අභාවයට යන සැබෑ ගුප්ත විද්‍යාව

නවීන විද්‍යාව යනු කුමක්‌දැයි විමසුවහොත් එයට පහසුවෙන් පිළිතුරක්‌ ලබාගත හැක. ජීව රසායන, භෞතික විද්‍යාවන්ගෙන් එය සකස්‌ වී ඇත. එය පිළිබඳව ඕනෑතරම් තොරතුරු හා දැනුම ලබාගත හැකිය. එහෙත් ගුප්ත විද්‍යාව කුමක්‌දැයි පැහැදිලි කර ගැනීම ඉතා අපහසු කාර්යයකි. ගුප්තවේදීන් ලෙස කටයුතු කරන අයවත් මේ පිළිබඳව හරිහැටි විග්‍රහයක්‌ ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙති.

අප විසින් ගුප්ත විද්‍යාවන් ලෙසට හඳුන්වන ජ්‍යෙතිෂ, යන්ත්‍ර, මන්ත්‍ර, සෙත්කවි, වස්‌කවි හා අධිමානසික ක්‍රියාවන් සියල්ලම චාතුර්වේදය පාදක කරගෙන ඇති වූ ඒවාය. සෘග්, යජුර්, සාම, අථර්වන් වේදයට අදාළ කරුණු මැනවින් හදාරන ලද බමුණකු හැඳින්වෙන්නේ තේවි-ජක බ්‍රාහ්මණයකු ලෙසටය. වේදය ගොඩනැඟූ අට්‌ඨක, වාමක, වාමදේව, අංගීරස, වෙස්‌සාමිත්ත, යමතග්ගි, භාරද්වාජ, වාසෙට්‌ඨ, කාශ්‍යප, භෘගු ආදී සෘෂිවරු මේ ගුප්ත විද්‍යාවන්ගේ නිර්මාපකයන් වෙති. වේදය නිර්මාණය කළ මේ සෘෂිවරු පවා ගුප්ත විද්‍යාවේ ගැඹුරුම දැනුම ලබා නොසිටියහ. බුදුදහම ගුප්ත විද්‍යාවත් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යා ලෙසට දක්‌වා ඇත. පුබ්බේනිවාසානුස්‌සති, දිබ්බචක්‌ඛු හා ආසවක්‌ඛය ඥන වශයෙන් ත්‍රිවිද්‍යාවද ඉද්ධිවිධ, දිබ්බ සෝත, පරචිත්තවිජානන, ආසවක්‌ඛය හා විපස්‌සනාඥන, මනෝමය ඉද්ධිඥාන එක්‌කොට අෂ්ට විද්‍යාවද පෙන්වා තිබේ. අප විසින් ගුප්ත විද්‍යාව භාවිත කර අපහසුවෙන් ලබාගන්නා දේවල් මෙම විද්‍යාවන් ප්‍රගුණ කළ උතුමකුට ක්‍ෂණයකින් ලබා දිය හැක. මේ නිසා ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්‌ චරණ ධර්මයෙන් යුක්‌ත වූ උතුමකු මිනිසුන් අතර පමණක්‌ නොව දෙව් බඹුන් අතර පවා ශේ්‍රෂ්ඨත්වයට පත්වන බව ඝනංකුමාර බ්‍රහ්මයා බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව ගුප්ත විද්‍යා ඥනය බොහෝ දෙනා සිතන ආකාරයේ සරල සැහැල්ලු දෙයක්‌ නොවේ. ප්‍රබල ගුප්තවේදියකු වීමට නම් අඩු තරමේ පංචාභිඥ අෂ්ට සමාපත්ති ලාභියකු විය යුතුය. එහෙත් ගුප්ත විද්‍යා කටයුතුවල නිරතව සිටින්නේ සෘෂි භාෂිනයන් තුළින් යම් යම් ගුප්ත විද්‍යා දැනුම ලබාගත් සාමාන්‍ය පුද්ගලයන් පිරිසකි. එම දැනුම පවා පරිපූර්ණ වශයෙන් ලබා නොගන්නා නිසා ගුප්ත විද්‍යාවත් මේ වනවිට ශීඝ්‍ර පරිහානියකට ලක්‌වෙමින් තිබේ. බුද්ධ කාලයේදී පවා විවිධ ගුප්ත විද්‍යාවන් භාවිතා වී ඇති බව ත්‍රිපිටකයේ ඇති තොරතුරුවලින් අනාවරණය වේ. ඒවා තිරශ්චීන විද්‍යාවන් ලෙසට දක්‌වා තිබෙන්නේ මිථ්‍යා ප්‍රලාප වූ නිසා නොවේ. උපසපන් භික්‍ෂුවකට නිවන් මග අවහිර කරන බැවිනි. සාමාන්‍ය ජනතාව ඒවා භාවිතා නොකළ යුතු බවක්‌ සඳහන් ව නැත. බුද්ධ කාලයේදී එක්‌ භික්‍ෂුනමකට අමනුෂ්‍ය බාධකයක්‌ වැළඳුනි. ආචාර්යයන් වහන්සේලාට එය සුවකළ නොහැකි විය. ඒ භික්‍ෂුqව අමනුෂ්‍ය වේශයෙන් ඌරෙක්‌ මරණ තැනකට ගොස්‌ අමු මස්‌ කා ලේ බීමෙන් ආබාධය සුව විය. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්‌ථාවල එසේ කිරීම සුදුසු බව අනුදැන වදාළහ. එය සමන්ත පාසාදිකාවේ සඳහන්ව ඇත. මෙවැනි යකුන් වැහුන විට යකැදුරන් පිටියෙන් හෝ මැටියෙන් යක්‌රුව තනා අත් පා සිඳින බවත් හිස සිඳලූවොත් යක්‍ෂයා මැරෙන බවත් එහිම සඳහන් වේ. එය යක්‍ෂ මාරණය නමින් හැඳින්වේ. අමනුෂ්‍යයන් වැහුන අයට තල්පතක්‌ හෝ පිරිත් නූලක්‌ අතෙහි හෝ පයෙහි බැඳ පිරිත් දේශනා කළ යුතු බව සමන්ත පාසාදිකාව කියයි. අථර්වන් වේදයේ ඇතුළත් මන්ත්‍ර විද්‍යාව උගත් අය සොහොන් ආදියට ගොස්‌ මන්ත්‍ර ජප කර සංග්‍රාම එළෙඹි කළ සතුරන්ට නොයෙක්‌ විපත් ඇති කර ඔවුන් වනසා දමන බවත් ගන්ධාර විද්‍යාවන් උපයෝගී කරගෙන මන්ත්‍ර ජපකර මිනිසුන් මරා දමන බවත් සමන්ත පාසාදිකාව තවදුරටත් ප්‍රකාශ කරයි.

අතීතයේ ගුප්ත විද්‍යාවන් ඉතා ප්‍රබල තත්ත්වයක තිබුණ බව මෙම විස්‌තරවලින් පැහැදිලි වේ. තමා නොපෙනී සිටිමින් සතුරන් වැනසිය හැකි මන්ත්‍ර රාවනා විසින් භාවිත කර ඇත. රෝග සුව කිරීම්. විෂ බැඳීම් හා කැපීම්, සොරුන් ඇල්ලීම හා බරපතළ දඬුවම් පැමිණවීම්, යකුන් ප්‍රේතයන් බැඳගෙන වැඩ ගැනීම්, වින කිරීම් හා කැපීම් බෙර රබන් පැලීම්, ආසනවලට අලවා තැබීම්, අංගම්, තාලම්, ඉරිරෙට්‌ටු, පිල්ලි යෑවීම්. බන්ධන, තීන්දු කැපීම්, ඉරි පැන්නුම්, රූප කටු ගැසීම්, පැතලි ගිනියම්, බෝල හිම්මර බැඳීම්, භූමි පාලු, ග්‍රහ ශාන්ති, ග්‍රහ බලි, තොවිල්. අංජනම් වැනි විවිධ මන්ත්‍ර ශාස්‌ත්‍රීය ක්‍රම අප රටේ පැවතුනි. එසේම ජප කර පැළඳීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන මහා මාතාංගේශ්වරී ආඝෝර, නීල මණ්‌ඩල, නව නාථ, නාගාර්ජුන, නාරසිංහ, චින්තාමනී, ලක්‍ෂ්මී, මහා සංකල්ප, ආදී යන්ත්‍ර සමූහයක්‌ද තිබිණි.

ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් ද අපගේ මුතුන් මිත්තන් සතුව විශාල දැනුම් සම්භාරයක්‌ පැවතුණි. සියලු ගණිතකර්ම තමන් විසින්ම කර ගනිමින් මුද්‍රිත පංචාංග ලිsත් නොමැතිව නිවැරැදිව ජ්‍යෙතිෂ කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව තිබිණි. ඒ සඳහා භාවිත කළ ජ්‍යෙතිෂ සිද්ධාන්ත ග්‍රන්ථ අද සොයා ගැනීමටද ඉතා අපහසුව ඇත. ශේෂව ඇති සූර්ය සිද්ධාන්තය වැනි ග්‍රන්ථ ද අතිශය දුර්ලභ වී ඇත. පලාඵල කථනය සඳහා ගුරු කෙට ගත හැකි පොත පත ඇත්තේම නැති තරම්ය. ඒ නිසා හොඳ ගුරුපදේශ නොමැතිකමින් පලාඵල කීම තම තමන්ගේ හිතූ මනාපයට කරන නිසා කේන්ද්‍ර බැලීම ගුණාත්මක අතින් පරිහානියටම පත්ව තිබේ. එකම කේන්ද්‍රයට හතරදෙනකුගේ පලාඵල හතර විධියකි. එවිට එහි කිසිම ශාස්‌ත්‍රීය බවක්‌ ඇති නොවේ. ඒ තරමට අද ජ්‍යෙතිෂය පිරිහී තිබේ. මේ තත්ත්වය අනෙකුත් ගුප්ත විද්‍යාවන්ටද එකසේ බලපා ඇත. මන්ත්‍ර ශාස්‌ත්‍රය, වාස්‌තු විද්‍යාව වස්‌කවි, සෙත්කවි ආදී හැම එකක්‌ම කරගෙන යන නමුත් ඒවායේ ප්‍රතිඵල බිංදුවට බැස තිබේ. එයට හේතුව සැබෑ ශාස්‌ත්‍රීය ක්‍රම භාවිත නොකිරීමයි. වර්තමානයේ මන්ත්‍ර ශාස්‌ත්‍රය අන්තයටම පිරිහී තිබේ. මන්ත්‍රවේදීන් ලෙස කටයුතු කරන බොහෝ දෙනාට එහි මූලික දැනුමවත් නැත. යකැදුරකු විසින් කරන මූලික කාර්යය තෙල් මැතිරීම හා නූල් බැඳීමයි. වත්මන් ඇදුරෝ ඒ ගැන කිසිවක්‌ නොදනිති. විවිධ රෝගාබාධයන් සඳහා කරන ප්‍රාථමික ප්‍රතිකර්මයක්‌ වූ මෙය අතීත ජන සමාජයේ සුලභව භාවිත වූ අතර ප්‍රතිඵල ද ඉතා සාර්ථක විය. ඒ තුළින් ජනතාවට සහනයක්‌ ලැබිණි. ඕනෑම අසනීපයක්‌ ආරම්භයේදි කට්‌ටඩි මහතකු විසින් කෙරුණ මෙම ශාන්තිකර්මය නිසාම බොහෝ අසනීප දුර දිග නොගොස්‌ සනීප විය. එය මානසික ක්‍රියාවකැයි කවුරු කීවත් අතීත සමාජය වත්මන් සමාජයට වඩා නිරෝගී ශක්‌ති සම්පන්න එකක්‌ බවට පත් වූයේ අඩුවෙන් බෙහෙත් ගෙන පහසුවෙන් ලෙඩ සනීප කර ගැනීමට මෙවැනි ක්‍රම යොදාගත් නිසාය. දැන් ගම් ප්‍රදේශවලින් පවා මෙම ගති සිරිත් අතුරුදන් වී ගොසිනි. ඒ සමගම රටේ සිටින රෝගීන්ගේ සංඛ්‍යාව ද අසීමිත ලෙස ඉහළ ගොස්‌ ඇත. බෙහෙත්වලට දැවැන්ත විදේශ විනිමයක්‌ වැය වේ. මේ තත්ත්වය දැන් බරපතල ගැටලු රැසකට හේතු වී ඇත.

මන්ත්‍ර ශාස්‌ත්‍රයට අනුව ගුප්ත බලපෑම් නිසා හට ගන්නා රෝග හා ඒවාට කළ යුතු මන්ත්‍ර කර්මයක්‌ දැක්‌වෙන භූත චිකිත්සාවක්‌ තිබේ. ඇදුරන් එය දැන සිටිය යුතුය. ආයුර්වේදයට අනුව වා, පිත්, සෙම් යන තුන්දොස්‌ නරක්‌වීමෙන් හට ගන්නා නානාවිධ ශාරීරික රෝග ලක්‍ෂණ පිරික්‌සා බලා එම තුන් දොසට අධිපති යක්‍ෂයන් උදෙසා යන්ත්‍ර මන්ත්‍ර බලි බිලි පුද පූජා පවත්වා එකී රෝග සුව කර ගැනීමට අදාළ විස්‌තර භූත චිකිත්සාවේ දැක්‌වේ. එසේ හඳුනාගත නොහැකි රෝග ඇදුරා විසින් බතක්‌ පිස බැලීමෙන් හා වෙනත් උපක්‍රමවලින් සොයාගන්නා ලදී. 

මේවාට අනුව මහසෝනා වාතයට ද රීරි යකා ලෙයට හා පිතට ද සන්නියකා සෙමට ද සූනියම් යකා තුන් දොසටම ද කලු යකා හෝමෝන රෝගවලටද අධිපති විය. පවතින අසනීපයේ ප්‍රමාණයට අනුව තෙල් මැතිරීම, නූල් බැඳීම දෙහි කැපීම, පිදේනි දීම හෝ තොවිලයක්‌ නැටීමට තීරණය විය. මේ වටා මන්ත්‍ර, සැහැලි, යාදිනි, කන්නලව්, නැටුම්, බෙරපද හා පෙළපාලි රැසක්‌ සහිතව ක්‍රමානුකූල ශාස්‌ත්‍රයක්‌ ගොඩනැගී තිබිණි. දැනුමේ ප්‍රමාණය අනුව විශේෂඥ මන්ත්‍ර ශාස්‌ත්‍රඥයන් සිටියහ. අද මේ කිසිවක්‌ අප අතර නැත. රෝග සුව කිරීමට අපි අද කරන්නේ බටහිර බෙහෙතකට නැඹුරු වීමයි. එහෙත් වෛරස්‌ ආසාදන හේතුකරගෙන කුමන අසනීපයක්‌ ඇති වුණත් එයට බෙහෙත් නැත. ඒවා අමනුෂ්‍ය උපද්‍රවයෙන් හටගත් සේ නොසැලකුවත් බේත් නැති නිසා ඉබේ සනීප වන තෙක්‌ බලා සිටිය යුතුය. සනීප නොවී නම් මිය යා යුතුය. ආයුර්වේදය බේතින් සුව නොවන අසනීප සඳහා ශාන්තිකර්ම අනුමත කර ඇත. මේ නිසා අප රටේ ඉහළ මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ද සහිත තොවිල් කීපයක්‌ම පැවතුණි. මහසෝන් සමයම කූටක ඉරමුදුන් සමයම, රටයකුම හෙවත් රිද්දි සමයම, සන්නියකුම, සූනියම් කැපීම හෙවත් මැනික්‌පාල ශාන්තිය වැනි පහතරට ශාන්තිකර්ම හා උඩරට, සපරගමු, නුවර කලාවිය වැනි පෙදෙස්‌වල පැවැති මෙයට සමාන්තර වූ ශාන්තිකර්ම සියල්ල දැන් භාවිතයෙන් ඉවත් වී ගොසිනි. කෙනකුට අවශ්‍ය වුවද දැන් එවැන්නක්‌ කරවා ගැනීමට දැනුම ඇති ගුප්තවේදීන් සොයාගැනීම ද ඉතා දුෂ්කර කටයුත්තකි. ඒ තරමටම මේ ශාස්‌ත්‍ර ක්‍රම විනාශ වී ඇත.

යථාර්ථවාදී චින්තනයෙන් හා විද්‍යාත්මක දැනුමෙන් දියුණු වීම නිසා අපරට ජනතාව මේවා මිථ්‍යා ඇදහීම් යෑයි ප්‍රත්‍යක්‍ෂ කරගෙන අත්හැර දමා ඇත යන නිගමනයට පැමිණිය නොහැකි වන්නේ වර්තමානයේ වෙන කවරදාටත් වඩා අප රටේ ජනතාව මේවා ගැන උනන්දුවක්‌ දක්‌වන බැවිනි. එහෙත් නිවැරැදි ශාස්‌ත්‍රීය ක්‍රම ඉවතලා කටයුතු කිරීම නිසා වංචාව හා රැවටිල්ලට හසුව බෙහෝ දෙනා අමාරුවට වැටීම හා මානසික රෝගීන් බවට පත්වීම සමාජ ව්‍යසනයක්‌ බවට පත්ව ඇත. භූත දෝෂ අණවින කොඩවින ඕනෑම දේකට හේතුවක්‌ ලෙස දක්‌වන ශාස්‌ත්‍රකරුවන් ඕනෑ තරම් සිටිති. එහෙත් අතීතයේ ගුප්තවේදීන් එවැනි කරුණු අනාවරණය කර ගැනීමට විශ්වාසදායක ක්‍රමවේදයන් භාවිත කර ඇත. මෙයට දශක කීsපයකට ඉහත දී මාතර ප්‍රදේශයේ ජීවත් වූ සාදිරිස්‌ කට්‌ටඩි මහතා කර්ණමුණ්‌ඩය භාවිත කර භූතයන් සමග කතා බහ කළ අයෙකි. යම් නිවසක සිටින භූතයකු කතා කරන හඬ ඒ ගෙදර නිවැසියන්ටම ඇසීමට සැලැස්‌විය හැකි ක්‍රමයක්‌ ඔහු ළඟ තිබිණි. ඒ අනුව යමින් නිවාසවල භූතයන් ඉවත් කර ආරක්‍ෂා කිරීමට ඔහු සමතෙක්‌ විය. නමුත් මෙහි භයානක ප්‍රතිවිපාකයක්‌ වශයෙන් භූත ප්‍රහාරයකින් ඔහුට මිය යැමට සිදුවිය. ඒ කාලයේ සිටි ඇදුරන් මෙවැනි භූතයන් බන්ධනය කරන විට ගැට සහිත නූල උඩ පනිමින් දඟලන්නට සැලැස්‌වීම බෝතලය තුළ සිරකළ භූතයා බලා සිටින අයට දැක ගැනීමට සැලැස්‌වීම, භූතයා සහිත කටුව ගෙන යැමේදී විවිධ අවහිර බාධා හොල්මන් ඇතිවීම යන කරුණු නිසා කරන භූත කාර්යය සත්‍ය හා විශ්වාසදායක එකක්‌ බව තහවුරු විය. වර්තමානයේ මෙවැනි හපන්කම් බොරුවට පෙන්වීමට ගොස්‌ අමාරුවේ වැටෙන බොරු ඇදුරන් මිස සැබෑ ගුප්තවේදීන් සොයාගත නොහැක. ජ්‍යෙdතිෂ්‍ය ගැනද කීමට තිබෙන්නේ එපමණකි. අතීතයේ සිටි ජ්‍යෙතිෂවේදීන්ගේ ප්‍රකාශ කිසිලෙසකින් හෝ බොරු නොවන අතර යම් සිදුවීමක්‌ ඒ අයුරින් ජ්‍යෙතිෂ කරුණු ඇසුරෙන් සොයාගෙන අනාවරණය කිරීමේ හැකියාව මෙන්ම එයට ප්‍රතිකර්ම ද ඔවුන් සතු විය. මේ වනවිට එම ශාස්‌ත්‍රීය දක්‍ෂතාවන් අපට දැකගත නොහැකිව තිබේ.

ඉංගී්‍රසි පාලන සමයේ සුදු ඒජන්තවරයකු මාතර දිසාපතිව සිටියදී ඉලංකෝන් මුදලිතුමාගේ ඇරයුම අනුව ලංගච්චාරි නම් යකැදුරකු මහසෝනා මාතර කොටුව අසලට ගෙන්වා ඇත.

දකුණේ කෙරෙන ප්‍රකට ශාන්තිකර්මයක්‌ වූ මහසොහොන් සමයමේ පංච මැස්‌ස දැපීම අද අභාවයට ගිය මන්ත්‍ර කර්මයකි. ඇදුරා දපන්නේ දොඩම් කටු පොලුවලින් සකස්‌ කළ මැස්‌සක්‌ මතය. අඟල් දෙකක්‌ පමණ දිග කටුවලට ඔහුගේ නිරාවරණ පිටේ සීරිමක්‌ වත් ඇති නොවේ. ඔහුගේ දිව අඟල් නමයක්‌ පමණ එළියට එයි. දෙකොන් විලක්‌කුව පළඳින්නේ දිව සැපෙන එක වළක්‌වා ගැනීමටය. නමුත් අද මේවා හුදු නාට්‍ය රංගන බවට පත්වී භාවිත කරන බලවත් මන්ත්‍ර ජප කිරීම් අතහැර දමා ඇත. ගුප්ත විද්‍යාව ඉවත් කර නැටුම් පමණක්‌ ඉතිරි කර ගෙන තිබේ. දහඅට පාලියේ "මරු සන්නි" යකා අද නාට්‍යයක නළුවෙකි. අතීතයේ ඇදුරා වෙස්‌ මුහුණු නොමැතිව මන්ත්‍ර බලයෙන් යක්‍ෂාවේශය ලබාගෙන මෙම රංගනයේ යෙදී ඇත. ඔහුගේ මුහුණ බලන අයට මරු සන්නි යක්‍ෂයාගේ මුහුණ පෙනෙන්නට සලස්‌වා තිබේ. ඒ සඳහා ඔහු බීත සන්නි දිෂ්ටිය ජප කර මුහුණට දුම් අල්ලාගෙන ඇත. ඒ බව මේ කවියෙන් කියෑවේ.

බියගෙන වෙව්ල්ලා - බීත සන්නිය ඉසට අල්ලා ගෙ-ජි වරම නම් මන්ත්‍රයෙන් මතුරා දෙපයට දුම් ඇල්ලූ විට ඇදුරාගේ දෙපා පොළොවට ඉහළින් පිහිටයි. අවතාර බැලීම සඳහා මෙවැනි මන්ත්‍ර භාවිත කර ඇත.

නිවැරැදි සැබෑ මන්ත්‍රවලින් බොහෝ දේ කළ හැක. එදා මෙන් අදත් යකුන් ගෙන්විය හැකිවේ. ඒ සඳහා නිවැරැදි මන්ත්‍ර අවශ්‍යය. ගිනි වීදුරු කොඩි බන්ධනයෙන් දුම්මල මතුරා ලේන්සුවක්‌ මත දැමූ වී වලට දුම් ඇල්ලූ විට පොරි පුපුරා යයි. පුවක්‌මල් වරමින් මලක්‌ සහිත පුවක්‌ ගසට මැතිරූ විට එය වෙව්ලීමට පටන් ගනී. මෙවැනි මන්ත්‍ර දැනටද විද්‍යමාන වේ. නමුත් ඉතා බලවත් සත්‍ය බැලිය හැකි වටිනා මන්ත්‍ර රාශියක්‌ අද අභාවයට පත්වී තිබේ. දැනට භාවිත කරන මන්ත්‍රවල අඩුපාඩු රාශියක්‌ කියවන නිසා ඒවා දුර්වල තත්ත්වයේ පවතී. නමුත් අඩුපාඩු නැති මන්ත්‍ර ඇතැම් ගුරුපරපුරු සතුය. ඒවා ඇසුරෙන් වැරදි මන්ත්‍ර නිවැරැදි කර සකස්‌ කරගත යුතුය. මේ කිසිවක්‌ නොසලකා මන්ත්‍ර යෑයි මොනවා හරි වචන ටිකක්‌ මැතිරීම පලක්‌ නැති දෙයකි.

අංගම් පිල්ලු, සූනියම් යනුවෙන් හැඳින්වෙන සතුරන් වැනසීමේ මන්ත්‍ර භාවිතය මුළුමනින්ම දැන් අභාවයට ගොස්‌ ඇත. අතීතයේ මෙවැනි අංගම් 32 ක්‌ භාවිත කර ඇත. උඩතිරිංග, නීච කුල, කතුරු, ලේන්සු, තඩිකාර, චෝදසාත, රීරි, රොඩී, හනුමා, මහසෝන්, වීදුරු කොඩි, නරපුර ආදී වශයෙන් ඒවා නම් කර ඇත. එහෙත් අද වන විට මේවා අපට ඇසීමට දැකීමට නොලැබේ. මෙයටත් වඩා බිහිසුණු ගුරුකමකි. පිල්ලු යෑවීම. පිල්ලු දහඅටක්‌ අතීතයේ භාවිතා වී තිබේ. ඒවං අතරින් කුමාර පිල්ලිය හෙවත් මිනී පිල්ලිය අතිශය බරපතල ගුරුකමකි. පිල්ලි අතරින් පහසුම එක කුරුමිණි පිල්ලියයි. අදත් බොහෝ දෙනා කුරුමිනියකු ගෙට එනවිට බියවන්නේ කුරුමිනි පිල්ලිය පිළිබඳ වූ අතීත කාලීන විශ්වාසය සනිටුහන් කරමිනි. අතීත ඇදුරන් මේවා ගුරු මුෂ්ටි වශයෙන් තබාගෙන ඔවුන්ගෙන් පසු කිසිවකුට නොදී විනාශ කර දැමීම නිසා මේවා බොහොමයක්‌ අභාවයට ගොස්‌ ඇත. ඒ නිසා පිල්ලි යෑවීම අද සැලකෙන්නේ ජනප්‍රවාදයක්‌ වශයෙනි.

තුන් කුළුඳුල් දරුවකු මිය ගිය විට මිනිය ගොඩට ගෙන වේලාගත යුතුය. ඒ පිළිබඳ උපදෙස්‌ මන්ත්‍ර පොත්වලින් මෙන්ම ගුරූපදේශවලින් ද ඇදුරෝ ලබා ගත්හ. සඳුන්, කුරුඳු හෝ පැඟිරි දරවලින් ගිනි දල්වා මිනිය වේලාගෙන පුළුන් පුරවා මසාගත් මිනිය නොයිඳුල් තැඹිලි තෙල්, සඳුන්තෙල්, තිරුනෝරු ඇඟ ගල්වා හිස පීරා දැතට සක්‌, මුදු, වළලු පළඳවා රතු තොප්පියක්‌ හිසලා කරට රත්මල් මාලයක්‌ පළඳවයි.

මේ පිළිබඳව ලියෑවුණ කවි කිහිපයක්‌ මෙසේය.


කුළුඳුල් මල ළමයකු ගොඩ ගන්නේ 

බඩවැල් ඇරලා සොමි කරපන්නේ 

එමකර ඉස්‌ සෝදා පේ වෙන්නේ 

තද ගල් අව්වේ ගොස්‌ වේලන්නේ


දැත් දෙකට පන් වළලු දමා ලා 

ගාත් සතරෙ ඔලියල් බන්දා ලා 

අවුල් හැරේ දෙවුරට කර ලා ලා 

සවිස්‌තරේ මේ ලෙස සරසා ලා

සුරතට කඩුවද මුගුරක්‌ දීලා



දෙනෙත් අඳුන් ගාමින් සරසාලා 

කනට කඩුක්‌කන් මේවර දමාලා 

ඉනට වඩත්මල් හවඩි දමාලා

මෙසේ සාදාගත් පිල්ලුව කිල්ලට අසු නොවනසේ කොහොඹ හෝ නූග ලී පෙට්‌ටියක දමා සුරැකිව තබා ගත යුතුය.

පී. සී. පතිරණ

Post a Comment

0 Comments