ඇති දේ ඇති සැටියෙන් දැකීම

මේ ත්‍රිලක්ෂණය නොසලකා හැරීම හෝ ඒවා විකෘති ලෙස දැකීම, නියතවම අප යොමු කරනු ඇත්තේ අපේක්ෂා භංගත්වය, වෙතටය. එහෙත් මුළාකාරී වූ මතුපිට පෙනුම විනිවිද යමින් තිලකුණු දැකීමට අප සමත් වුවහොත් අපට එදිනෙදා ජීවිතයෙහි මෙන්ම අධ්‍යාත්මික ප්‍රයත්නයන්හි ද විශාල ප්‍රතිලාභ සාධනය කර ගැන්මට හැකි වනු ඇත.

1901 ජුලි මස 21 වෙනිදින ජර්මනියේ උපන් සිග්මන් ෆෙනිගර් කුඩා අවධියේ සිටම බෞද්ධ පොතපත ඇතුළු පෙරදිග ලෝකයේ ඥාන සම්භාරය ඇතුළත් ග්‍රන්ථ පරිශීලනය කළ අයෙකු විය. පසු කාලීනය බුද්ධාගම කෙරෙහි පැහැදුණු ඔහු 1936 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණ දොඩන්දූව සෙනසුනේදී ඤාණපෝනික යන පැවිදි නමින් සසුන්ගත විය. 1937 ජුනි 29 දින උපසම්පදාව ද ලැබූ උන්වහන්සේට ජර්මන් ජාතිකයෙකු වූ නිසා දෙවන ලෝක යුද සමයෙ ඉන්දියාවේ රැඳවුම් කඳවුරුවල ගතකිරීම ආදී හිරිහැර වලටද ලක්වීමට සිදුවිය. 1946 ශ්‍රී ලංකාවට ආපසු පැමිණි ඤාණපෝනික හිමියෝ 1952 වර්ෂයේ සිට මහනුවර උඩවත්තකැලේ වන සෙනසුනට පැමිණ එතැන් සිට අඛණ්ඩවම ශාසනික සේවාවේ නිරත වූහ. උන්වහන්සේ 1954 - 56 දක්වා බුරුමයේ පැවති හයවන බෞද්ධ සංඝායනාවටද ක්‍රියාකාරීව සහභාගි වූ සේක. බුදුදහම වත්මන් ලෝකයේ ප්‍රචලිත කිරීමට විශාල මෙහෙවරක් කළ උන්වහන්සේ මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය පිහිටුවීමේදී පුරෝගාමීව කටයුතු කළ යතිවරයාණෝ ය. 1958 වර්ෂයේ ආරම්භ කළ එම සමිතියේ සභාපති ධූරයත් 1988 සිට අපවත් වනතුරුම එහි උත්තරීතර අනුශාසක ධූරයත් ඉසුලු උන්වහන්සේගේ ශාසනික සේවාවට උපහාර වශයෙන් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධි ද ශ්‍රී ලංකා අමරපුර නිකායෙන් මහා මහොපාධ්‍යාය ශාසන සෝභන ගෞරව නාමය ද ප්‍රදානය කර ඇත. බුදු දහම පිළිබඳව ඉංගී‍්‍රසි හා ජර්මන් භාෂා වලින් ප්‍රාමාණික ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා බුදු සසුනට අපරිමිත සේවයක් කළ උන්වහන්සේ 1994 ඔක්තෝම්බර මස 19 දින අපවත් වූ සේක.

ලෝකයේ පවතින සජීවි දේ අතුරෙන් ඉතාම කුඩා අංශුවක් වුවත් වෙන්කොට ගෙන, එය පිරික්සා බැලුවහොත් අපට පෙනෙනු ඇත්තේ, ඒ හැම දෙයක ම ජීවමාන විවිධතා ගණන් කොට ඉවර කළ නොහැකි තරම් සංඛ්‍යාවක් පවතින බවය. එසේ වුවත්, ජීවමාන සෑම දේටම පොදු වූ මූලික ස්වභාව තුනක් තිබේ. කුඩාතම ක්‍ෂුද්‍ර ඹ්ෂයාගේ සිට මනුෂ්‍යයා තෙක් සියල්ලන්ටම පොදු වූ ඒ ගුණාංග වන්නේ

1. විපර්යාසයට හෙවත් වෙනසට භාජනය වීම (අනිච්ච)
2. දුක හෙවත් අතෘප්තිමත් බව (දුක්ඛ)
3. මමත්වයක් හෝ නිශ්චිත අන්තර්ගතයක් නැති බව (අනත්තා)

මේ මූලික ස්වභාව තුන ලෝකයේ පවතින බව සොයාගෙන ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලද්දේ, මීට වසර 2500 ගණනකට පෙර බුදුරදුන් විසිනි. බුදුන්වහන්සේ ලෝකය ගැන දැන ගත් අය (ලෝකවිදූ) යනුවෙන් නම් කරන ලද්දේ එබැවිනි. පැවැත්මක් ලබන සියලු දේවල අනිවාර්යයෙන්ම පවතින මේ ස්වභාව තුන බෞද්ධ විග්‍රහය අනුව ‘තෙලකුණු’ (තිලක්‍ෂණ) යැයි නම් වී තිබේ. එම ලක්ෂණයන් ජීවිතයේ ස්වභාවය මත නියතව පිහිටා ඇති ලාංඡනය වේ.

මෙම ලකුණු තුන අතුරෙන් පළමුවැන්න සහ තුන්වැන්න අජීවි වස්තු පිළිබඳව මෙන්ම සජීවි සත්ත්වයන් පිළිබඳව ද කෙළින්ම අදාලය. ඒ මන්ද යත්, මූර්තිමත් සියලු දේ ස්වභාවයෙන්ම වෙනසට භාජන වන අතර නිශ්චිත අන්තර්ගතයක් ද නැතිව පවතී. දෙවන ලක්ෂණය වන දුක වින්දනය කරන්නක් පමණක් වන හෙයින්, අදාළ වන්නේ සජීවි සත්ත්වයන්ට පමණකි. එහෙත් බුදුරදහු දුක්ඛ සංකල්පය සියලු සංස්කාර ධර්මතාවන් සඳහා අදාළ ලෙස ගත්හ. ඒ කිනම් අරුතින් ද යත්, සියලු සංස්කාර ධර්ම (හේතු ප්‍රත්‍ය වශයෙන් උපන් දේ හෝ සත්ත්වයෝ) සැමෙකක් ම දුක්ඛයක් ජනිත කිරීමේ සම්භාව්‍යතාවක් (ඉඩක්/ හැකියාවක්) ඇති බැවින්ද, සදාකාලික තෘප්තියක් ලබාදිය නොහැකි බැවින්ද, යන අරුතෙනි. එහෙයින් අපේ සාමාන්‍ය සංජානනයට (දැන ගැනීමට) හසු නොවන වස්තු / සත්ත්ව විශේෂ සම්බන්ධයෙන් වුවත්, මේ ලකුණු තුන සර්වසාධාරණ යැයි කිය හැකිය.

බුදුරදුන් උගන්වන්නේ, ජීවිතය නිවැරැදිව වටහාගත හැක්කේ මේ මූලික කාරණා වටහාගතහොත් පමණක් බවය. මේ වටහා ගැන්ම හුදෙක් තර්ක බුද්ධියෙන් පමණක් නොව, තමන්ගේම අත්දැකීමට මුහුණ පෑමෙන් ද කළ යුත්තකි. බුදුදහමේ අවසාන විමුක්තිය ලෙස ගැණෙන විදර්ශනාමය ප්‍රඥාව ලැබීම යනු තමන්ගේ් ශාරීරික හා මානසික ක්‍රියාවලියට අදාළ ලෙස එම ත්‍රිලක්ෂණය අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමය. එම අවබෝධය ඇතිවන්නේ ගැඹුරු ලෙස පවත්වමින් මුහුකුරා ගිය භාවනාවෙනි.

සියල්ල ඒ දෙයෙහි යථා ස්වභාවය අනුව දැකීම යනු ඒ දේ අනවරතව තිලකුණු තුළින්ම දර්ශනය කිරීම ය. මේ අයුරින් ඒ දේ නොදැකීම එම තිලකුණුවල ස්වභාවය සහ ඒවා යෙදවිය හැකි පරාසය ගැන තමන් රවටා ගැනීමකි. මෙය අවිද්‍යාව (මෝහය) ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන කාරණය වේ. අවිද්‍යාව ම දුක ඇති කිරීමේ ප්‍රබල සාධකයකි. මනුෂ්‍යයා හසුවන දැල වියනු ලබන්නේ එය විසිනි. මනුෂ්‍යයා දුකට භාජන කරන එම දැල සෑදෙනු ඇත්තේ හිස් බලාපොරොත්තු, යථාවක් නැති මෙන්ම අන්තරාය ගෙනෙන තෘෂ්ණාවන්, මුළා කරවන මතවාද විකෘත ඇගැයුම් හා නොමග යවන අරමුණු ආදියෙනි.

මේ ත්‍රිලක්ෂණය නොසලකා හැරීම හෝ ඒවා විකෘති ලෙස දැකීම, නියතවම අප යොමු කරනු ඇත්තේ අපේක්ෂා භංගත්වය, වෙතටය. එහෙත් මුළාකාරී වූ මතුපිට පෙනුම විනිවිද යමින් තිලකුණු දැකීමට අප සමත් වුවහොත් අපට එදිනෙදා ජීවිතයෙහි මෙන්ම අධ්‍යාත්මික ප්‍රයත්නයන්හි ද විශාල ප්‍රතිලාභ සාධනය කර ගැන්මට හැකි වනු ඇත. ලෞකික මට්ටමින් බලන විට, අනිත්‍යතාව, දුක හා අනාත්මය පැහැදිලිව වටහා ගැන්ම මගින් අපට ජීවිතය දෙස මනා සිහියෙන් බැලීමට ඉඩ සැලසෙනු ඇත. එම දැක්ම විසින් අපව යථාර්ථයෙන් ඈත් වූ බලාපොරොත්තුª ඇතිකර ගැන්ම වළකනු ඇත. දුක් හෝ පරාජය පැමිණි කල, ඒ දේ භාර ගැනීමට අවශ්‍ය ශක්තිය අපට ලබා දෙනු ඇත. එසේම මුළා වූ පිළිගැනීම් හා දෘෂ්ටීන් වැළඳ ගැන්මට ඇති ආශාවෙන් අප මුදවාලනු ඇත. ලෞකිකත්වය අභිබවා යන ආධ්‍යාත්මික සුවය පතා අප දරන ප්‍රයත්නයන්හිදී තිලකුණු මනාව වටහා ගෙන තිබීම අනිවාර්ය වේ. සියලු සංසිද්ධීන් තිලකුණු හා සමඟ වෙන් නොවන ලෙස බැඳී ඇති බව භාවනාමය ලෙස අත්දැකීම් විසින්, නිත්‍යය, සුඛ ජනකය, ද්‍රව්‍යමය ගුණයෙන් යුතුය යන අසත්‍ය සංකල්පමය භවයක් (බොරු, සිතින් මවාගත් පැවැත්මක්) කෙරේ අපේ ඇති බැඳීම ලිහිල් කොට අන්තිමේදී සිඳ බිඳ දමනු ඇත. අභ්‍යන්තර හා බාහිර සියලු දේ ඒවායේ සැබෑ ස්වභාවයෙන්ම ක්‍රමක්‍රමයෙන් පෙනෙන්නට පටන් ගනු ඇත. සියලු දේ නිරන්තරවම වෙනසට භාජන වන බව, දුක හා බැඳි ඇති බව, ද්‍රව්‍යමය වශයෙන් පිරී නැති බව, නිත්‍ය වූ ආත්මයක් හෝ සදාකාලික හරයක් නැති බව යනාදිය අපට ප්‍රත්‍යක්ෂ වනු ඇත. එම දැක්ම නිසා අනාසක්ත බව (නො ඇලීම) වැඩෙනු ඇත. ආත්මාර්ථකාමී ව ඇලී සිටීමෙන් අප මුදවා සිතට අවසාන විමුක්තිය ලබාදෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇත.

ඤාණපෝනික හිමි
පරිවර්තනය - මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස
(‘ඇති දේ ඇති සැටියෙන් දැකීම’ කෘතියෙනි)

Post a Comment

0 Comments