ජීවිතය හා මරණය අතර


සෑම ජීවිතයකම මිසදිටු, අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමානමාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත.ච ඒ අතිශය සුන්දර වූ මංතාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරනමේ ශීලෝපශොභිත මහ යතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම්ගොත් හේ රුව පවා හෙළිකිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුව මඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

අනවරාග්‍ර සංසාරයෙන් එපිට වූ පරම ශාන්තිදායක අතමිදීම නිර්වාණයයි. කිසිදු හටගැනීමක්‌ නැති එහි මරණය නැත. මරණයෙහි ඇතිවීමට හේතුවන කිසිදු ජීවිතයක ආරම්භ වීමක්‌ද අමාමහ නිවන් දහම තුළ කිසිදාක දක්‌නට නොවේ. ඒ උතුම් ශාන්ත සංහිඳියාවෙන් මෙහාවූ ලෝකය නැත්නම් සංසාරය පුරාවෙහිම මරණය, මියෑදීම නැත්නම් මිලිනවීම සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම දක්‌නට ලැබේ. ඒ අනුව මේ භයංකාර සංසාරය තුළ වැටී සිටින බොහෝ අය මරණයට පත්වෙති. බොහෝ අය මරණයට පත් වෙමින් සිටිති. එය කොතැනක කෙදිනක, කොහොම සිදුවුවත් සුවදායක තත්ත්වයක්‌ නොවේ. බිය, තැතිගැන්aම. වේදනාව ඒ සෑම මරණයක්‌ හා සමගම බැඳී එකිනෙකට ගැට ගැසී පවතී.

 එමෙන්ම සංසාර දුක හා බැඳුණු ලොකුම දුකක්‌ වූ මේ මරණ ස්‌වභාවය සත්ත්වයාට අනපේක්‌ෂිතව ලැබෙන දුක්‌ඛදායීත්වයකි. එනම් ලොව ජීවත්වන කිසිවෙකුත් මරණය බලාපොරොත්තුවන්නේ නැත. කෙනකුට මරණයක්‌ ඇති බව පවා මතකයේ නැති තරම්ය. එතෙකුදු වුවත් කෙනකු ජීවිතයක්‌ ලදදා පටන්ම ඒ ජීවිතයේ උපත සමගම මරණයද උපදී. එයින් පසුව හෙමි හෙමින් ඒ ජීවිතය පසුපස ජීවිතය තිබෙන තාක්‌ මරණයද පැමිණෙයි. පුද්ගලයන් හෝ සත්ත්වයන් මරණය බලාපොරොත්තු නොවන්නේ කුමක්‌ නිසාද? ඔවුන් සංසාරය තුළ අප්‍රමාණ කෙලෙස්‌වලට වසඟවී සිටින නිසාය. ඒ කෙලෙස්‌ තුළින් ඔවුහු දුක්‌ රහිත පරිපූර්ණත්වයක්‌ සොයති. ලෝකය හා ලෞකික ජීවිතය තුළදී එය ඔවුන්ට කවදාකවත් නොලැබෙන හා හමුනොවන තත්ත්වයක්‌ බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක.

