වසංගත පුරාණය


කළු මරණය (Black Death) හෙවත් මහාමාරිය ආසන්න වශයෙන් ජන ජීවිත මිලියන 75 - 200 අතර ප්‍රමාණයක් විනාශ කළේය. එම වසංගතය උපත ලැබුවේ ආසියාවේ ය. වරායන් මගින් වෙළෙඳ නෞකාවල වාසය කළ මීයන් සහ මැස්සන් මෙම වසංගතය ව්‍යාප්ත කළේ යැයි ජන සම්මතයක් පවතී. 1347 වසරේ කළු මුහුද හරහා ගමන් කළ නෞකා 12 ක් මගින් මෙසීන් හි සිසිලි වරාය ඔස්සේ යුරෝපයට වෛරසය ළඟා වූ වග වාර්තාවල සටහන් වේ. නෑ හිත මිතුරන් හමුවීමට වරායට පැමිණි නගරවාසීන්ට හමුවූයේ මියගිය ඕජස වැගිරෙන සොල්දාදුවන්ගේ සිරුරු පමණි.

ක්‍රිස්තු, පූර්ව 5 වන සියවසේ ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලීස් විිසින් රචිත oedipus Tyrannos, නාට්‍යයේ ප්‍රධාන චරිතය තිබෙස් පුරවරය පුරා පැතිර ගිය වසංගතය හඳුනා ගැනීමට මහත් වෙහෙසක් දරයි. නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා එය ඔහුගේ රාජ්‍ය පාලනයේ අසමත්කම යැයි වටහාගනියි. පැරණි ග්‍රීක වීර කාව්‍ය‍ මෙවන් තිරණාත්මක අවස්ථා සහිත ඛේදවාචක නිරූපණයට මහත් වෙහෙසක් දැරීය. මානව සමාජ ශෝකාන්තයේ වේදනාව අවබෝධ කරගැනීමට ප්‍රේක්ෂකයා යොමු කිරීම කතාන්තරකරුගේ අභිප්‍රායයි. ග්‍රීක පුරා කතාවල වසංගත සහ ආපදා ඉතා වුවමනාවෙන් පාලකයන්ගේ බුද්ධිමත්භාවය සහ හැසිරීම විනිශ්චය සඳහා ඇතුළත් කළ තීරණාත්මක තේමා යැයි වටහාගත හැක. හෝමර්ගේ ඉලියඞ් කාව්‍යයේ ආරම්භයේ අනාගතවක්තෘ කල්චාස් දින නමයේ වසංගතය ගැන දැන සිටි වග ප්‍රථම කාව්‍ය පෙළින් පැහැදිළි වෙයි. හෝමර්ගේ වීර කාව්‍යයේ පුරාවෘතයක් වූ ආග්මෙම්නෝන් Agamemnon රජ පූර්වයේ මෙන්ම අවසානයේ සිදුවන්නේ කුමක්දැයි දැන සිටියේ නැත. වීර කාව්‍ය නිරන්තරයෙන් ම අතීත සිදුවීම් මත අනාගතය සඳහා සැලසුම් සකස් කිරීමේ හැකියාව රාජ්‍ය පාලකයා සතු විශේෂ ගුණයක් යැයි ප්‍රේක්ෂකයාට මෙනෙහි කරයි. පාලකයා නිරතුරු ව හේතුව සහ ඵලය දැනගත යුතුය. වසංගතයට හේතුව කුමක් ද? එය වළක්වාගත හැකි ව තිබුණේ ද? සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය නිරතුරු ව අනාගත ව්‍යසන ඇතිවීමට හේතුව සහ එහි අනාගත ඵලය පිළිබඳ ව නාට්‍ය කලාව මගින් රටවැසියා දැනුවත් කළේය. එමෙන් ම සෑම පුරවැසියකුට ම සිය සමාජ භූමිකාවේ වගකීම ගැන නිසි අවබෝධයක් ලබාදීමට කටයුතු කළේය.

