කතරගම දෙවිඳුගෙ පුරාවෘතය

දෙවියන් අදහන්නෝ දෙවියන් ඉබේ පහළ වූවකැයි නොසිතයි. දෙවියන් පිළිබඳ උත්පත්ති කථා දේව මහිමයන් ඔවුන් සතු බලතල, අනසක හා ඔවුන් පාලනය කරන ප්‍රදේශයන් වෙන් වෙන්ව ඇත. දෙවියන්ගෙන් මිනිසාට ලබාගත හැකි උපකාර හා අනුසස්‌ ද ඇති බව අපේ සම්මත විශ්වාසයකි. ඉන් එක්‌ අයකු කතරගම දෙවියන් ද වේ.කතරගම දෙවියන්, මොණර වාහනය, ලක්‌ බිසව, ඉන්දීය බිසව, භාරතීන්ට නෑකම් කියන දමිළයන් බිම බඩගාමින්, පෙරළෙමින් කටු, උල්, කොකු අමුණා ගිනි පෑගීම් ආදී දහසක්‌ දුක්‌ විඳිමින් දෙවියන් යදිති පුදති. කෙසේ හෝ කතරගම් අතවරයන් ද්‍රවිඩයන්ට වැඩිය. එමෙන්ම ලක්‌දිව බොදුනුවන්ද පින්පත් දෙනවා. එහෙත් මොහු ලක්‌දිව දෙවිකෙනකු ද නොවේ.

පුරාණයේ දකුණු ඉන්දියාවේ කන්දසාමි නම් සෙන්පතියෙක්‌ සිටියේය. ඔහුට වල්ලි අම්මා හා තෙව්වානි අම්මා කියා භාර්යාවන් දෙදෙනකු සිටියේය. එයින් වල්ලි අම්මා මිය ගොස්‌, පසුව ඇය ලංකාවේ සෙල්ල කතරගම වැදි තරුණියක්‌ව ඉපදී සිටින බව දැනගත් ඔහු ලංකාවට පැමිණ ඒ ගමේ පැලක්‌ අටවා ජීවත් විය. තෙව්වානි අම්මාද ඉන්පසු ඔහු සමඟ ලංකාවට පැමිණියේය. පසුව කන්දසාමි තෙව්වානි නියම භාර්යාව වශයෙන් තියාගෙන වල්ලි අම්මා අනියම් භාර්යාව ලෙස තබාගෙන මහා තේජස්‌ බල පරාක්‍රමයෙන් යුතුව වාසය කොට පසු කලෙක ඔහු දේවත්වයෙන් පුදනු ලැබීය. 

