සැබෑ මිතුරන් හදුනාගමු



සමාජයේ සිටිනා සාමාන්‍ය කෙනකුට තනිව ජීවත් විය නො හැකි ය. එම නිසා නෑදෑයන්, හිත – මිත්‍රයන් අසල්වාසීන් ආදී අන් අය ඇසුරු කිරීමට සිදු වේ. මෙසේ අන් අයකු ඇසුරුකරන විට ඔවුනොවුන් ගේ ගති - පැවතුම්, සිතුම් පැතුම්, ආකල්ප, චරිත ස්වභාවයන් ආදිය ඔවුනොවුන්ට බලපෑමක් කරන, එසේම ඒවාට තමනුත් ඇබ්බැහි වන, අවස්ථා එමට ඇත. මෙය යහපත් පැත්තට මෙන් ම අයහපත් පැත්තට ද සිදුවන අවස්ථා තිබේ.

පාප මිත්‍රයන් ගේ ඇසුර නිසා සමහර විට ශ්‍රද්ධා සම්පන්න අය අශ්‍රද්ධාවත් පුද්ගලයන් බවට පත් වෙති. සිල්වත් අය දුශ්ශීල වෙති. ගුණ ගරුක අය ගුණ හීන අය වෙති. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම වැනි කාය දුච්චරිතයන් ගෙන් ඈත් වූවෝ එවැනි කාය දුච්චරිත කරන්නන් බවට පත් වෙති. බොරු කේලාම් පරුස වචන , සම්පප්ප්‍රලාප වලින් වෙන් වූ අය, වචී දුච්චරිත කරන්නෝ වෙති. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය ආදියෙන් තොර පිරිසිදු මනසක් ඇති ව සිටින්නෝ මනෝ දුච්චරිත වලින් යුතු පුද්ගලයන් බවට පත් වෙති. සුරා - මත් ද්‍රව්‍ය, රේස් දැමීම වැනි සූදු වලින් ඈත්ව සිටින්නෝ ඒවාට ඇබ්බැහි වන්නන් බවට පත් වෙති.

ධර්මකාමී පුද්ගලයෝ ධර්මයෙන් ඈත් වෙති. දානාදී පුණ්‍ය කර්මයන් කරන්නෝ අකුශල් කරන පාපකාරී පුද්ගලයන් බවට පත් වෙති. සසර දුකින් මිදීමට කටයුතු කරන්නෝ ඉන් ඈත්ව සසරෙහි ම නැවත නැවත උපදවන සංස්කාරවල පැටළෙති.

“නිහීයති පුරිසෝ නිහීන සේවී” (අංගුත්තර නිකාය)
පාපකාරී පුද්ගලයන් ඇසුරු කරන්නා ද පාපකාරී පුද්ගලයකු බවට පත් වන බව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත.

එසේම ව්‍යග්ඝ පජ්ජ - උජ්ජය සිඟාල වැනි සූත්‍ර වල පාප මිත්‍ර ඇසුර අපාය මුඛයක්” ලෙසින් බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. අපාය මුඛ යනුවෙන් දැක්වෙන්නේ පාප මිත්‍ර ඇසුර යන හානියට පමුණුවන දොරටුවක් යන්නයි. පාප මිත්‍ර ආශ්‍රය නිසා අනර්ථයක් ම, අයහපතක් ම, අවැඩක් ම සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එමඟින් කෙනෙකුගේ මේ ලෝකාර්ථය ද විනාශ වන්නේ ය. පරලෝකාර්ථය ද නැසෙන්නේ ය. නිර්වාණ පරමාර්ථය ද නැති වන්නේ ය. පාප මිත්‍ර ඇසුර බොහෝ විට කුශල ධර්මයන්ට අන්තරාය පිණිස, ධම්මානුධම්ම ප්‍රතිපදාවන්ට අන්තරාය පිණිස සසර දුකින් මිදීමට අන්තරාය පිණිස පවතින අතර ම එය සසර දුකෙහි ගිල්වීමට ම බොහෝ විට හේතු වේ.මෙම නිසාම බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට තිබේ.

න භජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණෝ - භජේථ පුරිසුත්තමේ
(ධම්ම පදය - ගාථා 78)

පාප මිත්‍රයන් ඇසුරු නො කරන්න. අධම පුරුෂයන් ආශ්‍රය නො කරන්න. කලණ මිතුරන් උතුම් මිනිසුන් ආශ්‍රය කරන්න යනු ඉහත ගාථාවෙන් දැක්වෙන කෙටි අදහසය.

අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා..
(මහා මංගල සූත්‍රය )

මෝඩ පාපකාරී පුද්ගලයන් ඇසුරු නො කිරීමත්, පණ්ඩිත පුද්ගලයන් ඇසුරු කිරීමත් මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දැක් වේ.

චරං වේ නාධිගච්ජෙය්‍ය - සෙය්‍යං සදිසිමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා - නත්ථි බාලේ සහායකා
(ධම්මපද ගාථා 61)

තමාට සමාන හෝ තමාට වඩා උසස් අයකු ආශ්‍රය කිරීමට නැත්නම් පාප මිත්‍රයන් ආශ්‍රය කරනවාට වඩා තනිව හැසිරීම උතුම් බව එම ගාථාවෙන් දැක්වෙන සරල අදහස ය.

අද සමාජයේ සිටිනා බොහෝ අය කල්‍යාණ මිත්‍රයන් වශයෙන් සැලකිය හැකි අය නොවන නිසා, සමාජයෙන් කොන්වීම වළක්වා ගැනීම සඳහා පාපකාරී පුද්ගලයන් අතේ දුරින් තබා ගෙන ඇසුරු කළ හැකි ය. එහෙත් ඔවුන් ගේ අපිරිසිදු කාය කර්ම ආදිය කිසිසේත් ම තමා ළං නොකර ගත යුතු ය. එසේ ම ඔබගේ වචනය ඔවුන් අදහන්නේ නම්, ඔවුන් සුමගට ගැනීම ඔබට කළ හැකි නම්, එසේ කිරීම ඉතා අගනේ ය.

“යානි කානිචි භික්ඛවේ” භයානි උප්පජ්ජන්ති
සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නො පණ්ඩිතතෝ
ය් කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති, නො පණ්ඩිතෝ
(අංගුත්තර නිකාය)

යමකු ඇසුරු කිරීම නිසා යම්කිසි කරදරයක් දුකක් විපතක් බියක් උපදිනවා නම් ඒ සියල්ල ම උපදින්නේ බාල (මෝඩ) පාපකාරී පුද්ගලයන් නිසා ය. පණ්ඩිතකු ගේ ඇසුරෙන් එවැන්නක් සිදු නො වේ. ඉහත පාඨයේ සරල අදහස එය යි.මෙම නිසා පාප මිත්‍රයා කවරෙක් ද? කල්‍යාණ මිත්‍රයා කවරෙක් ද කියා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

පාප මිත්‍රයා හඳුනා ගන්නේ කෙසේද?

1.”තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ . කතමේහී තීහි? කාය දුච්චරිතේන, වචී දුච්චරිතේන, මනෝ දුච්චරිතේන” (අංගුත්තර නිකාය)

කරුණු තුනකින් සමන්නාගත බාලයා (මෝඩ, පාප මිතුරා) දත යුතු ය. ඒ කවර තුනකින්ද? කාය දුශ්චරිතයෙන් , වචී දුශ්චරිතයෙන් හා මනෝ දුශ්චරිතයෙනි.

