි ය. එහෙත් එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම වැරැදි ය.

සංස්කෘත භාෂාවෙන් “ත්‍රෛලෝක්‍ය විජයා” යන නාමය මේ පැළෑටිය සඳහා ව්‍යවහාර වේ. එම සංස්කෘත නාමය කංසා පැළෑටියට ලැබී ඇත්තේ, මෙහි ඇති තියුණු බව, උණුසුම් බව, මත් ගතිය, කුෂ්ට නසන ගතිය, ශරීර බලය, ඥාන වර්ධනය කිරීම ආදි ගුණ සලකාගෙන ය.

කංසා වැවීම, වෙළෙඳාම, හා පාවිච්චිය අපේ රටේ තහනම් කර ඇත. කරුණු එසේ වුව, කංසා වැවීම, වෙළෙඳාම, පාවිච්චිය අඩුවී ඇති බවක් පෙනෙන්නට නැත. දිනපතා ප්‍රවෘත්ති මඟින් ඒ බව තවදුරටත් සනාථ වේ.

දේශීය වෙදකමේ ශල්‍යකර්මවල දී රෝගියාගේ වේදනාව නැති කිරීම සඳහා කංසා මිශ්‍ර බෙහෙත් වර්ග ලබා දුන් බව සඳහන් වේ. පණුගාය, උණ, කැස්ස, ප්‍රතිශ්‍යාව, හා බඩේගාය ආදි සුළු අසනීපවලදී ද කංසා මිශ්‍ර ගුලි කල්ක ආදියෙන් ප්‍රයෝජන ගෙන ඇත.

ශරීරයේ සැපය බලාපොරොත්තු වන ඉස්ලාම් - හින්දු බැතිමත්හු කංසා මිශ්‍ර ආහාර - පාන සාදාගෙන ප්‍රයෝජනයට ගත්හ. දීර්ඝායුෂ බලාපොරොත්තු වන අය කංසා මිශ්‍ර බෙහෙත් පාවිච්චි කරති. අනාදිමත් කාලයක සිට ඉස්ලාම් - හින්දු භක්තිකයෝ ඔවුන්ගේ ප්‍රධාන ජාතික - ආගමික උත්සවවල දී කංසා මිශ්‍ර කැවිලි - පෙවිලි සකස් කොට ආගන්තුක සත්කාර කරති. විනෝදය බලාපොරොත්තු වන සමහර පිරිස් කංසා මිශ්‍ර දුම්වැටි සදාගෙන දුම් උරති.

කංසා ඖෂධ වර්ගයක් ලෙස මිස විනෝදය පිණිස; මත්ද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කිරීමක් සිංහල මිනිසුන් අතර තිබුණේ නැත. මත්ද්‍රව්‍යයක් වශයෙන් කංසා සකස් කර ගන්නා පුරුද්ද මෙරටට පැමිණියේ පිටරට මිනිසුන් වෙතින් ය. විශේෂයෙන් වෙළෙඳ ප්‍රජාව වෙතින් ය. මේ නිසා ශ්‍රී ලංකාවේ දී එය තහනම් කැරිණි.

කංසා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කිසිවකු මේ වටිනා ඖෂධය තහනම් කිරීම අනුමත නොකරනු ඇත. තහනම පැනවූයේ, අපරදිග සිට පෙරදිගට කුළුබඩු සොයා යාත්‍රා කළ අපරදිග වැසියන්ගේ බලපෑම මත යැයි මතයක් ද පවතී.

රාවණා රජුගේ සමයේ පටන් ශ්‍රී ලංකාවේ පැවැතෙන චීන ජාතික වෙදකමේත්, ඉන්දියාවේ ආයුර්වේද සිද්ධ - යුනානි වෙදකම්වලත් සංකලනයෙන් නිර්මාණය වූ අපගේ දේශීය වෙදකම නිසා අපරදිග වෙදකම මෙහි ස්ථාපිත කිරීමට නොහැකි බව බටහිරයෝ දැන සිටියහ.

පෙරදිග ධනය සූරා කෑමටත් පෙරදිග වාසි ජනයා වහල් භාවයේ තබා ගැනීමටත් අපරදිගවාසීනට අවශ්‍ය වී තිබිණි. අනාදිමත් කාලයක සිට ආසියාතික ජනයාට මහත් සෙතක් සැලසූ ඒ මාහැඟි ඖෂධය ගැන දැනගැනීමෙන් පසු එවකට අප රට පාලනය කළ අපරදිග ජාතීන් විසින් කංසා සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

ඒ වෙනුවට මනුෂ්‍යයන්ගේ ශක්තිය, බලය, වීර්යය, බුද්ධිය හීන කරන මත්පැන් (ගිනි වතුර) හඳුන්වා දී ඒවා වැඩිදියුණු කිරීමට බටහිරයන් අනුබල දුන්නේ කුමක් අරමුණු කරගෙන ද?

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් මනුෂ්‍ය ජීවිත ක්‍රමයෙන් විනාශ වන බව ඔව්හු දැන සිටියහ. එසේ ම කංසා තහනම් කිරීමෙන් දේශීය වෙදකමට බලවත් පහරක් එල්ල වන බවත් ඔව්හු දැන සිටියහ.

කංසා තහනම අදූරදර්ශී ක්‍රියාවක් බවත්, එයින් දේශීය වෙදකමට බලවත් හානියක් සිදුවන බවත් දැන සිටි පණ්ඩිත් කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ 1958 අගෝස්තු මස 18 දා සිළුමිණෙන් මෙබඳු මතයක් පළ කළහ.

“මනුෂ්‍යයන් ඇතුළු සත්ත්වයන්ගේ චිර ජීවනයත්, දේශීය වෙදකමේ දියුණුවත්, ජාතික ධනය නඟා සිටුවීමත් තකා ආණ්ඩුව මඟින් කංසා වැවිය යුතු කාලය එළඹ තිබේ.

එසේ වවාගන්නා කංසා ඔළුව කරකවා ගන්නට උවමනා අයට ප්‍රයෝජන ගත නොහැකි පරිදි, දේශීය වෙදකමේ නියම කර තිබෙන පරිදි, ශුද්ධ කර, විෂ නසන වෛද්‍යවරයන් අතර බෙදා දිය යුතුය. එසේම රජය මඟින් ද, ආයුර්වේද ඖෂධ පිළියෙල කර, ප්‍රචාරය කර ලොව පුරා බෙදා හැරිය යුතු ය. දේශීය වෙදකමෙත්, ජාතික ධනයෙත් දියුණුවට අප ගත යුතු නව මඟක් මේ.”

“සිළුමිණ” පුවත්පතේ එම ලිපිය පළවීමෙන් පසුව, එකල රජය කංසා තහනම මඳක් ලිහිල් කර, දේශීය වෛද්‍යවරුන් අතර කංසා බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇත. මේ ප්‍රවෘත්තිය දැනගත් පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ මහත් සේ ප්‍රීතියට පත්වූහ.

ජයන්ත සේනානායක : silumina

Post a Comment

0 Comments