ජන්ම පත්‍රයේ ග්‍රහයන් උච්ච වීම - නීච වීම

ජන්ම පත්‍ර පරීක්ෂා කරන ජේ‍යාතිෂවේදීන් උච්ච, නීච යන වචනයන් බහුලව භාවිත කරන අයුරු ඔබ අසා ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උච්ච වීම ඉතා සුබ පිහිටීමකි. නමුත් නීච යන වචනය ඇසූ විට එය අසුබ පිහිටීමක් යැයි ඔබේ මනසට හැඟීයයි.

නිච ග්‍රහයකුගේ පිහිටීමක් නිසා හෝ දෘෂ්ටියක් නිසා සංයෝගයක් නිසා සාමාන්‍ය මිනිසුන් රාජ්‍යත්වයට පත්වී ලොව ප්‍රකට චරිත බවට පත් කරවයි. නීචභංග රාජ යෝගය ලොව උපදින මිනිසුන්ගේ සුළු පිරිසකට පිහිටයි. ග්‍රහයකු නීච වී තවත් ග්‍රහයකු සමඟ සංයෝග වීම, දෘෂ්ටි වීම නීච භංග රාජ්‍යයෝග උදා කරවයි. එම තත්ත්වය සුබව පිහිටීම අවම වශයෙන් පුද්ගලයා ප්‍රාදේශීය නායකත්වයක් දක්වා උසුලා තබයි.


ගුරු, කුජ ග්‍රහයන් යෝග වී මකර රාශියේ හෝ කටක රාශියේ සිටීම සිකුරු, බුධ යෝග වී කන්‍යා රාශියේ හෝ මීන රාශියේ සිටීම වැනි තත්ත්ව හඳුන්වා දිය හැකිය. ඉතා යහපත්ය. ඔබේ දළ කේන්ද්‍රය ගත් පසු එහි පළමුවෙන්ම ලග්නය වේ. එහි සිට දක්ෂිණාවර්තව පිළිවෙළින් මේෂ, වෘෂභ ආදී වශයෙන් ගැනගෙන ගිය හැකිය.


රවි ග්‍රහයාගේ පිහිටීම

රවි යනු ග්‍රහලොව පියාය. උෂ්ණාධික ග්‍රහයෙකි. තේජවන්ත දේහධාරී පුරුෂයෙකි. රතු පැහැ ඇස් පවතී. ග්‍රහලොව නායකත්වය උසුලයි. රවි උච්ච වන්නේ මේෂ රාශියේය. රවි උච්චවීම ඍජු ප්‍රතිපත්තිගරුක සමහර අවස්ථාවන් හි උඩඟු පුද්ගලයන් බිහි කරවයි.


රවි නීච වන්නේ තුලා රාශියෙනි. ඔක්තෝබර්, නොවැම්බර් කාලයේ මෙම ග්‍රහ තත්ත්වයේ පිහිටයි. නිහතමානී අන් අයගේ සිත දිනා ගන්නෝ සෑම පුද්ගලයකු සමඟ සුහදශීලීව ජීවත්වීමට හැකියාව පවතී. රවි උච්ච වීම රාජ්‍ය පෙළපත් හිමි අයට තමාගේ ඍජු ස්වභාවය පෙන්නුම් කරයි. නමුත් සාමාන්‍ය පුද්ගලයන්ට රවි උච්ච වීමට වඩා නීචය සුබය. එම පුද්ගලයන් ඉතා ප්‍රසන්න ලෙස ජනතාව සමඟ ගනුදෙනු කරයි. මිනිසුන්ගේ ආකර්ෂණය හිමිවේ. අප රට පවා මිනිසුන්ගේ මතකයේ සදා අමරණීය වූත් සමහර දේශපාලනඥයන්ගේ ග්‍රහ පිහිටීම් පරීක්ෂා කිරීමේදී ද නීච රවිගේ පිහිටීම පෙන්නුම් කරයි.


සඳු ග්‍රහයාගේ පිහිටීම


සාමාන්‍ය ජීවිතයේදී සඳු අපේ මවට සමාන කරයි. සඳු ග්‍රහයා එතරම්ම සෞම්‍ය වේ. සෞම්‍ය පෙනුමක් පවතී. වෘෂභ රාශියේදී සඳු උච්ච වේ. උච්ච සඳු පිහිටි පුද්ගලයන් සැමට කාරුණික පුද්ගලයෝය. ලෞකික දියුණුව කෙරෙහි උත්සාහය අඩුවේ. නමුත් චිත්ත ශක්තිය ඉතා ඉහළ සැවොම ආකර්ෂණය වේ.


සඳු නීච වන්නේ වෘශ්චික රාශියේදීය. ලෞකික දියුණුවට තදින්ම ආසා කරයි. ඕනෑම කරදරයක් අභිභවා ගොස් තම ඉලක්කය සපුරා ගැනීමට ඇති හැකියාව පවතී. තීක්ෂණ නුවණින් තමාගේ කාර්ය සාර්ථක වන තුරු කටයුතු කරයි.


යාන වාහන සැප සම්පත් කෙරෙහි තද ආශාවකින් යුතුව කටයුතු කරයි. ජන්ම පත්‍රයේ සඳු නීච වීම එම පුද්ගලයා ලෞකිකව උසස් තත්ත්වයකට පත් කරයි.


කුජ ග්‍රහයාගේ පිහිටීම


ග්‍රහ ලොව වේගවත්ම, සටන්කාමී, පෞරුෂවත්, ඉක්මන්, එඩිතර, ආඩම්බරකාරී ග්‍රහයා කුජය. ඍජු ප්‍රතිපත්ති යෙදේ. කුජ උච්ච වන්නේ මකර රාශියේදීය. දඩබ්බරකාරී චරිතයක් ඉස්මතු වේ. අන් අය යටතේ කටයුතු කිරීමට මැළිවේ. තම මතය පමණක් විශ්වාස කරයි.


කුජ නීච වන්නේ කටක රාශියේය. නීච කුජ පිහිටි පුද්ගලයන් නිරහංකාරයි. ඕනෑම අයකු යටතේ කටයුතු කිරීමට හැකියාව පවතී. තරමක් දුරට කපටිය. එමෙන්ම ඕනෑම අයකු ලවා තම කටයුතු කර ගැනීමට නුවණ පිහිටයි. නිහතමානීව තම කටයුතු අනුන් ලවා සිදුකරවයි. කුජ නීච වීම යහපත් නායකයකු බවට පත් කරවයි.


බුධ ග්‍රහයාගේ පිහිටීම


බුධ යනු ග්‍රහලොව සුරතලාය. බුද්ධිමත්ය, කීකරුය, අනුකරණයට කැමැතිය. රවිට ආසන්නයේ පිහිටන ග්‍රහයාය. සෑම විටම එක පැත්තක් අඳුරේ පවතී. බුධ උච්ච වන්නේ කන්‍යා රාශියේය. පණ්ඩිත මනා බුද්ධිමත් පුද්ගලයන් බිහිවේ. පොතපතට ඉගෙනීමට ඇල්මක් දක්වයි. කතාවට දක්ෂය. සෑම විටම ප්‍රිය වචන කතා කරයි. අන්අයට අවවාද අනුශාසනා කිරීමට හැකියාව පවතින ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරයි. බුධ උච්ච වී 1, 4, 7, 10 ස්ථානවල පිහිටීම භද්‍රා නම් පංච මහා පුරුෂ යෝගය ඇති කරවයි.


බුධ නීච වන්නේ මීන රාශියේය. කතාව අඩුය. නමුත් සෑම විටම මෝඩ කතා මෙන්ම සම්ප්‍රඵලාප කීමට කැමැතිය. බොරු කීමට දක්ෂ වේ. තමා නොදන්නා දෙයක් දන්නා ලෙස කතාවෙන් පෙන්වයි. කුඩා කල බොහෝ විට කතාව ප්‍රමාද විය හැකිය.


ගුරු ග්‍රහයාගේ පිහිටීම


ගුරු යනු ග්‍රහ ලොව සිටින ප්‍රඥාවන්තම ග්‍රහයාය. ආධ්‍යාත්මික අංශයෙන් ඉතා උසස්ය. සැවොම ගරු කරයි. මහත්මා ගති පෙන්වයි. ආගම ධර්මයට ළැදිය. ගුරු උච්ච වන්නේ කටක රාශියේය. ලෞකික දේට වඩා ආගම ධර්මය කෙරෙහි නැඹුරුය. ජීවිතයේ හරය සොයා සෑම විටම කටයුතු කරයි. සැපසම්පත් මිල මුදල් ලැබීමේ වාසනාව හොඳින්ම පවතී. සෑම විටම අල්පේච්ඡතා ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරයි. ගුරු නීච වන්නේ මකර රාශියේය. එම පුද්ගලයාගේ නුවණ තරමක් දුරට අඩුය. සමාජයේ ගරු බුහුමන් අඩුවේ. නමුත් මිල මුදල් සැප සම්පත් ළඟා කර ගනී. ආගම ධර්මය කෙරෙහි එතරම් පිහිටීමක් නොමැත.


සිකුරු ග්‍රහයාගේ පිහිටීම


සිකුරු යනු ග්‍රහලොව සිටින සුකුමාල ග්‍රහයාය. ලස්සනට සිටීමට විනෝදයට ඉතා කැමැතිය. සෑම විටම උත්සාහ කරනුයේ ජීවිතයම සැහැල්ලුවෙන් ගත කිරීමටය. සිකුරු උච්ච වන්නේ මීන රාශියේය. උච්ච සිකුරු 1, 4, 7, 10 යන ස්ථානවල පිහිටීම මාලවි නම් පංච මහා පුරුෂ යෝගය උදාකරවයි. සුඛ විහරණය උරුම වේ. මොවුන් ලස්සනට සිටීමට පිළිවෙළට සිටීමට ඉතා ප්‍රියයි. සෑම විටම සැපසම්පත් අපේක්ෂා කරයි. ඒවා ලැබීමට වාසනාව පවතී. තමාගේ සතුට වෙනුවෙන් ඕනෑවට වඩා වියදම් කරයි. සකසුරුවම අඩුවේ. මොවුන් ඉතා ප්‍රියකරු වේ.

සිකුරු නීච වන්නේ කන්‍යාවේය. මොවුන් ලස්සනට සිටීමට එතරම් ප්‍රිය නොවේ. තමාගේ රූ ස්වභාව ගැන නොසිතා කටයුතු කරයි. අරපිරිමැස්මෙන් ඉතා ඉහළයි. තමාගේ අනාගතය පියවරෙන් පියවර ඉදිරියට සාදා ගනී. නමුත් අන් අයගේ වැඩ ගැන සොයා බැලීමේ පුරුද්ද ඇති කර ගනී. විවාහ ජීවිතය සහකරුවා පිළිබඳ බුද්ධියෙන් සොයා බලා කටයුතු කිරීම ඉතා සුබය.


ශනි ග්‍රහයාගේ පිහිටීම


ශනි යනු ආයුෂ කාරක ග්‍රහයාය. ග්‍රහලොව සිටින මහලු ග්‍රහයාය. ශනි උච්ච වන්නේ තුලා රාශියේය. ආගමට නැඹුරු පුද්ගලයන් ජීවිතය අවසානය දක්වාම ආගමානුකූලව ජීවත් වේ. ශනි උච්ච වීම මධ්‍යස්ථව ජීවිතය ගෙන යන පුරුද්ද ඇති කරවයි. සස යෝගය උදාකරවීම පිහිටන 1, 4, 7, 10 ස්ථානවල සෙනසුරු පිහිටීම තමා නොදැනීම අන්සතු වස්තුව භූමි ලාභ ඇති කරවයි. ශනි නීච වන්නේ මේෂ රාශියේය. සෙනසුරු යනු දුකට අධිපති ග්‍රහයාය.


සෙනසුරු නීච වූ විට එම තත්ත්වය දුරුවේ. ඕනෑම දුකක් කරදරයක් තමාගේ සැපතට හරවා ගැනීමට ඔවුන්ට හැකිය. සැවොම අනුකම්පාව උපදවන ආකර්ෂණය හිමිය. එතුළින් තමාගේ ලෞකික තත්ත්වය උසස් කර ගැනීමට හැකිය. ශනි නීච වීම ධන යෝගයකි. සැප සම්පත් අඩු කර දුක් විඳ තමාගේ ඉලක්ක සපුරාගෙන අනාගතය ඉතා සුබය.


රාහු ග්‍රහයාගේ පිහිටීම


නයි හිසක්, මිනිස් ශරීරයක් පිහිටි ග්‍රහ ලොව සිටින ඡායා ග්‍රහයෙකි. මෙම ග්‍රහයාගේ ස්වභාවය තේරුම් ගැනීමට අපහසුය. සමහර අවස්ථාවල ඉතා සුබය. සමහර අවස්ථාවල ඉතා අසුබ තත්ත්ව ඇති කරයි. රාහු උච්ච වන්නේ වෘෂභ රාශියේය. උච්ච රාහු ලග්නයේ පිහිටයි. පුද්ගලයන් ඉතා වේගවත්ය. අන් අයගේ මතයට කිසිසේත්ම නැඹුරු නොවේ.


සෑම විටම වචනයෙන් හෝ ක්‍රියාවෙන් තමාගේ ස්වභාවය පෙන්නුම් කරයි. ගමන බිමනට ඉතා කැමැතිය. එකතැනක සිටීමට අකමැතිය. තමා කරන කටයුත්ත අන් සැමටම වඩා ඉක්මනින් සිදුකරයි. රාහු නීච වන්නේ වෘශ්චික රාශියේය. අධ්‍යාපන කටයුතු කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වයි. සෑම විටම කල්පනා කරමින් නිකරුණේ කාලය ගත කරයි. කරන කටයුතු කෙරෙහි සාර්ථකත්වයක් නොපෙන්වයි. අන් අය සමඟ සුහදශීලීව ජීවත්වීමට අපහසුය.


කේතු ග්‍රහයාගේ පිහිටීම


මිනිස් හිසක් නයි ශරීරයක් පිහිටි ග්‍රහලොව සිටින ඡායා ග්‍රහයෙකි. කේතු උච්ච වන්නේ වෘශ්චික රාශියේය. පොත්පත් ඇසුරු කිරීමට ඉතා ප්‍රියය. සෑම විටම දැනුම සොයා කටයුතු කරයි. ආහාර කෙරෙහි එතරම් ප්‍රියක් නොවේ. තනි වී හුදකලාව ජීවත්වීමට මොවුන් කැමැතිය. කේතු ග්‍රහයා නීච වන්නේ වෘෂභ රාශියේය. අධ්‍යාපන කටයුතු පසුබසී. සැඟවී හැකිළී සිටින ස්වභාවයක් ඇතිවේ.


ඔබේ ජන්ම පත්‍රයේද යම් කිසි ග්‍රහයෙක් මේ ආකාරයට උච්ච වී හෝ නීච වී පැවැතීම ඔබට සුබ අසුබ පල ඇති කරවයි. ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීම අනාගතයේ සුබවීමට හේතුවේ.

Post a Comment

0 Comments