ගුරු ග්‍රහයා සිටින ස්තානය අනුව සුබ අසුබ ඇතිවන ආකාරය.

ග්‍රහයන් නවදෙනා ගත්කල සුබඵල ලබාදෙන ග්‍රහයින් සහ අසුබඵල ලබාදෙන ග්‍රහයින් ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.බුධ ගුරු සිකුරු ග්‍රහයන් සුබ ග්‍රහයන් ලෙස සැලකෙන අතර සදු ග්‍රහයාද උපතේදී සිටි ආකාරය අනුව පමණක් සුබ ග්‍රහයෙකු වනු ඇත.රවි කුජ , ශණි ,  රාහු සහ කේතු ග්‍රහයන් පාපී අසුබ ග්‍රහයන් ලෙස හදුන්වනු ලැබේ.නමුත් පාපී ග්‍රහයාද ඒ ඒ කේන්ද්‍රය අනුව සුබඵල ලබාදෙන ග්‍රහයෙකු වන අවස්තාවන් පවතී.ගුරු ග්‍රහයා ග්‍රහයන් නවදෙනා අතරි සුබඵල ප්‍රධානය කිරීමේ ප්‍රමුඛ ග්‍රහයා වශයෙන් හැදින්වේ.ඔබගේ ජම්මපතෙහි ගුරු ග්‍රහයා සිටි ස්තානය අනුව ඇතිකරවන තත්වයන් පහත සදහන්වේ.

ලග්න රාශිය ගුරුට බලවත් ස්‌ථානය වේ. ලග්නයේ සිටින ගුරු වෙනත් ග්‍රහයන්ගෙන් යෙදෙන සියලු අරිෂ්ට යෝග භංග කරනු ලබයි. එමෙන්ම මෙසේ උපන් අයට නිරෝගීවූ යහපත් මහත්වූ ශරීරයක්‌ හිමිය. සියලුම කාර්යන්හි දියුණුව ගෙන දෙන දීර්ඝායුෂ ලබාදෙන අතර සියලු විපත්වලින් ආරක්‌ෂා කරයි. පුද්ගලික වශයෙන් දියුණුවන අතර සමාජයේ දියුණුව ගැනද උනන්දුවෙයි. උසස්‌ බලවත් අයගෙන් ආධාරද නොඅඩුව ලැබෙයි. ජීවිතයේ මැදිවයසින් පසුව වඩාත් දියුණු වෙයි.

දෙවැන්නටද ගුරු යහපත්ය. දෙවැන්නේ ගුරු සිටියදී උපන් අය කවරදාවත් තත්ත්වයෙන් පහත නොවැටේ. යම් අවස්‌ථාවකදී පසුබෑමක්‌ වුවත් පසුව හිටි තත්ත්වයටත් ඉහළින් දියුණුව ලබයි. දුටුවන් ප්‍රිය උපදවන මහා රූපකායක්‌ මොවුන් සතුවෙයි. සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකරනු ලබන අතර භාර්යාව හා දරුවන්ට උසස්‌ ලෙස සලකයි. විවාහයෙන් පසු වඩාත් තැන්පත් වේ.

ගුරු තුන්වැන්නට එතරම් යහපත් නොවේ. තැනින් තැන යන්නට සිදුවෙයි. අසනීපවලට හේතුය. සහෝදර සහෝදරියන්ට වඩාත් හිතවත්වෙයි.පසුකාලයේදී අභ්‍යන්තර ශරීර දුර්වලතාද ඇතිවිය හැක. ගුරු තුන්වැන්නේ උපන් අයට බාල කාලයේ ගුරුගේ දශාව ලැබුවොත් ඉගෙනීමට යහපත් වේ. විවාහ ජීවිතය යහපත්වේ.තුනේ සිටි ගුරුගෙන් ශුභඵලදීම කෙරෙන්නේ ඉතා බලවත්ව සිටියොත් පමණකි.

ගුරු හතරේ යහපත්වේ.දෙමාපියන්ගේ දේපළ උරුමයන් ලැබෙන පිහිටීමකි. ගුණගරුක සාර්ථක ජීවිතයක්‌ ගත කරයි. ඥතීන් අතර ප්‍රධාන තත්ත්වයක්‌ හිමිවෙයි. ගෘහ ජීවිතය ඉතා යහපත් වෙන අතර අන්‍යයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට වැඩි කැමැත්කත් දක්‌වයි. ජීවිතයේ අග භාගයේදී අන්‍යයන්ට ගුරුහරුකම් කියාදෙන නායකයෙක්‌ විය හැක. දූ දරුවන්ද උසස්‌ තත්ත්වයකට පත්වෙයි.

ගුරුට පස්වැන්නද යහපත් ස්තානයක්වේ.විශ්වාසවන්ත කෙනෙක්‌ වන අතර කා සමගත් හොඳ හිත පෙන්වයි. ශරීරය දුර්වල කෙනෙක්‌ වීමට බොහෝ විට ඉඩ ඇත.තමාගේ ඥතීන් අතර පිළිගැනීමක්‌ ඇති අයෙක්‌ වෙයි. අඹුදරු ආදීන්ට ද ඉතා හිතවත් වේ. පස්‌වැන්නේ ගුරු සිටින අයට පුත්‍ර ලාභ වැඩි වේ.

ගුරු හයවැන්නට එතරම් යහපත් නැත.සෙම් අධික අසනීප සෑදීමට හේතුවෙයි. පවුලේ වැඩිහිටි ඥතීන්ට පක්‌ෂපාත අයෙකි. දූ දරුවන්ගේ දියුණුවට බාධා පැමිණේ. නැතිනම් ඔවුන් හා සම්බන්ධතා අඩුවෙයි. ආත්මාර්ථයෙන් යුතු අයෙක්‌ වේ.

ගුරු හත්වැන්නේ යහපත් විවාහයක් සිදුකරදේ.රටේ පිළිගත් ප්‍රසිද්ධ අකේ වෙයි. භාර්යාවගෙන් වැඩි දියුණුවක්‌ ඇතිවේ. ව්‍යාපාර කටයුතුවලින්ද දියුණුවක්‌ දැකිය හැකිය. රජයේ උසස්‌ නිලතල දැරීමටද සුදුස්‌සකු වෙයි. විවාහයේදී තමන්ට ලැබෙන භාර්යාවද තමන්ට ඉතා ලැදි කීකරු, පතිදම් රකින කෙනෙක්‌ වන අතර දරුවන්ද එසේමය. ගුරු හතේ උච්චනම් මෙයට වෙනස්‌ විය හැක. දෙදෙනා අතර අවුල් තිබුණත් එය සමාජයට නොපෙන්වයි.

අටවැන්න තුල ගුරු සිටීම යහපත් නැත.එකම යහපතක්‌ වන්නේ ගුරු අටේ සිටියදී උපන් අයගේ මරණය දුක්‌ සහිත මරණයක්‌ නොවීමයි. විවාහයෙන් දේපළ ලැබීමට හිමිකම් ඇත. ලොතරැයි ආදියෙන්ද වාසනාව ගෙනදෙයි. බාහිර වශයෙන් සැප විඳීමට උත්සාහ ගන්නවා මිස මනස උසස්‌ කර ගැනීමට නොසිතයි. ගොවිතැන් කටයුතුවලදී වැඩි ලාභ ලබයි.

ගුරු ලග්නයෙන් නමවැන්නේ පිහිටීම යහපත්ය.මෙසේ උපන් අය වාසනාවන්තයෝ වෙති. සියලු යසඉසුරු ලැබීමටද හේතුවේ. උසස්‌ ඉගෙනීමක්‌ ලබාදෙන අතර රජයේ උසස්‌ තනතුරු ලැබීමටද භාග්‍ය ඇත්තෝ වෙති. ගුරුවර වැඩිහිටි ආදීන්ට ඉතා ගරු සැලකිලි දක්‌වයි. ආත්මගෞරවය ආරක්‌ෂා කරගෙන කටයුතු කරන්නෙක්‌ වෙයි. ශීලවන්තයකු ලෙස අන් අයගෙන් සැලකිලි ලබයි.

ගුරු ග්‍රහයා දසවැන්නේ තැම්පත්ව සිටීමද යහපත්ය.සමාජයට හිතැති ගෞරවය රැකෙන සේ කටයුතු කරයි. පොදු ජනතාවගේ ශුභසිද්ධිය සඳහා කටයුතු කරන අයෙක්‌ විය හැක. ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ආයුෂ වැඩිවීමටද හේතුවෙයි. ක්‍රම ක්‍රමයෙන් රැකියාවෙන් උසස්‌ වී බලවත් තත්ත්වයකට පත්විය හැක. දේපළ වර්ධනය කරගනී.යහපත් විවාහයක්ද සිදුවනවා ඇත.

ගුරු එකොලොස්වැන්නේ පිහිටීමද යහපත් ප්‍රතිඵල ලබාදීමට හේතුවක්වේ.සත්‍යවාදී යහපත් මිතුරෝ ඇති අතර ඔවුන්ගෙන් තමාට යහපත සඳහාද ආධාර උපකාර ලැබෙයි. රට වෙනුවෙන් වැඩ කරන්නෙකු විය හැක.

ගුරු ග්‍රහයා ලග්නයෙන් දොලොස්වැන්නේ සිටීම යහපත් පිහිටීමක් නොවේ.සිරගතවීම්, අසනීප, හදිසි අනතුරු ආදී අශුභපල දෙයි. ආත්මාර්ථකාමී ගතිය අඩුය. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට නිතර ඉදිරිපත් වෙයි. අනුන්ගේ දුකේදී සැපේදී ළඟ සිටින තරම් හිතවත්ව කෙනෙකු වේ. දුප්පතුන්ට රෝගීන්ට ඉතාම ලැදි ඇප උපස්‌ථාන කිරීමට මෙන්ම නැති බැරි අයට යම්කිසි පරිත්‍යාග කරන්නටද පෙළඹේ.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments