කොරෝනා පරාජය කළ හැකි දේශීය ක්‍රම


කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසි විටෙකත් අනියත බියක් ඇතිකර නොගෙන ඊට මුහුණදීම සඳහා ශක්තිමත් මානසිකත්වයක් ගොඩනඟා දේශීය ‍ඖෂධ සහ ආයුර්වේදීය ස්වස්ථ ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීම මඟින් කොරෝනා ආසාධිතයින්ගේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්කිරීමට හැකි ය.

බැක්ටීරියාවක් හෝ දිලීරයක් යනු ඇසට පෙනෙන ක්ෂූද්‍ර ජීවීන් වුවත් වෛරසයක් එසේ නොපෙනේ. එය දැකබලා ගැනීමට ඉලෙක්ට්‍රොනික් අන්වික්ෂයක් භාවිතා කළ යුතුමය. මෙලෙස ඇසට නොපෙනෙන විෂබීජ පැතිරයාම වැළැක්වීම සඳහා අතීතයේ දේශීය ආයුර්වේද ක්‍රමවේද පැවතිණි. විශේෂයෙන් විෂබීජ නාශක ක්‍රියාකාරකම් එදවස අප රටේ ඈත ගම්දනව්වල පවා ජනතාව සිදුකර තිබේ. නිදසුනක් ලෙස යම් නිවෙසකට විෂබීජයක් ඇතුළුවී රෝගයක් ඇතිවුවහොත් එය පැතිරීම වැළැක්වීම සඳහා එම නිවෙස්වලම නිරෝධායන ක්‍රම ක්‍රියාවට නංවා ඇත. උදාහරණයක් වශයෙන් යම් නිවෙසක පුද්ගලයකුට ජනවහරේ “දෙයියන්ගේ ලෙඩ” නමින් හැඳින්වෙන පැපොල රෝගය වැළඳුනහොත් රෝගියා නිවෙස තුළම රඳවාගෙන සිටී. එම නිවෙස ඉදිරිපිට මිදුලේ විශේෂයෙන් සකස් කළ විෂබීජ නාශක සඳහා යොදාගන්නා කහ දියරයට දෙහි පෙති කිහිපයක් මිශ්‍රකර තිබේ. එකල්හි ‍එම නිවෙස් කරා පැමිණෙන සියලුදෙනා මෙම බඳුනෙහි ඇති කහ මිශ්‍රිත ජලයෙන් මුහුණ, අතපය සෝදා තමතමන්ම විෂබීජ නිරෝධනයට හුරු පුරුදුවී සිටියහ. එදවස පැවැති මේ යහපත් සෞඛ්‍ය පුරුදු අප අද දවසේ නැවත ක්‍රියාවට නැංවිය යුතු කාලය එළඹ ඇත. එපමණක් නොව එදවස විවිධ ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවලට අනුව සකසා ගත් විෂබීජහරණය කිරීම සඳහා ධූමායන ක්‍රම භාවිතා කළහ. එමෙන්ම විෂබීජ පැතිර යාමට ඉවහල් වේ යැයි සිතන ක්‍රියාකාරකම් සිදු නොකර සිටි අපේ පැරැන්නෝ විශේෂයෙන් “කිළි” ඇතිවේ යැයි සිතා පැපොල රෝගය වැළඳී ඇති අයකු තම නිවසේ සිටී නම් ඒ නිවසේ අය මළගෙදරක නොගියහ. දියණියක වැඩිවියට පැමිණ ඇති නිවෙසකට නොගියහ. එපමණක් නොව මස්, මාංශ සහ බිත්තර වැනි “පිළි” ද්‍රව්‍ය ආහාරයට නොගත්හ.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ අප කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමට මුලින්ම පියවරගත යුතුය. ඒ අනුව ක්‍රම 3 ක් ඔස්සේ ක්‍රියා කිරීමෙන් මෙය පැතිරයාම වැළැක්විය හැකිය. පළමුව කළ යුත්තේ විහරණය යි. එය කරනුයේ සෑම පුද්ගලයකුම තම ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගැනීමට ක්‍රියාකිරීමයි. කොරෝනා ‍ෛ‍වරසය ‍ශරීරගත වුවද ඊට එරෙහිව සටන් කිරීමට මෙලෙස ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ පුද්ගලයින්ට පුළුවන. මෙලෙස ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට තමතමන්ටම නිවසේ සිටම හොඳින් ආශ්වාස-ප්‍රාශ්වාස කර ශ්වසන පද්ධතිය ආශ්‍රිත ක්‍රියාකාරකම්හි යෙදීම.

දෙවනුව කළ යුත්තේ දේශීය ආහාර රටාවන්ට අනුව සකස් කළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීමයි. මෙහිදී වඩාත් යෝග්‍ය වන්නේ පොලොස්, කොස්, දෙල්, කෙසෙල් මුව, වැටකොළු, කරවිල, අල, බතල, පලා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීමයි. ඊට අමතරව තේ වෙනුවට උදේ/ සවස ඉඟුරු, කොත්තමල්ලි, සුදුලූනු, වැල්මී, රසකිඳ වැනි ද්‍රව්‍ය යොදා සැකසූ ඔසුපැන් වීදුරුවක් දිනකට කිහිප වරක් පානයට හුරුවීම, ශරීරයේ උෂ්ණත්වය රඳාපවතින ව්‍යායාම වැනි දෑ කළ යුතුය.

තුන්වෙනි කරුණ වනුයේ වෛරසයට පැතිරයාම වැළැක්වීමට දේශීය ඖෂධ භාවිතයට ගැනීමයි. එහිදී දේශීය ඖෂධීය පැළෑටි සහ ශාක වර්ගවලින් සකස් කර ගන්නා කැඳ වර්ග පානය කිරීම, උදේ සවස කට්ටකුමංජල්, දුම්මල වැනි දේ යොදාගෙන නිවෙස් ධූමායනය කිරීමට පියවරගත යුතුය. කහ, වදකහ, පෙරුම්කායම්, දෙහි, කොහොඹ වැනි විෂබීජ නාශක භාවිතා කළ යුතුය.

නිවෙස්වල ආහාර ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී කුරුඳු, ගම්මිරිස්, කහ, තිප්පිලි වැනි කුළුබඩු වැඩි වශයෙන් එක්කිරීමට හුරුවිය යුතුය.

“ආයුඃ වේදඃ ආයුර්වේද” මිනිසාගේ ආයුෂ විඳීම මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම ආයුර්වේදයේ පරම අපේක්ෂාවයි. මේ අනුව යමින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ ආගමික වතාවත්හි යෙ‍දීමත් මැනවි. එසේම පුද්ගල ස්වස්ථතාව අරමුණුකොටගත් හුරුපුරුදු අනුගමනය කිරීමද ඉතාම අවශ්‍ය වේ. ඒ සෑම ක්‍රියාවකින්ම සිදුකරනුයේ අප වෛරසය හා ගැටීම වළක්වා ගැනීම මෙන්ම යම් හෙයකින් වෛරසය හා ගැටීමක් සිදුවුවහොත් එය ශරීරගතවීම වැළැක්වීමයි. එහිදී අප දේශීය ක්‍රමයන් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පිළිවෙත් පෙරටත් වඩා ප්‍රායෝගිකව යොදාගනිමින් කටයුතු කළහොත් ජාතියක් ලෙස අපට මෙය වෛරසය පැතිරයාම වැළැක්වීමට කටයුතු කළ හැකිවනු ඇත.

 ජයසිරි මුණසිංහ
උපුටා ගැනීම = දිනමිණ පුවත්පත