මෙම කතරගම් දෙවියන් ගැන බොහෝ කථා පටබැඳී ඇත. ඉන් එක්‌ කතාවක්‌ මෙසේය. ඊශ්වර දෙවියන්ගේ රූමත් බිරිය වන උමාංගනාව ලබා ගැනීමේ අටියෙන් බස්‌මසුරා නම් අයකු දොළොස්‌ වසරක කාලයක්‌ මෙහෙසර කරමින් සිට ඔහුට ඉවසීමේ සීමාව ඉක්‌ම වූ බස්‌ මසුරා අන්තිමේදී ඊශ්වර දෙවියන්ගෙන් වරයක්‌ ඉල්ලීය. දුරදිග නොසිතූ ඊශ්වරයා අත ගැසූ හැම දෙයක්‌ම විනාශ කිරීමේ බලයක්‌ ඔහුට ප්‍රදානය කළේය. පසුකලක බස්‌මසුරා ඊශ්වර දෙවියන් විනාශ කර උමාංගනව ලබා ගනිමියි හිතා තම අත ඔසවා දෙවිඳු වෙත කඩා පැන්නේය. දෙවිඳු බියට පත්ව පැනගිය අතර බස්‌ මසුරා ඔහු පසුපස ලුහුබැන්දේය. විෂ්ණු දෙවියන් මෙය දිවසින් දැක ඊශ්වර බේරාගනිමියි හිතා බස්‌මසුරා දුව එන පාරේ නග්න කාන්තා වෙසක්‌ මවා ඔංචිලි පදිමින් සිටියේය. නග්න දේහ වේශය දුටු බස්‌මසුරා වශියෙන් මත්ව කාම රාගයෙන් ඇඹරී ඇය කෙරෙහි හිත ඇදී ගියෙන් නැවතී තමාගේ සරණභාරයට එන ලෙස අයදීය. ඉන්පසු ඇය තමා දිවිහිමි කොට කවරදාකවත් අත නොහරින බවට පොරොන්දු වී තම හිස මත අත තබා දිවුරන ලෙස ඉල්ලා සිටියාය. කාම රාගයෙන් මත්ව අන්ධ වූ බස්‌මසුරා දිවුරන්නෙමියි කියා අත හිස මත තබනවාත් සමග ඔහු දා අළු වී ගියේය. එවිට ඊශ්වර තමා පසුපස හඹා ආ බස්‌මසුරා නොමැති නිසා ආපසු හැරී යනවිට කාන්තාව හමු විය. ඊශ්වර දෙවිඳුටද ඈ කෙරෙහි සිත ඇඳී ගියෙන් තම භාර්යාව වන ලෙස ඉල්ලා සිටියේය. එවිට ඇය ඔබගේ භාර්යාවගෙන් අවසර රැගෙන එන ලෙස අණ කළේය. එවිට අවසර ගෙන උමාංගනාව හමුවීමට යනවිට ඊශ්වර දෙවිඳුන්ට දක්‌නට ලැබුණේ ඇයට දරුවකු ලැබ සිටීමයි. ඒ බව ඔහු පවසන්ට ගොස්‌ ආපසු එනවිට ඇයට තවත් දරුවකු ලැබ සිටිනවා දැන එයද ගොස්‌ කියා නැවත ආපසු පැමිණෙන විට දරුවන් හයදෙනකු සිටිනවා දකින්ට ලැබුණේය. දරුවන් හයදෙනකුම ලැබූ ඇය බැලීම සඳහා උමාංගනාවද පැමිණ එම දරුවන් හයදෙනාම දැක දරුවන් කන්දරාවක්‌ යෑයි කියා දෑතින් එකට එක්‌කර ඇල්ලුවාය. ඉන්පසු හයදෙනාම එක්‌ අයකු විය. කඳින් එක්‌ අයකු වුවද මුහුණු හයක්‌ හා අත් දොළසක්‌ ද පහළ විය. මේ ස්‌කන්ද කුමාරයාගේ උපතයි.

මේ නිසා අදත් භාරතීය ඉන්දියාවේ හින්දු කෝවිල්වල, ලංකාවේ දේවාලවල මූර්තිමත් කර ඇති, ඇඳ ඇති කතරගම දෙවිඳු (ස්‌කන්ද) කුමරුගේ ප්‍රතිමා හා චිත්‍ර ආදියේ කතරගම දෙවිඳුගේ විශේෂ ලක්‍ෂණයන් වන්නේ මූණු හයක්‌, අත් දොළහක්‌ ප්‍රධාන වශයෙන් දක්‌නට ඇත. මෙම අත් දොළසේ ඇති දේවල් ගැන බලමු. මෙය දකින හැම අයකුට ම ධීරවීර වික්‍රමාන්විත යුධ සෙනෙවියෙක්‌ යුද්ධයට ගොස්‌ සතුරන් වනසා ප්‍රධාන හතුරාගේ හිස ගසා එම හිස මහත් අභිමානයෙන් සව_පාක්‍ෂියට පත්වීමටත් ජයග්‍රහණයේ සංකේතය වන සැවුල් කොඩියත් ජය සංඛය ඉහළම දැතට ගෙන ජය පානය කිරීමේ නොඉවසිලි එඩිතර භාවයෙන් ඉදිරියට පියනගන ආකාරයකි.

මෙහි ප්‍රධාන අත් දහයේ ඉතිරි අත් අටෙන් අත් හතක ඇත්තේ එදා අද මෙන් තුවක්‌කු, බෝම්බ, බයිනෙත්තු ආදිය නැති කාලයේ න්‍යෂ්ඨික අවි ලෙස සැලකූ හෙල්ල, කඩුව, තෝමරය, ත්‍රිශූලය, පාරාවලල්ල වැනි අවි හා පහළම දහවැනි අතේ එල්ලාගෙන ඇති රුධිර බිංදු පතිතව ගලා එන මිනිස්‌ හිසක්‌ දක්‌නට ලැබීමෙන් තේජසත් බලයත් ඕනෑම අයකුට මැවී පෙනෙයි. 

ප්‍රධාන අත්දෙකේ වමත අවියකින් තොරව පහතට හෙළා සිටීමෙන් හා දකුණත වැලමිටෙන් උඩ කොටස ඉහළට තබා ඇඟිලි විහිදා අභයමුද්‍රdව සංකේතවත් කර එතුමාගේ අධ්‍යාත්මික පාරිශුද්ධිය වන සතර අගතියෙන් තොරව යුක්‌තියට සාරධර්මයට හිස නමන කුළුණු බර අහිංසක බැතිමතුන්ට දුකේදී පිහිටවීම හා උසස්‌ සාරධර්මයන්ගෙන් පරිපෝෂිත ලෙන්ගතු හදවතක්‌ කතරගම සුරිඳුට ඇතිබව පෙන්වයි. දුෂ්ටයන්ට දුෂ්ටව කෲරවන අතර ශිෂ්ටයන්ට බෝසත් භාවයෙන්ද දෙයාකාරව සැලකිලි දක්‌වන්නේ කෙනකුගේ උස්‌ පහත් භේදයෙන් තොරව ආසිරිත් අරිටු පලත් උදාකරන බවට දෂ්ඨාන්ත බොහෝ ඇත.

එබැවින් දෙවිවරුන්ගේ යුධ සේනාධිපති වූද, මහ බඹුගෙන් මහාබලගතු වරමක්‌ හා අප්‍රතිහත දිරියක්‌ ඇති කතරගම සුරිඳුගේ බලමහිමයත් ඇත. ඇස්‌ ඉදිරියේ පෙන්වන හාස්‌කම් ද අදත් ඇති බව ගුප්ත ගවේෂණ තුළින් අපට දක්‌නට ඇත.

භාරතීsය හින්දුන් හා මලයාලි මංත්‍රවේදීන් ස්‌කන්ද මාර දිෂ්ටි බන්ධන කර ඉතා බලගතු යන්ත්‍ර මන්ත්‍ර රහසිගතව සකසා ඔවුනගේ ඉදිරි අභිවෘද්ධියන් සඳහා භාවිත කර ඇති බව පුරාණ පත්ඉරුවල සඳහන්ව ඇත. එකල ලක්‌දිව විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ද ස්‌කන්ධ කුමාර දේවතා බන්ධනවලින් බොහෝ පල නෙළා ඇති බැව් මන්ත්‍ර පත් ඉරුවල සඳහන්ව ඇත. එවන් යන්ත්‍ර අදත් රහසේ භාරතයේ මෙන්ම අපේ රටේ ද ස්‌වල්ප දෙනකු සකසා ඉන් තම ජයග්‍රහණයන් ඉටු කරගන්නා බව මන්ත්‍රවේදීන්, ගුප්තවිද්‍යාධරයන් ඉතා හොඳින් දන්නේය. එවන් මන්ත්‍රයක්‌ මෙසේය.

* ඕං කදිරාමනේ ස්‌වාමියානේ අඩිප්පා කිලුම් කෙත්තිප්පෙයි කදිරා මෙනේ මාරක්‌ ස්‌වාහා.......

