පොඩ්ඩන්ට හැදෙන පණු රෝග

ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවට අනුව 'ත්‍රිමි රෝග' යනුවෙන් හඳුන්වන්නේ බොහොමයක් දෙනකුට වයස් සීමාවක් නැතිව වැලඳෙන පණු රෝගයයි.බාල, තරුණ, මහලු යන සියල්ලන් මෙයට ගොදුරු වුවද සුවිශේෂීව බාලයනට මෙය වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය.බියකරු වැඩි අවදානම් සහිත රෝගයක් වුවද, පීඩාව මෙන්ම අසහනයද ඇති කරවන 'ත්‍රිමි රෝග' හෙවත් පණු රෝග පහසුවෙන් වැලඳෙන විවිධාකාර හේතූන් කිහිපයක්ම වේ.එකී හේතූන් මොනවාද? රෝගය වැලඳෙන අවස්ථා කෙසේද? එයට ප්‍රතිකාර කරන නිවැරැදි ආකාරය හඳුනා ගන්නේ කොහොමද? යන්න ගැන ඔබ දැනුම්වත් කිරීමට වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ තරුපති හා එක්වූයේ මෙසේය.


ආයුර්වේද ග්‍රන්ථවල දක්වා තිබෙන ආකාරයට පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ ක්‍රම මඟින් බෝවන සංක්‍රාමික රෝගද ත්‍රිමින් (පණුවන්) නිසා බෝවන බව කියැවේ. විශේෂයෙන් ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට මෙන්ම ගැස්ට්‍රයිටීස්වලට ගොදුරු වූවන්ටද ත්‍රිමි රෝග ඇතිවේ. එලෙසම පාන්පිටි සහ පැණිරස අඩංගු දෑ නිතර ආහාරයට ගන්නා අයටත්, මල බද්ධය තිබෙන අයට සහ දූවිලි වැනි විසබීජ තත්ත්වයන් කෙරෙහි පරෙස්සම් වන අයටද ත්‍රිමි රෝග ඉතා ඉක්මනින් වැලඳෙන අවස්ථාවන් ඇත.
තවත් හේතු දක්වන්නේ නම් ලිංගික සංසර්ගය, ගාත්‍ර ස්පර්ශය, දෙදෙනකු එක්ව එක්වී ආහාර ගැනීම, එකම අසුනේ අසුන් ගැනීම, එක යහනෙහි නිදාගැනීම, යම් රෝගයක් වැලඳුන රෝගියකුගේ රෙදිපිළි භාවිතයට ගැනීම යනාදිය නිසාද ත්‍රිමි රෝග ඇතිවීමට ඉඩ තිබේ. එලෙස එමඟින් කුෂ්ඨ, ජ්වර, ඇදුම සහ ඇස් රෝග යනාදියද බෝවීමට තිබෙන අවස්ථාවන්ද විවෘතවේ.
ත්‍රිමි යනුවෙන් හඳුන්වන්නේ පණුවන්ම පමණක් නොවන වග කිවයුතුය. සරලව වඩාත් පැහැදිලිව කියන්නේ නම් විවිධ රෝගයන්ට ජීවය දෙනු ලබන 'ජීවීන්' කොට්ඨාසයක් ලෙස මෙය හැඳින්වීම සඳහා යොදාගත් පොදු වචනය 'ත්‍රිමි' යන වග ප්‍රකාශ කිරීම වඩාත්ම යෝග්‍යය.


ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව 'ත්‍රිමි' මෙසේ වර්ගකර ඇත.
දෘෂ්ට ත්‍රිමි - පියවි ඇසට පෙනෙනා ත්‍රිමි
අදෘෂ්ට ත්‍රිමි - පියවි ඇසට නොපෙනෙනා ත්‍රිමි
එලෙසම හැඩය අනුවද ත්‍රිමි වර්ග කිහිපයකි.
විෂ්රූපි ත්‍රිමි - ශරීර හැඩය විටින් විට වෙනස්කර ගත හැකි ත්‍රිමි.
අල්ගණ්ඩු - බිම් පණුවාගේ හැඩයට සමාන ත්‍රිමි.
කේසව - ශරීරයේ කෙස් හෝ ප්‍රසව සහිත හැඩය ගත්.
කුරුරු - නූල් වැනි හැඩයක් තිබෙන
අන්ව - ඉතාම කුඩා අංශු වැනි
එමෙන්ම ශරීරයට බලපෑම් ඇතිකරන ත්‍රිමි මෙන්ම නොකරන ත්‍රිමිද වේ.
සුනාම - මෙම ත්‍රිමි ශරීරයට හානි නොකරයි.
පූර්නාම - ශරීරය තුළ රෝග ඇති කරවයි.


සහජ ත්‍රිමි - ශරීරයට හානි නොකරන ත්‍රිමි වර්ගයකි.
විනාරජ ත්‍රිමි - ශරීරයට විවිධ රෝග ඇති කරවන ත්‍රිමි වර්ගයකි.
ස්ථානය අනුව ත්‍රිමි වර්ග කරන ආකාරය බාහිර ත්‍රිමි - සිරුරෙහි බාහිර සම ආශ්‍රිතව ජීවත්වන ත්‍රිමි
අභ්‍යන්තර ත්‍රිමි - සිරුරෙහි අභ්‍යන්තරව ජීවත් වන ත්‍රිමි.
ත්‍රිමි උපත ලබන ස්ථානයන් මෙසේ දැක්වේ.
රක්තජ - (රුධිර ගතව)
කඨජ - (ශ්ලෙෂ්ම)
පුරිෂජ - (මල)
මලජ - (බාහිර මල)
රක්තජ ත්‍රිමි -
පියවි ඇසට නොපෙනෙන මොවුන් ලේ වහනය කරන රුධිර නාළ සිය වාසස්ථාන කරගනියි. මෙම ත්‍රිමීන් සියුම්ය. කවාකාරය.
කඨජ ත්‍රිමි
ආමාශ, අන්ත්‍ර ආශ්‍රය කොට ජීවත් වන ත්‍රිමීන් මොවුන්ය.


පුර්ෂජ ත්‍රිමි - ගුද මාර්ගය ආශ්‍රිතව ජීවත් වේ.
මලජ ත්‍රිමි
ශාරීරික අපවිත්‍රතාව නිසා බාහිර මල පදාර්ථ ආශ්‍රයෙන් උපදින, ජීවත්වන ත්‍රිමීන් විශේෂයකි. මොවුන්ගේ වාසස්ථානයන් ලෙසෙ කෙස්, ලොම්, ඇස් පිහාටු සහ ඇඟලන වස්ත්‍රයන් දක්වා ඇත. තල ඇටයක හැඩය ගත් මොවුන් බහු පාදවලින් යුක්තය. කළු සහ සුදු පැහැයෙන් යුක්ත වන අතර සියුම් ස්වභාවයක් දක්වයි.
උකුණන්, ඉනි උකුණන්, සම මතුපිට කැසීම, පලු මතුවීම තුළින් මොවුහු සිරුරට කරදර දෙති. මෙම ත්‍රිටීන් උදර හෝ බඩ පණුවන් ලෙසද හැඳින්වේ.
ත්‍රිමි රෝග ලක්‍ෂණ
උණ නිතර වැලඳීම, ශරීරය අවපැහැවීම, සිරුර පුරා ඇතිවන වේදනාව, අප්‍රාණික බව, කරකැවිල්ල, ආහාර අරුචිය, අතීසාරය.


