ලෙඩවීම දුකක්. වේදනාවක්. කල්ගත වූ සුව නොවන ලෙඩ රෝග නිසා පීඩා විඳින බොහෝ දෙනෙක් කායිකවත් මානසිකවත් දුර්වල වෙනවා. අපේ සිංහල පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දීර්ඝ කාලීනව පවතින සුව නොවන බොහෝ රෝග පීඩාවන්ට විසඳුම් සොයා දෙනවා. සුවපත් බව ළඟා කරනවා. “ඇදුම” රෝගය ඇතිවෙන්නේ ශ්වසන පද්ධතිය ආශි්‍රතව පෙණහලුවල පිහිටා තිබෙන ගර්ත කෝෂ සෙමවලින් අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ මහන්සිය ඇතිවෙනවා. ආයුර්වේදයට අනුව මෙම තත්ත්වය සෙම කෝපවීම නිසා ඇති වෙන්නක් ලෙස සැලකෙනවා.
ඇදුම රෝගය ඇතිවීමට බලපාන හේතු
* ජානමය බලපෑම
* හදිසිඅවස්ථාවලදී වෙනත් රෝගවලට සිදුකරන ප්‍රතිකාර
* වැරැදි රසායනික ද්‍රව්‍ය භාවිතය
* වැරැදි ආහාර පුරුදු
* පරිසර දූෂණය
* රැකියාවේ ස්වභාවය
ඉහත දැක්වෙන කුමන හෝ හේතුවක් නිසා ඇදුම රෝගී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. පීනස රෝගය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟම ඇදුම රෝගී තත්ත්වය ඇති වෙනවා. එනිසා මුලින්ම පීනස රෝග ඇතිවීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
පීනස රෝගයේ රෝග ලක්ෂණ
* ඇස් දැවිල්ල
* හොටු දියර ගැලීම
* කන් අඟුල් වැටීම
* උගුරේ අමාරුව
ඉහත රෝග ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතා පපුවේ මහන්සිය වැනි රෝග ලක්ෂණ මතු කරමින් ඇදුම රෝගී තත්ත්වය දක්වා වර්ධනය වන්නට පුළුවන්. ඇදුම රෝගියෙකු තම ශරීර ශක්තිය පවත්වාගෙන යෑමට උනන්දු විය යුතුයි. ශරීර ශක්තිය දුර්වල වීමත් සමඟ රෝගය ඉතාමත් ඉක්මනින් වර්ධනය වෙනවා. ඇදුම රෝගයත් සමඟම රෝගියාගේ රුධිර ධාවනය දුර්වල වෙනවා. රුධිරය දහනය වීම වැඩි වෙනවා. එනිසා ශරීර ශක්තිය අධිකව වැය වන ක්‍රියාකාරකම් මෙවැනි රෝගී අවස්ථාවකදී සුදුසු නැහැ. පිහිනීම, දියයට වැඩි වේලාවක් කිමිදීම, ශාරීරික අභ්‍යාස, නිදි මැරීම පාලනය කිරීමට මතක තබා ගන්න.
තෙල් ආහාර අවශ්‍යයි
සෙම බහුල බිත්තර, බොයිලර් කරන ලද මස්, ආහාරයට ගැනීම ඇදුම රෝගියකුට සුදුසු නැහැ. නමුත් තෙල් සහ මේදය හිතුමතේ පාලනය කරන්න එපා. මෙවැනි රෝගියෙකුගේ ශරීරයට තෙල් සහ මේදය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඇදුම වගේම වෙනත් සෙම් රෝගී තත්ත්වයකදී තෙල් ආහාර ගැනීමෙන් වළකින්න එපා.
උණු ජලය නෑමෙන් වළකින්න
මෙවැනි රෝගීන් සවස් කාලයේ උණු ජලයෙන් නෑමට පුරුදුවී සිටිනවා. එසේ කිරීම ඉතාමත් අහිත කරයි. උදේ 10-12 අතර කාලසීමාවේදී ඇල් ජලයෙන් ස්නානය කිරීම සුදුසුයි. එසේ ස්නානය කිරීමෙන් පසුව තේ, කෝපි හෝ කහට පානයක් ගන්න. එවිට ඇඟ උණුසුම් වෙනවා.
ප්‍රතිකාර
ඇදුම රෝගය නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකර්ම ආයුර්වේදයේ තිබෙනවා. පාරම්පරිකව පැවැත එන බෙහෙත් ඔෟෂධ මෙහිදී උපයෝගී කර ගන්නවා. මෙහිදී පාරම්පරිකව පැවැත එන චූර්ණයක් ලබා දෙනවා. සියලුම ප්‍රතිකාරවලට ප්‍රථමයෙන් ආගමික වතාවන් සිදු කිරීමෙන් ආශීිවාර්දයක් බලයක් ලබාදීම සිදුවෙනවා. ඉන්පසුව එක් එක් රෝගියාගේ රෝගී තත්ත්වය අනුව ඔෟෂධීය තෙලක් හිසේ ගැල්වීම සිදුවෙනවා. පාරම්පරිකව පැවැත එන චූර්ණයෙන් ඉතාම ස්වල්පයක් රෝගියාට වෛද්‍ය අනුමැතිය අනුව ලබා දෙනවා. ස්වේදකරණය සිදුකිරීම සඳහා ඔෟෂධීය බෙහෙත් හුමාලය රෝගියාගේ මුළු සිරුරටම දැනෙන්නට සැලැස්වීමත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් අංගයක්.
කිවිසුම් යෑම
උදෑසන ළිපේ අළු ඉවත් කිරීම බොහෝ දෙනාගේ සිරිතකි. මේ නිසා කිවිසුම් යන බොහෝ දෙනෙක් සිතන්නෙ තමන්ට ඇදුම හෝ පීනසය තිබේය කියායි. නමුත් රාත්‍රියේ ළිපෙහි අළු ඉවත් කර දැමීම වඩාත් සුදුසුයි. එය ඔබට සිදුවන අහිත කර බලපෑම අවම කරනවා. එවගේම එවැනි අවස්ථාවල මුඛ ආවරණ පලඳින්න.
ඒ වගේම නිවෙස ඇතුළත සිට බැහැර පරිසරයට පැමිණීමේදීත් කිවිසුම් යනවා. මේ පීනස හෝ ඇදුම් තත්ත්වයක් යැයි වරදවා වටහා ගන්න එපා. කාමර උෂ්ණත්වයක සිට බාහිර පරිසරයට පැමිණීමේදී ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්. අධික සීතලෙන් ආරක්ෂා වීමට උණුසුම් වීම සඳහා සුදුසු ඇඳුම් අඳින්න. රත්ත්‍රං, ගඩොල්, මිනිරන්, උළු කර්මාන්තය වැනි රැකියා ක්‍ෂේත්‍රයන්හි නියැළෙන්නන් මුඛ ආවරණ පලඳින්න. “ඇදුම රෝගය කියන්නෙ සුව නොවන රෝගයක් නෙමෙයි. නිට්ටාවටම සුව කළ හැකි රෝගයක්. තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන සැලකිල්ලෙන් නිසි කල නිසි ඔෟෂධ ලබා ගන්න.
මව්බිම පුවත්පත
0 Comments