* ඕං කදිර කංඩි පඩිත්තේ කොන්ඩාල් පස්‌ප් පෝනියේරුම් වල්ලි අම්මා වාවා සිප්පි රන්වන් සිත්කුම් මච්චි ස්‌වාමියානේ පේසයුම් මන්කඩි පේසු විෂ්ණු මාලාං සුරිය මලාන් කූංලේසි කන්දස්‌වාමි (තමාගේ නම) රක්‌කේතුවේ ස්‌වාහා.......

* ඕං අනි අරුගල් මුවරක්‌ විසික්‌ කිරාල ඉප්පේ මගලුම් මර ගාර කන්ද කුමාර (තමනම) රක්‌සන්තුවේ ස්‌වාහා......

* ඕං වන්දේ වන්දේ සූර්ය ස්‌වාමි ඉන් පොඩි චන්ද්‍ර සමාචි (තමනම......) රක්‍ෂන්තුසවාහඃ

මෙම යන්ත්‍රය තඹ තහඩුවක ඇඳ අදාළ කඳ සුරිඳුට පුද පූජා හා අදාළ දේ තබා සකසා ගැනීමෙන් ජනයා වශ්‍රවීම, ආකර්ෂණය, මෝහන පුෂ්ඨකරන සාධකයි. මාරක ග්‍රහ අපල දුරීභූතකර මැඩලයි. මිනිස්‌ දුෂ්ටයන් යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච, පීඩා උවදුරු දුරු කරයි. සියලු මාරාන්තික රෝග නිවාරණය කර ආයුෂ වඩයි. අනතුරු වළක්‌වයි. ළමා ළපටියාගේ පටන් මහල්ලා දක්‌වා බුද්ධිය වර්ධනය වේ. ඉගෙනීමට දක්‍ෂයකු වේ. ශ්‍රියා සම්පත්ති වර්ධනය වී ජනප්‍රිය බව දුටුවන් වශී වීම, දරුවන් නැති අයට දරු පල ලැබීමට දෙදෙනාම යන්ත්‍රය පැළඳ ගත යුතුයි. ශාස්‌ත්‍ර ඥානය ලැබීමට මීට වඩා යන්ත්‍රයක්‌ ද නැත. ගරු බුහුමන්, තම කර්මාන්ත, ව්‍යාපාර හා ප්‍රාර්ථනාවන් සපල වේ. ධන ධාන්‍ය භවභෝග නොඅඩුව ලැබේ. කුංකුමප්පු, මොනර පිහාටු, මනෝසීල, රසදිය, පල්මානික්‌කම් එකට සඳුන් තෙලින් අඹරා මෙම යන්ත්‍රයේ තවරා නෙළුම් මල් යුෂ හා මීපැණි මිශ්‍ර බඳුනක බහා තැබුවොත් පරඅඹුවන් කරා නොයා රන් රසසේ කිරි පැණි සේ දිවි ඇති තෙක්‌ නොකැඩී බන්ධනය වන බව කියා ඇත. ඉගෙනුම ලබන දරු පරපුරට බුද්ධිය වර්ධනය හා ධාරනය ඇතිවීමට මෙවන් යන්ත්‍රයක්‌ මැණිකකි.

මේ යන්ත්‍රයේ අදහස වන්නේ සූර්ය උදාවෙන් පිබිදුනු නෙළුමහි පියකරු බව බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර නැතහොත් බුද්ධ, ධම්ම, සංඝ, ත්‍රිකෝණාක්‍ෂරට සිරවී සැමදා ස්‌කන්ද කුමරුගේ තෙජස්‌ හා බලය පතුරවන බවයි. මෙම මන්ත්‍රය මලයාලී මන්ත්‍රයකි.

ගුප්ත විද්‍යාවේදී, සාම විනිසුරු ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments