සෙනසුරු මාරුව 2020 ජනවාරි


ආසන්න වශයෙන් 1990 මාර්තු 1993 නොවැම්බර් අතර කාලයේ සෙනසුරු ග්‍රහයා මකර රාශියේ ගමන් කිරීම සිදුවිය.සෙනසුරු ග්‍රහයා මෙලෙස මකර රාශියට පිවිසීම නැවත 2020 ජනවාරි 26 වනදා සිදුවන අතර එතැන් සිට 2023 ජනවාරි 19 අතර කාලයේ සෙනසූරු නොයෙක් පල විපාක ඇතිකරමින් මකර රාශියේ ගමන් කරනු ඇත.සෙනසුරු මකර රාශියට පිවිසීම යම් යහපතක් ඇතිකරනු ඇත,ලෝකයේ බෝග පලදාවන් වර්ධනය වන , මහ පොළොව භූමිය ජනතා අවශ්‍යතා සදහා වැඩි වශයෙන් යොදාගන්නා කාලයක් වනු ඇත.කිසිවෙකුට අලස කමින් කාලය ගෙවීමට නොලැබෙන අතර කම්කරු ශක්තිය ලොවපුරා බලවත් වනවා ඇත.එම නිසා සෑම රටකම රජයට කම්කරු ප්‍රජාවට සවන්දීමට සිදුවනු ඇති අතර එසේ නොවන සෑම අවස්තාවකම ජනතාව සාධාරනය වෙනුවෙන් නැගීසිටිනවා ඇත.2020 නොවැම්බර් සිට ඉදිරියට කාලය එක්ව සිටි , එක් අරමුණක ගමන්කල ජනතාව , රාජ්‍යන් අවස්තාවාදී ලෙස වෙන්වීම් , සතුරුවීම් දුරස්වීම් ඇතිකරගන්නා අතර ලෝක ආරක්ෂාව බිදවැටෙනවා ඇත.ත්‍රස්ත කණ්ඩායම් වර්ධනය වන නමුත් ඔවුන් නායකත්වයේ වෙනස්කම් සමග ඉදිරියට පැමිණෙනවා ඇත.ත්‍රස්ත කංඩායම් නව නායකයන් වෙත නතුවන විට ස්තිරවම හදිසි ත්‍රස්ත ප්‍රහාර , යුධ ගැටුම් ආදිය වර්ධනය වනු ඇති අතර ලෝකයටම කම්පණයන් සිදුකරමින් විශේෂ විශාල හානි සිදුවනවා ඇත.බෝවන රෝග ආදියට තවත් පිරිසක් ගොදුරුවන අතර රට රටවල බෝවන හෝ හදුනා නොගත් මාරාන්තික රෝග හිස ඔසවනවා ඇත.සුලි කුණාටු මූලිකව ඇතිවන අතර මෙම කාලගුණික්ක විපර්‍යාසය නිසාවෙන් අනෙකුත් වායුගෝලීය භූගෝලීය සාධක ලෝක ජනතාවට හානිදායක වන ලෙස සක්‍රිය වනවා ඇත.ගුවන් අනතුරු වැඩි කාලයක් වන අතරම ත්‍රස්තවාදීන්ට මෙන්ම යම් යම් රට රටවලටද ගුවන් ප්‍රහාරයන්ට ලක්වීමට සිදුවනු ඇත.සියුම් තාක්ෂණික ක්‍රමෝපායන් වර්ධනය වන අතර යුධ තාක්ෂණය සහ අභ්‍යාවකාශ්‍ය තාක්ෂණය ඉදිරි වසර තුනක කාලය තුල ඉතා වේගයෙන් වර්ධනය වනවා ඇත.

ලංකා රජ්‍යටද සෙනසුරු මකර රාශිගතවීමේ පළවිපාකයන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.එය ලෝක සාධකයන්ට යටත්ව සිදුවනවා ඇත.මුල් කාලය තුල ජනතාවද , දේශපාලනික සාධකයන්ද එක් අරමුණක් වෙනුවෙන් කැපවන අතර උගතුන් බුද්ධිමතුන්ගේ සහ වෘර්තිකයන්ගේ තත්වයනට වටිනාකම් හිමිවනවා ඇත.සුලු ජාතීන් බලවත්වීමක් ඉදිරි වසර තුනක කාලය තුල සිදුවනු ඇති අතර එම බලවත්වීමේ බලපෑම රාජ්‍ය පාලනයට සහ මහ ජාතියට අභියෝගයක් වනු ඇත.කෙසේ වෙතෙත් එක්වන , එකමුතුවන පිරිස වසානයේ දුරස්ව වෙන්ව විසිරීමකට ලක්වේ.ජනතාව අවදියෙන් සිටිනා නමුත් රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ශක්තිමත් බවක් ඇතිකරයි.නිකමුන්ට අවස්තාවාදීන්ට බලයෙන් ඉවත්වීමට , තනතුරු අත්හැරීමට සිදුවේ.සමස්තයට බලපෑමක් ඇතිකල දේශපාලණික නායකයන් කිහිප දෙනෙකුටම විපත් සහිත කාලයක් වන අතර ආගම දහම සංස්කෘතීක වටිනාකම් හරහා බැදී කටයුතු කරනා අය , නිරායාසයෙන්ම ආරක්ෂාවනවා ඇත.දේශගුණික තත්වය කටුකවීමක් සහිත අතර වියලි සීත් සහ සුලන් සහිත කාලගුණයක් වර්ධනයවේ.වැසි ආරම්බවීම අවසානයක් නොදකින් තරමට දීර්ගවනු ඇත.අකුණු සහ සුළි කුණාටු සහිත බව වර්ධනය වනු ඇත.විදුලිබල මණ්ඩලයට කාර්‍යබහුල කාලයක් වනු ඇත.පැතිරෙන උන අසනීප පවතිනු ඇත.සත්ව කොට්ටාශටන්ටද රෝග තත්වයන් ඇතිකරයි.ගොවි කෘෂි කටයුතු වෙනදාට වඩා වැඩි භූමියක සිදුවනු ඇති අතර අතහැර දමාතිබූ  භූමියන්ද නැවත වගා කිරීම් සිදුවේ.කම්කරුවාගේ වැටුම් සහ වෙනත් සහන කටයුතු වර්ධනයක් සිදුවන අතර ලාබ බෙදීම බොහෝ දුරට සාධාරණව සිදුවනු ඇත.රට තුල වේගවත් ආර්තික වර්ධනයක් සිදුවන්නේ භූමි , කර්මාන්ත සහ ඉදිකිරීම් කටයුතු තුල වනු ඇත.එමෙන්ම රට තුල ආධ්‍යාත්මික ආගමික අංශයේ වර්ධනයක් සිදුවේ.ජනතාව දානයට පිනට ලැදිවේ.තම වගකීමක් ලෙස සලකා  ආගම දහම තුල හැසිරෙනු ඇත.දියබ කටයුතු තුලින් විපත් අසන්නට ලැබේ.එම නිසා ජල කටයුතු තුලදී අවස්තා වලදී ප්‍රවේසම්විය යුතුය.දියේ ගිලී බොහෝ පිරිසකට විපත් සිදුවනු ඇත.එමෙන්ම පපුවට සම්බන්ධ රෝග , දියවැඩියාව වැනි රෝග පවතින අය සහ වකුගඩු රෝග සහිත අය ප්‍රවේසමෙන් කටයුතු කලයුතුවේ.

මේෂ ලග්නය -

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජම්ම ලග්න රාශියෙන් දසවැන්නට හෙවත් කර්මස්තානයට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මෙය කණ්ඨක ශණි අපල අවස්තාව වන අතර සෙනසුරු රාශිය තුල ස්වක්ෂේත්‍ර බල සහිතව ගමන් කිරීම නිසා යම් සහනයක් ඇතිවනු ඇත.රැකියා කටයුතු ආදායම් සම්බන්ධ තත්වයන්ට බලපෑම් ඇතිවන අතර තම කටයුතු මන්ධගාමී බවට ලක්විය හැක.සෙමෙන් නමුත් සිදුවන , කරන කියන කටයුතු යම් ස්තාවරත්වයක පවත්වාගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.ධනය , මිල මුදල් තත්වයන්ට හදිසි පාඩු අලාබ ඇතිවිය හැකි අතර භාවිතාවන අත්‍යාවශ්‍ය දේ කැඩී බිදීයාමට , අත්හැර දැමීමට සිදුවන තත්වයන් ඇතිවනවා ඇත.ණයට දීමෙන්ද , ගැනීමෙන්ද වැලකී සිටීම යහපත්වේ.පිය පාර්ශවයේ ඤාතී හිතවතුන්ට අයහපත්වේ.ඉගෙනීම් සම්බන්ධ කටයුතු පිලිබදව තද විශේෂ ගැටලු ඇතිනොවන නමුත් ආධ්‍යාත්මික දැනුමේ වර්ධනයක් ඇතිකරගැනීමට , ආගම දහම පිලිබදව විශේෂ අවබෝධයක් ඇතිකරගැනීමට මනස අවස්තාව සොයනවා ඇත.මනස තදින් පීඩනයට , පීඩාවට ලක්වෙමින් කාලය ගතවිය හැකි අතර ඒ හේතුවෙන්ම මානසික සහනය සහිත දේ නව ඉගෙනීමක් දැනුමක් වශයෙන් ලැබීමට අවස්තාව පවතී.සබදතා හිතවත්කම් ආදිය ඇතිවන නමුත් විවාහයට අසුබ බලපෑම් ඇතිකරයි.විවාහ බලාපොරොත්තු අයගේ එම බලාපොරොත්තු 2021 නොවැම්බර් දක්වා ප්‍රමාදයට ලක්කල හැක.විවාහ දිවි ගතකරනා අයට අයහපත් අතර පවුලේ ගැටලු මතබේධ ඇතිවීමට , කේලම් කටකතා හේතුවෙන් අනවබෝධයෙන් කටයුතු කිරීම ආදිය ලක්විය හැක.සහකරු හෝ බිරිදගේ සෞඛ්‍ය තත්වයන් සම්බන්ධවද යහපත් නොවනවා ඇත.දරුවන්ගේ කටයුතු හේතුවෙන් අධික වියදම් සිදුවීමට සහ මානසික අසහනකාරී ගති ඇතිකිරීමට අවස්තාව පවතී.එමෙන්ම පවුලේ නිවසේ සාමය සමගියට අසුබ තත්වයන් සිදුවීම් ඇතිවනවා ඇත.නිවසේ කිසියම් විශේෂ ගැටලුවකින් රෝගයකින් සහිත අයෙකු සිටිය හැකි කාලයකි.සෙනසුරු ආත්මකාරක ග්‍රහයා වන අයටද , සෙනසුරු හරහා අසුබ කර්ම සඤ්ඤාවන් සහිතව උපත ලබා සිටිනා අයටද එම අසුබ වූ කර්ම විපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති අතර සෙනසුරුගේ කර්ම සඤ්ඤා සුබ බලවත් වූ අයට සුබපලදායක තත්වයන්ද සෙනසුරු කර්මස්තානය තුළ ග්‍රහ චාරය තුල යෙදෙනා 2020 - 2023 අතර කාලයේ ප්‍රතිඵල ලෙස ලැබෙනවා ඇත.ජම්ම ග්‍රහ තත්වය මත සියල්ල තීරණයවේ.ධන හිස පාදය , පපුවේ , උදරගත තත්වයන්ගේ ආබාධ , ඇසේ පෙණීමේ දෝශ ඇතිකල හැක.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජම්ම කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නේ පිහිටා ඇත්නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයද , සදු ග්‍රහයා දසවැන්නේ කර්මස්තානයේ පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලයද 2020 ජනවාරු 2023 ජනවාරි අතර කාලයේ යෙදෙනවා ඇත.කේසේ වෙතත් සෙනසුරු මකර රාශියවී දසවැන්න වූ කර්මස්තානයට පැමිණීම කණ්ඨක ශනි නම් ඒරාශ්ටක අපලය ඇතිකරයි.

වෘෂභ ලග්නය - 

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර 2023 ජනවාරි දක්වා එහි ග්‍රහ චාරයේ යෙදේ.මෙලෙස සෙනසුරු නමවැන්න වූ භාග්‍යස්තානයට පැමිණීම යහපත් වන නමුත් වෙනත් ග්‍රහ චාරයන්ට සම්බන්ධ වීම මත සුබාසුබ මිශ්‍රඵල සහිත බවක් ඇතිකරනු ඇත.එතෙක් පැවති අශ්ටම ඒරාශ්ටක අපලය අවසන් වන අතර සහනදායී තත්වයක් ඇතිවනවා ඇත.දියුණුව සදහා මෙතෙක් ගත් උත්සහයන් යම් පමණක සාර්තකත්වයකට ලක්වන අතර මුල් කොටස තුල මුදල් ආර්තික තත්වය ප්‍රවේසම් කරගැනීම යහපත්වේ.රාශිය තුල සෙනසුරු ගමන් ගන්නා දෙවන අර්ධය සෞඛ්‍ය තත්වය සම්බන්ධව යහපත් නැත.පවුලේ වැඩිහිටියන්ට පියාට විශේෂයෙන් රෝග පීඩා විපත් ඇතිකල හැකි අතර තමන් සමබන්ධවද ලේ විසවීම් ආදී තත්වයන්ට ලක්වීමට සිදුවනවා ඇත.සමස්ත වසර තුනක කාලය තුල තමා තුල මෙතෙක් නොපැවති ආකාරයේ වෙනස්කම් ඇතිවන අතර අරමුණු බලාපොරොත්තු වෙනසකට ලක්වනවා ඇත.එම වෙනස බොහෝ දුරට ඔබ මෙතෙක් කටයුතු කල ආකාරයෙන් වෙනස්ව ක්‍රියාත්මක වනු ඇත.මිල මුදල් කටයුතු සම්පූර්ණ ලෙස වෙනසකට ලක්වන අතර බුද්ධිමත්ව ආර්තික තත්වයට මුහුණදීමට සිදුවනු ඇත.හදිසි පාඩු අලාබයන් ඇතිවනවා ඇත.දුර බැහැර ගමන් බිමන් , සංචාරක අවස්තා ආදිය යෙදෙනා අතර පිට පලාත් සමග සබදතා පැවැත්වීමට සිදුවනු ඇත.විවාහ දිවියට බලපෑමක් අසුබ දායක ලෙස මතුවිය හැකි අතර සාමයෙන් සමගියෙන් සිටියේ නම් එම තත්වය බිදවැටීමට කිසියම් භාහිර හෝ හදුනාගත නොහැකි සාධකයක් ක්‍රියාත්මක විය හැක.සහකරු බිරිද සම්බන්ධ තේරුම් ගැනීම අවබෝධ කරගැනීම අපහසුවේ.අනියම් කම්සැප ලාබ සහිත නමුත් ඒවායේ අතුරු ප්‍රතිඵල තමාට අයහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වනවා ඇත.රහස් රැකගැනීම අපහසුවන කාලයක් වන අතර විස්වාසවන්තයන් මෙම කාලයේ ඇතිනොවේ.තමා තුලද දැඩි අවස්තාවාදී බවක් ඇතිවනවා ඇත.විවාහ බලාපොරොත්තු අයගේ එම බලාපොරොත්තු හදිසියෙන් යුතුව ඉටුකරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.රැකියාවේ ස්තාන මාරු හෝ වෙනසක් බලාපොරොත්තු වූ අය සදහා එම බලාපොරොත්තු ඉටුකරගැනීම සදහා අවස්තාව ලැබෙනා අතර විදෙස්ගතවීම් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සදහා විශේෂ අවස්තා යෙදෙනවා ඇත.සබදතා හිතවත්කම් වෙනසකට ලක්වන අතර පෙර වසර තුනක කාලයේ ආරම්බවූ හිතවත්කම් හදිසියේ වෙනසකට ලක්වනවා ඇත.මීට අමතරව තමා කල දුර්වල කටයුතු පිලිබදව අවබෝධය ලැබෙනා අතර එම දුර්වලතාවයන්ගෙන් තරමකට හෝ මිදීමට අවස්තාව සැලසෙනවා ඇත.ඉගෙනීම් ආදී කටයුතු පිලිබදව යහපත් වර්ධනයක් මෙම කාලයේ බලාපොරොත්තුවීමට හැකිය.2020 නොවැම්බර් - 2021 නොවැම්බර් අතර කාලය කුමන තත්වයක් , කුමණ දෙයක් සම්බන්ධව උවද සැලකිලිමත්ව විමසිලිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.තමා උපන් ග්‍රහ තත්වයට සියල්ල යටත් අතර මෙම පලාඵලය සම්පූර්ණ ලෙස වෙනසකට ලක්විය හැක.

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ ධනස්තානයේ සදු ග්‍රහයාගේ පිහිටීම යෙදී ඇත්නම් 2020 - 2023 අතර කාලය ජම්ම අශ්ටම ඒරාශ්ටක අපල ඇතිකරන අතර සදු ග්‍රහයාගේ පිහිටීම ලග්නයෙන් නමවැන්නේ භාග්‍යස්තානයේ වේ නම් ජම්ම ඒරාශ්ටක අපල යෙදෙනවා ඇත.

මිතුන ලග්නය -

මිතුන ලග්නයෙන් උපන් ඔබට ඉදිරි වසර තුනක කාලය අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතර 2020 ජනවාරි 2023 ජනවාරි අතර කාලයේ සෙනසුරු ලග්නයෙන් අටවැන්නේ ගමන් කරයි.අටවැන්න තුල ශනි රාශි බලයෙන් යුතු වන නමුත් අපලය ස්තිරවම ඇතිකරයි.තමාගේ වැඩකටයුතු පිලිබදව නොයෙක් ආකාරයේ ගැටලු ප්‍රශ්ණ ඇතිකරනු ඇති අතර සතුරු කරද පීඩා , මිත්‍රත්වයෙන් සිටි අයගේ වෙනස්කම් , වෙනස්වීම් හෝ අමනාපයන් ඇතිවනවා ඇත.තම තත්වය ගෞරවය වටිනාකම , පිලිගැනීම ආදියට ගැටලු ඇතිවන අතර තම චරිතය ගුණය වෙනසකට ලක්වනවා ඇත.අයහපත් හිතමිත්‍ර ඇසුරකට ලක්විය හැකි අතර ඉගෙනීම් ආදියට අසුබ බලපෑම් ඇතිකරයි.හිතුවක්කාර කේන්ති සහිත බවක් මෙම කාලයේ ඇතිවේ.කේන්තිය හදිසි කෝපය වැනි තත්වයන් හේතුවෙන් හදිසි ගැටලු ඇතිකරයි.රැකියාවද , ආදායම් මිලමුදල් තත්වයන්ටද අයහපත්වන අතර දුෂ්කරතාවයන්ට අපහසුතාවයන්ට පත්වීමට සිදුවනවා ඇත,ණයවීමද නයට දීම ආදියෙන්ද විශේෂයෙන් ඉදිරි වසර තුන පුරාවට වැලකී හෝ ප්‍රවේසම්වී කටයුතු කිරීම යහපත්වනු ඇත.මවට පියාට පවුලේ වැඩිහිටියන්ට අයහපත්වේ.විශේෂයෙන් පියා සම්බන්ධව විශේෂ රෝග ගැටලු , හදිසි අනතුරු මාරක ආදිය ඇතිවීමට අවස්තාව පවතී.විවාහ පවුල් ජීවිත ගතකරනය අයට 2020 නොවැම්බර් සිට ඉදිරියට කාලය අයහපත් වන අතර මතබේධ , වාද විවාද ඇතිවනවා ඇත.විස්වාසය බිදවැටීමට සැකය ඇතිවීමට , එය පවුල් ජීවිතයේ ස්තාවරත්වයන්ට හානි කිරීමට ඉදිරි කාලය තුල අවස්තාව පවතී.එමෙන්ම කේලම් කටකතා ඇසීමට සිදුවිය හැකි අතර තත්වය ගෞරවය වටිනාකමට හානිවනදේ සිදුවනවා ඇත.අයහපත් සමාජ හිතවත්කම් ඇතිවිය හැකි අතර වැඩි වශයෙන් සමාජයට ඇලුම් කරයි.නව හිතමිත්‍රයන් හමුවන අතර ඔවුන් නිසා බොහෝ පාඩු අලාබයන්ට ලක්වීමට සිදුවනවා ඇත.තමාගේ රහස් හෙලිවිය හැකි අතර අවසානයේ සමාජයෙන් දුරස්වීමට විශේෂ සිදුවීමක් සිදුවිය හැක.බුද්ධිය වටිනාකම දුර දක්නා ඤාණ ශක්තීන් වෙනදා තත්වයට වඩා පහත වැටීමට ලක්වන අතර හදිසි තීරණ ගන්නා කලබලයෙන් හදිසියෙන් කටයුතු කරනා කාලයක් වනු ඇත.ඉගෙනීම් ආදිය පිලිබදව විශේෂ ගැටලු ඇතිනොවන අතර සාම්ප්‍රදායික හෝ ආගමික සංකෘතික හෝ ගුප්තමය ඉගෙනීමකට හැදෑරීමකට අවස්තාව හෝ අදහස මතුවනු ඇත.ආගමික අවබෝධයන් ලැබීමට අවස්තාව ලැබෙනවා ඇත.විදෙස්ගතවීම් , දුර බැහැර සංචාර ආදියේ බලාපොරොත්තු ප්‍රමාදයෙන් යුතුව හෝ අවසානයේ හදිසියේ සිදුවනු ඇත.දුර බැහැර ගමනක් අතර තුර කිසියම් විශේෂ කරදරයකට ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති අතර වටිනා කියනදේ නැතිවීම , ගමන් ගන්නා රතය අතරමග දෝශයට ලක්වීම ආදී ඕනෑම කරදරකාරී අවස්තාවකට ලක්වීමට මුහුණ දීමට සිදුවනු ඇත.මානසික වශයෙන් වෙනදා පැවති සහනය දුරුවී අසහනකාරී ගති ඇතිවනු ඇති අතර ධනයද , පවුල් ජීවිතයද , රැකියාවද , හිතමිත්‍ර සබදතා ආදියද ප්‍රධාන වශයෙන් ගැටලු මතුකරන සාධක වනු ඇත.හදිසි අනතුරු තුවාල , තැලීම් , වැටීම් , බිදීම් ආදියද , උදරගතව සහ උගුර බෙල්ල , ඇස සම්බන්ධවද රෝග , රෝගාබාධයන්ට ලක්වීමට අවස්තාව සහිතවේ.බෝවන රෝග , ඩෙංගු වැනි උණ තත්වයන් , වසවිස ශරීරගතවීම් ආදියද ජලයෙන් අනතුරු විපත්ද සිදුවිය හැක.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

මිතුන ලග්නයෙන් උපන් ඔබට 2020 - 2023 අතර කාලයේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට ස්තිර වශයෙන්ම සිදුවන අතර , සදු ග්‍රහයාගේ පිහිටීම ලග්නයේ යෙදේ නම් ලග්න අශ්ටම සහ ජම්ම අශ්ටම එරාශ්ටක අපලය යන අපල දෙකට එකවිට ලක්වීමට සිදුවේ.මේ ලෙසම සදු ග්‍රහයාගේ පිහිටීම මකර රාශිය වූ අටවැන්නේ මාරකස්තානයේ වේ නම් , ලග්න අශ්ටම සහ ජම්ම යන ඒරාශ්ටක අපල දෙකට එකවිට ලක්වීමට සිදුවනු ඇත.

කටක ලග්නය -

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්න වූ විවාහකස්තානයට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර සුබාසුබ මිශ්‍රඵල සහිතවේ.එහෙත් විවාහ පවුල් ජීවිතය සම්බන්ධ තත්වයන්ට අයහපත් කාලයක් වන අතර මතබේධ ගැටලු මතුවනවා ඇත.බිරිද සහකරු සහකාරිය අතර , පිලිබද ගැටලු ඇතිවනවා ඇත.එමෙන්ම ඔවුනොවුන්ගේ සෞඛ්‍ය තත්වයට යහපත් නොවන අතර කිසියම් ආකාරයකින් විශේෂ රෝගාබාධයන් ඇතිවිමට අවස්තාව පවතී.එමෙන්ම පවුලේ මුදල් ආර්තික තත්වය යහපත් නවන අතර දුෂ්කරතාවයන්ට ලක්වීමට සිදුවනු ඇත.එහෙත් දරුඵල බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව ලැබෙනා අතර හදිසි දරුඵල ලාබයක් ලැබෙනු ඇත.පවුලට නව සාමාජිකයන් එක්විය හැකි අතර එවැනි සාධක තමාගේ විවාහය තුලින් නොව පවුලේ වෙනත් අයෙකුගේ විවාහයකින් සිදුවිය හැක.එමෙන්ම මෙම කාලය අනියම් කම්සැප ලාබයන් ලැබීමට අවස්තා සහිත අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදුවේ.රැකියාවේ දුෂ්කරතාවයන්ට මතබේධයන්ට ලක්වීමට සිදුවිය හැකි නමුත් ලාබ බලාපොරොත්තුවෙන් කලක සිට කරගෙන ආ කටයුතු තුලින් ලාබ ලැබීමට අවස්තාව ලැබෙනවා ඇත.රැකියාවට අමතරව අමතර ලාබයන් පිලිබදව අවධානය සහ යොමුවීම සිදුවිය හැක.හවුල් කටයුතු ව්‍යාපාර ආදියට සම්බන්ධ වීමෙන් තමා නොව අනෙක් පාර්ශවය ලාබ ලබාගනී.හිතමිත්‍ර සබදතාවයන් කිසිප වතාවක් වෙනසකට ලක්විය හැකි අතර නොයෙක් ආකාරයේ , නොයෙක් වයස් සහ තරාතිරම්හි අය සමග විශේෂ සබදතා ඇතිකරගැනීමට අවස්තාව සහිත නමුත් කාලයක් පවත්වාගැනීමට නොහැකිවිය හැක.විදෙස්ගතවීමේ හදිසි හෝඅ විශේෂ අවස්තාව හිමි වන කාලයක් වන අතර විදෙස්ගත අයගේ ආදායම් යහපත්විය හැක.එහෙත් වෙනස් ආකාරයේ අසුබ තත්වයන් යෙදීම සහිත කාලයක් නම් හදිසි කරදර පීඩාවන්ට ලක්වීමට , බලාපොරොත්තු බිදවැටීම ආදියට ලක්වීමට අවස්තාව ඉදිරි වසර තුන තුලම පවතී.ප්‍රේම සබදතා ආදියේද ප්‍රබෝධමත් බවක් නොවන අතර කනස්සලු ගති මානසික පීඩා සිත්තැවුල් සහිතව කාලය ගෙවෙනවා ඇත.උදරගත රෝගාබාධයන්ට ලක්වීමට , උෂ්ණ වියලි ගති සහිත රෝග ඇතිවීමට , සර්පවිස ආදි .... වස විසට ලක්වීමට මෙම කාලය තුල අවස්තාව පවතින අතර හිසට තුවාලවීම සිදිය හැකි අනතුරකට ලක්විය හැක.උප්පත්ති ග්‍රහ පිහිටීම සහ ග්‍රහ කාරක අයිතීන් මත පලාඵල සම්පූර්ණ ලෙස වෙනසකට ලක්වනු ඇත.

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්න වූ වැයස්තානයේ සදුගේ පිහිටීම වේ නම් 2020 - 2023 අතර කාලය ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතර සදුගේ පිහිටීම ලග්නයෙන් හත්වැන්න වූ විවාහකස්තානයේ වේ නම් ජම්ම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවනවා ඇත.