රක්තජ ත්‍රිමි රෝග ලක්‍ෂණ
කෙස්, ලොම්, ඇස් පිහාටු හැලීම, සම මතුපිට කැසීම, ලොමු දැහැ ගැන්වීම ඇතිවීම, සම මතුපිට පොතු වශයෙන් ගැලවීයෑම තුවාල ඇතිවීම විසර්ප ඇතිවීම වැනි සමේ රෝග මතුවීම.
කඨජ ත්‍රිමි රෝග ලක්‍ෂණ
ආහාර අරුචිය, වමනය කෙළ ගැල්ම, ඔක්කාරය, ආහාර නොදිරවීම බඩපිපුම, කෙට්ටුවීම, ප්‍රතිශ්‍යාව, උණ, කාශ, ශ්වාස, හිසරදය, හෘද වේදනාව, සිහි මුර්ජාව ආදී ආමාශ අන්ත්‍ර ආශ්‍රිත ලක්‍ෂණ දැකිය හැකිය.
පුරිෂජ ත්‍රිමි රෝග ලක්‍ෂණ
උදර ශුලය, බඩ පිපුම, ගුද මාර්ගය අවට කැසීම, ගුද මග පහත්වීම අතීසාරය, කෑම අරුචිය, මුඛයේ දුඟද දැනීම, පාණ්ඩුව ඇතිවීම, සම රළුවීම සහ ශරීරය කෘශවයෑම.


මලජ ත්‍රිමි ලක්‍ෂණ
සම මතුපිට කැසීම, සම මතපලු දද,
කුෂ්ඨ වැනි දෑ මතුව ඒම.
ප්‍රතිකාර වෙත යොමුවෙමු
ත්‍රිමි රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී ත්‍රිමි චිකිත්සා මූල ධර්මවල දායකත්වය ලබාගත යුතුය. එයට යොමුවීමේදී මන්ත්‍ර, අග්නි, සූර්ය, විද්‍යුත් මාරුත, ජල යන විධි සඳහන් වේ.
ගින්දර ත්‍රිමි නාශකය සඳහා යොදා ගත හැකි වැදගත් සාධකයකි. ගින්නෙන් පිලිස්සීම, ජලය නටවා පානය කිරීම, වාෂ්පය මේ සඳහා යොදා ගනියි. එමෙන්ම සූර්ය රශ්මියෙහි අඩංගු නොයෙක් කිරණ වර්ග මඟින් ත්‍රිමි බීජ පවා විනාශවේ. මෙහිදී විද්‍යුත් වශයෙන් හඳුන්වන්නේ අකුණුය.
සුළඟ මඟින් ගසාගෙන යෑම නිසා සූක්‍ෂම ත්‍රිමි වර්ගවල සාන්ද්‍රණය අඩුවීම නිසා එම ත්‍රිමි උවදුරුවලින් වන බලපෑම් අවම වේ. ගලාගෙන යන ජලයෙහි ත්‍රිමි ඒකරාශී වීම බොහෝ විට අවමය. ගලාගෙන යන ජලයෙන් සේදීමෙන්ද ඔෟෂධ ජලය යොදා ගැනීමෙන්ද ත්‍රිමි නාශනය කළ හැකිය.


ත්‍රිමි චිකිත්සාව සිද්ධාන්ත තුනක් යටතෙහි විස්තරකර ඇත
1. ත්‍රිමි අපකර්ෂණය
2. ප්‍රකෘති විඝාතය
3. නිදාන පරිවර්ජනය
ත්‍රිමි අපකර්ෂණය
ත්‍රිමි ඉවත් කිරීම යන අර්ථය මෙයින් දැක්වේ. එලෙසම යාන්ත්‍රිය සහ චිකිත්සීය ලෙස මෙය කොටස් 2කට බෙදේ.
අතින් හෝ අතින් ගත් උපකරණයකින් ත්‍රිමි ඉවත් කිරීම යාන්ත්‍රික ආකර්ෂණයයි. ගුද මාර්ගය මඟින් බැහැරට පැමිණෙන ත්‍රිමි ඉවත් කිරීම, අන්ත්‍ර මාර්ග අරෝධකර ඇති විශාල ත්‍රිමි වර්ග ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමද මෙහිදී අනුගමනය කරන පිළිවෙත් වේ.


