අනවසරයෙන් ඔබගේ ඉඩමට හෝ නිවසට නාඳුනන අමුත්තෙක් පැමිණ යම් කිසි කටයුත්තක් සිදුකරන්නේ නම් ඔබ ඔහු සමග උරණ වී ගැටෙනු ඇත. මේක මගේ ඉඩම මේක මගේ නිවස මගෙන් අවසරයක් නොගෙන සිදුකරන මෙම කටයුත්ත වහාම නතර කළ යුතුයි. ඔබ ඔහුට තර්ජනය කොට ගැටෙනු ඇත. එහෙත් යම් කිසි කෙනෙකු ඔබගේ අවසරය ලබාගෙන එකඟත්වයෙන් ඔබගේ නිවසේ හෝ ඉඩමේ යම් කිසි කටයුත්තක් සිදු කරන්නේ නම් ඔබ ඔහු පිළිගෙන හොඳින් සංග්‍රහ කරනු ඇත. සමහරක් විට ඔබගේ අවසරය නොගෙන ඔබගේ ඉඩමේ ඔබට යහපත් දෙයක් සිදුකිරීමට තැත් කළද ඔබ උරණ වනු ඇත. එහෙත් ඔබගේ අවසරය ලබාගෙන ඔබගේ ඉඩමේ ඔබට කිසියම් වාසියක් සිදුනොවන දෙයක් සිදු වූවද ඔබ උරණ නොවනු ඇත. මේ තුළින් ඔබට වැටහෙන්නේ කුමක්‌ද? කිසියම් කටයුත්තක් සිදුකිරීමේදී එම භූමියට හෝ දේපළට අයිතිවාසිකම් කියන පිsරිසකගෙන් අවසරය ලබාගෙන එය ඉටුකිරීම තුළින් එම කාර්යය ඉතා සාර්ථකව ඉටුකර ගත හැකි අතර එම අයිතිකරුවන්ගේ අවසරය නොගෙන කටයුතු සිදුකිරීම තුළින් සියලු කටයුතු අසාර්ථක වී ගැටුම් සිදුවන බවයි.
ඔබ නිවසක් සෑදීම සඳහා භූමියක් පරිහරණය කිරීමේදී එය භූමියට අයිතිවාසිකම් කියන යම් යම් පිරිස්‌වලින් අදාළ අවසරය ලබා ගැනීම කළ යුතුව ඇත. ඔබ මුදල් දී කිසියම් ඉඩමක් මිලදී ගත්තද එම ඉඩමේ සැබෑ අයිතිකරුවා ඔබ පමණක් නොවේ. නිත්‍යානුකූලව ඔබට හිමිකාරිත්වය තිබුණද ස්‌වාභාවික පද්ධතියක් හා අධ්‍යාත්මික පද්ධතියක් තුළ ඔබත් එක් කොටස්‌කරුවකු පමණක් බව වටහාගත යුතුයි. ඔබට පෙර මෙම භූමි කොටසට අයිතිවාසිකම් කියූ සිය දහස් ගණනක් මෙම භූමිය හා සම්බන්ධ වී සිටින බව දත යුතුයි.
ඔබ කිසියම් ඉඩමක නිවසක් සෑදීම සඳහා අදහස් කළ විට එම භූමියට අදාළ නිවස හැදීම සඳහා අවශ්‍ය සැලසුම් පිළියෙළ කිරීම සඳහා භූමිය වෙත සැලසුම් ශිල්පියා සමග ඉඩමට යන මුල්ම දවස ඉතා වැදගත් බව ඔබගේ නිවස සඳහා අවශ්‍ය මිණුම් කටයුතු සිදුකරනු ලබන මුල්ම දිනයේදී අවශ්‍ය වාස්‌තු ශිල්ප ක්‍රම නිසි ආකාරයෙන් යොදා ගැනීම තුළින් ඔබට වාසනාවන්ත ගෘහයක් ඉදිකර ගැනීමේ මූල බීජයන් භූමියේ වැපිරීම සිදුකළ හැකි අතර වාස්‌තු ශිල්ප ක්‍රම අනුගමනය නොකොට සිදුකරනු ලබන මූලික මිණුම් කටයුතු තුළින් ඔබට සිදුවන අවාසි තත්ත්වයක් බව පෙන්වා දෙමි.