ග්‍රීක වීර කාව්‍ය

පැරණි ග්‍රීක වීර කාව්‍යයේ සටහන් වසංගත කථා පුවත් මානව ශිෂ්ටාචාරයේ සීමා අවස්ථා පැහැදිලි ව වර්ණවත් කරයි. එම සීමා අවස්ථාවන් හි තීරණාත්මක ස්වභාවය වටහා ගැනීමට නම් මානවයා සොබාදහම උරගලක් මෙන් භාවිත කළ යුතුය. හෝමර්ගේ ඔඩිසි (Odyssey) කාව්‍යයට අනුව ෂියුස් දෙවියා එම සීමා අවස්ථා හඳුනාගෙන මෙලෙස විග්‍රහ කරයි. ”මානවයා සිය පීඩාව ගැන දෙවියන්ට දෙස් දෙවොල් තබයි. නමුත් මානවයා ඉරණමට වඩා වේදනාව ආශාවෙන් භුක්ති විඳියි. මක්නිසාද එය ඔහුගේ අපරීක්ෂාකාරිත්වයයි.” එම සීමා අවස්ථා මත මානවයා නිර්මාණය කරගන්නා අපරීක්ෂාකාරී ගැටලු වසංගතය අභිභවා වෙනත් ව්‍යසනයක් වෙත කැඳවා යයි. ඉතා පහසුවෙන් වළක්වාගත හැකි වුව ද අර්බුදයෙන් අර්බුදයට අඛණ්ඩ ව ගමන් කිරීම මානව ස්වභාවයයි. ග්‍රීක කාව්‍ය රචක හෙසියෝඩ් දේව මණ්ඩලයේ නායක ෂියුස් අසමත් නායකයන් වෙත යුද භූමියේ හමුදා අසාර්ථකත්වය අභිභවා ඔවුන් මත වසංගත රෝග ව්‍යාධ පමුණුවන වග සටහන් කරයි. මානව සමාජයේ බිඳවැටීම වසංගත නොව නායකත්වයේ අසමත්භාවය යැයි හෙසිඩොඩ් ප්‍රකාශ කරයි. ඉලියඩ් කාව්‍යයේ පාලකයා අපරීක්ෂාකාරිත්වය නිසා ජනයා විනාශ කරන අතර, ඔඩිසි කාව්‍යයේ අසමත් එඬේරා බැටළු රංචුව වනසා දමන්නේ යැයි සටහන් කරයි. අතීත ලෝකයේ වසංගත නිරතුරු ව දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීම්ය. ස්වභාවික ආපදා සැමවිට ම දෙවියන්ගේ ක්‍රියාකාරකම් හෙයින් ඔවුන්ට දොස් පැවරීමෙන් මානවයා සිය අපරික්ෂාකාරිත්වය අමතක කර දමයි.

ඇතීනියානු ව්‍යසනය

ක්‍රිස්තු, පූර්ව දෙවන සියවසේ ඉතිහාසඥ පොලිබියස් සහ පළමු සියවසේ ලිවී මානව සමාජය මත වසංගත පැතිරයාම දුර්වල සනීපාරක්ෂාව, දේශගුණික වෙනස්කම් සහ පරිසර දුෂණය යැයි දක්වති. ඉතිහාසඥ තුසිඩිඩස් ක්‍රිස්තු, පූර්ව 430 දී ඇතැන්ස් පුරවරයේ පැතිර ගිය වසංගතය හේතුවෙන් රෝගීන් දරුණු උණ රෝගයෙන්, හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සහ වේදනාවෙන් පීඩා විඳීම නිසා ඔවුන්ගේ මතකය ගිලිහීගිය වග විස්තර කරයි. මෙම වසංගත අභියෝගය සඳහා ඇතෑන්ස් පුරවරය කිසිදු පෙර සූදානමක් නො වීය. ස්පාටාවරුන් පුර පවුරෙන් එපිට මුර ලා සිටි හෙයින් පුර පවුර ඇතුළත සිරගත වූ ඇතීනියානුවන් රෝග ව්‍යාධයෙන් මහත් ව්‍යසනයකට ගොදුරු වූයේ යැයි තුසිඩිඩස්ගේ පෙලොපෝනිසියන් peloponnesian යුද වාර්තාවේ සටහන් වේ. වසංගතයේ භයානක ස්වභාවයෙන් අපේක්ෂාභංගත්වයට පත් ජනයා බියෙන් සහ සංතාපයේ ගිලෙමින් හුදකලාව නින්දේ ම මියැදුණ වග තුසිඩිඩස් සිය වාර්තාවේ දක්වයි. රෝගී පුදගලයන් අනාථයන් ලෙස අතහැර දැමීම, කිසිවකුගේ අවධානයකින් තොරව නිසි පරිදි මිහිදන් නො කළ මළකුණුවලින් අධික ජනගහනය සහිත පුරවරයේ විසබීජ පැතිර යාම, මංකෝලකෑම් සහ නීතිය වල්වැදීමෙන් ඇතෑන්ස් පුරවරය නටබුන් වූයේ යැයි එහි සටහන් වේ. මහාකවි හෝමර්, නාට්‍ය රචක සොෆොක්ලීස් සහ ඉතිහාසඥ තුසිඩිඩස් ගේ රචනා තුළ වසංගත එකින් එක පැතිරයාම අපරීක්ෂාව නිසා මානව වර්ගයාගේ සමූහ විනාශය වූයේ යැයි සටහන් කරති. ග්‍රීක පුරා කතාවල ආරම්භයේ දී වසංගත සහ ව්‍යසන දක්නට ලැබේ. ට්‍රෝජන් යුද්ධය, ඊඩිපස් සෑම කතා පුවතකින් ම සාමය ඇති කිරීමට අවශ්‍ය හේතු දක්වයි. වසර ගණනාවක වසංගතයේ පීඩාවෙන් පසු ද බල දේශපාලනය සහ ආත්මාර්ථකාමී පාලකයන් ගේ නොමනා හැසිරීම් හේතුවෙන් ඇතිනියානුවෝ පීඩාවිඳිති. ජනප්‍රිය දේශපාලනය සාමාන්‍ය ජනයා විනාශයට ඇද දමන අතර අපරීක්ෂාකාරිත්වය හේතුවෙන් සමස්තය විනාශ වන වග ග්‍රීක පුරා කථා දන්වා සිටියි.

ක්‍රි. වර්ෂ 165 දී අන්ටොනිනි (Antonine) වෛරස වසංගතයෙන් මිලියන 5 කට ආසන්න ජනයා මියගිය වග ඓතිහාසික වාර්තාවල දැක් වේ. තවමත් හේතුවක් නොදන්නා අන්ටොනිනි වසංගතය සුළු ආසියාව, ඊජිප්තුව සහ ග්‍රීසිය පුරා පැතිර ගියේය.

මහාමාරිය වසංගතය

වසූරිය හෝ සරම්ප රෝගාබාධ වසංගතයට හේතු වන්නට ඇත. මෙසපොතේමියාවේ සිට ක්‍රි, වර්ෂ 165 දී ආපසු ඉතාලියට පැමිණි සොල්දාදුවෝ සහ නාවිකයෝ මෙම වසංගතය සමඟ රෝමයට පැමිණියහ. ක්‍රිස්තු, වර්ෂ 541 - 542 බුබොනික් ජස්ටිනියන් වසංගතයෙන් මිලියන 25 ක ජනයා මියගිය වග සටහන් වේ. යුරෝපයේ ජනගහනයෙන් අඩක් සහ මධ්‍යධරණියේ ජනගහනයෙන් 1/4 ක් එම වසංගතයෙන් විනාශ වූහ. ජස්ටිනියන් වසංගතයෙන් බයිසන්තින් අධිරාජ්‍ය සහ මධ්‍යධරණීය වරාය නගරය වූ කොන්ස්තන්තිනෝපල් ආපදාවට පත්විය. දිනකට 5, 000 පමණ ජනතාව මියගිය හෙයින් ජනගහනය 40%ක් විනාශ විය. ක්‍රිස්තු වර්ෂ 1346 - 1353 දක්වා කාලයේ යුරෝපය අප්‍රිකාව සහ ආසියාව පුරා පැතිර ගිය බුබෝර්නික් වසංගතය හෙවත් කළු මරණය (Black Death) මහාමාරිය ආසන්න වශයෙන් ජන ජීවිත මිලියන 75 - 200 අතර ප්‍රමාණයක් විනාශ කළේය. කළු මරණ වසංගතය ආසියාවේ උපත ලැබීය. වරායන් මගින් වෙළෙඳ නෞකාවල වාසය කළ මීයන් සහ මැස්සන් මෙම වසංගතය ව්‍යාප්ත කළේ යැයි ජන සම්මතයක් පවතී. 1347 වසරේ කළු මුහුද හරහා ගමන් කළ නෞකා 12 ක් මගින් මෙසීන් හි සිසිලි වරාය හරහා යුරෝපයට වෛරසය ළඟා වූ වග වාර්තාවල සටහන් වේ. සිය නෑ හිත මිතුරන් හමුවීමට වරායට පැමිණි නගරවාසීන්ට හමුවූයේ මියගිය ඕජස වැගිරෙන සොල්දාදුවන්ගේ සිරුරු පමණි. ඉතිරි ස්වල්ප දෙනාගේ සිරුරුවල සිරුර පසාරු කළ ලේ - සැරව වෑහෙන කළු සිදුරු දක්නට ලැබිණ. සිසිලියන් වරාය අධිකාරිය නෞකා සියල්ල වරායෙන් පිටත රඳවා තැබීමට නියෝග කළේය. කෙසේවු ද ඉදිරි වසර පහ තුළ වසංගතයෙන් යුරෝපයේ මිලියන 20 ක ජනයා මියගියහ. එය මහාද්වීපයේ ජනගහනයෙන් 1/3 කි. එකල යුරෝපයේ කලා කෝෂ්ඨාගාරය වූ ඉතාලියේ ප්ලෝරන්ස් නගර ජනගහනයෙන් 3/4 ක් මියැදුණ වග ජියෝවන්නි බොකාෂියෝ (1313 - 1375) රචිතThe Decameron ”දස දවස” ග්‍රන්ථයේ සටහන් වේ. වසංගතය පසුව චීනය, ඉන්දියාව, පර්සියාව (වත්මන් ඉරානය), සිරියාව සහ ඊජිප්තුව වනසා දැමීය. සිරුර පුරා රත් පැහැ බිබිලි දමා එ තුළින් ලේ සහ සැරව ගලායාමෙන් කළු කුහර මතුවීම මූලික රෝග ලක්ෂණ වන අතර, උණ, සීතල, වමනය, පාචනය, රිදුම් සහ වේදනාවලින් පසුව මරණය සිදු වේ. ඉතා නිරෝගී අය පවා නින්දේ ම මියගිය වග බොකාෂියෝ සඳහන් කරයි. මෙම වෛරසය yersina pestisයැයි හැඳින්වෙන අතර 19 වන සියවසේ ප්‍රංශ ජීවවිද්‍යාඥයකු වූ අලෙක්ෂන්ද්‍රා යර්සින් විසින් සොයා ගත්තේය. වෛරසය මිනිසාගෙන් මිනිසාට, වායුව මගින් සහ ආසාධිත මීයන් සහ මැස්සන් මගින් ව්‍යාප්ත විය.

නිරෝගී පුද්ගලයෝ වෛරසයෙන් වැළකීම සඳහා නගරයේ සිට රට අභ්‍යන්තරයට පළා ගියහ. වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කිරීම සහ පූජකයෝ අවමංගල යාච්ඥා ප්‍රතික්ෂේප කළහ. වෙළෙඳ සල් වසා දැමිණ. නගර මංමාවත් පාළු විය. එහෙත් කිසිවකුට වෛරසයෙන් මිදි පලායාමට නො හැකි සේ සෑම තැනම මංපෙත් අසුරා මහාමාරිය රුඳී සිටියේය. ගවයන්, බැටලුවන්, ඌරන් සහ කුකුළන් වෛරසයට ගොදුරු වූහ. එකිනෙකාට දොස් පැවරීම, දේව ශාපයක් යැයි සැලකීම සහ ආපදාව යුදෙව්වන් මත පටවා 1348 - 1349 දහස් ගණනක් ඝාතනය කළහ.

යුරෝපයට පැතිරීම

1350 පමණ වන විට වසංගතය සමනය වී ගිය ද සියවස් ගණනාවක් නැවත නැවත ඉස්මතු විය. නූතන සනීපාරක්ෂක ක්‍රම විසබීජ අවමකිරීමේ උසස් මෙහෙවරක යෙදුණ ද විසබීජ සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම අපහසු කාර්යයකි. ”අනාගත පරම්පරාව මේ මහා දුඛ්කප්‍රාප්තියට ඇද නොවැටී, අත්දැකීම් නො ලබා ප්ලෝරන්ස් පුරවරයේ ප්‍රකාශ සුරංගනා කතා සේ සලකාවි යැයි” පුනරුද සමයේ කාව්‍යකාරයකු වූ පෙට්ට්‍රාච් ප්‍රකාශ කළේය. සියලු පුරවැසියෝ මළ සිරුරු මිහිදන් කිරීමට කිසිදු උත්සායක් නො දැරූහ. සෑම දේවස්ථායක් ම භූගත ජල මට්ටම දක්වා ගැඹුරු වළවල් කපා දුප්පතෙක් නම් මියගිය රාත්‍රියේ ම එම වළට වීසිකර දමයි. සෑම රාත්‍රීයක ම එම වළ තුළ මළකඳන් රාශියක් ගොඩගැසෙයි. සෑම දිනක ම එම වළ තට්ටුවෙන් තට්ටුව මළකඳන්වලින් පිරී යයි. සුනඛයන් මළකඳන්වල කොටස් ඩැහැගෙන නගරය පුරා විසුරවා දමයි. වෛරසය ආසාදනය වූ 80% ක් ම අවාසනාවන්ත ලෙස මියගියහ.

ආරම්භයේ මහාමාරිය වෛරසයේ උපත චීනය යැයි අනුමාන කළ ද පසුව දකුණු රුසියාවේ කැස්පියන් මුහුදේ වයඹ ප්‍රදේශයේ දොන් නදිය අසබඩ 1346 වෛරසය ඉස්මතු වූයේ යැයි පර්යේෂකයෝ තහවුරු කළහ. 1347 ඉතාලි නාවික යාත්‍රා කොන්ස්තන්තිනෝපල් සිට කෆ්කා වරායට පැමිණි අතර එමගින් යුරෝපය පුරා වෛරසය පැතිර ගියේය. නාවික ගමනාගමන සහ ගොඩබිමෙන් සියලු මහාද්වීප කරා සැනිකින් ම වෛරසය ව්‍යාප්ත විය. නැපෝලියන්ට මෙන්ම හිට්ලර්ට රුසියාව ආක්‍රමණය කොට ජයගත නො හැකි වු මොස්කව් නගරයේ 1352 දී මහාමාරිය වෛරසය කිසිදු බාධාවකින් තොරව නිදැල්ලේ සැරිසරන්නට විය. ආසන්න වශයෙන් යුරෝපා ජනගහනයෙන් 60% ක් මිලියන 50 කගේ ජීවිත මහාමාරිය හෙවත් කළු මාරයාට ගොදුරු විය. ඉතිරි වූ යමෙක් වේ ද සිය ප්‍රතිශක්තිකරණ ශක්තිය මත පමණක් ජීවත් වූයේ යැයි ජියෝවන්නි බොකාෂියෝ සඳහන් කරයි. අතීතයේ මෙන්ම අනාගතයේ ද වෛරස සහ වසංගත මානවයා හඹා එනු ඇත. ජිවය රඳාපවතින්නේ එකිනෙකා සතු ප්‍රතිශක්තිකරණය මතය. එමෙන්ම සෑම දෙයකට ම ඉතිහාසයේ සීමාවක් ඇත. මානවයා සිය සීමාව වටහා නොගන්නේ නම් සමූහ විනාශයට වග බලාගත යුතුය.

ආචාර්‍ය සුනිල් රණසිංහ
උපුටා ගැනීම = දිනමිණ පුවත්පත