අත්ලේ පිහිටන තවත් ප්‍රධාන රේඛා කීපයක් පිළිබඳවයි ඉදිරි කාලවලින් හඳුන්වා දෙන්නේ. ඒ අතරින් අපි මුලින්ම විවාහ රේඛාව පිළිබඳව සාකච්ඡා කරමු.ජීවිතයේ සුන්දරම අත්දැකීම විවාහයයි. යොවුන් වියට පත් තරුණ තරුණියන් ඒ අත්දැකීම විඳගන්න සිහින මවන්නේ මොන තරම් ආශාවකින්ද. තමාට මොන විදියේ සහකරුවකුට, සහකාරියක් ලැබෙයිද, විවාහය සාර්ථක වේද, මේ වගේ සිතිවිලි ඔවුන්ගේ මනසේ සිතුවම් වීම ස්වභාවිකයි. කරදර බාධකවලින් තොරව ජයග්‍රහණය කරා යැමට හවුල්වන විවාහ සහකරුවෙක් හෝ සහකාරියක් හමුවීම ජීවිතයේ ඉමහත් භාග්‍යයකි. ඔබට විවාහවීමට හැකිද, නොහැකිද යන්නත් ඔබ දැනටමත් විවාහක නම් ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීමට හැකිද යන්නත් ඔබට ප්‍රශ්නයක් විය හැකිය. විවාහය සම්බන්ධ මේ හැම කරුණක් ගැනම පිළිතුරු සටහන් වී ඇති රේඛාවයි විවාහ රේඛාව. විවාහ රේඛාව සම්බන්ධතා රේඛාව, මංගල රේඛාව යනුවෙන් ද හඳුන්වනු ලබයි.
අත්ල අයිනේ සුලඟිල්ලේ මුලටත් හෘදය රේඛාවටත් අතර පිටි අල්ලේ සිට ඉහළට පැමිණ බුධ මණ්ඩලය දෙසින් මෙම රේඛාව දක්නට ඇත. ඇතැම් අත්වල මෙම රේඛා කිපයක්ම දැක ගත හැකිය. යමෙකුගේ අතක මෙම රේඛා පිහිටා නොමැති නම් එම අයට ප්‍රේම සම්බන්ධතා නොමැති බැව්ද කියෑවේ. මෙම රේඛා කිහිපයක් අතක දක්නට ඇතොත් හෙතෙම දුටු දුටුවන් කෙරෙහි ප්‍රේම සිතිවිලි ඇතිකර ගන්නා ස්වභාවයක් පෙන්නුම් කරයි. රේඛාවල ගැඹුරු, සෘජු භාවය අනුව ප්‍රේම සබඳතාවන් ගණනද ඒවායෙහි ස්ථිරභාවයද තීරණය කළ හැකිවේ. මේ අයුරින් රේඛා කීපයක් ගැඹුරු ලෙස සටහන්වී ඇත්නම් ඉන් සබඳතා කීපයක් ඇති බව පැහැදිලි වෙයි. මෙම රේඛාව කෙළවර උඩු අතට නැමීම විවාහයට බාධාවන බව ප්‍රකට කරයි. විවාහ රේඛාවේ කෙලවර හෘදය රේඛාව දෙසට බෑවුම් වූයේ නම් සහකාරයාගේ හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් පෙන්නුම් කරයි. අග බෙදුනු (තරුවක් මෙන්) විවාහ රේඛාවද මොනයම් හේතුවක් නිසා හෝ අඹු සැමි වෙන්වීම හෙළි කරන්නකි. නමුත් වෙන්වීමට හේතුව ස්වාමිපුරුෂයා රැකියාවක් හෝ ව්‍යාපාරයක් සඳහා ඈත ප්‍රදේශයක හෝ විදේශීය රටක වූයේ නම් ඔවුන්ට ප්‍රශ්න පැන නොනගී. නමුත් එකට ජීවත්වීමේදී සාමය නැතිවූ නිසාම හෝ ප්‍රේමයේ පලුදුවීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ. විවාහ රේඛාව අග උඩින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් පෙන්නුම් කරන්නේ විවාහයට පසු ඇති කරගන්නා වූ සම්බන්ධතාවකි. මෙය ස්ථිර අනියම් සම්බන්ධතාවක් විය හැක. විවාහ රේඛාවේ මුල යටින් සමාන්තරව ඇති කෙටි රේඛාවකින් විවාහය පෙර ඇතිකර ගත් සම්බන්ධතාවක් තවදුරටත් පවත්වාගෙන යන බව පෙන්නුම් කරයි. මෙම අවස්ථා දෙකෙහිදීම රේඛා පැහැදිලි ලෙස පෙන්නුම් කරයි නම් එම සම්බන්ධතා ශක්තිමත් වෙයි. නමුත් එම අයගේ අධිෂ්ඨාන ශක්තිය මත එම ප්‍රතිඵල වෙනස්a විය හැක.
විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම ඉක්මන් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. තවද එම රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීමෙන් දායාද වලට වඩා ආදරය මුල්කරගත් විවාහයක්ද විවාහ රේඛාව සුළඟිල්ල පැත්තට ළංව පිහිටීමෙන් ආදරයට වඩා දායාදවලට කැමැත්තෙන් කෙරෙන යෝජිත විවාහයක්ද සිදුවේ. විවාහ රේඛාවේ මුල් කොටසේ දූපත් සලකුණක් ඇතිවී නම් විවාහයට පෙර නොමනා හැසිරීම්වල යෙදුන අයකු බව ප්‍රකට කරයි. නැතිනම් සැමියාගේ පෙර පැවැති නොමනා හැසිරීම් නිසා ප්‍රශ්න ඇති බවක් පෙන්වයි. විවාහ රේඛාව දෙකඩ වී ඇතිනම් විවාහ දිවියේ හදිසි බිඳ වැටීමක් එමගින් පෙන්නුම් කෙරේ. සමහර අයගේ විවාහ රේඛාව හරස් ඉරිවලින්ද කැපී තිබිය හැක. එවැනි පිහිටීම්වලින් දික්කසාද වීම් හෝ වෙනත් විදියේ ගැටීම්වලට බොහෝවිට ඉඩ ඇත. එම රේඛාව දම්වැල් ආකාරයේ ලක්ෂණ වලින් යුක්ත නම් විවාහ ජීවිතය ශෝකාන්විත සිදුවීමකින් කෙළවර විය හැක.
විවාහ රේඛාව කීර්ති රේඛාවට සම්බන්ධවී ඇත්තේ නම් ඔහුට හෝ ඇයට ධනවත් අයෙකු හා විවාහ වීමට ලැබෙන බව ප්‍රකට වෙයි. නමුත් විවාහ රේඛාව, කීර්ති රේඛාව ඡේදනය කරයි නම් අශුභයි. විවාහය නිසා නොයෙකුත් දූෂමාන පැතිරයැම එයට හේතුවේ. කවාකාරව උඩට නැමුණු විවාහ රේඛාවක් ඇති අයකුට අන් අයගේ ඊර්ෂ්‍යාව ඇතිකිරීමට තරම් ගැළපෙන රූමත් සහකරුවකු හෝ සහකාරියක හිමිවෙයි. සහකාරයා හෝ සහකාරිය කොතරම් සුදුස්සෙකු වුවත් ඒ අය හා ආදරයෙන් ජීවත් නොවුවහොත් එම රේඛාව වැඩිකල් යැමට පෙර පහතට නැමේ. එම තැනැත්තා සතුටට පත්වුවත් සහකරු අසතුටු තත්ත්වයකට පත්විය හැක. ඒ නිසා යහපත් බිරිඳක් හෝ ස්වාමිපුරුෂයකු වීමට උත්සාහ කිරීම වැදගත්ය.
අත්ලක විවාහ රේඛා වැඩි ගණනක් පිහිටීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රේම සම්බන්ධතා කීපයක් ඇති බවය. මේ අය විරුද්ධ ලිංගික පාර්ශ්වයේ අය හා නිතර සම්බන්ධතා ඇති කර ගනිති. කෙසේ වෙතත් විවාහ රේඛා වැඩිවූ තරමට නැවත නැවත විවාහ සිදු නොවේ. පැහැදිලව පෙනෙන දිග රේඛාව විශේෂයෙන් විවාහය පෙන්නුම් කරයි. විවාහ රේඛාව වෙනස් වන සුළුය. මෙම රේඛා සැලකිල්ලෙන් පරීක්ෂා කර එවැනි සිදුවීම් හා අවස්ථා මැඬපවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. උත්සාහයන්ගේ නිසි ඵල ලැබෙන විට රේඛාව ක්ෂණිකව වෙනස් වුනු ඇත.
විවාහ රේඛාවේ කෙළවර උඩු අතට නැමීමද විවාහයට බාධාවක් වෙයි. විවාහ රේඛා අතුරෙන් දිගින් හා ගැඹුරින් වැඩි රේඛාවෙන් නීතියට එකඟව කරන විවාහයද අනිකුත් රේඛාවලින් විවාහවීමට යටි හිතින් හිතාගෙත පවත්වන ලද ප්‍රේම සම්බන්ධතාද පෙන්නුම් කරයි. රේඛාව කැඩීම්, කැපීම් හා අශුභ ලක්ෂණ ආදියෙන් තොරව ඇද නැතිව ගැඹුරට විහිද යැම විශේෂයෙන් ශුභඵලදායකය. එවිට විවාහ ජීවිතය ආරම්භයේ පටන් ජීවිතාන්තය දක්වාම වාසනාවන්ත වේ. රේඛාව මැද හෝ අවසානයෙහි හෝ දූපත් සටහනක් වී නම් විවාහ ජීවිතයේදී බලවත් අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවේ. සමහරවිට දෙදෙනා වෙන්වන්නට පවා සිදුවිය හැකිය. හෘදය රේඛාවට නුදුරුව විවාහ රේඛාව පිහිටි තරමට විවාහය ඉක්මනට සිදුවේ. රේඛාව ආරම්භයේදී ගැඹුරට ක්‍රමයෙන් සිහින්ව නොගැඹුරු වී නම් ප්‍රේම සම්බන්ධය මුලදී බලවත් වුවද පසුව හීන වී යයි. ආරම්භයේ සිහින්ව පසුව ගැඹුරු ස්වභාවයක් පෙන්නුම් කරයි නම් මුලදී යන්තමින් පැවති ආදරය පසුව බලවත් වෙයි. පැහැදලි ලෙස සටහන් වූ විවාහ රේඛාවන් ඇති අතක චන්ද්‍ර මණ්ඩලයේ චන්ද්‍ර මණ්ඩලයේ සිට ඉහළට විහිද යන රේඛාවකින් දෛව රේඛාව ස්පර්ශවේද එය විවාහය වාසනාවන්ත වීමට හා ධන සමෘද්ධියට හේතුවනු ඇත.
හිඹුටානේ පියතිලක ද අල්විස්
0 Comments