 සසර හැම ජීවිතයකටම අදාළ වූ මරණය ඒ ඒ ජීවිත වෙත පැමිණෙන්නේ කලින් දන්වා නොවේ. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ කාලයට සිතින් මොහොතක්‌ පියනගන්න. ඒ කාලයේ ජීවත්වූ කිසාගෝතමිය ගැන අපි කවුරුත් දනිමු. එය සරල ජීවිත කතාවකි. කිසාගෝතමි බෙහෙවින් සුන්දර කුමරියක්‌ වූවාය. ජීවිතයේ යථාර්ථය පිළිබඳව ඈ කිසිවක්‌ දැන සිටියේ නැත. ඈ දැනගෙන සිටි එකම දෙය සුකුමාර හෝ සුන්දර ලෞකික ජීවිතය ගැන පමණකි. පසුව ඈ විවාහ ජීවියට පිවිසුණාය. එයින් ඇයට කුඩා දරුවෙක්‌ ලැබිණි. ඒ සිඟිති දරුවා උපන් ඇසිල්ලෙහිම මියගියේය. ඒ මරණය කිසාගෝතමිය හීනයකින්වත් අපේක්‌ෂා නොකළ දෙයක්‌ විය. දරුවාට සිදුවූයේ කුමක්‌දැයි ඇය දැන නොසිටියාය. එහෙත් දරුවා තුළ කිසිදු හැල හොල්මනක්‌ නොවීය. සීතල වී ගිය ඔහුගේ ශරීරය හෙමින් හෙමින් ගල්ගැසෙමින් තිබිණි. වෙනදා තමා දෙස බලා සිඟිති සිනා සලන දරුවාට සිදුවී ඇත්තේ කුමක්‌ද? කිසාගෝතමියට අදහාගත නොහැකි විය. ඇය ඉකිගැසුවාය. කඳුළු සළා ඉකිබිඳ හැඬුවාය. සිඟිති දරුවා සුවපත් කර ගැන්මට ඈ දඹදිව සිටි බොහෝ ජීවකයන් වෙත ගියේය. ඔවුන් හැම කෙනෙක්‌ම කිසාගෝතමියට පැවැසුවේ දරුවා මියගොස්‌ ඇති බවය. ඒත් එය පිළිගැනීමට ඇය මැලිවූවාය. අවසානයේ බුද්ධිමත් මිනිසෙක්‌ ඇයව භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩවසන ඡේතවනාරාමයට පිටත් කර හැරියහ. කිසාගෝතමිය මරණය පිළිබඳව මෙන්ම සාංසාරික යථාර්ථයද එදා ඒ ඡේතවනාරාමයේදී සදාකාලයටම අවබෝධ කරගත්තාය.

 සාංසාරික ජීවිතය වෙත පැමිණෙන අනපේක්‌ෂිත මරණය කෙතෙක්‌ නම් ආකාරවලින් පැමිණෙනවාද? ඒ ආකාර බොහෝ විට දරුණුය. කටු මෙන්ම කටුකය. තියුණුය. සාහසිකය. වේදනා සහගතය. දිනක්‌ දඹදිව 'ආතුමා' නම් ග්‍රාමයේ කෙත් යායක්‌ අසල සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක්‌මන් කරමින් සිටියහ. එය වැහිබර කාලයක්‌ විය. ගොවීහු කෙත් යායෙහි සීසෑම, නියර බැඳීම ආදී විවිධ කටයුතුවල නිරතවී සිටියහ. එහෙත් එදින කෙත් යායෙහිම එක්‌ කෙතක මේ කටයුතුවල නිරත වෙමින් සිටියේ එක්‌ ගොවියකුත්, ගෙවිළියකත් පමණි. අඳුරු අහස තවමත් වැහි කඳුළු වගුරවමින් සිටියේය. මුළු පළාතම ලොකු කළුවරකින් වැසී තිබුණේය. තවත් මොහොතක්‌ වත් ගත වූවේ නැත. එක්‌වරම අහසින් ආ අකුණක්‌ අර කුඹුරේ වැඩ කරමින් සිටි ගොවි අඹුසැමි යුවළගේ ශරීර මත වැදිණි. ඔවුහු එතැනම මැරී ඇද වැටුණහ. ඔවුන් පමණක්‌ නොව ඒ අසල සිටි ඔවුන්ගේ හරක්‌ බානද දැවී මියගියහ. බලන්න අපේක්‌ෂා නොකළ මරණයක හැටිෘ මේ වූ දුක්‌ඛදායක මරණයන් පිළිබඳ අදත් ඔබට කොයිතරම් නම් තොරතුරු අසන්නට ලැබෙනවාද? වෛරය, ක්‍රෝධය ආදී පාපී සිතුවිලිවලින් දූෂිත වූ සිත් ඇති මිනිසුන් පුපුරුවා හරින බෝම්බ පිළිබඳ තොරතුරු ඒවා අතර අහන්න ලැබෙන විරල තොරතුරුය. ඒ අවාසනාවන්ත තත්ත්වය නිසා අප්‍රමාණ මිනිසුන් මරණවලට ගොදුරු වන්නේ බලාපොරොත්තු නොවූ ආකාරවලට නොවේද? කෙසේ නමුත් මරණ දුක හා බැඳුණු දුක්‌ පිළිබඳ ඔබ තුළ ඇති දැනීම, වැටහීම බෙහෙවින්ම අල්පමාත්‍රය. නොගැඹුරුය. ඒ දැනීම වැටහීම ඉතා ගැඹුරු වූවේ නම් ඔබ අනෙකුත් සියලු වැඩකටයුතු නවතා දමා මරණ දුකින් අත මිදීමේ මග සොයා යනු ඇත. එහෙව් පටු මනසක්‌ ඇති ඔබට ජීවිතය අවසානය නැත්නම් මරණය සිදුවන ආකාර පිළිබඳව හෝ පැතුරුණු දැනුමක්‌ නැත. මඳක්‌ නතරවී ලෝකයේ හැම තැනකටම අවධානය යොමු කරන්න. ඒ ඒ තැන්වල ජීවත්වන මිනිසුන්ද ඇතුළු සතුන් කොතෙක්‌ නම් වූ ආකාරවලට මරණයට පත්වෙනවාද? ඒ හැම විධියක්‌ම බියකරුය. දුකින්, වේදනාවෙන් පිරී ඉතිරී පවතී. සංසාර ගමනට වැටී සිටින සෑම සත්වයකුම වැඩි වශයෙන් මරණයට පත්වන්නේ විවිධාකාර රෝගාබාධවලට ගොදුරුවීම තුළින්ය. එබඳු ලෙඩ දුක්‌වලට ගොදුරු වූ සත්ත්වයෝ මරණයට පත්වෙමින් සිටින්නෝය. මරණයට පත්වෙමින් සිටි සත්වයෝ මරණයට පත්වන අයට වඩා විශාල ප්‍රමාණයක්‌ දුක්‌ විඳිති. එනම් ඔවුන්ට මරණයට හෙමින් සූදානම් වෙන්න සිදුවී තිබෙන නිසාය. මරණයට හේතුවී ඇති ශාරීරික දුක්‌ ඒ අතර මූලිකවෙයි. බුදුපියාණන් වහන්සේ ධරමාන කාලයේ වැඩ සිටි එක්‌ භික්‌ෂුන් වහන්සේ නමක්‌ වූ පූතිගත්තතිස්‌ස තෙරුන් වහන්සේගේ කතාව මීට හොඳම උදාහරණයකි.

 සදාකාලයටම ලෝකයෙහි මේ දුක්‌ත ස්‌වභාවය පවතී. තවදුරටත් කිවහොත් මරණයට පත්වෙමින් සිටින අයට කිව නොහැකි තරමේ කායික හා මානසික දුක්‌ පීඩාවලට ලක්‌වීමට සිදුවෙයි. ඔබ කොතරම් තුරුණු ස්‌වභාවයක පසුවුවත් නිශ්චිත වශයෙන්ම අන්ත මහලු බවට පත්වන්නේය. එදාට රෝග නමැති අපමණක්‌ පක්‌ෂීන්ට ඔබගේ ශරීර කූඩුව කදිම කැදැල්ලක්‌ බවට පත්වේ. එහිදී ඔබේ ජීවිතය පමණක්‌ නොව ශරීරය පවා කිසිවකුටත් ප්‍රිය නොවේ. කන්දෙන් පටන් ගත් ගංගාව යළිදු කෙදිනක හෝ කන්ද වෙත ගමන් කරනවාද? කවරදාකවත්ම නැත. එය එසේ සිදු නොවේ. ඔබ ආදරයෙන් ඇති දැඩිකරන දරුවන්ගේ ස්‌වරූපයද එලෙසින්මය. ඔබේ සෑම සියලු කටයුත්තක්‌ම සිදුකර දෙන්නට ඔබේ දුක්‌තැවුල් නිවන්නට ඔබට අවශ්‍ය පරිදි ඔවුන්ද ඔබ ළඟ කවදාකවත් සිටින්නේ නැත. ඔවුන් දැනුම් තේරුම් ඇති වයස්‌වලට ආ පසු ඔවුන්ටද වෙනස්‌ නොයෙකුත් වූ ලෝක තිබේ. ඉන් පසුව ඔවුන් ජීවත්වන්නේ ඒවා තුළය. මේ නිසා මරණයට සූදානම් වෙමින් සිටින ඔබ තුළ විවිධ ගැටීම්ද හටගනී. ඒ ගැටීම්ද ඔබ ඇතිකර ගත් ඇලීම් හා බැඳීම්වල අප්‍රසන්න දුක්‌ තැවුල් නොවේද?