වමන, විරේචන, ශිරෝ විරේචන, වස්ති චිකිත්සීය ක්‍රමයට අයත්වේ. ශිරෝ විරේචන මඟින් හිස, නාසය, ඇස් ආදී ස්ථානයන්හිදී ත්‍රිමින් ඉවත් කරන අතර වමන විරේචන සහ වස්ති මඟින් මහ බඩවැල ආශ්‍රිත ත්‍රිමින් ඉවත් කරයි. මේ සඳහා යොදා ගනු ලබන්නේ ඉතා ගුණැති ඔෟෂධය.
කරවිල කොළ, එරබදු කොළ, ගොටු දඬු සහ කොළ, බට කිරිල්ල කොළ අරලිය කොළ, අගුණ කොළ, ඇත්තෝර කොළ සම සමව ගෙන වෙන් වශයෙන් හෝ එකට මිශ්‍රව ගෙන කොටා යුෂ පානය කිරීම, මැල්ලුම් ලෙස සාදා කෑමට ගැනීම සහ චූර්ණයක් ලෙසින් ගෙන අග්ගලා සාදා ආහාරයට ගැනීම සුදුසු වේ.


ප්‍රකෘති විඝාතය
ත්‍රිමි රෝග ඇතිවීමේ සුවිශේෂීම හේතුව වන්නේ ත්‍රිමීන්ට සුදුසු පරිසරය නිර්මාණය වීමය. එලෙස ත්‍රිමිහට වැඩීමට පසුබිම් වූ පරිසරය විනාශ කිරීම ප්‍රකෘති විඝාතය ලෙස හැඳින්වේ.
ඒ සඳහා කටුතිත්ත කෂාය, ක්ෂාර, උෂ්ණ දීපන ද්‍රව්‍ය උපයෝගීකර ගැනීම සහ දිරවීමට පහසු ආහාර ගැනීම නිසිකලට ත්‍රිමි නාශක ඔෟෂධ ගැනීම තුළින් ප්‍රකෘති විඝාතය සාර්ථක කර ගත හැකිය.
ඔෟෂධීය දෑ යොදා ගැනීමේදී
වළඟසාල්, කරාබු නැටි, සූදුරු අසමෝදගම්, සාදික්කා, කුඹුරු ඇට මද තිප්පිලි, මී කන්පලා වැනිදෑ භාවිතයට ගත හැකිය.
උදර ත්‍රිමි මර්දනය සඳහා චිකිත්සා


ඔෟෂධ යෝග
1. වළඟසාල් චූර්ණය මී පැණියෙන් ලේහ කිරීම.
2. කලාඳුරු අල, මී කන්පලා, දේවදාර, අරළු, මුරුංගා පොතු කෂාය.
3. එරබදු කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා යුෂ ගෙන වළඟසාල් චූර්ණය, සුරංවිදුර පත්‍යං පංගුව දියකර දීම.
4. කෙළිඳ සහල්, වළඟසාල්, කොහොඹ පොතු, බිං කොහොඹ චූර්ණකර උක්හකුරු සමඟ දීම
5. බට කිරිල්ල කොළ, වළඟසහල්, බැදි හාල්පිටි, පොල් පැණිවලින් අග්ගලා සාදාදීම


ත්‍රිමි වමනයට
1. සස්සඳ මුල ගලගා දියකර පෙවීම.
2. කරාබු නැටි තළා උණුවතුරෙහි දමා තබා ටික ටික වරින්වර පෙවීම.
3. ඉඟුරු යුෂ, කළු උක්යුෂ, දෙහි ඇඹුල්, මී පැණි සම සමව ගෙන සාදික්කා ගල ගා දියකර පානය කරන්න.
නිෂ්පාදිත ඔෟෂධ
ජීවානන්ද වටිය, සුරන්විදුර වටිය, ත්‍රිමිරුපු කල්කය, ත්‍රිමිරාජ කල්කය, විඩංගා අරිෂ්ටය, ත්‍රිමි ආසවය, ලෞහ ආසවය අරවින්ද ආසවය.

වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ නිරංජලා වෛද්‍ය ආයතනය

සටහන - දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Post a Comment

0 Comments