සිංහ ලග්නය -

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.සාමාන්‍යෙන් ගෙවීගිය කාලයට වඩා යහපත් සහනදායි ස්තාවර බවක් ඇතිවනවා ඇත.පැවති ප්‍රශ්ණ ගැටලු ආදියට යම් පැහැදිලි වෙනසක් ඇතිකරගැනීමට අවස්තාව ලැබෙනා අතර නිසි මගපෙන්වීමක් ලැබෙනවා ඇත.යහපත් හිතමිත්‍ර ඇසුරට අවස්තාව ලැබෙනා අතර අමනාපයෙන් දුරස්වීමෙන් සිටි අය නැවත ලන්වීමට , එක්වීමට අවස්තාව ලැබේ.හවුල් ව්‍යාපාර ආදියෙන් ලාබ ලැබීමට , පවත්වාගෙන ආ කටයුතු තුල විශේෂ ලාබ ආදිය ලැබීමට අවස්තාව සහිත කාලයක්වේ.විවාහය බිරිද හෝ සහකරු සම්බන්ධ තත්වයන්ට මෙතක් පැවති තත්වයන්ට වඩා සහනය යහපත පැහැදීම අවබෝධය ඇතිවනවා ඇත.ඉගෙනීම් අධ්‍යාපනික තත්වය යහපත්වන අතර උසස් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.නව ඉගෙනීම් උසස් අධ්‍යාපනික අවස්තා ලැබෙනා අතර විදෙස්ගත අධ්‍යාපනික අවස්තාවන් ලබාගැනීමට අවස්තාව පවතී.රැකියා ආදායම් සම්බන්ධවද විදෙස්ගතවීමට පිට පලාත් සමග සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට අවස්තාව ලැබේ.විවාහයට අවස්තාව සහිත අතර පවුලට සාමාජිකයන් එක්වනවා ඇත.දරුඵල ලැබීම අවස්තාව ලැබෙනු ඇත.තම බලාපොරොත්තු යම් පමණකට හෝ ඉටුකරගැනීමට මෙම වකවානුවේ අවස්තාව ලැබේ.මේ අතර කාලය තුල හදිසි අනතුරු ආදියට ලක්වීමට සිදුවිය හැකි අතර පාදයේ අතේ තුවාල වීම් ආදියට ලක්වීමට අවස්තාව සහිතවේ.2021 වසර මැද භාගයෙන් ඉදිරියට රැකියාව පිලිබදව යම් යම් අර්බුධයන්ට ලක්වීමට අවස්තාව සිතවේ.එම කාලයේ තම අයිතීන් වටිනාකම් පිලිබදව යම් යම් ගැටලුකාරී තත්වයන්ට , නීතිමය ගැටලු හෝ සතුරු කරදර පීඩාවන්ට ලක්වීමට අවස්තාව සහිතවේ.ස්තානීය ගැටලු මතුවිය හැක.කෙසේ වෙතත් ඇතිවන ගැටලු සමනය කරගැනීම සදහා අවස්තාව ලැබෙනවා ඇත.සමස්තයක් ලෙස 2020 - 2023 අතර වසර තුනක කාලය තම උපන් ග්‍රහ තත්වයට යටත්ව නමුත් යම් සහනයක් සුබඵලයක් ලැබීමට අවස්තාව සහිතවේ.

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම සියලු ලැබීම් පෙන්වන ලග්නයෙන් එකොලොස්වැන්නේ වේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතර සදුගේ පිහිටීම ලග්නයෙන් හයවැන්න වූ සතුරු ස්තානයේ පිහිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණදීමට 2020 - 2023 අතර කාලයේ සිදුවනවා ඇත.

කන්‍යා ලග්නය -

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර කාලයක් තිස්සේ පැවති හිතවත්කමක් වෙනසකට ලක්වීමට , විස්වාසය බිදවැටීමට අවස්තාව පවතී.නව හිතමිත්‍ර සබදතාවයන් ඇතිවනු ඇති අතර තමාගේ වයසට වඩා වයසින් වැඩි අය සමග සබදතා ඇතිවේ.නව ඉගෙනීම් සදහා අවස්තාව ලැබෙනා අතර කරගෙන ආ ඉගෙනීම් කටයුතු සාර්තක කරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.ජීවිත කාලයටම වැදගත්වන , ශක්තියක් වන යම් වැදගත් යමකට අතගැසීමට , ආරම්බ කිරීමට , ඉගෙන ගැනීමට අවස්තාව මෙම වසර තුනක කාලය තුල අවස්තාව ලැබෙනවා ඇත.විවාහයට යම් අවස්තාවක් පවතින නමුත් යම් යම් ප්‍රමාදවීම් වලට ලක්වීමට , අතරමැද හදිසි ගැටලු මතබේධ ආදී හේතුන් නිසා විවාහ බලාපොරොත්තුව බිදවැටීම් ඇතිවීමට අවස්තාව සහිතවේ.විවාහ දිවි ගතකරනා අය සැලකිලිමත්විය යුතු අතර සැකය වැනි සාධක විවාහයේ සැපයට බාධා කරනු ඇත.තමන්ටද විවාහයෙන් බාහිර සබදතාවයන්ට අවස්තා මතුවන නමුත් ඉවසා කටයුතු කිරීම යහපත්වේ.ඉදිරි කාලය පුරාවටම නිවසේ පදින්චි ස්තානයේ තත්වය යහපත් නවන අතර මානසික පීඩනයකට ලක්වේ.නිවසේ ගෙවෙනා කාලය අඩුවන අතර හිතමිත්‍ර බන්ධන , රැකියා බන්ධන ආදී තත්වයන් නිසා සැනසීම සහනය අහිමිවිය හැක.එමෙන්ම නීතිමය ගැටලු ආදියෙන් ප්‍රවේසම්විය යුතු අතර හදිසි නීතිමය ගැටලු මතුකල හැක.සහෝදර සහෝදරියන් සමග මතබේධයන් ඇතිකල හැක.දරුවන් සම්බන්ධ කටයුතු හේතුවෙන් අමතර වෙහෙසමහන්සියෙන් යුතුව කටයුතු කිරීමට සිදුවිය හැක.දරුවන්ගේ ගැටලු සදහා මුහුණදීමට සිදුවිය හැක.එහෙත් අවසානයේ දරුවන්ගේ යහපත දියුණුව හෝ සාර්තකත්වය ලැබීමට අවස්තාව සැලසෙනවා ඇත.දරුඵල ලාබ ලැබීමට අවස්තාව පවතී.කල් පවතින රෝගාබාධ ආදිය සහිත අය තරමක් විශේෂයෙන් ප්‍රවේසම්විය යුතු අතර මෙම තත්වයන් වර්ධනය වීමට , මාරාන්තික තත්වයන් ඇතිවීම සිදුවිය හැක.උදරගත රෝග , පාදයේ ආබාධ , උගුරේ බෙල්ලේ ඇසේ , කටේ අසනීප ඇතිකරනු ඇත.උප්පත්ති ග්‍රහ පිහිටීම සහ ග්‍රහ කාරක අයිතීන් මත පලාඵල සම්පූර්ණ ලෙස වෙනසකට ලක්වනු ඇත.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම ලග්නයෙන් දස්වැන්න වූ කර්මස්තානයේ පිහිටියේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් පස්වැන්න වූ පුත්‍රස්තානයේ වේ නම් ජම්ම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට සිදුවනු ඇත.

තුළා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර මෙය අර්ධ කණ්ඨක ශනි අපල අවස්තාවවේ.රාශි බලයෙන් සහිතවන බැවින් ඉදිරි වසර තුනක කාලය සුබාසුබ මිශ්‍රැඵල සහිත වනවා ඇත.අසුබ ආරංචි ලැබේ.අසන්නට කියන්නට ලැබේ.පදිංචිය , නිවස සම්බන්ධව තරමක නිහඩ අදුරු බවක් ඇතිවිය හැකි අතර නිවසේ වසනා අයගේ මානසික තත්වය සහ සෞඛ්‍ය තත්වයන් එතරම් යහපත් නොවනු ඇත.පාඩු අලාබයන්ට ලක්වීමට , නීතිය ඉදිරියේ පැරදීමට , දඩුවම් ලැබීමට අවස්තාව පවතී.තමාගේ පැවති වටිනා දේ යම් පමණකට විනාශයකට ලක්වීමට , පාඩුවකට ලක්වීමට අවස්තාව සහිත අතර , අතහැර දමා තිබූ යම් යම් වටිනා දේ තුලින් යම් ලාබයක් ලැබීමට හෝ පිලිසකර කර නව කටයුතු සදහා යොදා ගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.රැකියාව පිලිබදව යම් යම් දුෂ්කරතාවයන්ට , ගැටලු මතවේධාත්මක තත්වයන්ට ලක්වීමට අවස්තාව සහිත අතර ස්තාන මාරු යෙදිය හැක.දුර බැහැර රැකියා කටයුතු යෙදෙනවා ඇත.යම් පමණකට සතුරන්ද ඇතිවිය හැකි අතර නිසි මගපෙන්වීම් නොලැබීයයි.ජීවත්වන පරිසරය ප්‍රිය මනාප නොවන අතර ගම රට අත්හැරීමකට හෝ විදෙස්ගතවීමකට බලාපොරොත්තු නම් ඒවා ඉටුවනවා ඇත.මිල මුදල් ආර්තික තත්වය ප්‍රවේසම් කරගතයුතු අතර හදිසි පාඩු අලාබ ආදියට ලක්වීමට හදිසියේ සිදුවිය හැක.මවටද පියාටද මෙම කාලය යහපත් නැත.කිසියම් ගැටලුවකින් රෝගයකින් පෙලෙනා පසුවෙනා අයෙකු නිවසේ ජීවත්විය හැකි අතර රෝගී තත්වයන් ආදියෙන් මෙතෙක් පීඩා කරදර යෙදී ඇත්නම් ඒවා වර්ධනය වීමක් සිදුවිය හැක.විවාහය ආදී තත්වයන්ට ප්‍රබල අසුබ බලපෑමක් ඇතිනවන නමුත් පවුලේ සමගිය ස්තාවර නැත.වරින් වර ගැටලු මතබේධයන්ට ලක්වීමට සිදුවනු ඇත.පවුලේ පැවැත්ම සහ දියුණුව වෙනුවෙන් විශේෂ අමතර කැපවීමක් සිදුකිරීමට සිදුවනු ඇත.පපුවේ , පාදයේ සෞඛ්‍ය තත්වයන් යහපත් නවන අතර ලිංගාශ්‍රිත රෝග තත්වයන්ට ලක්වීමට සිදුවිය හැක.හිසද , ඇසද ප්‍රවේසම්කරගතයුතුවේ.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්නේ භාග්‍යස්තානයේ සදුගේ පිහිටීම වේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටජ අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් සිව්වැන්නේ පිහිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපලයටද මුහුණ දීමට 2020 - 2023 අතර කාලයේ සිදුවනවා ඇත.කෙසේ වෙතත් තුලා ලග්න හිමියනට 2020 - 2023 අතර කාලය අර්ධ කණ්ඨක ශණි නම් අපලයට ලක්වීමට ස්තිරවම සිදුවේ.

වෘශ්චික ලග්නය - 

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මේ සමගම මෙතෙක් වසර හතයි මාස හයක් පුරා පැවති ලග්න ඒරාශ්ටක අපලයේ අදුර දුරුවී යන අතර මෙතෙක් පැවති තත්වයට වඩා සහනයක හිමිවනවා ඇත.ජීවිතයේ මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති බොහෝ කටයුතු නැවත යතා තත්වයට පත්කරගැනීමට , අතපසුවී පැවති කටයුතු නැවත ආරම්බ කිරීමට අවස්තාව් ලැබෙනවා ඇත.විවාහය සිදුවනවා ඇත.විවාහ දිවියේ පැවති යම් යම් මතබේධකාරී ගැටලුකාරී තත්වයනට සහනයක් ඇතිවනවා ඇත.එහෙත් අන්‍ය කම්සැප ලාබයන්ට අවස්තාව පවතින අතර ඒ හරහා තම තත්වය ගෞරවය යම් පමණකට හානියකට ලක්විය හැකි අතර තම රහස් හෙලීවීමක් සිදුවිය හැක.තම වීර්‍යයෙන් උත්සහයෙන් කරනා කටයුතු සාර්තක වන අතර මුදල් ආර්තික තත්වයට සහනයක් ඇතිකරයි.එහෙත් 2021 වසරේ මැද භාගයෙන් පසු මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.සමාජ සබදතා ආදියට වැඩි අවස්තාව පවතී.එවැනි හේතූන් නිසා පවුලේ වගකීම් මගහැරී යාමකට අවස්තාව පවතී.විදෙස්ගතවීම් සාර්තකවනු ඇත.රැකියාවේ අංශ මාරුවක් හෝ සිදුවිය හැක.තමාගේ අයිතීන් , වටිනාකම් අනුව සුදුසුකම අනුව තමාගේ වගකීම රැකියාව තුල පැවරෙනවා ඇත.දීර්ගකාලීන වැඩසටහනකට , රැකියාවකට ආදායම් මාර්ගයකට අතගැසීමට අවස්තාව සහිත කාලයකි.දුරස්ව සිටි අය නැවත ලංවීම සිදුවන අතර නව හිතමිත්‍ර සබදතා ආදියට අවස්තාව ලැබෙනවා ඇත.සමස්තයක් ලෙස ඉදිරි වසර තුනක කාලය සෙනසුරු මකර රාශිය තුල වෘශ්චික ලග්න හිමියාට යහපත සහනය ලබාදෙනු ඇත.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම ලග්නයෙන් අටවැන්න වූ මාරකස්තානයේ වේ නම් ලග්න ඒරාශ්ටක අපලය අවසන් උවද ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතරම සදුගේ පිහිටීම ලග්නයෙන් තුන්වැන්න වූ වික්‍රමස්තානයේ වූවේ නම් ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට 2020 - 2023 අතර කාලයේ සිදුවනවා ඇත.

ධනු ලග්නය - 

මෙතෙක් ලග්නය හරහා ගමන් කල සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්න වූ ධනස්තානයට පැමිණීම සිදුවන අතර , මෙය ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටසවේ.2020 ජනවාරි 2023 ජනවාරි අතර කාලයේ සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරනු ඇත.මෙය ඔබට සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවනු ඇති අතර මූලිකව ධනය මිලමුදල් ආර්තිකයට සම්බන්ධ ගැටලු අවහිරතාවයන් ඇතිකරයි.මුදල් ගණුදෙනු ඉතා ප්‍රවේසමෙන් සිදුකලයුතු අතර කල්බදු බහසුකම් ලබාගැනීම ආදී උපක්‍රම භාවිතාකල හැක.එවිට ණයකට සිරවූවද , අවසානයේ යමක් ඉතිරි වනු ඇත.විවාහය පවුල් ජීවිතය සම්බන්ධ කටයුතු පිලිබදවද සැලකිලිමත්විය යුතු අතර විවාහයෙන් භාහිර සබදතාවයන් ඇතිකල හැක.පවුල් ජීවිතයේ අවුල් වියවුල් , සැක සාංකා ඇතිකර තමා පීඩාවට ලක්කල හැක.එමෙන්ම තම පවුලේ පැවැත්ම දියුණුව ආදිය හේතුවෙන් අමතර වෙහෙස මහන්සියකින් කටයුතු කිරීමට සිදුවනවා ඇත.තරමක් දුෂ්කර කටයුතු සදහා සම්බන්ධ වීමට සිදුවනු ඇත.එහෙත් කරනා කටයුතු තුලින් දුෂ්කරතාවයන් සහිතව උවද සාර්තකත්වයක් , යහපතක් ලැබීමට අවස්තාව ලැබෙනවා ඇත.කෙසේ වෙතත් නීතිමය ගැටලු ආදියට බන්ධනය වීමට සිදුවිය හැකි අතරම , කුමනාකාරයේ හෝ බන්ධනයක් , ජීවිතය යම් විශේෂ වගකීමකට නතුවීමක් සිදුවනු ඇත.මානසික පීඩනයට ලක්වන කාලයකි.2021 මැද භාගයෙන් පසු සෞඛ්‍ය තත්වයනටද යහපත් නොවන අතර යම් විශේෂ අසනීපයන්ට ලක්වීමට , එයින් කාලයක් පීඩාවට ගැටලුවට ලක්වෙමින් කාලය ගතකිරීමට සිදුවිය හැක.අධ්‍යාපනාදී කටයුතුද යම් විශේෂ බාධාකාරී තත්වයකට ලක්විය හැක.උත්සහයේ තරමට ප්‍රතිපල නොලැබීමට හේතු සහිතය.විදෙස්ගතවීම් ආදිය සදහා අවස්තාව සහිත සහ ලැබෙන අතර එයින් යම් විශේෂ යහපතක් වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය.ජලය මූලික කරගත සාධක නිසා රෝග පීඩා විපත් ඇතිකල හැකි අතර හදිසි අනතුරු තුවාල , පපුවට රෝගී තත්ව ඇතිකල හැකි කාලයක් වේ.ඇස , පෙණීම , පාදයේ , යටි සහ පිටි පතුල් ප්‍රවේසම්කරගතයුතුවේ.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ සදුගේ පිහිටීම සිදුව ඇතිනම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් හත්වැන්න වූ විවාහකස්තානයේ පිහිටියේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට සිදුවන අතර 2023 ජනවාරි දක්වා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටජ අපලයද පවතී.ඉහත අපලය සමග ලග්න ඒරාශ්ටක අපලයද 2020 - 2023 අතර කාලයේ යෙදෙනවා ඇත.

මකර ලග්නය - 

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශියට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.ලග්නයට පැමිණෙන සෙනසුරු රාශි බලය පමණක් ලබන අතර අනෙකුත් සියලුම ආකාරයන්ගෙන් අයහපත් බවක් ඇතිකරයි.සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාව වන අතර තමා කල කී කටයුතු තරමක් දුරට එක්තැන්වීමකට ලක්විය හැක.දුෂ්කර වගකීම් හිමිවන පැවරෙන අතර කටයුතු කරගෙන යාමේදී නොයෙක් ආකාරයේ අවහිර බාධා ඇතිවනවා ඇත.එහෙත් අත්හැරීමකින් තොරව අවසානය දක්වා ඕනෑම කටයුත්තක් යම් පමණක සාර්තකතාවයක් සහිතව පවත්වාගෙන යාමට හැකිවනවා ඇත.තම නාමය , ගෞරවය වටිනාකම පිරිහීමකට ලක්විය හැකි අතර නින්දා අපහාස හෝ චෝදනාවන්ට ලක්වීමට සිදුවනු ඇත.විවාහය පවුල් ජීවිතය සම්බන්ධව අයහපත් කාලයක් වන අතර ස්වාමියා සහකරු බිරිද සම්බන්ධ සෞඛ්‍ය ගැටලු දුර්වලතා මාරක මතුකල හැක.සබදතා හිතවත්කම් නොසිතූ , තේරුම්ගත නොහැකි ලෙස අවසාන වීමට හෝ දුරස් බවක් ඇතිවීම සිදුවේ.අනවබෝදයෙන් , හදිසියෙන් කලබලයෙන් කටයුතු කරනවා ඇත.රැකියා ස්තානීය ගැටලු මතුකල හැක.මුදල් ආර්තිකය තුල හදිසි විශේෂ වියදම් පාඩු සිදුවනු ඇත.මානසික වශයෙන් කනස්සලු බව සහිතව කාලය ගතවිය හැකි අතර සරලව පවසන්නේ නම් විදවීමක් සහිතව කාලය ගතවනු ඇත.විදවීම් ඇතිවන ආකාරයේ තරමක විශේෂ ගැටලු සිදුවීම් ඇතිවනවා ඇත.ආදර ප්‍රේම සබදතා ආදියේදී විශේෂයෙන් ලාබාල තරුණ තරුණියන් ප්‍රවේසම් විය යුතු අතර එයින්ද ස්ත්‍රී පාර්ශවයට තරමක් විශේෂ ගැටලු ඇතිකරනු ඇත.තම රහස්‍යභාවයට හානි ඇතිකල හැක.තරුණ පිරිමි පාර්ශවය සමාජීයව පවත්නා ඇබ්බැහිකම් වලට හසුවිය හැකි අතර , අයහපත් හිතමිත්‍රයන් නිසා විනාසවීම් ඇතිකල හැක.විවාහ දිවියද ස්තිර වශයෙන් ඕනෑකමින් ප්‍රවේසම්කරගත යුතුය.හිස , පාදය , උදරගත තත්වයන් සහ මානසික මට්ටම් හරහා රෝග රෝගාබාධයන්ට ලක්වීමට සිදුවිය හැක.හදිසි අනතුරු ජල සහ ගිණි අනතුරු ඇතිකරනු ඇත.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශිය වූ මකර රාශියේ සදුයේ පිහිටීම සහිත නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් හයවැන්න වූ සතුරු ස්තානයේ යෙදී ඇති නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට සිදුවේ.මේ අතරම මකර ලග්න හිමියනට දැනට සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස ගෙවෙමින් ඇති අතර ඉහත ආකාරයෙන් සදුගේ පිහිටීම යෙදේ නම් ඒරාශ්ටක දෙකක අපලයට එකවිට ලක්වීමට සිදුවනු ඇත.

කුම්භ ලග්නය -

ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නවූ වැයස්තානයට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර මේ සමගම ලග්න ඒරාශ්ටක අපලය ආරම්බවේ.2020 ජනවාරි සිට 2027 ජුනි දක්වා වසර හතයි මාස හයකට ආසන්න කාලයක් සෙනසුරු අපල ඇතිකරන අතර එය අවස්තා , පියවර තුනකින් සිදුවනවා ඇත.2020 ජනවාරි 2023 ජනවාරි අතර වසර තුනක කාලය සෙනසුරු ලග්නයෙන් දොලොස්වැන්නේ ඒරාශ්ටක අපලයේ මුල් කොටස තුල අසුබ ඇතිකරන අතරම යම් යම් අංශයන්ගේ සහනයක්ද ඇතිකරනු ඇත.සුබාසුබ මිශ්‍රඵල සහිතව කාලය ගතවේ.මෙහි 2020 නොවැම්බර් දක්වා කාලය යම් සහනයක් යහපතක් සහිතව ගෙවීයන අතර එම නිසා ඉදිරියේ අසුබ ඇතිවේදැයි යන අවබෝධය පවා දුරස්විය හැකි.ජීවිතයට නිසි මගපෙන්වීම් හිමිවන , පවුලට නව සාමාජිකයන් එක්වන , නම ගෞරවය වර්ධනය වන ලෙස කටයුතු 2020 නොවැම්බර් දක්වා සිදුවන අතර ඉන් ඉදිරියට මෙම තත්වයන් සම්පූර්ණ වශයෙන් වෙනසකට ලක්කරයි.පැවති තත්වය ගෞරවය වටිනාකමට හානි ඇතිකරන අතර සැපය සනීපය දුර්වල කරයි.වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කිරීමට සිදුවන අතර රැකියාව ආදායම් තත්වයන් පිලිබදව ගැටලු ඇතිකරයි.රැකියාවේ විශේෂ දුෂ්කරතාවයන් මෙන්ම රැකියා ස්තානයේ සතුරු කරදර පීඩාවන්ට ලක්වීමට සිදුවනු ඇත.ස්තාන මාරු අයහපත් හෝ නොසිතූ අවස්තාවල යෙදෙනවා ඇත.මිල මුදල් ප්‍රවේසම් කරගත යුතු අතර අනවශ්‍ය වියදම් යෙදෙනවා ඇත.පදිංචිය නිවස සම්බන්ධ යම් යම් වෙනස්කම් ඇතිකරවන අතර දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.සංචාරක අවස්තා සහිත විදෙස්ගතවීම් සපල වන කාලයකි.දරු පවුලෙන් වෙන්වීමක් සිදුවේ.දරුවෙකු සම්බන්ධ විශේෂ ගැටලුවකට රෝග පීඩාවකට ලක්වනු ඇත.හිතමිත්‍රයනට , හවුල් කරුවනට කරදර බාධා විපත් ඇතිකරයි.පවුලේ වැඩිහිටියනටද අයහපත් වන අතර වැඩිමහල් සහෝදරයෙකුගේ විශේෂ ගැටලුවක් මතුකරනු ඇත.අසල් වැසියන් නිසාද අමතර වියදම් පාඩු ඇතිකරයි.පාදයට , ධනහිසට , පපුවට ආබාධ ඇතිකල හැකි අතර බෝවන රෝගයනට ලක්වීමට අවස්තාව පවතී.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම වැයස්තානය වූ ලග්නයෙන් දොලොස්වැන්නේ වේ නම් ජම්ම ඒරාශ්ටක අපලයද , සදුගේ පිහිටීම ලග්නයෙන් පස්වැන්න වූ පුත්‍රස්තානයේ වේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට සිදුවන අතරම . 2020  ජනවාරි 26 වනදා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයද ආරම්බවේ.ලග්න ඒරාශ්ටක අපලය 2027 ජුනි දක්වා දීර්ග කාලීනව අපල ඇතිකරයි.

මීන ලග්නය - 

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.2017 ඔක්තෝම්බර් - 2020 ජනවාරි අතර කාලයේ පැවති , කණ්ඨක ශනි අපලයෙන් මිදීම සිදුවන අතර මෙතක් පීඩනයට ලක්වූ මානසිකත්වයට සහනය ඇතිකරනු ඇත.රැකියාව , මිල මුදල් ආර්තිකයට සහනය ඇතිවේ.ආදායම් යහපත්ව පවත්වාගැනීමට , තම අයිතීන් නැවත තහවුරු කරගැනීමට අවස්තාව සැලසේ.දේපල ඉඩකඩම් සම්බන්ධව නීතිමය හෝ වෙනත් ආකාරයේ ගැටලු පැවතියේ නම් ඒවායෙන් තමාට වාසි සහිතව නිදහස් වීමට අවස්තාව සැලසෙනවා ඇත.පවුලට නව සාමාජිකයන් එක්වන අතර විවාහයද , දරුඵල බලාපොරොත්තුවද ඉටුවනවා ඇත.විදෙස්ගතවීමේ අවස්තා හිමි කාලයකි.කරන කියන කටයුතු යම් සාර්තකත්වයක් දක්වා පවත්වාගෙන යාමට අවස්තාව හිමිවන අතර ලාබ හෝ ගෞරවය ප්‍රසාධය , පිළිගැනීම ආදී වටිනාකම් හිමිවේ.තමාට නව හිතමිත්‍ර සබදතා ඇතිවන අතරම අමනාපයෙන් හෝ වෙනත් ආකාරයේ ගැටලුකාරී තත්වයන්ගෙන් පසුවූ අය නැවත ලං වනවා ඇත.එමෙන ඇසුරට නව පිරිසක් ඇතිවන අතර ඒ අතර තමාට අනාගතයට වැදගත් හවුල් කරුවන් මගපෙන්වන්නන් මෙන්ම උදව් කරුවන්ද සිටිනවා ඇත.තමාගේ කටයුත්තකට ඕනෑම ආකාරයේ අයෙකුගෙන් උදව් උපකාරයන් ලැබෙනවා ඇත.ප්‍රේම සබදතා සදහා එතරම් යහපත් නොවන අතර පැවති සබදතා වෙනසකට ලක්වේ.නව සබදතා බලාපොරොත්තුවේ නම් ඒවා ඉටුවේ.ඉගෙනීම් සාර්තකවේ.යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්තාව හිමිවේ.උසස් අධ්‍යාපණික අවස්තා හිමිවේ.එහෙත් ඕනෑම තරාතිරමේ අයෙකුට විශේෂ වගකීමකට බැදීමට සිදුවනු ඇත.පැවති රෝගාබාධයන්ගෙන් සහනය සුවය ඇතිකරනු ඇත.ලේ විසවීම , වසවිස ශරීරගතවීම ආදියද , උදරගත රෝගයන්ද මෙම කාලයේ විටින් විට ඇතිකරයි.දරුවෙකුට කිසියම් විශේෂ විපතක් ඇතිකල හැක.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

මීන ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම සියලු ලැබීම් පෙන්වන එකොලොස්වැන්නේ වේ නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් සිව්වැන්නවූ මාතෘ ස්තානයේ වේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට 2020 - 2023 අතර කාලයේ සිදුවනු ඇත.

Janaka P kumara
Hadahana Lanka Astrology 
- www.AAlokaya.com - 
(+94)712764440