විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගෙන් ලෞකික සැප අහිමි ඔබට


1. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු ජීවිතයේ ලෞකික සැප අහිමි කරයි. තවද ඔබගේ කේන්ද්‍රයේ සිකුරු තැන්පත් වී සිටින රාශියට අයත් ප්‍රතිඵල හීන කරයි. එම ප්‍රතිඵලවල සාර්ථකභාවය ද නැති කරයි. එනමුත් සිකුරු ග්‍රහයාට අදාළ පුද පූජා පැවැත්වීමෙන් මෙම අසුබ ඵල අවම කර ගත හැකි අතර තමාට ලැබී ඇති ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන ඒa අනුව දිවි ගමන හැඩගස්‌වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

2. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු ඔබගේ ජන්මපතේ (4) හතරවැන්නේ හෝ (7) හත්වැන්නේ නම් පවුල් ජීවිත අවුල් කරයි. කල කිරීමෙන් ගෙදර ජීවත් වෙයි. බෙල්ල කම්මුල සහ යෝනි යන ප්‍රදේශවල සමේ රෝග ඇතුළු රෝග සාදයි. කලාකාමීන්ගේ කලා කටයුතු අසාර්ථක කරයි. ඒවායින් ලැබෙන ආදායම අඩු කරයි. තමන් කොපමණ අවංක වුවත් සහකරුගේ හෝ සහකාරියගේ හෝ එම පාර්ශ්වයේ අයගේ පුහු සැකයට භාජන වී මානසික අසහනකාරී තත්ත්වයක්‌ ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කොට ඔබගේ කේන්ද්‍රයේ වෙනත් අශුභ පිහිටීම් ඇත්නම් ගිහි ජීවිතයට විශාල බාධා ගෙන දේ නම් මහණදම් පිරීම යහපත් වන අතර ඒ සඳහා දළ වශයෙන් හෝ මහණ යෝගයක පිහිටීමක්‌ ද තිබිය යුතුය. එසේද නොමැතිනම් භාවනා වැනි ආධ්‍යාත්මික ආගමික කටයුතුවල යෙදීමෙන් හෝ ලෞකික සහ ලෝකෝත්තර යන දිවි පැවැත්මන් අතර දෝලනය වීම තමා විසින්ම පාලනය කර ගැනීම ඉතා යහපත් වනු ඇත.

3. (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරු අතුරු දශා කාලවලදී දුක්‌ කරදර හිංසා පීඩා පමුණුවයි. එබැවින් සිකුරාදා දිනවල පාට මල් පාට කොඩි ආදිය පූජා කරමින් හැකි පමණින් බෝධි පූජා පැවැත්වීමෙන් සහ වර්ණවත් රෙදිපිළි දන් දීමෙන් හෝ නිදහස්‌ ජලයේ මාළුන්ට ආහාර දීමෙන් මෙම අසුබ ඵල අවම කර ගත හැක. 

4 (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගේ දෝෂයන් බලපා ඇති අයට වෙනත් විවාහ දෝෂ පවතී නම් විවාහ පරීක්‍ෂාවේදී අනිවාර්යයෙන් ම ගැලපෙන අයකු සොයා ගත යුතුයි. එසේ නොවුවහොත් ජීවිතයේදී ලැබෙන නොසිතූ විරූ කරදර පීඩාවන් තමා විසින්ම ඉල්ලා ලබාගත් දේවල් වනු නොඅනුමානය.

කෙසේ වෙතත් තම සහකරුගේ හෝ සහකාරියගේ හෝ දූ දරුවන්ගේ සුබඵල මත (22) විසි දෙවන දෙර්කාණාධිපති සිකුරුගේ දෝෂයන් තරමකින් හෝ භංග විය හැකි බැවින් මෙම දුර්ලභ ග්‍රහ දෝෂය පිළිබඳ හැකි පමණින් සුබවාදීව සිතා බලා කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.

පෝරේගෙදර වීරතිලක
උපුටා ගැනීම - දිවයින පුවත්පත