නව ගෘහයක් සෑදීම සඳහා ඉඩමට ප්‍රවේශ වීම
ඔබ නව ගෘහයක් හැදීම සඳහා ඉඩමට යන මුල්ම දිනය ඉතා වැදගත් බව සිහිතබා ගත යුතුයි. මෙදින ගෘහ හිමියා ඒ සඳහා අනිවාර්යයෙන් සහභාගි විය යුතු අතර ගෘහ හිමි කාන්තාව සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ සහභාගිත්වය වැදගත් වෙනවා.
ප්‍රවේශය නිරිත දිශාවන්
මාස පොහොය අඟහරුවාදා, ඉරිදා යන දිනයන් හැර අනෙකුත් සුබ දිනයක රාහු කාලය පන්නා සුභ මුහුර්තියෙන් උදය වරුවේ ඔබගේ ඉඩමේ නිරිත දිශාවෙන් ඉඩමට ප්‍රවේශ විය යුතුයි. මෙහිදී වාස්‌තු ශිල්පියා සමග ඔහුගේ වාස්‌තු සඡ්Cධායනා මධ්‍යයේ ඊශාන දිශාව බලා දකුණු පාදය තබා ඉඩමට ප්‍රවේශ වීම මැනවි. ඉන් පසුව අනෙකුත් අයද ඉතා මෛත්‍රි සහගත සිතින් ඉඩමට ප්‍රවේශ විය යුතුයි. ගෘහ මූලිකයා ඉඩමට ප්‍රවේශයේදී ඔහු විසින් කපන ලද මුල්ම පස් කොටස රතු, සුදු රෙදිකඩකට ලබාගෙන එය ඉඩමේ බ්‍රහ්ම පාදය මතට ගෙනයා යුතුයි. ඉන්පසු ඉඩමේ බ්‍රහ්ම පාදය මත ගෘහ හිමියා ඉඩම හා සම්බන්ධ කිරීමේ වාස්‌තු ශිල්පය වතාවත් ඉටුකිරීම සිදුකළ යුතු වෙනවා.
ගෘහ හිමියා හා ඉඩමේ භූමි ඥතින් සම්බන්ධ කිරීම
ඉඩමට ප්‍රවේශ වීමේදී ලබාගත් පස් කොටස් ඉඩමේ බ්‍රහ්ම පාදය මත හලා බ්‍රහ්ම පාදයේ ඇති පස් සමග හොඳින් කලවම් කොට වාස්‌තු සඡ්Cධායනා මධ්‍යයේ එම පස් කොටස් රෙදිකඩකට ලබා ගැනීම වාස්‌තු ශිල්පියාගේ උපදෙස් පරිදි සිදුකිරීම කළ යුතු වෙනවා. එසේම මෙහිදී ගෘහ හිමියාගේ ජන්ම නැකත (එනම් ශක්‌තිය) හා සම්බන්ධ නිලයක් අල්ලා, ඉඩමේ සිටින සියලු භූමි ඥතීන් සමග සම්බන්ධවී මෙම ඉඩමේ ගෘහයක් සෑදීමට යන බවත් ඒ සඳහා සියලු කොටස්‌වල ආශිර්වාදය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිය යුතුවේ. මෙහිදී ගෘහ හිමියා සමග ඥති කොටස් බ්‍රහ්ම පාදය ආසන්නයට පැමිණෙන අතර එම කොටස් පස් අංශු තුළ ඒකරාශි වනු ඇත. එම කොටස් ඉඩමෙන් ඉවත් කිරීම සඳහා නැවත එම පස් කොටස් රෙදිකඩක රැගෙන ඉඩමේ මායිමෙන් පිට තැබීම කළ යුතු අතර එම පස් කොටස් ඉඩමට පිටුපා ගලායන ජලයක පාකර හැරීම කළ යුතුවේ. මේ තුළින් සිදුවන්නේ ඉඩමේ සිටි තමන්ට අහිතවත් භූමි ඥතීන් ඉඩමෙන් ඉවත් කිරීමේ කාර්යයි. මෙම වාස්‌තු ශිල්ප ක්‍රමයන් ඉටු කළ පසු ඔබට ඔබ ඉඩමේ අවශ්‍ය නිවස සැලසුම සිදුකිරීම සඳහා අවශ්‍ය මිණුම් කටයුතු සිදුකිරීමේ හැකියා පවතී.
එහෙත් අද නිවසක් සෑදීමේදී මෙම කටයුතු ඉටු නොවීම නිසා මිනිසුන් බොහෝ කරදර පීඩා වලට ගොදුරු වී ඇති බව මා විසින් සිදුකරනු ලබන නිවාස පරීක්‍ෂාවේදී පැහැදිලි වී තිබේ. ඔබගේ නිවස සෑදීමේදී මූලික කටයුතු නිසි ආකාරයෙන් සිදු නොකිරීම නිසා ඔබට සිදුවිය හැකි තත්ත්වයන් පහතින් දක්‌වා ඇත.
01. නිවාස සෑදීම අතරමග නවතියි.
02. ස්‌වභාවික උපද්‍රව වල බලපෑමට ලක්‌වේ.
03. සේවකයන් හදිස්‌සි අනතුරුවලට ලක්‌වෙයි.
04. ගෘහ හිමියාට එම පරිශ්‍රය පීඩාකාරී වේ.
ඉහත අයහපත් බලපෑම් සිදුවන්නේ ඔබ විසින් අවසරයකින් තොරව ඔබගේ යෑයි සිතා සිටි භූමියේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම වාස්‌තු උපදෙස්‌වලින් තොරව සිදුකළ නිසා වෙනි. මෙහිදී ඔබ විසින් විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක් තිබේ. ඔබගේ නව නිවසේ සැලසුම් සකස් කිරීම සඳහා ඉඩමට යන මුල්ම දවසේ ඔබ වාස්‌තු ශිල්පියාගේ සහාය ලබා ගැනීම කළ යුතුම කාර්යයක් බවයි. මේ තුළින් ඔබගේ නිවස සැලැස්‌ම නිසි පරිදි සකස්‌කර ගැනීම හා ඉදිරි කරදර බාධක කල්තියා හඳුනාගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කල්තියාම යෙදීමට හැකියාව ලැබෙයි.
බහිරව පූජාව
අතීතයේදී නිවසක් සෑදීමට ප්‍රථම හා භූමිය හා සම්බන්ධ සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම බහිරව පූජාවක් පැවැත්වීම අපගේ අතීත මුතුන්මිත්තන් විසින් ඉටුකරනු ලැබූ මූලික කටයුත්තක් විය. එහෙත් නූතනයේදී මෙවැනි දැ සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම තුළින් ඒ පිළිබඳව දැනුමක් නොමැතිකම නිසාම සිදුවී තිබෙන බව පෙන්වයි. බහිරව පූජාවන් පැවැත්වීම සිදුකරනු ලබන්නේද භූමියේ සිටින විවිධ භූමි ඥතීන්ගෙන් අවසර ලබා ගැනීම සහ ආශිර්වාදය ලබා ගැනීම සඳහා වේ. මේ සඳහා පුළුටු වර්ග භාවිතා කිරීම කිසිසේත් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ භූමි ඥතීන් සඳහා හතර කොනේ අට කොනේ ආරක්‍ෂා කිරීම පමණි. මෙය සිදුකිරීම වඩා සුදුසු වන්නේ මුල්ගල තැබීමට පෙර දිනය වේ.
මිනුම් ලබා ගැනීම
ඔබගේ නිවස සෑදීම සඳහා අවශ්‍ය මිණුම් ලබා ගැනීමේදී පළමු මිණුම ගෘහ හිමියා සහ ගෘහ හිමි කාන්තා විසින්ම සිදුකළ යුතු අතර මෙම කටයුත්ත ඉඩමේ ගිනිකොණ කොටසේ දක්‍ෂිණාවෘතව සිදුකිරීමට වගබලා ගත යුතුවේ. විශේෂයෙන් මෙම මිණුම ගැනීම සිදුකරන්නේ ඉඩමේ ගිනිකොණ මායිමේ සිට දකුණු දිශාවට කැරකෙන ලෙසයි. මේ සඳහා දැනට භාවිත කරනු ලබන ටේප් එක භාවිත කිරීම නොකළ යුතු අතර ගෘහ හිමියාට ගැලපෙන වඩු රියන් ප්‍රමාණය කොහු ලණුවක සලකුණු කොට එයින් මූලික මිණුම ලබාගැනීම සිදුකරයි.
එවිට ඉඩමේ සුබ අසුභ සලකුණු
ඉඩමට ප්‍රවේශ වූ මුල්ම දිනයේ ඉඩම් දක්‌නට ලැබෙන සුබ අසුබ සලකුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් කාර්යයකි. ඔබගේ කාර්යය ඉතා සාර්ථක වීම හෝ සාර්ථක නොවීම පිළිබඳ ස්‌වභාවධර්මයේ "ඉඟි" පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුයි.
ෆ ඔබ බ්‍රහ්ම පාදය මත සිටි විට කුරුල්ලන් අහිංසක සතුන් හෝ සුදු පාට මල් දර්ශනය වීම මෙන්ම සිහින් වැහි පොද හා සූර්යාගේ වළාකුළු ඉවත් වී ආලෝකය පතිත වීම ඉතාමත් සුබ පෙර නිමිති වේ.
ෆ ඔබ බ්‍රහ්ම පාදය මත සිටින විට සර්පයන්, ගුරුලන්, දරුණු සතුන්, සූර්යාලෝකය වැඩි වීම මිනිස් හූ හඬ, සතුන්ගේ ගෙරවීම, ඇටකටු දර්ශනය වීම ඉතාමත් අයහපත් පෙර නිමිති වේ.
ඔබ බ්‍රහ්ම පාදයේ සිටින විට අයහපත් පෙර නිමිති පහළ වුවහොත් ඔබගේ නිවස ඉදිකිරීමේදී වාස්‌තු ශිල්පීය ක්‍රමවල විශේෂ උපක්‍රම භාවිත කිරීම තුළින් කල්තියාම එම දොaෂ මගහරවා ගැනීමේ වාසිය ලැබෙනු ඇත.
ඉහත කරුණු තුළින් මා ඔබ වෙත පැහැදිලි කර දීමට උත්සාහ කළේ ඔබ විසින් නව ඉදිකිරීමක් සිදු කිරීමේදී මූලිකව සිදු කළයුත්තේ නිවැරැදි වාස්‌තු ශිල්පීය ක්‍රම උපායන් රැසක් පවතින බවයි. මෙම කටයුතු ඉටු කිරීම තුළින් ඔබට කරදර බාධා රහිත "සම්පත් නිවසක්" ඉදිකර ගැනීමේ වාසනාව මතුවේ. එබැවින් ඔබ නිවස ඉදිකිරීමට සැලසුම් කිරීමේදී භෞතික වාදීන්ගේ නිසරු උපදෙස් සහ යෝජනා අනුමත නොකොට සොබාදහමත් සමග එකඟව ආධ්‍යාත්මික චින්තනයට මුල්තැන දී කටයුතු කිරීමට මුල සිටම මග පෙන්වීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. නැත්නම් ඔබ භෞතිකවාදිව සිතා කටයුතු කොට වැරදුනු පසු නැවත ඔබට පිහිට පැතීමට ඇත්තේද මෙම වාස්‌තු ශිල්පයම පමණි. එම නිසා වරද්දා ගැනීමට පෙර වැරැදි නිවැරැදි කර ගැනීමට ඔබට සිත් පහළ වේවා·
වාස්‌තු විද්‍යාවේදී ඩී. යූ. සෙනරත්
0 Comments