2. “තීභි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. කතමේහී තීහි? අයෝනිසෝ පඤ්හං කත්තා හෝති, අයෝනිසෝ පඤ්හං විස්සජ්ජේතා හෝති, පරස්ස ඛෝ පන යෝනිසෝ පඤ්හං විස්සජ්ජිතං නාබ්භනුමෝදිතා හෝති”

බාලයා දත හැකි කරුණු 3 කි. නුවණින් මෝඩ කමින් ප්‍රශ්න අසයි. එසේම මෝඩ විධියට ප්‍රශ්න විසඳයි. අන් අය නුවණින් විසඳන ලද ප්‍රශ්න සතුටින් නො පිළිගනී. (අංගුත්තර නිකාය)

3. “තීණිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි, බාල නිමිත්තානි, බාල අපදානානි, කතමානි තීණි ? ඉධ භික්ඛවේ බාලෝ දුච්චින්තිච චීන්තීච හෝතී, දුබ්භාසිත භාසී, දුක්කත කම්මකාරී.”

බාලයකුගේ ලක්ෂණ නිමිති, චරිත 3 ක් ඇත. එනම් බාලයා නපුරු සිතිවිලි සිතයි. නපුරු බස් කියයි. නපුරු ක්‍රියා කරයි. (අංගුත්තර නිකාය)

මෙලෙසින් පාප මිත්‍රයා හඳුනා ගත හැකි වුවත්, අද සමාජයේ සිටින කුශල් නො කරන, අය කුශල් කිරීමෙන් වළක්වා ලනු ලබන, අකුසල් කරන, අන් අය අකුශල් කිරීමට පොළඹවන , සුරා සූදුවෙහි නියැලුණ, ස්ත්‍රී ධූර්ත ආදීන්, එවැනි ම පාපකාරී පුද්ගලයන් සලකන්නේ ඔවුන් තමාගේ කල්‍යාණ මිත්‍රයන් ලෙස ය.

කෙනෙකු ඇසුරු කිරීම නිසා ඔබ ගේ ශ්‍රද්ධාව අඩු වනවා නම් හෝ නැති වී නවා නම් ඔහු කලණ මිතුරකු වශයෙන් සැලකීම නුසුදුසු ය. ඔබගේ ශීල ගුණය පිරිහීමකට පත්වෙනවා නම් හෝ නැති වී යනවා නම්, ඔබගේ පරිත්‍යාගශීලී භාවය, ඔබගේ ප්‍රඥාව , ඔබගේ ධර්මය බහුශ්‍රැත භාවය අඩුවීමකට හෝ නැති වීමකට පත් වනවා නම් එවැන්නන් ගේ ඇසුර පාපමිත්‍ර සේවනයක් සේ සැලකිය යුතු ය.

මිත්‍ර ප්‍රතිරූපකයන්

මිත්‍ර වේශයෙන් එන පාපකාරී මිත්‍රයන් හෙවත් මිත්‍ර ප්‍රතිරූපකයන් හඳුනා ගෙන සිටීම ද ඉතා වැදගත් ය. මිතුරු වෙසින් පැමිණෙන එවැනි අමිත්‍රයන් 4 දෙනකු සිටිනා බව සිගාලක සූත්‍රයේ (දීඝ නිකාය) බුදුරජාණන් වහන්සේ දක්වා ඇත.

“චත්තාරෝ මේ ගහපතිපුත්ත අමිත්තා මිත්තපතිරූපකා වේදිතබ්බා
අඤ්ඤදත්ථුහරෝ අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ
වචීපරමෝ අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ
අනුප්පියභාණී අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ
අපාය සහායෝ අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ

1. අඤ්ඤදත්ථු හර මිත්‍ර ප්‍රතිරූපකයා

- මිතුරා ගෙන් කුමක් හෝ හැර ගෙන යාමට ම සිතන්නා.
- මිතුරාට සුළු දෙයක් දී බොහෝ දේ බලාපොරොත්තු වන්නා
- තමාට කරදරයක් වූ විට පමණක් ආශ්‍රය කිරීමට එන්නා.
- තමන්ගේ ම ප්‍රයෝජනය සඳහා පමණක් ම ඇසුරු කරන්නා.

2. වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයා

- යම් උදව්වක් ඉල්ලන විට ඉස්සර ඉල්ලුවා නම් දෙන්නට තිබුණා කියා අතීතයෙන් සංග්‍රහ කරන්නා.
- තව ටික කලකින් නම් කරන්නට තිබුණා. දැන් නම් හරි අමාරුයි කියා අනාගතයෙන් සංග්‍රහ කරන්නා.
- නිරර්ථක හිස් වචන වලින් පමණක් සංග්‍රහ කරන්නා.
- වර්තමාන ක්‍රියාවන්හි වැරැදි ව්‍යසන ආදිය පමණක් දක්වන්නා.

3. අනුප්පියභාණී මිත්‍ර ප්‍රතිරූපකයා

- තමා පවක් කළත් එය හොඳ යැයි කියන්නා
– තමා පිනක් කළත් එය හොඳ යැයි කියමින් පවටත් පිනටත් දෙකට ම හොඳ කියන්නා.
- ඉදිරියේදී ගුණ කියන, නැති තැන අගුන කියන්නා.

4. අපාය සහාය මිත්‍ර ප්‍රතිරූපකයා

- රහ මෙර පානය සඳහා යහළු වන්නා
- නො කල්හි වීථි සංචාරයෙහි යෙදීම පිණිස යහළුවන්නා
- නැටුම්, ගැයුම් බැලීමට යාම සඳහා යහළු වන්නා.
- දූ කෙළියෙහි යෙදීමට යහළු වන්නා

5. අනගාරික පාප මිත්‍රයන්

 ගිහි පාප මිත්‍රයන් සේ ම, පැවිදි වූ පාප මිත්‍රයන් ද හඳුනා ගැනීම සුදුසු වේ.

“පඤ්චහි භික්ඛවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛුමිත්තෝ න සේවිතබ්බො , කතමෙහි පඤ්චහි? කම්මන්තං කාරේති..”

අංග 5 කින් යුතු පැවිදි අමිත්‍රයා සේවනය නො කළ යතු ය.

1. භික්‍ෂූන් ට අයෝග්‍ය විවිධ ගිහියන් කරන කටයුතු වල යෙදෙන
2. සංඝයා අතර කලහ විවාද අධිකරණ ඇති කරවන
3. විනය ගරුක භික්‍ෂූන් ට විරුද්ධ වන
4. නිතර දීර්ඝ චාරිකාවන් හි යෙදෙන
5. කලින් කල සුදුසු පරිදි දහම් දෙසා තමා වෙත එන අයට - යහපතක් කිරීමට අපොහොසත් වනඅය සේවනය නො කළ යුතු බව අංගුත්තර නිපාතයේ “භික්ඛුමිත්ත සත්‍රයේ” දැක්වේ.

යම් පැවිදි කෙනෙකු ඇසුරු කිරීමෙන් මෙලොව යහපත, පරලොව යහපත, නිර්මාණ යහපත සළසා ගැනීමට අනුග්‍රහයක් ලැබෙනවා වෙනුවට, යම් යම් දේ සම්බන්ධව තමා තුළ නැති ලෝභය පවා දියුණු වනවා නම්, නැති ද්වේශය පවා වැඩිවනවා නම්, “මම” මගේ ආදී මමායනික හැඟී සිත තුළ කා වැදී යනවා නම්, සසර දිග්ගැස්සීමට හේතු වන කරුණු සැලසේ නම්, එවැන්නකු අනගාරික කළණ මිතුරකු ලෙස සැලකිය හැකිදැ’යි ඥානාන්විතව සිතා බැලීම ප්‍රඥාගෝචර ය.

කල්‍යාණ මිත්‍රයකු හඳුනා ගන්නේ කෙසේ ද?

දැන් අපි කල්‍යාණ මිත්‍රයකු හඳුනා ගන්නේ කෙසේදැ’යි බලමු.

කල්‍යාණ සත්පුරිස පුද්ගලයා “සුචිත්තික චින්තීච හෝති සුභාසිත භාසී, සුක්ත කම්මකාරී "යහපත් සිතුවිලි සිතයි. යහපත් වදන් කියයි, යහපත් ක්‍රියා සිදු කරයි.කල්‍යාණ සත්පුරිස පුද්ගලයා “කාය සුචරිතේන සමන්නාගතෝ හෝ,ති වචී සුචරිතේන, මනෝ සුචරිතේන" කාය සුචරිතයෙහි යෙදෙයි. වචී සුචරිතයෙන් යුතු වෙයි මනෝ සුචරිතයෙන් සමන්නාගත වෙයි.

යම් අයකු ඇසුරු කිරීමෙන් තමා තුල නැති ශ්‍රද්ධාව ඇති වේ නම්, තිබෙන ශ්‍රද්ධාව වැඩි දියුණු වේ නම්, මෙලෙසින් ම තමා තුළ නැති ශිලය, පරිත්‍යාගශීලී භාවය, ධර්මශ්‍රැත භාවය, ප්‍රඥාව ඇති වේ නම් හා තමා තුළ ඇති එම යහපත් ගුණ ධර්ම තව තවත් වැඩේ නම් ඔහු සැබැවින් ම කල්‍යාණ මිත්‍රයෙකි.

“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථියිදං භික්ඛවේ කල්‍යාණමිත්තතා.”

මහණෙනි, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තරම් උපන් අකුසල් පිරිහී යන, නූපන් කුසල ධර්ම උපදින වෙනත් එකම ධර්මයක්වක් මම නො දකිමි.

මහණෙනි කලණ මිතුරන් ඇත්තාහට නූපන්නා වූ ද කුශල ධර්මයො උපදිත්, උපන්නාවූ ද අකුශල ධර්මයෝ පිරිහෙත් (අංගුත්තර නිකාය) “කල්‍යාණමිත්තා භික්ඛවේ මහතෝ අත්ථාය සංවත්තති” මහණෙනි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මහත් අර්ථය පිණිස පවතී. (අංගුත්තර නිකාය)

මෙවැනි මහත් අර්ථ සිද්ධියක් සළසා දෙනු ලබන,, මෙලොව යහපත, පරලොව යහපත, නිර්වාණ ශාන්තිය ලබා දීමට උපකාර වන කල්‍යාණ මිත්‍රයන් 4 දෙනෙකු ගැන සිගාලක සූත්‍රයේ කරුණු දැක්වේ.

චත්තාරෝ “මේ ගහපතිපුත්ත මිත්තා සුහදා වේදිතබ්බා

1. උපකාරෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ
2. සමානසුඛදුක්ඛෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ
3. අනුකම්පකෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ
4. අත්ථක්ඛායි මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ

උපකාරක මිත්‍රයා

- බීමත් වී වැටී සිටින වැනි කරදරයකට පත් වී සිටිනා මිතුරා රැක ගනී.
- මිතුරා ගේ ධනය ආරක්ෂා කරයි.
– බියට පත් මිත්‍රයාට පිහිට වෙයි.
- අවශ්‍ය කටයුත්තකදී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උදව් උපකාර කරයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා

-මිතුරාට රහස් නො සඟවයි
- මිතුරාගේ රහස් අන් අයට නො කියයි
- විපතක දී අත් නො හරියි
- මිතුරා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා වුව ද කටයුතු කරයි.

අනුකම්පක මිත්‍රයා

–මිතුරාගේ විපතක්, පිරිහීමක් වූ කල, ඒ ගැන සංවේගයට පත් වෙයි. ඒ සඳහා කළ හැකි සෑම උපකාරයක් ම කරයි.
- මිතුරාගේ දියුණුවේ දී අවංකව ම සතුටු වෙයි
– මිතුරාගේ අගුණ කියන විට එය වළක්වාලයි. ඔහුගේ ගුණ කියා මිතුරා ගේ කීර්තිය රැක දෙයි.
– මිතුරා ගේ ගුණ කියන අයට ප්‍රශංසා කරයි

අත්ථක්ඛායි මිත්‍රයා

– මිත්‍රයා පවින්, අපරාධ වලින් දුච්චරිත වලින් වළක්වයි
- මිතුරා පුණ්‍ය ක්‍රියාවල යොදවයි.
– නොදත්, අසා නැති ධර්මය ඇසීමට සළස්වයි
– සුගතිගාමී මාර්ගය, නිර්වාණ මාර්ගය කියා දෙයි

අනගාරික කල්‍යාණ මිත්‍රයා

ගිහි කල්‍යාණ මිත්‍රයන් මෙන් ම, පැවිදි වූ කල්‍යාණ මිත්‍රයන් සේ සැලකිය යුතු අය ද සිටිති. මෙම අනගාරික කල්‍යාණ මිත්‍රයා බොහෝ විට අත්ථක්ඛායී මිත්‍රයකු ලෙස සැලකිය හැකි ය.

“පියෝ ච ගරු භාවනීයෝ
වත්තාච වචනක්ඛමෝ
ගම්භීරංච කථං කත්තා
නො වට්ඨානේ නියෝජයේ”

අනගාරික කල්‍යාණ මිත්‍රයකු තුළ පවත්නා ලක්ෂණ එම ගාථාවෙන් දැක් වේ. පි‍්‍රය වූ, මනාප වූ, ගරු භාවනීය වූ” ඉවසන සුළු වූ, ගම්භීර දහම් කරුණු කියා දෙන්නා වූ, අයහපතෙහි නො යෙදවනනා වූ පැවිදි කල්‍යාණ මිත්‍රයා. ඔහු ඇසුරු කරන අය අධිශීලයෙහි පිහිටුවා ලීමට උපකාර කරයි. අධි චිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටුවාලීමට උපකාර කරයි. සතර සතිපට්ඨාන ධර්මයන්හි යොදවාලයි. සතර සම්මප්පධාන ධර්මයන්හි යොදවාලයි. සතර සෘද්ධිපාද ධර්මයන්හි, පංච ඉන්ද්‍රිය ධර්මයන්හි පංච බල ධර්මයන්හි සත්ත බොජ්ජංග ධර්මයන්හි ආර්ය අෂ්ඨාංගික මාර්ගයන්හි යොදවා ලනු ලබයි.

මේ ලෝකාර්ථය සඳහා කරුණු පෙන්වා දෙයි. පරලොව යහපත පරලෝකාර්ථය සඳහා කරුණු කියා දෙයි. සමථ භාවනාවන්හි යොදවාලයි. විදර්ශනා භාවනාවන්හි යොදවාලනු ලබයි. සංසාර විමුක්තිය සඳහා අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දෙයි.

සියලුම සංස්කාර අනිත්‍ය බව දුක් බව, සියළුම ධර්මයන් අනාත්ම බව පැහැදිලි කර දෙයි. පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතු - ඵල ධර්මයන් විස්තර කර දෙයි. දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය , දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය අවබෝධ කරවාලනු ලබයි.
කාම , භව, දිට්ඨි, අවිජ්ජා ආදී ආශ්‍රව ධර්ම ඒවායේ සමුදය ඒවායේ නිරෝධය, ඒවා නිරුද්ධ කිරීමේ මාර්ගය පෙන්වා දෙයි.

දුක පිරිසිඳ දත යුතු ය. සමුදය වූ තණ්හා අවිජ්ජා පහකළ යුතු ය. විජ්ජා, විමුක්ති හා නිර්වාණය ක්‍ෂාත්සාත් කළ යුතු ය. සමථ විදර්ශනා ආදී මේ මේ ධර්මයෝ වැඩිය යුතුය ය. කියා ඒවා පෙන්නුම් කර දෙයි.

