බිඳීගිය සුසුම්නාව හෙළ වෙදකමෙන් සුවකළ හැක

ඒ වෙද මහත්තයාගෙ දැත්වල මහා පුදුමාකාර බලයක්‌ තියෙනවා. මට හිතාගන්නවත් බැහැ ඒ බලය මොකක්‌ද කියලා. ඒ වගේම තමයි එයාගෙ තෙල් බෙහෙත්වලත්. ඒවයෙ තියෙන්නේ නොපෙනෙන බලවේගයක්‌. කොහොම හරි වෙද ගෙදරට උස්‌සගෙන එන රෝගියෙක්‌ දෙපයින් කෙළින් කරන්න එයාට වැඩි වෙලාවක්‌ ගත වෙන්නෙ නැහැ."කොළඹ මහාධිකරණයේ අධිනීතිඥ චන්ද්‍රදාස සූරියආරච්චි මහතා මා හා පැවසුවේ ගුණසේන වෙද මහතාගේ ප්‍රතිකාර ගැන බොහෝ දේ ප්‍රකාශ කරමිනි.

"දිනක්‌ පාදය බිඳුණු රෝගියෙක්‌ මම හලාවතට අරගෙන ගියේ කොළඹ ප්‍රදේශයේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක්‌ නැතිව නොවෙයි. නමුත් මට ගුණසේන වෙද මහත්තය ගැන හොඳ විශ්වාසයක්‌ තිබුණා. මම ඔහු තුළින් දැක්‌කෙ අපි අහල තියෙන ජීවක වෙද මහත්තයගෙ ගති ලක්‍ෂණ.

"මගේම වාහනෙන් අරගෙන ගියපු රෝගියාව වෙද ගෙදරට ගෙනියන කොට පැය කිහිපයක්‌ ගත වෙලා තිබුණත් ගුණසේන වෙද මහත්තයට ඒක ප්‍රශ්නයක්‌ වෙලා තිබුණේ නැහැ. කොහොම හරි අපේ අත්පිටින් ආපු රෝගියාට ගුණසේන වෙද මහත්තය බැන්දේ පත්තුවක්‌ විතරයි. මුලින් තෙල් සාත්තුවක්‌ කරල ඊළඟට බැන්ද පත්තුව තවත් විනාඩි ගණනක්‌ තියෙන්න ඇරල වෙද මහත්තය ලෙඩාගෙන් තොරතුරු ඇහුවා.

"දැන් මොකද දැනෙන්නෙ."

"මුලින් නම් පොඩි සිසිලක්‌ දැනුණා. ඒත් දැන් ටික ටික දැවිල්ලක්‌ වගේ දැනෙනවා."

රෝගියා වෙදදුරුගේ ප්‍රශ්නයට පිළිතුරු දීල තවත් විනාඩි කිහිපයකින් කෑ ගසන්න පටන් ගත්තා. ඒත් එහෙම කෑ ගහන්න ගත්තත් ක්‍රමයෙන් ඒ කෑගැහිල්ල අඩුවුණා. නැවත වරක්‌ රෝගියා ළඟට ආපු වෙද මහත්තය රෝගියාට විධානයක්‌ කළා.

"දැං නැගිටිමු බලන්න."

"අනේ වෙද මහත්තයෝ නැගිටින්න බැහැ"

"බැරිකමක්‌ නෑ නැගිටිනව බලන්න."

"එවර වෙද මහත්තය තරමක සැරෙන් කියද්දී රෝගියා ඉබේටම වාගේ නැගිට්‌ටා. ඊළඟට වෙද මහත්තය තවත් විධානයක්‌ කළා."

"දැං ඇවිදිනව බලන්න."

"රෝගියාගේ ඇස්‌ ඉහළට ගියා. ඔහු මොන මොනවද කියමින් මුනුමුනු ගෑවා. ඒත් වෙද මහත්තයාට ඇහුණේ නැහැ වගේ හිටියා. ඊට පස්‌සෙ වෙද මහත්තය කේන්තියක්‌ මවාගෙන තවත් විධානයක්‌ කළා."

"මරන්න නෙවෙයි මිනිහෝ හදන්නෙ. කිව්වම අහල දොට්‌ට්‌ බහිනවා."

වෙද මහත්තය සැරෙන් කියල ළඟ තිබුණු පොලු කෑල්ලකුත් අතට ගත්තා. ලෙඩා කොච්චර බයක්‌ ඇති කර ගත්තද කියනව නම් මිනිහට සියල්ල අමතක වෙලා එක සැරේම ඇවිදගෙන එළියට ගියා. වෙද මහත්තය කටේ තිබුණු බුලත් හපේ තලු මර මර සිනහවෙමින් බලාගෙන හිටියා. තවත් බෙහෙත් මැල්ලුමක්‌ ගෙදරදී බඳින්න දීල අපහසුවක්‌ වුණොත් එන්න කිව්ව. ප්‍රතිකාරය අවසන්.

මේ සිදුවීම මගේ ඇස්‌ දෙකෙන් දැකපු දෙයක්‌ හරියට විඡ්ජාවක්‌ වගේ. චන්ද්‍රදාස සූරියආරච්චි මහතා කතාව අවසන් කළේ මගේ ජීවිතයට දැකපු තවත් පුදුම සහගත සිදුවීමක්‌ මේක කියලා.

සුසුම්නාවේ ආබාධවලටත් ප්‍රතිකාර කරන ගුණසේන වෙදැදුරු පවසන්නේ යම් රෝගියකුගේ කොඳු ඇට පෙළ බිඳීයැමෙන් සුසුම්නාව ද බිඳී ගියොත් තම ප්‍රතිකාරවලින් සුවයක්‌ ලබා දිය හැකි බවයි.

"බොහෝ වෙලාවට කොඳු ඇට පෙළට දරුණු හානියක්‌ වුණාම සුසුම්නාවටත් හානි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මට ඒකට ප්‍රතිකාරයක්‌ කරල සුවයක්‌ ලබා දෙන්න බැරිකමක්‌ නැහැ. නමුත් මෙහෙම දෙයක්‌ තියෙනවා. මොනම හේතුවක්‌ නිසාවත් එවැනි රෝගියකුට කල්ගත වෙලා ප්‍රතිකාර කරන්න අපහසුයි."

"යමෙක්‌ගෙ සුසුම්නාවට හානියක්‌ වුණොත් එතැනින් නරක්‌ වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් ඉක්‌මන් ප්‍රතිකාරයක්‌ දිය යුතුමයි."

ගුණසේන වෙදැදුරු ඉතා වගකීමෙන් හා අවධාරණයෙන් ප්‍රකාශ කළ මේ අදහස්‌ තුළින් මතු වූ ප්‍රශ්න විසඳාගත නොහැකිව මම අතුරු ප්‍රශ්නයක්‌ ඇසීමි.

"සුසුම්නාවට හානි වුණු කිසියම් හෝ රෝගියකුට ඔබ ප්‍රතිකාර කරනවා නම් ඒ කොපමණ වේලාවකට පසුවද?"

"මේක වෙන්න ඕන මෙහෙමයි. අපි හිතමු යමෙක්‌ගෙ සුසුම්නාව කැඩුණ කියලා. එහෙම වුණොත් හරියටම දින දෙක තුනක්‌ ඇතුළත රෝගියා මට භාරදිය යුතුයි. මේ වගේ රෝගීන් උස්‌සන්න පෙරළන්න හොඳ නෑ. මෙතෙන්ට ගේනව නම් ලෑල්ලක තියල තමයි ගේන්න ඕන. හැබැයි කිට්‌ටුව පාතක නම් මම රෝගියා ළඟට ගිහිල්ල ප්‍රතිකාර කරනවා."

"මේ වගේ රෝගියකුට කොපමණ කාලයක්‌ ප්‍රතිකාර කිරීමෙන් සුවයක්‌ ලැබිය හැකිද?" මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීමි.

"ඒක කියන්න පුළුවන් රෝගියාගේ ස්‌වභාවය හා සුසුම්නාවට හානි වුණ ස්‌වභාවයෙ තරමට. කොහොම වුණත් අවුරුද්දක්‌ පමණ කාලයකදි මට රෝගියා ගොඩදාගන්න පුළුවන්."

කේන්ද්‍රීය ස්‌නායු පද්ධතියේ කශේරු ජාලය තුළ පිහිටි කොටසට සුසුම්නාව යයි කියනු ලැබේ. එය හිස්‌ කබල පත්ලෙහි පිහිටි මහා ජිද්‍රය සිට පළමුවැනි කටී කශේරුකාවේ පහළ දාරය දක්‌වා කශේරු ජාලය තුළ පිහිටා ඇත. වයස්‌ගත වූවකුගේ සුසුම්නාව අඟල් 18 ක්‌ පමණ දිගින් යුක්‌ත වන අතර සුළැඟිල්ලක තරම් මහතකින් යුක්‌තය. මෙහි ඉහළ කෙළවර මොළයේ ආයතන මඡ්ජතය හා සම්බන්ධ වී පහළ කෙළවර සිහින්ව උල් වී 'කෝනස්‌ මෙඩල්ලේරිස්‌' නමැති කොටසින් අවසන් වෙයි.

මෙම උල් වූ කෙළවරින් පටන් ගන්නා අඟල් 9 ක්‌ හෝ 10 ක්‌ පමණ දික්‌ වූ දිලිසෙන සිහින් නූලක්‌ වැනි රේඛාවක්‌ පළමු වැනි කෝරුක කශේරුකාවට සම්බන්ධ වීමෙන් කෙළවර වේ. මේ සිහින් වූ කොටසට සුසුම්නාන්තය යෑයි කියනු ලැබේ.

ශරීරයෙහි ප්‍රධාන අවයවයක්‌ වන සුසුම්නාවට හානියක්‌ සිදු වීමෙන් මිනිස්‌ ජීවිතයට ඇතිවන බලපෑම මෙන්ම ජීවිත අන්තරාදායක බව මෙතෙකැයි කියා නිම කළ නොහැක. එනිසාම ශරීරයේ බොහෝ කොටස්‌ මෙමගින් පාලනය වන අතර එය ආරක්‍ෂා කර ගැනීමට ශරීරයේම කොටස වගකීමකින් ක්‍රියා කරන බවක්‌ දක්‌නට ඇත.

ගුණසේන වෙදැදුරුගේ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාව අනුමත කරන්නේද නොකරන්නේදැයි අපි නොදනිමු. එහෙත් ඇතැම් වෛද්‍යවරු මෙහි සත්‍ය අසත්‍යතාව තර්කයෙන් තොරව පිළිගන්නා අතර ඇතැමෙක්‌ මුසාවක්‌ සේ සිතට හොර රහසේ බැහැර කිරීමට පෙළෙඹෙති.

මේ කෙසේ වෙතත් ගුණසේන වෙදැදුරු වෙදකමේ බලපරාක්‍රමය ක්‍රියාවෙන් සනාථ කර අවසන් බව බොහෝ රෝගීන්ගේ සුවයත් සමඟ සාක්‍ෂි සපයා තිබේ.

මිනිස්‌ සිරුරේ යම් යම් අස්‌ථිවලට බද්ධ කළ හැකි සත්ත්ව කොටස්‌ වර්ග කිහිපයක්‌ ද ඔහුගේ වෙද පරම්පරාවෙහි තිබෙන බවක්‌ ගුණසේන වෙදැදුරු ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයකිනි. තම පරපුරේ ආදි මුතුන් මිත්තන් කළ ඇතැම් ප්‍රතිකාර තමන්ට කිරීමට අවස්‌ථාවක්‌ මෙතෙක්‌ උදා නූනත් අවශ්‍ය විටකදී එය කළ හැකි බව ඔහු අවධාරණය කරයි.

"අපේ මිනිස්‌ ශරීරයේ තිබෙන ඇතැම් කොටස්‌වලට යම් විදියකින් බරපතළ හානියක්‌ වෙලා ඒවා ප්‍රයෝජනයට ගන්න අපහසු නම් ඒකට ගැළපෙන සත්ව කොටස්‌ තියෙනවා. ඒවා තමයි කු=කුළු ඇට, එළු ඇට වගේම තලගොයි හම"

"විශේෂයෙන් තලගොයි හම. අපේ ශරීරයක කොටසක්‌ ගැලවිලා ගියයි කියමුකෝ. ඒකට විකල්පයක්‌ වශයෙන් ශරීරයේම තවත් කොටසකින් කපල ගන්නෙ නැතිව මේ තලගොයි හම තියල බද්ධ කළාම අර අඩුපාඩු සියල්ල හරියනවා. ඒ වගේම තමයි අස්‌ථි කොටසුත්. ඒවටත් කුකුළු ඇට එළු ඇට බද්ධ කරන්න පුළුවන්. අපට මේව කරන්න සිහිනැතිවීම්, හිරි වැට්‌ටවීම් කරන්න ඕන නෑ. අපේ තෙල් බෙහෙත් ගල්වල විනාඩි කීපයකින් රෝගියාට දැඩි වේදනාවක්‌ නොවෙන්න මේ සැත්කම් කිරීමේ හැකියාව අපට තියෙනවා."

ගුණසේන වෙදැදුරු තලාවට පමණක්‌ නොව මුළු රටටම ජීවකයෙකි. ඔහු ගැන ලිවීමට හා කීමට බොහෝ දේ ඇත. එහෙත් යම් යම් සීමාවන් ඊට බාධාවක්‌ වී තිබේ.

එවකට තලාව ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූ රංහාමි වෙදැදුරුගේ පුතණුවන් දෙදෙනාගෙන් වැඩිමල් පුතා ගුණසේන වෙදැදුරුය. අනෙක්‌ පුතා පාසල් ගුරුවරයකු වන අතර ඔහුද සර්වාංග වෙදකමෙන් කොටසක්‌ කරමින් කරනා සමාජ සත්කාරය ඉමහත් ය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments