ගුණයෙන් පිරෙමු නුවණින් වැඩෙමු


“දැන ඉගෙන ගත්තම – තමයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම – ඔබට සලකයි රටේ ඔක්කොම”

මේ කවිය ඔයාලා හැමෝම අහලා ඇති. කියවලත් ඇති දැන ඉගෙන ගත් උගත් කෙනෙක් වෙන එක වත්කමක් කියලයි. මේ කවියෙන් කියන්නේ “වත්කම” කියන දේ ගොඩක් අය මනින්නේ මිල මුදල්වලින්නේ හැබැයි සල්ලි කියන දේ හොරෙකුට වුණත් ගන්න පුළුවන්. ගින්නෙන් වුණත් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට රාජසන්තක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ “මිල මුදල්” කියන වත්කම ඕනෑම වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාට මේ කවියේ කියන “දැන උගත්කම” කියන වත්කම කිසි ම කෙනෙකුට අපෙන් උදුරලා ගන්න පුළුවන් ද ? බෑ නේ ද? හොරෙකුට ගන්න බැරි, රජෙකුටවත් ගන්න බැරි, ගින්නෙන් විනාශ වෙන්නෙත් නැති ඒ වගේ වස්තු සම්භාරයක් හරි හම්බ කර ගන්න කැමතියි නේ ද ?

ජීවිතයේ එන හැම අභියෝගයක් ම ජය ගන්න හරි විදිහට ලබන අධ්‍යාපනයකට පුළුවනි. ඒ නිසා දුවේ පුතේ, ඉගෙන ගන්න ඔයාලට ලැබුණ වාසනාව ගැන සතුටු වෙන්න. ඔයාලා වගේ දුවලා පුතාලා බොහෝ දෙනෙක් මේ ලෝකේ ඉන්නවා පාසලකට ගිහින් අකුරක් ඉගෙන ගන්න ඉඩක් නැතිව බඩගින්නේ පිපාසයෙන් දුක් විඳින එහෙම ගොඩක් අය ඉන්න ලෝකෙක ඔයාලගේ දෙමව්පියෝ, ගුරුවරු වගේ ම ඔයාලට යහපතක් වෙනවා දකින්න කැමති අනෙක් හැම කෙනාමත් ඔයාලට කියන්නේ ඉගෙනගෙන හොඳ තැනකට යන්න කියලයි. එහෙම කියන්නේ දැන උගත්කම ලොකු වත්කමක් කියලා ඒ අය දන්න නිසයි. ජීවිත කාලය පුරා ම ඔයාලට සැප සතුට ලබා දෙන්න උපකාරයක් වෙන ඒ දැන උගත්කම්වලින් ජීවිතය ලස්සන කර ගන්නවා කියලා ඔයාලා හැම කෙනෙක් ම අධිෂ්ඨාන කර ගන්න.

නුඹට සලකයි රටේ ඔක්කොම…

දැන උගත්කම කියන වත්කම එක්ක ගුණ නුවණ දෙක ම පිරුණොත් ඒ බව දකින රටේ හැම කෙනෙක් ම ඔබට සලකන බවත් මේ කවියෙන් කියැවෙනවා. ඇත්තටම දුවේ පුතේ, උගත් මනුස්සයෙක් වෙන එක මේ ලෝකයේ දකින්න නො ලැඛෙන දෙයක් නෙමෙයි. අකුරු ඉගෙන ගන්න, අධ්‍යාපනය ලබන්න වාසනාව සහිත වුණ හැම කෙනෙක් ම උගතුන් වෙන්න දොරක් ඇර ගන්නවා. හැබැයි එහෙම වුණා කියලා ඒ හැමෝ ම ගුණෙන් නුවණින් වැඩෙන්නේ නෑ. එහෙම වෙන්නෙ කොහොම ද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති.
එහෙම වෙන්නේ මේ ලෝකයේ ඉගෙන ගන්න තියෙන හැම දෙයකින් ම ලෝකයට හොඳක් විතරක් වෙන්නෙ නැති නිසයි. මෙහෙම හිතන්නකෝ, මේ ලෝකයේ එක එක විදිහෙ ආයුධ තියෙනවා නේ ද? පිහි, තුවක්කු, බෝම්බ ඔය වගේ ආයුධ වර්ග ගොඩක් ලෝකයේ තියෙනවා. ඉතින් කෙනෙක් කැමති නම් එයාට පුළුවන් බෝම්බ හදන හැටි වුණත් ඉගෙන ගන්න. ඒකත් එක විදිහක උගත්කමක්. ඒ දෙය ඉගෙන ගන්න එකෙන් බෝම්බ හදලා සල්ලි උපයා ගන්නත් එයාට පුළුවනි. හැබැයි ඒ බෝම්බවලින් කරන්නේ සිය දහස් ගණන් මිනිස්සු මරා දමන එක නම් ඒ උගත්කම ලෝකයට හොඳක් ද කරලා තියෙන්නේ ? තවත් කෙනෙකුට පුළුවන් භයානක රෝගයකට ඖෂධයක් හදන හැටි ඉගෙන ගන්න. අන්න ඒ දේ ඉගෙන ගෙන ඒ කෙනා ඖෂධය හදන කොට මිනිස්සු ඒ ලෙඩෙන් මැරෙන එක නවතිනවා නම් ඒ උගත්කම ලෝකයට හොඳ දෙයක් නේ ද කරලා තියෙන්නෙ? මොකක්ද මේ දෙකේ වෙනස? වෙනස තමයි දුවේ පුතේ, උගත්කමට ගුණ නුවණ එකතු වීම. බෝම්බ හදපු කෙනාට තිබුණෙ උගත්කම විතරයි. ගුණ නුවණ නො තිබුණ නිසා එයාට තමන් කරන නරක වැඩෙන් ලෝකෙට අයහපතක් වෙන එක නතර කරන්න බැරි වුණා. හැබැයි ඖෂධය හදන කෙනා ඒ උගත්කම වගේ ම මැරෙන්න යන ජීවිත බේරා ගැනීමේ ගුණවත්කමත්, පින් රැස් කිරීමේ නුවණත් ඇතිව හිටපු නිසා රටේ ඔක්කොම එයාට සලකන විදිහට තමන් තුළ යහපත්කම් හදාගෙන තිබුණා. ඒ නිසා දුවල පුතාලා ලබන උගත්කමත් ගුණ නුව‚න් යුතු උගත්කමක් වෙන්න ඕනි කියලා හොඳට මතක තියා ගන්න.

ගුණ නැණ ඛෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරූ…

ලෝකෙට නරකක් කරන දුවල පුතාලා දාහක් ඉන්නවට වඩා ලෝකයට හොඳක් කරන දුවල පුතාලා එක්කෙනෙක් හරි ඉන්නවා නම් අන්න ඒ රත්තරන් දුව පුතා තමයි ලෝකෙට ම වටින්නේ. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබපු ඔයාලා හැම කෙනෙක් ම ලෝකෙට ම වටින කෙනෙක් වෙන තුරු ම යා යුතු හරි ම මග කියලා දෙන්නත්, ළඟින් ම ඉඳගෙන උපකාර කරන්නත් අපි සූÞනම්. ඔයාල හැම කෙනෙක් ම ගුණෙන් නැ‚න් පිරුණු සුවඳ මල් වගේ පිබිදිලා හෙට දවසේ අපේ මේ පුංචි රටත්, ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් බබළවන පහන් එළියක් වේවි කියලා අපිට ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා.

