ප්‍රේත ආත්මවල විවිධ ස්‌වභාවයන්

අපට ගෝචර වන පක්‍ෂීන් ගැන සිතුවොත් වර්ග බොහෝය. මේ හැම පක්‍ෂියෙක්‌ම අපි හඳුන්වන්නේ කුරුල්ලන් කියාය. එසේම ප්‍රේතයන් යනුවෙන් පොදුවේ හැඳින්වුවද ඔවුන්ද විවිධාකාරය.ප්‍රේතයෙක්‌ වීමට බලපාන ප්‍රධාන තත්ත්වයන් පිළිබඳව යටගිය ලිපියකින් නැකත පාඨකයන් දැනුවත් කළෙමි. ප්‍රේත ආත්මවල ස්‌වභාවයන් පිළිබඳ කියවෙන මෙම ලිපියේ මුලින්ම හඳුන්වා දීමට අදහස්‌ කරන්නේ මිනිසකු ප්‍රේතාත්මයකට වැටීමට බලපාන ග්‍රහබලය හඳුන්වා දීමටය. ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදී දෙපළක්‌ වන ඊබට්‌ අමරසේන මහතා සහ ගීතා සුමනරත්න යන දෙපළ විසින් ලියන ලද "ජීවිතයට බලපාන ග්‍රහයෝග" නම් පොතින් ප්‍රකාශ කර ඇති පරිදි කෙනෙක්‌ මියයන මොහොතේ රාහු 06 වැන්නේ හෝ 08 වැන්නේ සිට ගුරු ග්‍රහයා 07 වැන්නේ සිටියහොත් හෙතෙම "පරදන්තූප ජීවී" නම් ප්‍රේත කුලයක උපත ලබන බව කිsයෑවේ.

එවිට කේතු ග්‍රහයා දෙවැන්නේ හෝ දොළොස්‌ වැන්නේ වීම හේතුවෙන් ඥති මිත්‍රාදීන් ලබාදෙන පිං අනුමෝදන්වීමේ හැකියාව පවතී. එනිසා එවැනි ප්‍රේත කුලයේ අයට වසර ගණනාවකින් පසුව යම් සුගතිගාමි තත්ත්වයකට පත්විය හැකිය.

යම් විදියකින් රාහුට ශනි හෝ කුජ සංයෝගවීම හෝ දෘෂ්ටි ගතවීම සිදුවී තිබුණේ නම් ඥති මිත්‍රාදීන් දෙන පිං පවා ලබාගත නොහැකිව ඉතාම පිළිකුල් සහගත දුර්ගන්ධයෙන් යුතු ඇටසැකිල්ලක්‌ බඳු ශරීර සෝභාවක්‌ සහිතව උපදී. මෙසේ සිදු වන්නේ මිනිස්‌ භාවය තුළ දුක පිළිබඳ සත්‍යාවබෝධය නොමැතිව ඊර්ෂ්‍යා - වෛර - ක්‍රෝධාදී චෛතසික නිරන්තරයෙන් පවත්වා ගැනීමට ඇබ්බැහිවූ අයයි.

විශේෂයෙන් එම ප්‍රේතාත්ම භාවයක්‌ හඳුන්වන්නේ "නිඡ්ජාම තන්හික" යන නමිනි. මෙසේ ප්‍රේතාත්මවල විවිධාකාර ස්‌වභාවයන් රැසක්‌ බුද්ධක නිකායේ විමාන හා ප්‍රේතවස්‌තු පාලියේ සඳහන් වේ. ඒවා එකිනෙක සස¹ බලන කල මිනිසුන්ගේ තෘෂ්ණා හේතුකොට ගෙන හටගත් ඉර්ෂ්‍යාවන්, වෛර, ක්‍රෝධ නිසා ඔවුන් මරණයෙන් පසු පත්වන අතිශය ශෝචනීය තත්ත්වයන් බව පෙනේ.

යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව අනුව බලනවිට විවිධාකාර ප්‍රේත සත්වයන් ගැන අනාවරණය වෙයි. ඇතැම් අය ගමන් කරන්නේ නිදාගෙන රවුමට පෙරළෙමිනි. ඇතැම් අය සැතපුම් දහසක්‌ වුවද විනාඩියකින් දෙකකින් ගමන් කර ආපසුත් පැමිණිය හැකිය. බොහෝවිට ඒ ප්‍රබල ලෙස පව්කම් නැති අයද විය හැකිය.

නාරද මහ රහතන් වහන්සේ මහත් සෘධි බල ඇති දෙවියන් මෙන්ම ප්‍රේතයන්ද දැකිය හැකි මහරහත් තෙරනමකි. උන්වහන්සේ දිනක්‌ ඉතා අලංකාර රූපකායක්‌ ඇති ප්‍රේතයෙක්‌ දක්‌නා ලද සේක, මිනිස්‌ රුවකට සමානවුවත් මුහුණ සහ මුඛය ඌරකුට සමවිය. මෙසේ වීමට හේතුව කිමදැයි උන්වහන්සේ ප්‍රේතයාගෙන් විචාලේය. "ස්‌වාමිනී මම ක්‍රියාවෙන් සංවරව මිනිස්‌ ලොවේදී කටයුතු කළෙමි. නමුත් මට කතාවෙන් සංවර වීමට කොහෙත්ම නොහැකි වුණා. ඒනිසා මට ඌරු කටක්‌ ලැබුණා." යෑයි ප්‍රේතයා උත්තර දුන්නේය.

ප්‍රේත විෂය මහා පෘථිවිය ඇසුරු කොට ජීවත්වන පිරිසකි. මිනිස්‌ භවය තුළ සිටියදී ලැබී තිබූ ශරීර ස්‌වභාවයට සමානවූ අර්ධ පරමාණුක ශරීරයක්‌ ඔවුන්ට හිමි වෙයි. මේ අර්ධ පරමාණුවක වූ ශරීරය වූකලී සුළන් රැල්ලක්‌ වැනි ස්‌වභාවික සිරුරකි. ඇස - කන - නාසය - දිව - ශරීරය එයින්ම සැකසී තිබේ. සාමාන්‍ය සුළං රැල්ල කට වඩා මඳක්‌ ගොරෝසු නමුත් මිනිසාට ස්‌පර්ශ වුවත් මිනිසාට නොදැනේ. පෙර භවයේ තිබුණු චෛතසික හෙවත් සිත් ස්‌වභාවයම පවතී. බඩගින්න පිපාසය දුක වේදනාව ඉතා හොඳින් දැනේ. එනිසා මිනිස්‌ භවය තුළ පැවති විඤaCදාණයම ඔවුන් තුළ පවතී. අප ආහාරයට ගන්නේ බත් - පාන් - ධාන්‍ය ආදී පූර්ණ පරමාණුක (ගොරෝසු) ආහාරයි. එම ආහාරවල අර්ධ පර මාණුක කොටස ඒවායේ හමන සුවඳයි. සුවඳ අපගේ නාසයට දැනුනත් ස්‌පර්ශය නොදැනේ. අපට සුවඳ වැළඳිය නොහැක. විඳිය හැක. ප්‍රේත විෂයට සුවඳ වැළඳිය හැක.

එසේම දානයක්‌ පූජාකොට ලබන පින ප්‍රේත විෂයට අනුමෝදන් කිරීම එකම මහාර්ඝ වස්‌තුවක්‌ වන්නේය. අපට අප ලොවේදී මුදල් කොපමණ මහාර්ඝ වස්‌තුවක්‌ වන්නේද ඔවුන්ට මහාර්ඝවූ එකම වස්‌තුව පිං ලැබීමය. අප මුදල්වලින් සියලු සැප සලසා ගන්නාක්‌ මෙන් ඔවුන් පින් ලබා සියලු සැප සලසා ගනී. ලෝභ (තන්හා) නිසා වෛර - ක්‍රෝධාදි ද්වේෂයන් පවත්වා ගැනීම අවම මට්‌ටමක තිබූ දානමානාදී පිං කම්වල අල්ප ලෙස යෙදුණ මියගිය ඇත්තන් පරදත්තූප ජීවී කොටසට අයත්ව ඥතීන් ලබාදෙන පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ලබා ඥතීන්ගෙන් පිං බලා පොරොත්තුව සිටී. ඔවුන් ජීවත් වන්නේද සිද්ධස්‌ථාන මෙන්ම පිරිසිදු ස්‌ථාන වලය.

පව වැඩි ඇත්තෝ වැසිකිළිවළවල් තුළද අධික දුර්ගන්ධිත ස්‌ථානවලද අඳුරු සහගත පාළු ස්‌ථානවලද, සොහොන් පිටි සොහොන් ගෙවල් තුළද ගමේ ගොඩේ ඉදිවෙන දේවාල (ප්‍රේත ආත්ම ඥතීන් ආරූඪ වන) තුළද කැලෑබද සත්ව මළකුණු අසලද වැඩි වශයෙන් ගැවසේ. ඥතීන් ලබාදෙන පිං ඔවුන්ට ලබාගත නොහැකි නිසා සැප සලසා ගත නොහැක. එනිසා ජීවය පවත්වා ගැනීමට ජීවත්වන ස්‌ථානවල පවතින දුර්ගන්ද අනුභව කරති.

මිනිස්‌ ලොවේදී රසමසවුලු අනුභව කළ අධික තන්හාව නිසා ඊර්ෂ්‍යා, ක්‍රෝධ කරමින් දහම් අවබෝධයකට නොපැමිණ ලෞකික සැප සොයා යන ඇත්තන් කෙළවර නවතින්නේ එතනය. තමන් කළ පව් ගොනා පසුපස රිය සක එන්නාසේ තමා පසුපස එන බව බුදුන්වහන්සේ වදාළේ එහෙයිනි.

මුගලන් මහරහතන් වහන්සේද මහා සෘධි බල ඇති මහ රහතන් වහන්සේ නමකි. දිනක්‌ උන්වහන්සේට නිරුවතින් සිටින ඉතාම විරූපී - කුණුගඳ හමන, සියදහසක්‌ මැස්‌සන් වටේ කරකැවෙමින් බොහෝ අපහසුවෙන් ගමන් කරන එක්‌ ප්‍රේතයෙක්‌ දැක ඒ ප්‍රේතයා හා උන්වහන්සේ කතා කරන පුවත "පංචපුත්ත කාධක" නම් කතාවේ සඳහන් වේ. ඊර්ෂ්‍යාව මුල්කොට අපරාධ රහසිගතව සිදුකළ පාපය ඔහු අවුරුදු දහස්‌ ගණනක්‌ එසේ විඳවන අයුරු එයින් ප්‍රකාශ වේ.

එසේම එවැනිම විරූපී ප්‍රේතියක්‌ සා පිපාසාවන්ගෙන් දැඩි ලෙස පෙළෙමින් ඇටසැකිල්ලක්‌ බඳු සිරුරකින් යුතුව උන්වහන්සේ වඩින පෙරමගදී මුණ ගැසිණ. ඇය බොහෝ දුකින් හා වේදනාවෙන් ඉල්ලා සිටියේ ස්‌වාමීනී මට පැන් ටිකක්‌ ලබාදෙන සේක්‌වා යනුවෙනි.

එවිට මහ රහතන් වහන්සේ අත දිගු කොට මෑත තිබූ ගඟ පෙන්වා අර ගඟෙන් ඇති තරම් වතුර බොන්න යෑයි වදාළහ. එවිට එම ප්‍රේතිය හඬමින් මෙසේ පැවසුවාය. ස්‌වාමිනී මම වතුර බොන්න ගඟට දුවගෙන ගිහින් බහින කොටම ඒකේ වතුර නොව සුදුවැල්ල බවට පත්වෙනවා. ඉතිං මං ආපහු එනවා. අනේ ස්‌වාමිනී අව්රස්‌නය මාව පුච්චනවා. ගස්‌ හෙවණකට මම දුවගෙන ගියත් එතනට අව්ව වැටිලා හෙවණ නැති වෙනවා.

ඔබ මොනවගේ පවක්‌ද කරගත්තේ කියා මහ රහතන් වහන්සේ විචාල සේක. අනේ ස්‌වාමිනී මම පොහොසත් පවුලක හිටිය ස්‌ත්‍රියක්‌. මම දන් පිං කරගත්තේ නෑ. ධර්මය අවබෝධ කළේ නෑ. මම අනුන්ට ඊර්ෂ්‍යා කළා. වෛර කළා. අනුන්ට අයිති දේවල් මම එහෙම කරලා අරගත්තා. ඒ පව් මම මේ ප්‍රේත ලෝකෙදී විපාක වශයෙන් විඳිනවා යෑයි ප්‍රේතිය උත්තර දුන්නාය.

උන්වහන්සේ පාත්‍රය පුරවා පැන් එකක්‌ ගෙන තමන් වහන්සේ සමග වැඩිය තවත් හිමි නමකට පූජා කොට ඒ පින ප්‍රේතියට අනුමෝදන් කළා. එයින් පසු ඇයට පැන් බීමට ලැබුණ බව දැක්‌වෙන පුවත විමාන හා පෙතවත්තුවේ සඳහන් වේ.

මේ අන්දමට බලනකල ප්‍රේත ලෝකය තුළ අප්‍රමාණ ලෙස දුක්‌විඳින සත්වයන් පිළිබඳව විස්‌තර වේ. මේ තත්ත්වයන් ඇති වන්නේ මිනිස්‌ලොව තුළ ජීවත්වූ රටාව අනුවය. එසේම ඔවුන්ට පිං අනුමෝදන් කිරීමෙන් පසුව සැප සලසා ගත් අන්දමද දැකිය හැකිය. එනිසා මෙලොව ජීවත්වන අපට දාන ශීලාදී වතාවත්වල ඇති ආනිසංශ පිළිබඳ අවබෝධයක්‌ ලද හැකිය.

පසුගිය දිනක අපගේ හිත මිතුරෙක්‌ වෙනත් ප්‍රදේශයක ගමන් කරද්දී අලංකාර නුග ගසක්‌ දැක ඔහුගේ අලුත්ම ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක්‌ ගත්තේය. එය මුද්‍රණය කිරීමටත් පෙර කැමරාව තුළ තිබූ ඡායා රූපයේ කොණ්‌ඩය කඩා විසිරීගිය අධික විඩාවට පත් තරුණියකගේ රුවක්‌ද එහි සාමාන්‍ය අන්දමින් සටහන්ව තිබිණි. ඒ ප්‍රදේශයේ කෙනෙක්‌ එය පරික්‍ෂා කොට පැවසුවේ මේ අසවලාගේ බිරිඳය. ඇය වස පානය කොට මිය ගියේ මේ නුගගස යටය යන්නය.

ඇය විසින් කර ඇත්තේ අකුසල උප ඝාතක නම් කර්මයකි. වස පානය කිරීම දක්‌වා දැඩිවන්නේ ද්වේෂ සිතය. ඒ අය යක්‍ෂ කුලයට අයත් වන ප්‍රේත විෂයයකි. සිය දිවි නසා ගැනීම හේතු කොටගෙන කිසිදු අහරක්‌ පානයක්‌ ලැබීමේ පින අහෝසි වන්නේය. එනිසා එම නුගරුක ඇගේ වාසස්‌ථානය වී එතැන වසර සිය දහස්‌ ගණන් දුකට පත්වෙයි.

එවැනි මිනිසුන්ද සිටිති. එක්‌ උදාහරණයක්‌ දක්‌වතොත් කළුතර මතුගම මාර්ගයේ නාගොඩ හන්දිය පසුකොට මඳදුරක්‌ මතුගම දිසාවට එනවිට බස්‌ හෝල්ට්‌ එකක දැනට අවුරුදු හත අටක්‌ තිස්‌සේම ජීවත්වන මිනිසෙක්‌ සිටී. ඔහු ඉන් බැහැරව කිසිතැනකට නොයයි. සැබෑ ලෙස දැකිය හැකි ප්‍රේතාත්මයක්‌ බඳුය. වක ගැසී වාඩිවී මුළු දවස මුළුල්ලේම සිටිමින් දින සති මාස අවුරුදු ගණන් ගතකරයි. කවුරු හෝ දෙන කෑම වේලකින් යෑපෙයි. නෑමක්‌ පිරිසිදුවීමක්‌ නැත.

මෙවන් ප්‍රේතාත්ම මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ඇසුරෙන් දැනගත හැකි ප්‍රේතාත්ම පිළිබඳ ඉදිරි දිනක නැකත තුළින් ඔබ දැනුවත් කරමි.

ජ්‍යෙතිෂවේදී අගලවත්තේ බී. හේරත්

Post a Comment

0 Comments