 මරණය හා බැඳුණු මෙබඳු අනේක විධ වූ තවත් පරිවාර දුක්‌ දොම්නස්‌ද පවතී. ප්‍රිය විප්‍රයෝග දුක්‌ ඒ දුක්‌ අතර බහුලව දක්‌නට ලැබෙන්නකි. මවුqපියෝ දරුවන් මියයාම නිසා දුක්‌වෙති. දරුවෝ දෙමවුපියන්ගේ මරණවලදී හඬා වැළපෙති. ස්‌වාමීහුද එලෙසය. බිරියන්ටද ස්‌වාමියන්ගේ මරණවලින් චිත්ත සංතානමය දැවීම් ඇතිවෙයි. එහෙත් හැම දෙයක්‌ම අවසානයේදී නැත්තටම නැතිවී යයි. ඒ හැම දෙයකම තිබෙන අනිත්‍ය ස්‌වභාවයයි. විදර්ශනාවෙන් සිදු කරන්නේ කුමක්‌ද? සිතින් හා කයින් පිළිබිඹු කරන මේ සියලු සංසාරික විපරිණාමයන් කෙරෙහි නිශ්චල හා ගැඹුරු අවධානය යොමු කරවීමයි. මෙහි ගැඹුරුතම ප්‍රතිඵලය වූ සමාධිය ඇතිවීමත් සමගම පෙරකී දුක්‌ තැවුල් ඔක්‌කෝම මනස පමණක්‌ම බව වැටහේ. කවදාවත් නොසිඳෙන උල්පතකින් ජලය ගලා එන්නාක්‌ මෙන් ඇවිත් ඇතිවන නැති වන නාම රූප සිතෙහි සමථය හා නිර්වාණය විමුක්‌තිය තියුණු ලෙස සඟවා තිබේ. එහෙයින් පින්වතුනි, බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් නිවන් සුවය ඇත්තේ ඔබගේ සිත් තුළමය. මේ මහා පොළොව පිළිබඳව මඳක්‌ සිතා බලන්න. එය පසින් හා වෙනත් පාෂාණවලින් පිරී තිබේ. ජලය තිබෙන්නේ ඒවා යම් ගැඹුරෙහිය. පස්‌, ගල්, කැණ විනාශ කර දැමීමෙන් ඒ පිවිතුරු ජලය ලබාගත හැකිය. එලෙසින්ම ඔබේ සිත් වසාගෙන තිබෙන කෙලෙස්‌ නමැති ඝන පාෂාණ තට්‌ටුද මුළුමනින්ම විනාශ කළ යුතුව ඇත. ඒ නිශ්චිත විනාශකිරීම අවසානයේදී සංසාර සාගරයෙන් එගොඩවූ අමාමහ නිර්වාණ ශාන්තිය ඔබට හමුවනු ඇත. ජීවිතය හා මරණය එහිලා ගැඹුරු විදර්ශනාවක්‌ කරගනු මැනවි.

සංවාද සටහන - සුගත් වීරසූරිය
උපුටා ගැනීම - divaina.com