ඔයාලගේ යහපත කැමැත්තෙන්, ඔයාල හෙට දවසෙදි අපි ඉපදුණ මේ රටට මහා සම්පතක් වෙනවා දකින්න කැමැත්තෙන් බොහෝ දෙනෙක් ඔයාලගේ ගමනට අත්වැලක් වෙන බව සතුටින් මතක් කරන්න. ඔයාලා හැම කෙනෙක් ම සියලූ සැපතින් වැඩෙත්වා කියන එකයි අපි කාගෙත් ප්‍රාර්ථනය. ගුණ නැණ දෙක ම ඇති දරුවන් තමයි ලෝකෙට වටින්නේ කියලා අපි දන්නවා දුවේ පුතේ, අන්න ඒ ගුණ නැණ ඇති දරුවා බවට ඔයා පත් වෙන්න.

දරුවනේ, වන මලක් යනු,
මල් දැකලා තියෙනවා නේ ද? එක එක පාට, එක එක සුවඳ, එක එක හැඩ, රෑට පිපෙන, උදේට පිපෙන, එක එක වර්ගයේ මල් දුවලා පුතාලා දැකලා ඇති. මතක් කරන්න බලන්න ඒ එක එක මල් මොන තරම් සුවඳ ද මොන තරම් ලස්සන ද කියලා.

දුවේ පුතේ, හැම මලක් ම හරි ලස්සනයි. මේ සුන්දර සුවඳ මල් පිපුණේ එක රැයකින් ද? නැහැ. ඔයාලා දැකලා තියෙනවා නේ ද පුංචි ම පුංචි මල් පොහොට්ටු ටිකෙන් ටික ලොකු වෙලා මලක් වෙන හැටි. මේ දේ එක රැයකින් වෙන අසිරිමත් දෙයක් නෙමෙයි. ගහයි, පොළවයි බොහෝ කාලයක් උත්සාහ කරලා තමයි දුවේ පුතේ සුන්දර සුවඳ මල් උපද්දවන්නේ, මලක රුව ගුණ පුරා ගහත්, පොළවත් කරපු කැප කිරීම් තියෙනවා. ගහත්, පොළවත් නො තිබුණා නම් අපට කොහෙන් ද ලස්සන සුවඳ මල්? එහෙනම්, ලස්සන මල වගේ ම මල හදපු ගහත් පොළවත් වටිනවා නේ ද?

දුවලා පුතාලා හැම කෙනෙක්මත් පිපෙන්න ඉන්න මල්, ලස්සන පාටින්, ලස්සන සුවඳින් හැඩ වෙලා ඔයාලා පිපෙන්න ඕනේ. හැබැයි ඔයාලා ඒ විදිහෙ සුවඳ මල් කරවන්න දුක් විඳින ගහකුත් පොළවකුත් තියෙන බව කවදාවත් අමතක කරන්න එපා. කවුද මේ ගහයි පොළවයි? ඒ තමයි ඔයාලගේ අම්මා තාත්තා සහ ගුරුවර වැඩිහිටි පිරිස. ඒ අය තමයි ඔයාලව කවලා පොවලා උස් මහත් කරවන්නේ, අකුරින් අකුර කියලා දීලා උගත් මිනිස්සු කරන්නේ, ගුණ යහපත්කම් පහදලා දීලා ඔයාලා ගුණ නුව‚න් වැඩුණු මිනිසුන් කරන්නේ. හැම දවසෙ ම ඒ ගසෙත්, පොළවෙත් ගුණ, ඒ අය කරපු උපකාර ඔයාලා මතක් කරන්න. කළගුණ දන්න කෙනා, කළගුණ සිහි කරන කෙනා සත්පුරුෂයෙක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්පුරුෂයෙක් ම තමයි ලෝකයට හොඳ යහපත් දේවල් ලබා දෙන්නෙ. ඒ නිසා දුවේ පුතේ සත්පුරුෂ භූමිය කියලා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කළගුණ දන්නා බව හා කළගුණ සිහි කිරීම ඔයාලත් හොඳට පුරුදු කරන්න.

ලොවක් වටින ආදරේ…

දුවේ පුතේ, කල්පනා කරලා බලන්න මේ ලෝකේ වැඩියෙන් ම ඔයාලට හොඳ දේවල්, යහපත් දේවල් කියලා දුන්නේ කවුද කියලා.
හොඳ යහපත් වචන කථා කරන්න, කීකරුව හැසිරෙන්න, සංවරව ඉන්න, පිරිසිදුව ඉන්න, සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න ඔයාලට කියලා දුන්නේ කවුද?
ඒ ඔයාගේ අම්මා තාත්තා සීයලා ආච්චිලා අයියලා අක්කලා, නෑදෑයෝ, ගුරුවරු නේ ද? ඒ කියලා දුන්න එක ම එක දෙයක්වත් ඔයාලට හරි, වෙන කෙනෙකුට හරි අයහපතක් කරලා නෑ නේ ද? අන්න ඒ විදිහට හොඳ දේවල් ම, යහපත් දේවල් ම කියලා දුන්න උතුම් පිරිසගේ ආදරේ අපිට ලෝකයක් තරමට ම වටිනවා. ඇයි දන්නව ද? ඒ දේවල් අපට අහන්න නො ලැබුණා නම් අපි කොහොමද රටට ලෝකෙට හොඳ දෙයක් ම කරන, ගුණ නුව‚න් වැඩුණ, රටේ සැලකුම් ලබන කෙනෙක් වෙන්නෙ? අන්න ඒ නිසයි ඒ තරම් ලොකු යහපතක් අපේ ජීවිතවලට ළඟා කරවපු ඒ අයගේ ගුණ නිතර සිහි කරන්න කියලා අපි ඔයාලට කිව්වේ.

ධනය පිරුණ ගුණවත්තු…

මේ ලෝකයේ දිළිඳුකමත්, ධනවත්කමත් දකින්න පුළුවන්. හැබැයි ලෝකය ඒ දේවල් මනින්නේ මිල මුදලින්. එහෙම වත් පොහොසත්කම් මනින එක හරියි කියල ද දුවේ පුතේ ඔයාලා හිතන්නේ? අපි ආදරයෙන් සරණ ගියපු ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගෙන් එක දවසක් ආලවක කියන යක්ෂයා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.

කිංසූ’ධ විත්තං පුරිසස්ස සෙට්ඨං

මේ ප්‍රශ්නයේ සිංහල තේරුම තමයි දුවේ පුතේ,
කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ? කියන එක.
තුන්ලොව තුන්කල් විනිවිද දුටු අසිරිමත් ප්‍රඥාවක් දරාගෙන වැඩ සිටි සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උත්තරය වදාළා.
සද්ධී’ධ විත්තං පුරිසස්ස සෙට්ඨං

ඒ කියන්නේ

ශ්‍රද්ධා ධනය තමයි පුරුෂයා හට උතුම් වන්නේ

සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒ ආකාරයෙන් ම අදහා ගැනීමට තමයි දුවේ පුතේ ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව නම් වූ උතුම් ධනය තියෙන කෙනා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඒ විදිහට ම පිළිපදිනවා. උන් වහන්සේ ගිහි අපට දේශනා කොට වදාළේ සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා සිල් පද සුරකින්න කියලයි. ශ්‍රද්ධා ධනය තියෙන කෙනා ජීවිතේ පුරා ම මේ සිල්පද බොහොම ගෞරවයෙන් ආරක්ෂා කර ගන්නවා. සිල්පද රැක ගන්න අයට දුවේ පුතේ මේ ජීවිතයේ දී ම භවභෝග සම්පත් වැඩි වැඩියෙන් ලැඛෙනවා. එයාලාගේ හොඳ ගුණ යහපත්කම් ගැන සමාජය කතා වෙනවා. ඒ අයට කිසි බිය සැකක් නැතිව විශාරදව පිරිස් අතරට යන්න පුළුවනි. ඒ අය මර‚න් මත්තේ සුගතියේ යනවා’ බලන්න මොන තරම් ලාභයක් ද කියලා. ඒ ධනවත්කම ජීවිතයට එකතු කරගෙන සිල්පද රැකගන්න අපි කාටත් උදා වුණ වාසනාව ගැන හිතලා ඔයාලත් සතුටු වෙන්න.

රටේ සැලකුම් ලබමු…

දුවේ පුතේ, ඔයාලත් ශ්‍රද්ධා ධනයෙන් වැඩි වැඩියෙන් පොහොසත් වුණොත් ලෝකෙට යහපත් දේ ම විතරක් පෙන්වා දුන්නු, යහපත ම දන් දුන්නු සම්බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා. ඒ ශාස්තෘ අවවාදවල හික්මෙනවා. එහෙම හික්මෙන හැම කෙනෙක් ම අපි මුලින් කිව්ව සත්පුරුෂ බිමට පැමිණෙනවා. මතකයි ද ඒ සත්පුරුෂ බිම? ඒ තමයි කළගුණ දන්නා බව සහ කළගුණ සිහි කරන බව. දුවේ පුතේ, කළගුණ දන්න – කළගුණ සිහි කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. කළගුණ සලකන කෙනාට යහපත් උපකාර කරන පිරිස්වල ඇසුර නිතර ලැඛෙනවා. එතකොට වැරදි පාරක යන්න ගියත් අර උතුම් පිරිස ඒ අයව ආයෙමත් හොඳ පාරට ගේනවා. ආදරෙන් මඟ පෙන්වනවා. “ආදරෙන්” කිව්ව ම හිතන්න එපා මුදු මොළොක් වචනයෙන් ම ඒ පිරිස මඟ පෙන්වයි කියලා. තරවටු කිරීම්, දොස් පැවරීම් විදිහටත් ඔයාලට අවවාද ලැබිලා ඇති. ඒ වගේ වෙලාවල්වල ඔයාලට දුක හිතිලත් ඇති. තරහ ඇවිල්ලත් ඇති. ඒත් දුවේ පුතේ, මොළොක් විදිහට කිව්වත්, සැර පරුෂ විදිහට කිව්වත් ඒ හැම අවවාදයක් ම අපට දෙන්නේ “අපේ යහපත කැමැත්තෙන්” නේ ද?

අන්න ඒ නිසා කියන විදිහ මොකක් වුණත්, කියන්නේ යහපත් දෙයක් නම්, කියන්නේ හොඳ දෙයක් නම් මල්මාලයක් පිළිගන්නවා වගේ කැමැත්තෙන් ඒ අවවාද පිළිගන්න. ඒ අවවාදවලට කීකරු වෙන්න. ඒකෙන් කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි ඔයාලට යහපත සලසන පිරිසෙන් ඔයාලා ඈත් වෙන්නේ නැහැ. අනික තමයි ඔයාලා ඒ උපකාරයන් පිළිගන්නේ ඔවුන්ගේ ගුණ දකිමින්. ඒ කියන්නේ සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වÞළ සත්පුරුෂ භූමියේ හිඳිමින්. එපමණකින් ම ඔයාලා මේ ලෝකයේ උතුම් ම ධනයට හිමිකාරයෙක් වෙනවා. ආර්ය වූ ශ්‍රද්ධා ධනයට උරුමකාරයෙක් වෙනවා. බුද්ධ ශ්‍රාවකයෝ විදිහට අපට වුවමනාත් අන්න ඒ දේ තමයි. ගුණ නුවනින් සපිරුනු සුවඳ මල් වෙලා මුළු ලෝකය ම සුවඳවත් කරන්නට ඔයාලා හැම කෙනෙකුට ම වාසනාව උදා වේවා.

උතුම් සම්බුදු බලයෙන් – පසේබුදු ගුණ බලයෙන්
රහතුන්ගේ ද තේජසින් – සියලූ රැකවරණ වේවා!

තෙරුවන් සරණයි!
By : www.shraddha.lk

Post a Comment

0 Comments