"ගාධිමායි" දෙවඟන වෙනුවෙන් සතුන් තුන්ලක්‍ෂයකගේ බෙළි කැපීම

නේපාලය ලෝකයේ ඇති එකම හින්දු රාජ්‍යයයි. ඉන්දියාවේ බහුතරය හින්දු වුවද එය අනාගමික රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශිතය. මේ හින්දු රාජ්‍යයේ සිදුකරන දේව උපහාර උත්සවයක්‌ පිළිබඳව පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍යයන්හි වැඩි අවධානයක්‌ යොමුව තිබේ. සෑම වසර 5 කට වරක්‌ පැවැත්වෙන මේ හින්දු උත්සවය සැබැවින්ම ලොමුදැහැගන්වන්නකි. බොහෝ අහිංසාවාදී කණ්‌ඩායම් මෙයට විරෝධය පළ කරති. ගාධිමායි එනම් බලයට අධිපති දෙවඟන උදෙසා ලොව විශාලතම සත්ව ඝාතනය සිදුකරන්නේ මේ හින්දු උත්සවයේදීය.

ඉකුත් සිකුරාදා හා සෙනසුරාදා දින දෙක පුරා මීහරක්‌, කුරුල්ලන්, එළුවන් ඇතුළු විවිධ සතුන් තුන්ලක්‍ෂයක්‌ බෙලි කපා මරා දැමිණි. මීයන්, කුකුළන් පරෙවියන් මෙන්ම ඌරන්ගේ ද බෙලි කපා ගාධිමායි දෙවඟනට උපහාර දැක්‌වීමට නේපාල මෙන්ම ඉන්දීය හින්දුන් නොපැකිලෙති. 2009 පසු වසර 5 කට පසු නේපාල ඉන්දීය දේශසීමාව අසල බාරියාපුර්හිදී මෙම "පන්චාබාලි" උත්සවය පැවැත්විණි.

සිකුරාදා දිනයේ බිළි පූජාව ඇරඹුණේ මීහරක්‌ පන්දහසකගේ බෙලි ප්‍රසිද්ධියේ කපා දැමීමෙන් අනතුරුවයි. ගාධිමායි දෙවඟන වෙනුවෙන් සිදුවූ බාරහාර ඔප්පු කරනු ලබන්නේ මෙම සත්ව බිළි පූජාවෙනි. මෙම බිළි පූජාව සඳහා මීහරකුන් ඉන්දියාවේ සිට ප්‍රවාහනය කිරීම නවතා දමන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතත් එයින් මෙම බිළි පූජාවට සතුන් ගෙන ඒම අධෛර්යයට පත්ව නැත. මෙම බිළි පූජා උත්සවය වසර 260 ක්‌ පැරණිය. බාරිපූර්හි හින්දු දෙවොල ඉදිරිපිට පැවැත්වෙන මෙම බිළි පූජාව සඳහා දහස්‌ ගණනක්‌ සහභාගි වන අතර සමහරු මෙලෙස මරා දමනු ලබන සතුන්ගේ බෙලිවලින් වෑහෙන ලේ බොති. කුඩා දරුවෝ භීතියෙන් යුතුව බෙලි කැපී වෙන්වී ගිය සත්ව මළ සිරුර දෙස බලා සිටිති. සැබවින්ම මේ දින දෙක පුරාම බාරිපුර් දේවාල භූමිය එකම ලේ විලකි.

36 හැවිරිදි පරිපාලන නිලධාරියකු වන ගෝපාල් අධිකාරි මේ උත්සවය ගැන ප්‍රංශ පුවත් සේවයට අදහස්‌ දක්‌වා තිබිණි. 

"ඇත්තටම සමහරු කියනවා මෙවැනි ආකාරයට බිළි පූජා තැබීම සුදුසු නැහැ කියල. නමුත් අපිට විශ්වාසයක්‌ තියනවා. ඒකයි අපි මේ උත්සවයට සහභාගි වෙන්නේ. මගේ දේපළ ප්‍රශ්නයක්‌ වෙලා මම ගාන්ධිමායි දෙවඟනට භාර වුණා. ඒ ප්‍රශ්නේ විසඳුණා. ඒ බාරේ ඔප්පු කරන්න තමයි මම යන්නේ" හින්දු පූජකයකු වන මන්ගල් චෞද්රි මෙසේ කියයි. බාරියාපුර් හින්දු දේවාලයේ සේවය කරන මම අපේ පරම්පරාවේ දහවැනියා. පරම්පරා ගණනාවක ඉඳලා මම මේක දැක්‌ක. අපි කිසිම කෙනකුට බලෙන් මේ බිළි පූජාව කරන්න කියලා බලපෑම් කරන්නේ නෑ. මිනිස්‌සු කැමැත්තෙන් එන්නේ හැම පාරකම එන බැතිමතුන් වැඩිවෙනවා මිසක්‌ අඩුවීමක්‌ නම් නැහැ. ඉන්දියාවේ සත්වයන් වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරයේ ගවුරි මවුලේනි පවසන්නේ මෙතැන පූජනීය කටයුත්තක්‌ සිදුනොවන බවත් මෙය මුදල් ජාවාරමක්‌ පමණක්‌ බවත්ය. මේ බිළි පූජාව සඳහා යොදාගන්නා සතුන්ගෙන් බහුතරය ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන්. මේ දේවාලය අසල ගම්මානයක ජීවත් වන පවන් කුමාර් මෙසේ කියයි. ඇත්තටම මෙහෙම සතුන් බෙලි කපා මරා දමනවා දැක්‌කාම හදවත කඩා වැටෙනවා. උන්ගේ ඇස්‌ දැක්‌කම ඒ වේදනාව හිතාගන්නවත් බැහැ. මේ බිළි පූජාවෙන් පස්‌සේ එන ලේ ගදත් එක්‌ක අපිට හුස්‌ම ගන්නවත් බැහැ.

Republica පුවත්පතේ කර්තෘ සුබාෂ් ගිම්රේ මෙසේ කියයි. ඇත්තටම මෙවැනි මහා බිළි පූජාවක්‌ තැබීම ගැන මම එතරම් කැමති නෑ. නමුත් අපි සංස්‌කෘතික හා ආගමික විශ්වාස ගැනත් බලන්න ඕනෑ. ඒවා වලක්‌වන්නත් බැහැ. මේ උත්සවය තහනම් කරන ලෙස නේපාල රජයට බලපෑම් එල්ල වුවද එය තහනම් කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. එහෙත් ශිෂ්ඨ ලෝකය මේ බිළි පූජාව අනුමත කරන්නේද?

චතුර පමුණුව

Post a Comment

0 Comments