පඤ්චූපාදානක්ඛන්ධ , ඡ ධාතු, ඡ ඵස්සායතන, නාම රූප ආදී ධර්මයන්, ඒවායේ සමුදය, නිරෝධ, නිරෝධ ගාමිණී පටිපදාව ඒවායේ ආශ්වාදය, ආදීනවය. ඒවා කෙරෙහි පවත්නා ඇලීම , බැදීම අයින් කර ගැනීම නම් වූ නිස්සරණය පැහැදිලිව අවබෝධ කරවාලනු ලබයි.සසරෙහි රැදී සිටීමේ භයානක කම, සසරෙහි රැඳී සිටීමේ ආදීනව ය සංස්කාර කෙරෙහි කළකිරිය යුතු බව, සංස්කාර කෙරෙහි විරාගය ඇතිකර ගත යුතු බව සංස්කාර කෙරෙහි පවත්නා උපාදානය අත්හළ යුතු බව පෙන්වා දෙයි.

ශීල ආදී සත්ත විසුද්ධීන් අනිත්‍ය ආදී අනුපස්සනාවන්, උදයව්‍යයාදී විදර්ශනා ඥාන, කාමරාග ආදී සංයෝජන ධර්මයන් නැති කර ගැනීම්, ධ්‍යාන - මාර්ග - ඵල වැනි ධර්මයන් ලබා ගැනීම් ආදිය ගැන දතයුතු කරුණු අවබෝධ කරවා දෙයි. සසර දුකින් මුදවාලනු ලබයි . මෙම නිසා ම මුළු බුද්ධ ශාසනයම රඳා පවත්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත බව බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ඉහළ ම කල්‍යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ය. අද කාලයේ නම් රහත් හෝ වෙනත් මාර්ග – ඵල ලාභී ආර්යයන් ඉහළ ම කල්‍යාණ මිත්‍රයන් වේ. මෙවැන්නකු නො මැති නම් ශීල ආදී ගුණ සම්පන්න, සසර දුකින් මිදීමට අවංකවම උත්සාහ ගන්නා, ඒ සඳහා අවශ්‍ය ධර්ම කරුණු කියා දිය හැකි ධර්ම බහුශ්‍රැත භාවයකින් හෙබි අයකු කළණ මිතුරකු ලෙස සැළකිය හැකි ය.

“චත්තාරෝමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපත්ති සකදාගාමී අනාගාමී අරහත්ත ඵල සච්ඡිකිරියාය සංවත්තන්ති, කතමේ චත්තාරො සප්පුරිස සංසේවෝ, සද්ධම්ම සවනං යෝනි සෝමනසිකාරෝ, ධම්මානුධම්මපටිපත්ති “ (සංයුත්ත නිකාය – පළමුවන දෙවන තුන්වන හා හතරවන ඵල සූත්‍ර)

මහණෙනි මේ ධර්ම 4 වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් සෝවාන් සකෘදාගාමී – අනාගාමී - අරහත් ඵල සාක්‍ෂාත් කළ හැකි ය. ඒ කරුණු හතර කුමක් ද?

1. කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ සංසේවනය
2. සද්ධර්මය ඇසීම
3. නුවණින් මෙනෙහි කිරීම
4. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම

නිර්වාණය අවබෝධ කිරීම සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය කෙතරම් අවශ්‍ය ද යන කරුණ ඔබට දැන් අවබෝධ වනු ඇත.මෙම නිසා ම බෞද්ධයෝ මෙසේ ප්‍රාර්ථනය කිරීමට පුරුදු වී සිටිති.

“ඉමිනා පුඤ්ඤ කම්මේන – මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු – යාව නිබ්බාණ පත්තියා

මෙම පුණ්‍ය කර්මයේ බලයෙන්, නිවන් දක්නා තුරු ම බාල මෝඩ පාප මිත්‍ර ඇසුරක් නො ලැබේවා කල්‍යාණ මිත්‍ර සේවනය ම ලැබේවා.

කම්මට්ඨානාචාර්ය
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

Post a Comment

0 Comments